නිලාර් එන්. කාසිම්
රසික හදවත් සනසාලන්නට ගීත පන්සීයකට අධික ප්‍රමාණයක් රචනා කරන මොහු නමින් නිලාර් එන්. කාසිම්. ලතා වල්පොල, මාලනී බුලත්සිංහල, සුනිල් එදිරිසිංහ, මිල්ටන් මල්ලවආරච්චි, අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජනි, එඩ්වඩ් ජයකොඩි, භාතිය-සන්තුෂ්, චාමික සිරිමාන්න, අජිත් බණ්ඩාර වැනි ගායක ගායිකාවන් නිලාර් එන්. කාසිම් ගේ වචනවලට ඔවුන්ගේ හඬින් පණ දුන්හ.
නූතනයේ මෙතරම් ජනප්‍රිය මොහු, මෙවැනි ස්ථරයකට පැමිණීමට පද රචනා ලියමින් ගායක ගායිකාවන්ට තැපැල් කළත් කවුරුන් හෝ ඒ පද රචනා සින්දු විදිහට බාර ගත්තේ නැත.
මේ අතර ඛේමසිරි මාස්ටර්ගේ නිවසට පැමිණි මාලනි බුලත්සිංහල දැක්වූ පරිදි නිලාර් එන්. කාසිම් ගේ ගීතයක් රඹුකන හිමි කැසට් පටයකට තෝරාගෙන තිබුණි. මේ ඔහුගේ හැරවුම් ලක්ෂයයි. ගංගාරාමයට ගොස් උන්වහන්සේ මුණගැසුනු නිලාර් එන්. කාසිම් මේ පිළිබඳ අදහස් දැනගැනීමට උත්සුක විය. සුසුමක රාවය යන මාලනීගේ කැසට් පටයට සමනලයින් රොදක් නිල් ගොයමට යන නිලාර්ගේ ගීතය තෝරා ගෙන තිබුණි.
ඔහුගේ සම්පූර්ණ නම මොහොමඩ් කාසිම් නිල් රුල් නිලාර් විය. රසික හදවතට ආමන්ත්‍රණය කළ හැකි ආකාරයට ඔහුගේ නම රඹුකන හිමියන් විසින් නිලාර් එන්. කාසිම් ලෙස සකස් කරනු ලැබුවේ උන්වහන්සේ විසිනි. මේ කාල වකවානුව ඇතුළත ජැක්ෂන් ඇන්තනී, ලූෂන්, මාලනි වැනි ප්‍රභූන්ගේ ඇසුර නිසාම දඬුබස්නාමානය ආදී සංගීත වැඩසටහන්වලට සම්බන්ධ වීමට මොහුට අවස්ථාවක් හිමි විය. සිරි සගබොදි මලිගවෙ දි වැනි ගීත කෙරෙන් රැප් සංගීතය ලාංකේය සමාජයට ඔබින ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට නිලාර් එන් කාසිම්ට හැකියාවක් ලැබිණි.
මොහුව සිංහල සංගීත අල්තාරයට පෑයූ සඳක් ලෙස හඳුන්වා දීමට මැලිවිය යුතු නොහේ. මහාචාර්ය සුනිල් ආරියරත්න, ඔහු ගීත ගෝවින්දය සුඛනම්‍ය ලෙස හැසිරවූ ගීත රචකයෙකු ලෙස හඳුන්වා දී තිබෙන්නේ පද රචනා මතින් පෙන්නුම් කරන හැකියාවන් නිසා ම විය යුතුය. චිත්‍රපට ගීත පනහකට(50) ආසන්න සංඛ්‍යාවක් රචනා කරන මොහු ආසයි මං පියාඹන්න, සුවඳ දැනුණා ජීවිතේ, රෝස කැලේ, ආදරණීය කතාවක් වැනි ජනප්‍රිය චිත්‍රපටවලට තම හැකියාව පදවැල් මගින් මුසුකරන්නට විය. එපමණක් නොවේ නූතනයේ පවා ප්‍රේක්ෂකයා ආදරෙන් වැළඳ ගන්නා හිත මනමාලකම් කරයි, ඔබ ගියාම දුක මට දී, කිරි කෝඩු හිතට, උන්මාදනී හැංගුනා, මීඳුම උතුරන සදපානේ, රන් කුරහන් මල සේ වැනි ගීත රාශියක් රසිකයා වෙත සමීප කිරීමට ඔහු සමතෙක් විය. ප්‍රේමයෙන් ආතුර වීම පමණක් නොවේ, එයින් එපිට වස්තු විෂය ලෙසින් තෝරා ගනිමින් ගී පදවලට පියාඹන්නට ඉඩදීම නිලාර් එන් කාසිම් ගෙන් ප්‍රතීයමාන වූ තවත් විශේෂ හැකියාවකි.
සාම්ප්‍රදායේ සිපිරිගෙය නමින් නම් කළ සලාම් කියාගෙන ගෙට එන ගීතය එවැනි අවස්ථාවක් මනාව නිර්මාණය කිරීමකි.
