Followers

Thursday, June 24, 2021

ප්ලැටිනම් කැබැල්ල ටී.එස්. එලියට්

 ප්ලැටිනම් කැබැල්ල

ටී.එස්. එලියට්




කවියෙකු කරන්නේ විපර්යාසකාරයකුගේ කටයුත්තකි,

ඔක්සිජන් හා සල්ෆියුරික් ඩයොක්සයිඩ් වායුව සහිත නලයකට ප්ලැටිනම් කූරක් ඇතුල් කළ විට එහි සල්ෆියුරික් ඇසිඩ් සෑදේ. ඒ නව ස්වභාවය හට ගන්නේ ප්ලැටිනම් කැබැල්ලක් ඇත්නම් පමණි. එහෙත් එසේ සෑදුණු නව සාන්ද්‍රණයේ ප්ලැටිනම්වල අංශ්‍රවක්වත් අඩංගු නොවේ. ප්ලැටිනම් කැබැල්ල  තමාගේ ස්වාධීන ක්‍රියාකාරීත්වය නොපෙන්වා මධ්‍යස්ථව පවතී. කවියාගේ මනසද අර ප්ලැටිනම් කැබැල්ල සදිසිය...

-ටී.එස්.එලියට් හා නවකවිය -

(ආරියවංශ රණවීර)


විසිවන සියවසට අයත් ප්‍රසිද්ධ කවියෙකු ලෙස සැලකෙන තෝමස් ස්ටියර්න්ස් එලියට් ප්‍රසිද්ධ කවියෙකි. මොහුගේ උපත 1888.09.26 ඇමරිකාවේ මිසුරිහිදී සිදුවිය.මිල්ටන් ඇකඩමියේ මූලික අධ්‍යාපනය ලබා 1906 දී හාවර්ඩ් සරසවියට ඇතුළු වූ මොහු 25 වියේදී එංගලන්තයට සංක්‍රමණය වී 39 හැවිරිදි වියේදී ඇමරිකානු පුරවැසිකම අත්හැරියේය.

එලියට් ගුරුවරයෙකු, බැංකුකරුවෙකු, සංස්කාරකවරයෙකු ලෙස වරින්වර රැකියා කිහිපයක නිරත වූ චරිතයකි. එලියට් විශාල කවි සංඛ්‍යාවක් පබැඳි අයෙක් නෙවේ. නමුත් ඔහු අතින් ලියවුණු කවි ගැඹුර ස්පර්ශ කළ නිසාවෙන් ම විසිවන සියවස තුළ පමණක් නොව, විසි එක්වන සියවස තෙක් එළඹ, ඉංග්‍රීසි කාව්‍යය සාහිත්‍යයේ සදාකල් පවතින සම්ප්‍රදායක් සනිටුහන් කළේය. එලියට්ගේ සමතැනට සැලකිය හැක්කේ ඩබ්ලිව්.බී.යේට්ස් කවියා පමණි. එලියට්ගේ කවියේ සියුම් වින්දනයක් හා ඉතා සංකීර්ණත්වයක් ගැබ්වී පවතින බව පෙන්වා දීමට හැකිය. ඔහුගේ කවි විමසිය යුත්තේ ඔහු ජීවත් වූ යුගය පිළිබඳ අවධානය යොමුකිරීම සමඟයි. එවිට එහි අරටුවට කිදා බසිමින් කවියේ සමස්ථ වපසරිය ස්පර්ශ කිරීමට පඨකයාට ඉඩහසර සැලසෙයි. වෙසෙසින්ම ඔහුගේ කවි, අරුත් ලෙස ලඝුකොට විදීමට නොහැකිය. එනම් කවිය තුළ ගැබ්වෙන අර්ථය මෙයමයි කියා කාට හෝ විනිශ්චයක් දිය නොහැකිය. එලියට්ගේ කවිය සමාජය දෙසට විවර කළ දොරටුවක් ලෙස මම පෙන්වා දීමට කැමැත්තෙමි. ඔහුගේ කවියට පරිවර්තනයක් හෝ කිරීම සිතීමටත් අපහසු කාර්යයකි.

