ජන සාහිත්‍යයෙන් පෝෂණය වූ සිංහල ගීතය
ගීත සාහිත්‍යය මෑත වකවානුවේ ජනප්‍රියතම කලා මාධ්‍යය බවට පත්වීමට රූපරචනා ද පිටුබලයක් වී ඇතිබව පෙන්වා දිය යුතුමය. මුල් කාලයේ ගුවන්විදුලිය ඔස්සේ ද අද රූපවාහිනිය තුළින් ද ජනප්‍රිය වී ඇති ගීතය මිනිත්තු තුනක් හතරක් වැනි කෙටි කාලයක් තුළ රසික විඥානයට ආමන්ත්‍රණය කරයි. ගීතය උසස් කලා මාධ්‍යයකි. ඒ තුළින් උසස් වින්දන ශක්තියක් රසිකයාට ලැබෙන අතර මෙහි මූලික ලක්ෂණය අර්ථ ධ්වනියෙන් හා ශබ්ද ධ්වනියෙන් පරිපූර්ණ පදමාලාවක් පැවතීමයි. අපේ බොහෝ ගීත රචනාවන් ජන සාහිත්‍යයේ සෙවනැල්ල මත හැදීවැඩී ඇති බව පැහැදිලි කරුණකි. සිංහල ගීතය කවියේ බොහෝ සාධනීය අංග උකහාගෙන හැදී වැඩුණු ආකාරය පසුගිය දශක කීපය තුළ ජනප්‍රිය වූ ගීත සලකා බලන විට පෙනීයයි. වර්තමාන සංකීර්ණ සමාජයේ වෙසෙන අපට ජනකවිය තුළින් ලද හැකි සාම්ප්‍රදායික ආලෝකය මතු දැක්වෙන අවස්ථාවලින් ධ්වනිත වෙයි.
අර්ථ ධ්වනියෙන් හා ශබ්ද ධ්වනියෙන් පරිපූර්ණ වූ ඉතා ජනප්‍රිය වූ මතු දැක්වෙන ගීතය අමරදේවයන් ගායනා කරන්නකි. මඩවල එස් රත්නායකයන් පද රචනය කරන ලද මෙහි ජන සංස්කෘතියේ සුවඳ මුසු වූ මුදු ගුණයක් විද්‍යමාන කරයි.
රන්වන් කරල් සැලෙයි සන්සුන් කමින් බරව
සිල්ගත් සිතින් යුතු ව කත සේ
මඳ සුළඟ හා සමග බඳ සල විට ගමද
පෙම්මල් උදා කරති සතොසේ
ගං හෝ ජලෙන් පිරෙන ගොවි බිම්වලින් සුසැදි
දුක් දොම්නසින් ඉවත ඇදුනි
වන ගතෙහි සියොතුන්ගෙ මිහිරි ගී රස වැළඳ
ගහ වැලද පිපුණා - මල් පලින් සැදුණා
රස බරින් සැලුණා - ගමට නව සඳ එළිය වැටුණා
හද කුමුදු පිපුණා හැම දනන් සිත් සතන් නිවුණා
ජන කාව්‍ය සම්ප්‍රදායේ එන තුරඟ වන්නමේ සාම්ප්‍රදායික තනුව වැඩි වර්ධනය කරමින් නිර්මාණය කරන ලද මෙම ගීතය තුරඟකුගේ ගමන් විලාසය දක්වන රිද්මයට ගොඩනැගී ඇත. එහි ගැමි සාහිත්‍යයේ අර්ථ රසය හා ශබ්ද රසයේ පරාසය උපයුක්ත භාෂාව මඟින් මවා දක්වයි. ගම තුළ විසිරී පැතිරී හමන ගැමි සුන්දරත්වය පදමාලාව තුළින් මෙන්ම උපයුක්ත සංකල්ප රූප මඟින් ද ධ්වනිතවත් කරයි. සද්ධර්මරත්නාවලියේ දී ධර්මසේන හිමි භාවිතා කළ ශ්‍රෙැති ගෝචර භාෂා රටාව වර්තමාන ගීතයේද අංගයක් වී ඇති ආකාරය “වන ගතෙහි සියොතුන්ගෙ මිහිරි ගී රස වැළඳ” කොටසින් සනාථ කළ හැකිය. “රන්වන් කරල් සැලෙයි” යන යෙදුමෙන් මුළු වෙල්යායම එකම රන්වන් පාටකින් බැබලෙන අයුරු සිකට නංවන්නේ ගැමි පරිසරයේ සශ්‍රීකත්වය චිත්‍රනය කරමිනි. “සිල්ගත් සිතින් යුතු ව කත සේ” යන උපමාව රූපකාර්ථ නංවයි. සිත කය දෙදොරම සංවර කරගත් කතක් පාරිශ්‍රද්ධත්වයට පත් කතක් හිස පහත් කොට ගෙන සිමින් සිමින් පිය නගන අයුරු වාග් චිත්‍රනයක් කරන ආකාරයට “සන්සුන් කමින් බරව” යෙදුම තවත් ආලෝකයක් සපයයි. ගැමි කාන්තාවගෙන් වෑහෙන සන්සුන්කම මෙන්ම හික්මීම චිත්‍රනය කිරීමේදී වැටෙක රචකයා සැළලිහිණියේ එන මතු දැක්වෙන කවියේ පදමාලාව සිහියට නංවන්නට ඇති බව සිතීමට පිළිවෙන.