වලාකුළු වලින් සළු ඇඳ
සදා තනි රකී අඩ සඳ
ස්වර්ණ ද්වාරයේ පැතුමිණ තාරකාවියේ
සිනා වෙන්න මතක නැති ද තාරකාවියේ
(සලාම් කියාගෙන ගෙට එන)
ඉරණවිල ධීවරයන් හා ඇමරිකන් හඬ ගුවන් විදුලි සමප්‍රේෂණාගාරය අතර ගැටුම සියැසින් දුටු නිලාර් ධීවර ප්‍රජවගේ බසින් ම එය නිර්මාණය කළේ ඉරණවිල වේදනාව නමිනි. නමුත් ගුවන් විදුලිය විසින්ම එම ගීතය නොනිළ ලෙස වාරනයට ලක් කරයි.
බලන් අවරග පිපී හැනැහෙන
මහළු ඉරමල හිදී ව්‍යාධිව
සෙත්කලේ යන තෙප්පමේ අග
පුංචි කඳුළක් නැගෙයි අවදිව
කළු වලා මැද පියාපත් හැර
ඈත සමුදුර ගෙවාගෙන එන
මිනී කන ගිජු ලිහිණියන්ගේ
විදුලි නාදය
ඇසී ගහකොළ සැලෙයි තැති ගෙන
ගායනය - ප්‍රදීපා ධර්මදාස සහ අමරසිරි පීරිස්
පද රචනය - නිලාර් එන්. කාසිම්
සංගීතය - ආචාර්ය ඛේමසිරි
නිර්මාණශීලිත්වයේ පිළුණු වූ මාතෘකාවක් වන යුද්ධය හා සොල්දාදුවාගේ පාර්ශවය දැකීමේ කෝණය නිලාර් අතින් වෙනස් වන්නට යෙදුණි. සොල්දාදුවා කෙරේ සංවේදීව නමුත් හැඟීම්බර නොවී සංයමයෙන් දැකීමේ ගුල විවර වූයේ නිලාර් එන්. කාසිම් අතිනි. නිදිමත ඉසිලූ දෑසට කඳුලැලි බර වැඩිදෝ (කරදිය සුළඟට) ගීතය මතින් ඒ දෘෂ්ටිය මවා පෑ නිලාර් රසික හදවත් පැහැර ගත්තේය. චිත්‍රපටි ගීත පමණක් නොව ටෙලිනාට්‍යය ගීත ද තිහකට ආසන්න ප්‍රමාණයක් රචනා කරන මොහු සෙනුරී, කිරිල්ලියෝ වැනි ටෙලි නාට්‍යය තුළද ඉතා ජනප්‍රිය පදවැල් මුසු කරන්නට දක්ෂතාවයක් දක්වා තිබෙන නිලාර් ක්ෂේත්‍ර රාශියකම තම පදවැල් හැසිර වූ දක්ෂයෙකි.
අහස සිඹිනා තුඟු මහල් කවුළු හැර
අලුත් සුළං රොද බදා වැළඳ ගමු
හතර වටින් වට කෙරුණු පවුරු බිඳ
සතුට සොයා ගෙන එන්න ඉගිල යමු
Ode-To-Toy 2015 වර්ෂයේ චීනය විකාශනය වූ ටෙලිනාට්‍යය කිරිල්ලියෝ ලෙසින් ජාතික රූපවාහිනියෙන් විකාශනය වීමේ දී එහි පද බැඳීමට නිලාර්ට අවස්ථාවක් හිමි විය. මොහුගේ ප්‍රතිභාවට අවධානය යොමු කිරීමේ දී ස්වාධීන සාහිත්‍යය උළෙලේ හොඳම ගීත රචකයා ලෙසත්, සිග්නිස් සම්මාන උළෙලේ හොඳම ටෙලිනාට්‍යය ගීත රචකයා ලෙසත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් පිරිනැමු හොඳම ජන මාධ්‍ය සන්නිවේදකයාට හිමි සම්මානයෙනුත්, Bunka අන්තර්ජාතික සම්මානයෙනුත් පිදුම් ලැබීම වෙසෙසින් දැක්විය යුතුය.
සාමය හා සංහිදියාව වෙනුවෙන් නිර්මාණයේ යෙදීම වගේම රයිගම්, සරසවිය, රජ්‍ය සාහිත්‍යය උළෙල ආදී අවස්ථා කිහිපයකටම හොඳම තේමා ගීත රචකයාට නිර්දේශ වීම නිලාර් එන්. කාසිම් ගේ ප්‍රතිභාව අගය කරන්නා වූ තවත් අවස්ථා කිහිපකි. පැහැසර අරණක ඉර මල පිපුනාවේ ලෙසින් නිලාර් එන්. කාසිම් පද ගෙතීය. සැබැවින්ම පැහැසර අරණක මල් පිපෙන්නට ඉඩදුන් මේ රචකයා අසල්වැසියාගේ සාහිත්‍යය ද අපට සමීප කළ සංවේදී කලාකරුවෙක් බව නොරහසකි.
“තරුණ ලේඛක නිලාර් එන්. කාසිම් විශේෂ සමාජ හෝරාවේ දී ලියන අසල්වැසියාගේ සාහිත්‍යය අපට වඩාත් වැදගත් වන්නේ අපේ සෞන්දර්යය සමාජ හා විචාර මණ්ඩලය අල්ලපු ගෙදර මිනිසුන් ගැන - අනිත් ඈයින් ගැන වැඩියමක් නොදන්න නිසායි..”
පෙරවදනේ පරාක්‍රමගේ අදහසකින්...
සෙව්වන්දි ප්‍රේමතිලක

No comments:
Post a Comment