කවියට එළඹෙන අන් කවර කවියෙකු මෙන්ම, එලියට් ද ශිෂ්‍යය කාලය තුළ රචනා කළේ එවක භාවිතා වුණු රෝමාන්තික කවිය. විටියර්, ලෝන්ග්ෆෙලෝ වැනි අපර රෝමාන්තික කවීන් ඔහුට ඇසුරු කිරීමට ලැබිණි. නිරීක්ෂණය, කියවීම, හැදෑරීම ඔහුගේ කවි ජීවිතයේ ප්‍රම්ඛස්ථානය ගත් කාර්යය විය. මොහු ඉංග්‍රීසි කවියේ තම සුවිශේෂි ලකුණ තැබූ කවියෙක් ලෙස හඳුන්වාදීමට පුළුවන. 

ඔහුගේ කවියේ පොදු ධාරණා පිළිබඳ විමසීමක් කිරීමේදී, එලියට්ගේ කාව්‍යය පිරිහුණු ජෝජියානු කවියට ප්‍රතිඋත්තර සැපයීමක් වශයෙන් පබැඳි ඒවාය. එයට හේතුව ජෝජියානු කවිය වඩා සරල එකක් වීමයි. පොදුවේ ගතහොත් එම කවිය බුද්ධිමය හා සංවේදනා තලයේ ගැඹුරට ගමන් කළ කවි නොවේ. එයට එරෙහිව අදහස් දැකිවීමට එලියට් එතෙක් කවීන් යොදා නොගත් කාව්‍ය උපක්‍රම තම කවියට නොබියව වැද්ද ගත්තේ පෙරළිකාර ලක්ෂණ ඉස්මතු කරමිනි. පවත්නා පාඨක රුචියට එරෙහිව එය උඩුගං බලා යෑමක් වූ නිසාවෙන් ආරම්භයේදී එය සුළුතරයකට ආමන්ත්‍රණය කළ කාව්‍යය ක්‍රමයක් විය. ඒ සුළුතරයක් අතර කවිය හොඳින් අතපත ගෑ පිරිස් විය.

එවැනි කවියක් සාමාන්‍යය රසිකයාට වටහා ගැනීම අසීරු බව යන ජන හඬ මතුවන බව එලියට් දැන සිටියේය. ඔහු ඒ පිළිබඳ මෙසේ අදහස් දක්වයි,

“අපගේ ශිෂ්ඨෘචාරය මේ වන විට මහත් විවිධතාවයන්ට හා සංකීර්ණතාවයන් අත්විඳියි. මේ විවිධ භාවය හා සංකීර්ණතාවය සුනිශිත සංවේදී මනසක් සමඟ ස්පර්ශ වූ විට, සංකීර්ණ ප්‍රතිඵල හට ගැනීම සිදුවෙයි. මෙහිදී කවියාට වඩාත් විශාල ප්‍රමාණයක් ආවරණය කිරීමට සිදුවෙයි. එහිදී ඔහුට ඉංගනයන් භාවිතා කිරීමට සිදුවෙයි. කවියාට මේ උපක්‍රමයන් අනුගමනය කිරීමෙන් වන්නේ අර්ථ සම්පාදනයේදී අවශ්‍යය වුවහොත් භාෂාව අවසන්ධි කිරීම වුවද කළ යුතුය.”

ටී.එස්.එලියට් හා නවකවිය -

(ආරියවංශ රණවීර)

තියුණු කරගත් බුද්ධියක් ඇති, භාවමය චින්තාවලියක් ඇති රසිකයාට එලියට්ගේ කවියේ රසවත් ස්ථාන ස්පර්ශ කිරීම අපහසු කටයුත්තක් නොවෙයි. ටී.එස් පියර්ස් නම් විචාරකයා පවසන්නේ එලියට් “ චින්තාවේ ඈතම කොනේ දැවටී ඇති සංකීර්ණ තේමා මතු කරන නිසා ඔහුගේ කවි විඳීම අසීරු” බවයි.