සන්නන් සිහින් සෙවනලු වැලි තෙලෙන
තැන්තැන්වලම සැතපී සියුමැලි බැවින
රන්වන් කරල් ගෙන එන ගිරවුන් අතින
යන්මන් තොසින් මඟ තොරතුරු නියම දැන
සැළලිහිණියාගේ ගමන් විලාසය ධ්වනිත කරන ආකාරයට පද සංවිධානය කරඇති මෙම කවියේ ආභාසයක් මඩවල එස්.රත්නායක ලැබෙන්නට ඇත. ගොවි ජීවිතය ඇසුරින් උපන් ජනකවිය සරල තලා මාධ්‍යයක් වුවත් එයින් ද සංකීර්ණ ජීවන ගැටලු විවරණය කර තිබෙයි. සිංහල ජන ගීතය මනාව අවශෝෂණය කරගනිමින් තම නිර්මාණකරණයේ යෙදෙන වර්තමාන ගීත රචකයෙකි රත්න ශ්‍රී විජේසිංහ.
පුන්සඳ රෑට ඇවිදින් වේලේ කළුව බිඳ
රන් කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන්කඳ තාම පැල් රකිනවද නිදි තැතිද
ජනකවියේ මූලික ලක්ෂණයක් වන සිව්පද ආකෘතියෙන් නිර්මාණය කර ඇති මෙයට යශෝධරාවතින් ආභාසයක් ලැබී ඇති බව “රන්කඳ තාම පැල් රකිනවද නිදි තැතිද” කොටසින් විද්‍යමාන වෙයි. “රන්කඳ ලෙසින් වැඩියා සුදවුන් ළඟට” පද්‍ය කොටස සිහිගන්වන මෙම ගීතය තුළින්ද වහනය වන්නේ ජන සාහිත්‍යයේ සුවඳයි.
මහගමසේකර, චන්ද්‍රරත්න මානවසිංහ, යමුනා මාලනී වැනි පිරිස්ගේ මැදිහත් වීමෙන්ද ගීතයේ ජන සාම්ප්‍රදායික ලක්ෂණ මතුවිය. මෙසේ ගලා ආ නූතන සිංහල ගීතය මුල් යුගයේ ගීතවලට වඩා සංකීර්ණ වස්තු විෂයන් වටා නිර්මාණය වී ඇත. විශේෂයෙන් ම 1970 දශකයේ සිට සිංහල ගීතයේ මුහුණුවර ප්‍රබල ලෙස වෙනස් විය. ගීතය සමාජ මෙහෙවරක යෙදිය හැකි මාධයයක් විය. නූතන ගීත රචකයෝ කාර්මික ශිෂ්ටාචාරය විසින් වෙනස් කළ වත්මන් මිනිසාගේ අධ්‍යාත්මික පුරන්වීම වැනි සංකීර්ණතා ගති ස්වභාවයන් පවා විෂය කොට ගත්හ. ජන සාහිත්‍යය ඇසුරු කොට රචිත එබඳු සාර්ථක නිර්මාණ රැසක් අප ගීත සාහිත්‍යය සතුවෙයි. මතු දැක්වෙ ගීතයද හටන් කාව්‍යය මාහිත්‍යයෙන් ආභාසය ලබා රචිත ගීතයකි.
වන්නි වන පෙතේ ගම් දනම් පුරා නිවහන
වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්
කන්ට බෑ කියා තනියම එන්ට යැයි කියා ගමටම
බත් බුලත් නිතර දන්දුන් පියවරැන් වෙතින්
ජාතවී ඇතත් පූරුවේ කරන ලද පවක් පලදී
බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන්
කල්ප කාලයක් පරපුර දුන්නු දේ ඇතත් සිත තුළ
මාසෙකට වරක් ලැබෙනුයේ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බියවැද
දොර ජනෙල් වසා තනියම බුදිති බෝදුකින්
බණ්ඩාර ඇහැළියගොඩ රචනා කළ මෙම ගීතයට සුනිල් එදිරිසිංහ හඬ එක්කාසු කරයි. ගමෙන් නගරයට සංක්‍රමණය වී ගන්ධබ්බ ජීවිත ගෙවන බොහෝ පිරිස්හට ආමන්ත්‍රණය කරන මෙම ගීතය මහගමසේකරගේ 1962 රචිත සක්වාලිහිණි පද්‍ය සංග්‍රහයේ “ගමෙන් උරුම වූ වස්තුව පොදියක් බැද කර තියාන උඹේ බහට රැවටීලයි සිදාදායට ආවේ” පද්‍ය කොටසට සමාන කමක් දක්වයි. ගැමි හරපද්ධතියේ උත්කෘෂ්ඨ බව මවා පෑමට ජන සාහිත්‍යයම ආලෝකය කරගත් ගීත නිර්මාණකරුවන් රැසකි. ඒ අතර රෝහණ බැද්දගේ ටද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
සත්සඳ සත්සඳ දිය පල්ලේ තිබෙයි අල ( දිය පල්ලේ තිබෙයි අල)
දෙයියන්ගේ පිහිටයි...
සත්සඳ සත්සඳ දිය මතුපිට තිබෙයි කොළ (දිය මතුපිට තිබෙයි කොළ)
ගාලේ ලිහන්ඤයි
වැස්සට පිණි බබා මෝරණ කැකුළු මල
මස්සටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල..//
සකිය සගව්වට රෝදය කැරකෙනවා
සත්සඳ සත්සඳ අපි මහ පාරේ යනවා//
....
ගැමි වාග් මාලාව අව්‍යාජ ලෙස පරිහරණය කරමින් රචිත මෙම ගීතයේ තනුව සසද කවි, ගමන් කවි හෙවත් කරත්ත කවියේ ආභාසයෙන් නිර්මාණය කරතිබෙයි. මීට අමතරව “මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොදුරණවා”ගීතය රබන් පද ආභාසයෙන් ද නිර්මාණය කරන මෙතුමා ජන සාහිත්‍යයේ රසය සියුම් ලෙස උකහා ගනිමින් එය නැවත ප්‍රතිනිර්මාණය කරයි.
ගුවන් විදුලි ගීතය පමණක් නොව ජන සාහිත්‍යයේ පිටුබලය නාට්‍යයට ද බලපෑ අවස්ථා රැසකි. තාරාවෝ ඉගිලෙති, බෙරහඬ එයට සාක්ෂි සපයයි.
මඩේ ලඟින තාරාවන් නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජමුතු අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
එහෙම කළොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං...
මදන ඇතුන් නෙලුම් හුයෙන්//
බැඳගන්නද මං
දුවන මුවන් දැක ලන්නද
නෙලූ පලා මං
එහෙම කළොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං...
ලූෂන් බුලත්සිංහලගේ පද රචනයට මර්සි එදිරිසිංහ හඬ එක්කාසු කරන මෙම නාට්‍ය ගීතයද ජන සාහිත්‍යයට සම්බන්ද වන්නේ “අනුන් ලියන් දැක තම ලියට තලා, දුවන මුවන් දැක නොදමනු නෙලූ පලා” ආකාරයටයි. නාට්‍ය ගීතයට පමණක් නොව චිත්‍රපට ගීතය තුළද ජන සාහිත්‍යයේ මැදිහත් වීම “වෙසක් කැකුළු අතු අග ඉඳ නටන විලාසේ” “ඕලු නෙළුම් නෙරිය රඟාලා” වැනි ගීත විමර්ශණයෙන් පෙනීයයි. ලයලන් රන්වල, සහන් රන්වල, රෝහණ බැද්දගේ වැනි පිරිස් අතරට වත්මනයේ එක්කාසු කළ යුතු නාමයකි සමන් ලෙනින්. ජන සාහිත්‍යයේ රසය නූතන ගීතය හා බද්ධ කොට ඉදිරිපත් කිරීම හරහා ගීතයට නව මානයක් සමන් ලෙනින් අතින් එළිපෙහෙළි විය. එයට නිදසුනකි “අමුඩේ” ගීතය.වස්කවි ආරයෙන් රචිත එම ගීතය තුළද ජන සාහිත්‍යයේ ජීවය නොනැසී පවතී. දේශීයත්වය අපේකම තුළ සැගවී ඇති රසය මනාකොට ඉදිරිපත් කරඇති මෙවැනි තවත් බොහෝ ගීත අප ගීත සාහිත්‍යය සතු වෙයි. රසභාව උද්වීපනයටත්, මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමටත් කමටහන් මෙම ගීත නොඅඩුව සපයයි.
සෙව්වන්දි ප්‍රේමතිලක-
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

No comments:
Post a Comment