විටෙක එලියටිගේ කවිය වර්ජිනියා වුල්ෆ් අනුගමනය කළ විඥාන ධාරා රීතියට සමානකම් දක්වයි. එලියට්ගේ කාව්‍ය උපක්‍රම තුළ සංද්ධ්වනිය පවතින බව අයි.ඒ රිචර්ඩ්ස් නම් විචාරකයා වේස්ට්ලන්ඩ් කාව්‍ය ගැන විමසීමේදී අදහස් දක්වයි. එලියට් භාෂාව නව මගකට යෙදවීමට පෙළඹිණු කවියෙකි. ඔහුගේ කවීත්වයේ සංකීර්ණතා පැන නැගුනේද මේ හේතුව නිසාය.

ආචාර්ය ජා පෙන්වාදෙන්නේ එලියට් කාර්මික හා යාන්ත්‍රික ලොවකට ඔබින කවියක් නිර්මාණයට වෑයම් කළබවයි. එයට අවශ්‍යය කලහකාරී, දුර්ගන්ධිත, පීඩනකාරී භාෂාවක් එලියට් විසින් ම  නිර්මාණය කරගැනීම ඔස්සේ කවියේ අක්මුල් වලට ද ජලඅංශ්‍ර රැගෙන යාමට එලියට්ට හැකිවිය.

එලියට් කලහකාරී මුඩුක්කු, ශ්‍රම සූරාකන ධනපති කර්මාන්තශාලා බහුල, යන්ත්‍රසුත්‍ර ආදී බහුල රථ වාහන නලා ශබ්ද, දුර්ගන්ධිත සමාජ ක්‍රමය ගැහැණුන් මිනිසුන් රැස්ව බීම ශාලාවල ගැවසෙන සූදුව දුරාචාරය රජයන, අභිසාරිකාවන් පිරි පරිසරයක් බොහෝවිට කතා බව කළේය. එය කතාබහට ලක්කළේ ඒ ඒ පරිසරයට සමීප වීමට හැකි භාෂාවක් යොදා ගනිමිනි. ආලවන්තයින් දෙදෙනෙකුගේ ආලයේ මිහිර වර්ණනා කරන භාෂාවකින් දූෂිත සමාජය රසිකයාට සමීප කිරීමට නොහැකි බව හොදහැටි තේරුම්ගත් විප්ලවකාරී කවියා එලියට් ය. එලියට්ගේ කාව්‍ය රීති බොහෝවිට විචල්‍යය වෙයි. මෙයට එලියට් ආභාසය ලබා ගත්තේ මුල්කාලීන ප්‍රංශ සංකේතවාදී කවින්ගෙන්ය. ( ලෆෝර්ජ් කොර්බියරේ හා මැලාර්මේ යන කවීන් ප්‍රධාන වේ )

කවියෙන් යමක් වක් මඟින් කීම බොහෝ කවීන් යොදා ගත්ත ද  එලියට්ගේ මේ ප්‍රවණතාව සැලකිය යුතුලෙස බහුලව දක්නට ලැබේ.


 “නිසරු බිම” කාව්‍යෙයන් නූතන ජීවන පරිසරය තුළ මිනිස් ප්‍රේමය හා උතුම් චෙෂ්ටාව වියළී නිසරු වී හුදු කායික රාගය දක්වා ලඝු වී ඇතිබව පෙන්වන එක් නිදසුනකි FREE SERMON කාව්‍යය.

Hardly aware of her departed lover

her brain allows one half-formed thought to pass

Well now that is done I am glad that it is over

When lovely women stoops to folly and

Paces about her room again, alone.


අයි.ඒ රිචර්ඩ්ස්  මෙසේ පවසයි,

“ නිසරු බිම කාව්‍යයේ අන්තර්ගතය ගතහොත් එය එපික් කාව්‍යයකට සමානවෙයි. එලියට්ගේ මේ කාව්‍ය උපක්‍රමය නොවන්නට එහි ඇති අන්තර්ගතය කවියට නගන්නට පොත් දොළහක්වත් අවශ්‍යවෙයි. ”

එලියට්ගේ කවිවල එක් සිද්ධියක් අනෙක් සිද්ධියට එන ආකාරයේ අනුක්‍රමිකතාවක් දක්නට නොලැබෙයි. ඒ නිසා, එහෙයින්, ඉන්පසු, තවද වැනි අමුනන වචන එලියට්ගේ කවියේ නොමැත. එලියට්ගේ ප්‍රකට කාව්‍යොක්‍රමය නම්, කවියේ ප්‍රබල හඬ මතු කිරීමට පුරාණෝක්ති මාර්ග යොදා ගැනීමයි. පුරාණෝක්තිය වර්තමාන ජීවිතයේ දැක්වීමට මඟක් ලෙස මුලින් භාවිත කළේ ජේම්ස් ජොයිස් ය. එලියට් තමාගේ ප්‍රකට කෘතියක් වූ නිසරු බිම කෘතියේ පුරාණෝක්ති බහුලව යොදාගෙන තිබෙයි. මොහු සංකේත හා චිත්ත රූප යන මාර්ග ද්වයම නව කවියට අඩංගු කළේය.සංකේතාත්මක චිත්තරූප මඟින් සංකේතය තුළට ගැඹුරු අරුත් ගැබ් කිරීම එලියට්ගේ තවත් උපක්‍රමයකි. ප්‍රෙලූඩ්ස් ( Preludes) කාව්‍ය දේහය ඉහත කී ආකාරයේ චිත්ත රූප ඇමිණීමකි.

“The burnt out ends of smoky days

And now the gusty shower wraps the grimy scraps

of withered leaves about your feet

And news papers from vacant lots

The showers beat

on broken blinds and chimney pots

And at the corner if the street

A lowly cab-horse steams and stamps.”

“burnt out ends of smoky days” යනු චිත්ත රූපයකි. මෙහිදී උරා විසිකළ සිගරැට් කොට සමකර ඇත්තේ ගෙවෙන සැදෑවටය. සමස්ත කාව්‍යයේම එන චිත්ත රූප නාගරික පරිසරයේ අප්‍රියකර, නිසරු බව හඟවයි. එලියට් ඔහු යොදන පළමු චිත්ත රූපය බොහෝ උත්තම ස්වරූපයක් හගවා ඊළගට යොදන චිත්ත රූපය හා හාස්‍ය දනවන එකක් එකතු කරයි. බොහෝවිට මොහු කවියේ කිසියම් චරිතයක් හෝ චරිත දෙකක් යොදාගෙන එම චරිතවල මුවින් පිටවන ප්‍රකාශ ආකාරයට කවිය ගොඩනගයි. ඒ තුළින් කවියට නාට්‍යානුසාරී බවක් එකතු වෙයි. එලියට්ගේ කවියේ නිමිති බොහෝමයක් නාගරික පරිසරය හා සම්බන්ධය. මොහු කාව්‍යකරණයේදී දැඩි විරිත් අනුගමනය නොකළ අයෙකි. විරිතකට කොටු වී අදහස පලුදු නොකොට විරිත ද  තම අදහස උලුප්පන ආකාරයට එලියට් යොදා ගත්තේය. හොඳ කවිය හා හොඳ ගද්‍ය රචනා අතර සමානකමක් පවතී යන්න එලියට්ගේ අදහසයි.

ඔහු පැරණි ආකෘතිය තුළ කවිය සිර නොකරන අතර කවියට පැරණි ආකෘතිය බාධාවක් බව පෙන්වාදෙයි. එලියට් නිරූපණය කළ කාර්මීකරණයේ ගන්දස්කාරය වත්මන් සමාජයෙන් ද  වහනය වෙයි. ඔහුගේ කවිගේ සැගවුණු ධනවාදී රැල්ලේ ඉතිරි වුණු සුනුබුන් අනාගතයට අදටත් වඩා ගැටලු මතු කරනවා නොඅනුමානයි. ධනවාදී වසංගත, දුර්භීක්ෂ, නන්නාදුනන බෝම්බ පිපිරීම්, නාදුනන මළ සිරුරු, කහ රෙදි අතර කුණුකදුවල නොවිසදෙන එකී මෙකී නොකී පැටලැවිලි එලියට්ගේ කවිය තුළින් වහනය වෙයි. කාල්පනියත්වය මත දාර්ශනික චින්තාවක් මෙහෙයවන රසිකයාට එය වටහා ගැනීම අපහසු නොවෙයි.


- සෙව්වන්දි ප්‍රේමතිලක - 

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය


No comments: