Followers

Friday, July 30, 2021

මිහිරි ලලිත - ළමා ගීය ළමා ගී ස්වර

 


මිහිරි ලලිත - ළමා ගීය

ළමා ගී ස්වර 

❤👱



සිංහල ගේය පදමාලා සාහිත්‍යය පෝෂණය කළ ළමා ගීත රාශියකි. එවැනි ගීත නිර්මාණය කිරීම වැඩිහිටියන් උදෙසා ගීත නිර්මාණය කරනවාට වඩා ඉතා අපහසු කටයුත්තකි. දරුවන්ට ගෝචරවන පරිදි දරුවන් ලවා හෝ වැඩිහිටි ගායක ගායිකාවන් මඟින් ගැයුණු ගීත රාශියක් නූතනයේ අපට අසන්නට දකින්නට පිළිවෙන.  වැඩිහිටියන්ගේ ලෝකය පන්ති සමාජයේ බලලෝභීත්වය මුසු කර්කශ දුගඳ හමන ලෝකයකි. මේ ලෝකය පුරා පැවරී ඇත්තේ රාගය, ද්වේෂය, මෝහය පරයා යන තෘෂ්ණාවයි. මෙවැනි සමාජයක් මත රජයන්නේ ක්‍රෝධය, මාන්නය පමණයි. මීට සපුරාම වෙනස් ලෝකයක්, රමණීය ලෝකයක් නැවත අංශක එකසිය අසූවක් හැරී බැලුවොත් අපට ම දැක ගැනීමට අවස්ථාවක් පවතී. ඒ ළදරු හා ළමා ලෝකය යි.  එහි රජයන්නේ අහිංසාව හා ප්‍රේමයේ සුවඳ පමණයි. ළදරුවාට තමා අන්අය හා අන්දේත් අතර වෙනසක් නැත. හිස් සුදු කඩදාසි වැනි හිත් තුළ සිත්තම් කරන්නේ කුමන හැඟීම්, අදහස් උදහස් ද යන්න තීරණය වනුයේ නිර්මාණකරුවාගේ ප්‍රතිභාව මතයි. එපමණක් නොවෙයි වැඩිහිටියන්ට ද කාල්පනික ළමා ලෝකයට පිවිසීමට මේ ළමා ගීත මගක් හෙළිකරයි. 

හඳ පානේ වැලි තලා

සුර කුමරියො මල් සලා

මිහිරි ලලිත ගී ගයා

නටති මේ රැයේ...


 

බිළිඳු සිහිනයක් වාග් චිත්‍රනට යොදාගත් වචන මත ගැබ්වෙන ප්‍රාණය ළමා සිත පුබුදුවාලන්නේ ස්වභාව ධර්මය හා ළමා මනස ගැටගසමිනි. ධවල වර්ණයෙන් යුතු වැලිතලා මෙන්ම හඳපාන ද ඒ වර්ණයෙන් ම බබළයි. මුනින් නැමූ විසල් රන් පාත්‍රයෙන් කිරි දහර වැගිර දසත වසා පැතිර යන පරිද්දෙන් ලොව වසා ගලාගොස් සඳ පහන සුදු වැලිතලා මත පතිත වන කල්හි ඒ ලොව්තුරු දසුන් ළමා මනසට ආමන්ත්‍රණය කරන්නේ විචිත්‍රවත් සිතුවිලි සමුදායක් විකසිත කරමිනි. මේ දසුනෙන් කුල්මත් වන සුර කුමරියො මල් සලා වයමින්, මිහිරි ලලිත ගී ගයා නටන සුන්දරත්වය ළමා සිතක මැවෙන සිහිනයක විනා අන් කවර සිහිනයක හෝ තිබිය නොහේ.

 කුමුදු සමන් පෙළ සැදී 

සීතල සඳ රැස් වැදී 

කොමළ සිනා පා ලෙළ දේ 

සුවඳ විහිදුවා...


සඳ රැස් මැදට ගුලීවී තාලෙට සිනාසෙන කුමුදු සමන් මල් ළමා සිත චමත්කාරයට කැඳවන්නේ ආශ්චර්යයක් උද්වහනය කරමිනි. “සඳ කැළුමෙන් තෙමි තෙමී, සුර බිළිදෝ නැළැවෙති...” ලෙස යෙදීමෙන් සුර කුමාරියන්ගේ රැඟුම්, සඳරැස් නෑමෙන් හටගත් සිහිලසින් නිදිසුව විඳීම ළමා මනස කිති කවයි. මේ රාත්‍රිය නිසලය. සියලු හඬ නිහඬය. මෙබඳු රාත්‍රියක සියල් සිරිසර දිස්වන අන්දමට, ළමා ලොවට එබී බලා මෙන් පදබැඳි ගීයකි මෙය. කල්පනා යානාවක නැගී මෙබඳු ළමා ලෝකයකට මේ ගීය සමඟ වැඩිහිටියන්ට ද පියාසර කිරීමට නොමිලේ ගුවන් ටිකට් පතක් ලැබෙයි.

 ළමා මනස නිසිපරිදි දැනහැඳිනගත් කුමාරතුංග මුනිදාස අතින් ලියැවුණු මේ ගීතය සංගීතවත් කොට ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේවයන්ය. ළමා ගීතයට වස්තු විෂය ලෙස දරුවාගේ මනසට කතා කළ හැකි වපසරියක පවතින වස්තු සංකලනය කරමින් පබැඳි මේ ගීය රිද්මය, ආකෘතිය මෙන්ම ධ්වනිය අතින්ද ළමා මනසට ප්‍රබල ලෙස ගෝචර වෙයි. තවද සරල භාෂා භාවිතය, අනුප්‍රාස රසය යොදා ගැනීම හා පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වින්දනාත්මක පාර්ශවයෙන් ඉහළ මෙම ගීතය ළමා මනසේ කුකුස බිඳ දැමීමට තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරන සුන්දර ප්‍රතිභාවක ආලෝක ධාරාවකි. මෙවැනි රසාස්වාදයකට නැඹුරුවන දරුවාගේ සිත දයානුකම්පිත වනවා නොඅනුමානයි.

යූ.ආර්.එස්.ඩී ප්‍රේමතිලක

Wednesday, July 21, 2021

පන්සිය පනස් ජාතක පොත


පන්සිය පනස් ජාතක පොත




පන්සිය පනස් ජාතක පොත නමින් ලක්දිව ජනයා අතර ප්‍රසිද්ධ මෙම කෘතිය ජාතකට්ඨකථා යන නමින් හැඳින්වෙන පාලි කෘතියෙහි සිංහල පරිවර්තනයයි. ජාතක කතා පන්සිය පනහකට ආසන්න සංඛ්‍යාවක් මේ පොතේ ඇත. සිංහලයෙන් මෙතෙක් ලියවී ඇති විශාලතම බණ පොත මෙයයි. බෞද්ධයන් මෙය ජාතක පොත් වහන්සේ නමින් හඳුන්වා තිබීමෙන් පෙනෙන්නේ මේ කෘතිය කෙරෙහි ඇති අති විශාල ගෞරවාදරය යි.

 

මේ කෘතිය පිළිබඳ මහාචාර්ය ආනන්ද කුලසූරිය මහතා දක්වන්නේ මෙවැනි අදහසකි, 

“ජාතක පොත තරම් මනුෂ්‍ය වර්ගයා අතර පැතිර ගිය කතා සමූහයක් සොයාගන්නට නොහැකිය. දඹදිව පොදු මහජනතාව අතරින් බිහි වී ඔවුන්ගේ ඕනෑ එපාකම් සිතුම් පැතුම් රුචි අරුචිකම් යනාදී හැඟීම්වලට අනුව ජන ජීවිතය පිළිබිඹු කෙරෙමින් ඔවුන් අතර බොහෝ කලෙක සිට පැවතෙමින් ආ කතා රැසකට විශේෂ ආකෘතියක් ගෙන දුන්නේ බෞද්ධයෝය. ඒ කතා වලට බෞද්ධයන් දුන් ආකෘතිය ජාතක නමින් හැඳින්වීම සුදුසු ය.”


 ජාතික පොත කියවීමෙන්.., 

බෞද්ධයන්ගේ විශේෂ සැලකිල්ලට ගෞරවාදරයට පාත්‍ර වූ මේ කෘතිය කුමන වටිනාකමක් ඇති කෘතියක් ද? මෙහි අභ්‍යන්තර වටිනාකම කුමක් ද? සිංහලයන්ගේ ශ්‍රද්ධා ශීලාදි ගුණයෙන් වඩා ලීමට කරුණා මෛත්‍රී ආදී උත්තම මානව ධර්මයන් පෝෂණය කිරීමට ද මෙම කෘතිය මහත් පිටුබලයක් වූ බව නොරහසකි. සාමන්‍ය පොදු මිනිසුන්ගේ දැනුම දියුණු කොට චරිත සංවර්ධනය කිරීමෙහිලා මෙම කෘතිය වඩාත් උපකාරී විය. සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිය පතුරවන්නට එදිනෙදා ජීවිතයෙහි නොයෙක් විට තමනට මුහුණ දෙන්නට සිදුවන විදිහේ ගැටළු කම්කටොළු මැදිහත් සිතින් තැන්පත් නුවණින් ඉවසන්නට, සැපදුක දෙකෙහි කවර විටෙක දී වත් සීමාව ඉක්මවා යන්නට ඉඩ නොතබන හික්මීමේ ගුණය ඇති කරන්නට වංචාවට ගොදුරු නොවී තැනට සුදුසු නුවණ මෙහෙයවා කටයුතු කරන්නට මිනිස් වර්ගයාට සදාචාර සම්පත්තියෙන් යුක්ත ව හැසිරෙන්නට ලංකා වාසීන් පුරුදු වූයේ ජාතක පොත ඇසුරු කිරීම නිසාය.


මේ අරභයා මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා දක්වන අදහස් මදක් විමසා බැලීම වටී...

  “බුදුසමය මෙහි පිහිට වූ අවධියෙහි පටන් ම ජාතක කතා සිංහල බෞද්ධයන් අතර මහත් සේ ජනප්‍රිය වූ බව සිතිය හැකිය. ඉගෙනිම වූ කලී සැදැහැ බැතිය ලියලාවන චරිතය හැඩගන්වන නුවණ මුහු කරවන අත්දැකීමක් සේ ඔවුන් සිතූ බව පෙනේ. භාරතීය හින්දූන්ගේ චරිතවත් බුද්ධිමත් සකස් කිරීමෙහිලා මහාභාරතය රාමායනය යම් ආනුභාවයකින් සෑහේ ද සිංහල බෞද්ධයන් ගේ චරිතයත් බුද්ධියෙන් සැකසීමෙහිලා ජාතක පොත ද එවැනිම ආනුභාවයක් පා ඇත.”


පන්සිය පනස් ජාතක පොත මෙසේ ලාංකික සමාජයේ ජාතික චරිතය නිර්මාණය කිරීමට බොහෝ සෙයින් ඉවහල් උතුම් ධර්ම ග්‍රන්ථයකි. සැබැවින්ම ජාතක පොතෙහි අන්තර්ගත වන්නේ සමාජයේ ජීවත්වන මිනිසුන්ට මෙලොව වශයෙන් ජීවිතය සාර්ථක කර ගැනීමටත් පරලොව වශයෙන් සුගතියක් ලැබීමටත් අවශ්‍යය හොඳ නරක මිස අන් කිසිවක් නොවේ. මිනිසුන් මත පවතින යහපත් ගුණ හා දුර්ගුණ පවුල් ජීවිතය කෙරෙහි බලපාන හැටි දේවධර්ම වැනි ජාතක කතාවකින් විද්‍යමාන වේ. බලය අයුතු ලෙස යොදා ගැනීමෙන් සිදුවන විනාශය ගන්ඩතීන්දු ජාතකයෙන් අනාවරණය කරන්නේ නූතන පරපුරක් සිහි කැඳවමිනි. පවට ඇති ලැජ්ජාව හා බිය නිසා පවින් දුරු වී මෙලොව ජීවිතය යහපත් වන ආකාරය දේවධර්ම ජාතකය පුරාම තැවරී තිබේ. සිංහල ජාතක පොත ඈත අතීතයේ පටන් බෞද්ධයන් අතර හොඳින් භාවිතා වූ බණ කතා සංග්‍රහයක් බව සර් ඩී. බි ජයතිලක මහතා දක්වන මතු දැක්වෙන අදහස් වලින්ද සනාථ වේ.


  “පන්සිය පනස් ජාතක පොත එතැන් පටන් ගත වූ අවුරුදු පන්සියයකට වැඩි කාලයක් මුළුල්ලෙහි සිංහල ජනයා අතර අනිත් සියළු ම පොත්වලට වඩා බහුල වශයෙන් භාවිතා වූයේ ය. විහාරස්ථානවල ද බෞද්ධ ගෘහවල ද ජාතක පොතෙන් බණ කීම බණ හා බණ ඇසීම පුරුද්දක්ව පැවතුනේය. ඇසූවූවන්ගේ හික්මීමත් චිත්ත විනෝදයත් එකසේ සැලැස්සූ මේ සත්චාරිත්‍රය මෑත කාලයෙහි අන්‍ය බොහෝ යහපත් සිරිත් මෙන්ම සිංහල ජනයා කෙරෙහි පහව ගොස් තිබේ.”


 ජාතක කතා මිනිස් චරිතය ගුණධර්මවලින් පෝෂණය කළ හොඳ ධර්ම ග්‍රන්ථයක් බව යට දැක්වූ විස්තර මඟින් හොඳින් විද්‍යමාන වේ.





   ජාතක කතා ප්‍රභවය වූයේ කෙසේද?..,

ජාතක කතා යනු අප බුදුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ කතා හැටියට අප කවුරුත් විශ්වාස කරති. එහෙත් ජාතක කතා පිළිබඳ කළ සමීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇත්තේ මේවා භාරතීය ජන කතා ඇසුරින් ප්‍රභවය වූ කතා විශේෂයක් හැටියට ය. බුදුන් වහන්සේත් සෙසු උන්වහන්සේලාගෙන් ශ්‍රාවකයන් වහන්සේලාගේ බණ දේශනා කිරීමේදී නිදර්ශන වශයෙන් මෙම කතා උපයෝගී කර ගත්හ. මේ අනුව භාරතයේ පුරා පැතිර තිබූ විවිධ ජනකතා බුද්ධ ධර්මය වෙතට පිවිසියේ ය. මෙසේ පැමිණි ජනකතා වර්තමාන ජාතක කතා ස්වරූපය ගන්නේ අනුක්‍රමයෙනි. ජනකතා ජාතක කතා බවට පරිවර්තනය කිරීමේ දී අමුතු අංග තුනක් එකතු විය.

  ඒවා නම්,

 1. වර්තමාන කතාව 

2. අතීත කතාව

3. සමෝධානය 


අප දන්නා සිංහල පන්සිය පනස් ජාතික පොතේ මේ ලක්ෂණ සියල්ල දක්නට ලැබේ. පළමු කොට ඇත්තේ වර්තමාන කතාව. බුදුන්වහන්සේගේ කාලෙ සිදු වූ කෙටි සිද්ධියකින් මෙය ආවරණය කරයි. මෙම සිද්ධිය පාදක කරගෙන අතීත කතාවක් කියයි. මෙම අතීත කතාව තමයි නියම ජාතක කතාව වන්නේ. සාහිත්‍යමය වශයෙන් වටින්නේ ද මෙම අතීත කතාවයි.  ජාතක පොතේ වර්තමාන කතා අතරද හොඳ කෙටිකතාවලට සමකල හැකි කතා දක්නට ලැබෙයි. එහෙත් පැරණි භාරතීයයන් පැසුණු බුද්ධියෙන් නිමවූ නියම කතාව අතීත කතාවයි. අතීතයත් වර්තමානයත් සම වන කොටස හමුවේ. එය පූර්ව අපර සන්ධි ගැළපීම නම් වේ. එය හැඳින්වෙන්නේ සමෝධානය නමිනි. මෙසේ භාරතීය ජනතාවගේ පොදු ඥානයක් පැවැති කතා බුදුසමය වෙතට පිවිසුණු ජාතක නමින් වෙනම සංගෘහිත විය. බුදුසමය නවංග සත්ථුසාසන නමින් කොටසක් නවයකට බෙදා දැක්වීමේ ඉතා පැරණි ක්‍රමයක් ඇත. එම අංග නවයෙන් හත්වැනි අංගය වශයෙන් ගැනෙන්නේ ජාතක නම් කොටසයි. මෙසේ පැමිණි ජාතක නම් ග්‍රන්ථය භාරව ජාතකභාණක නම් භික්ෂු කොට්ඨාසයක් ද සිටි බව ඉතිහාසයේ දැක්වේ. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සත වර්ෂයේ දී ලක්දිවට බුදුසමය රැගෙන වැඩියා වූ මිහිඳු මහා හිමියන් ප්‍රමුඛ ධර්මදූතයන් වහන්සේත් ත්‍රිපිටකයේ අන්‍ය ග්‍රන්ථ මෙන්ම ජාතක නම් ග්‍රන්ථය ද මෙහි ගෙන ආහ. අනුරපුර මහා විහාරයේ වැඩ සිටි තෙරවරු මිහිඳු මාහිමියන් ගෙන ආ අටුවා ග්‍රන්ථ සිංහලයට නැඟූහ. මේ අනුව ජාතක කතාවලට පසුබිම පැවති කතා ද පැරණි සිංහලයට නැඟිණැයි විද්වත්තු විශ්වාස කරති. එසේ නැගුණු ජාතක අටුවා දැනට අභාවප්‍රාප්ත හෙළ අටුවා අතරට වැටේ. සිංහලයට නගන ලද ජාතක කතා ලක්දිව භික්ෂූන් විසින් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන එන ලදුව වළගම්බා රජ දවස ග්‍රන්ථාරූඪ කරන ලද බව පැවසේ. ක්‍රිස්තු වර්ෂයෙන් පස් වැනි ශතවර්ෂයේදී දඹදිවින් මෙහි පැමිණි බුදුගොස් මාහිමියන් පාලියට නැඟූ වේ එසේ සිංහලෙන් පැවති අටුවා ය. සිංහලෙන් පැවති පැරණි ජාතක අටුවාව පාළියට පෙරළීමක් බුදුගොස් බුද්ධඝෝෂ මාහිමියන් ගේ පරිවර්තන ව්‍යාපාරයෙන් ප්‍රතිඵලයක් විය. හෙළ අටුවා පෙරළා පාලි ජාතකට්ඨ කතාව නිර්මාණය වූයේ ද ඒ හිමියන් අතිනි. මෙම පාලි ජාතකට්ඨකතාව සිංහලයට පරිවර්තනය වූයේ කුරුණෑගල සමයේ දී ය. එනම් සිංහල පන්සියය පනස් ජාතක පොත කුරුණෑගල රජ කළ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු හෙවත් සතර වන පරාක්‍රමබාහු මහ රජු දවස ක්‍රිස්තු වර්ෂ 1302 දෙක 1326 නිර්මාණය විය.


 සිංහල ජාතක පොත..,

සිංහල පන්සිය පනස් ජාතක පොතේ නම එසේ වුවද සිංහල ජාතක කථා 550 ක් ම එහි නැත. පන්සිය හතළිස් හතක් (547) පමණක් එහි ඇත. මෙම කතා සංග්‍රහයට 550 යනුවෙන් මතක තබා ගැනීමට පහසු රවුම් ඉලක්කමක් අවශ්‍යය නිසා දමන්නට ඇත. එහෙත් අපේ පොතේ නැති ජාතක කතා සමහර රටවල තිබේ. සියම් රටේ ජාතක කතා 50 අපේ සිංහල ජාතක පොතේ නැත. මෙහි කතෘත්වය පිළිබඳ විවිධ මතභේද පවතියි. චූලවංශය දැක්වෙන්නේ මෙම කාර්යය පරාක්‍රමබාහු නිරිඳුන් ගේ පරිවර්තනයක් බවත් එහෙත් ජාතක පොතේ දැක්වෙන්නේ ඊට වෙනස් අදහසකි පන්සිය පනස් ජාතක ධර්ම දේශනාව එළුවෙන් දක්වන්නට වුව මැනවැ යි කියා පරාක්‍රමබාහු නම් ඇමති සත්පුරුෂයාගේ ආරාධනාවෙන් හා වීරසිංහ පතිරාජ නම් අමාත්‍ය උත්තමයාගේ උත්සාහයෙන් අටුවා සාමීන් ලියූ ජාතක නිසා ම නොවරදවා එළුවෙන් ලියූ ජාතක කතාත් සත්පුරුෂ වූ මනුෂ්‍යයවිසින් කන්යොමා සිත් එළ ඇසිය යුතුය. මේ නිසා අපට පෙනෙන්නේ ජාතක පොත පැරකුම්බා රජුගේ අනුග්‍රහයෙන් එකී ඇමති දෙපළගේ උත්සාහයෙන් භික්ෂූන්ගේ ද ප්‍රධානත්වයෙන් කිසියම් පරිවර්තන මණ්ඩලයක් විසින් කළ කටයුත්තක් බවයි. සිංහල ජාතක පොතේ ඇති විවිධ ශෛලීන් එවැනි විශ්වාසයක් ද තහවුරු කරයි. 


ජාතක කතාවල සාහිත්‍යමඅගය..,

ජාතක කතා පිළිබඳ අපේ පැරණි ශ්‍රද්ධා සම්පන්න ශ්‍රාවක ශ්‍රාවිකාවන් වෙත පැවැති මතය නම් මෙය මහඟු ධර්ම ග්‍රන්ථයක් බවයි. එය සත්‍යයකි. අනාදිමත් කාලයක සිට අපේ පැරැණි සමාජය ම හැඩගස්වා සාරධර්මවලින් පෝෂණය කොට ජාතික චරිත නිර්මාණය කළේ මෙම මහඟු ධර්ම ග්‍රන්ථය බව පොදු සත්‍යයකි. 

එහෙත් මෙම ග්‍රන්ථය කියවා සොයා බැලූ උගතුන් පවසන්නේ මෙය ලෝක සාහිත්‍යයට පවා එක් කළ හැකි වටිනා ග්‍රන්ථයක් බවත්, මෙම කරුණු විග්‍රහ කිරීමට පෙර මාර්ටින් වික්‍රමසිංහ සූරීන් මේ පිළිබඳ දක්වා ඇති අදහසක් ගෙන හැර දැක්වීම මැනවැයි හැඟේ.

                            “උසස් නවකතා විස්සක් කියවන තරුණයාට වුවද හැට හැවිරිදි වියෙහි වූවෙකුගේ අත්දැකීමක් පැසුණු නුවණක් ලබයි. ඒ හේතුවෙන් ඔවුහු ප්‍රචණ්ඩ භාවයෙන් තොර වූ කෙලෙස් ඇත්තෙක් වෙයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, රාගය නඟින විට ඒ හැම එකක්ම වැඩ ගනී. මෙහි සමතෙක් වෙයි. ජාතක පොත විචාර බුද්ධියෙන් කියවීමෙන් අර අත්දැකීම් ලබා වඩාත් හොඳ තැන්පත් නුවණැත්තෙක් වූ වන අතරම හොද නවකතා කියවීමෙන් ලබන ආස්වාදයටම ළං වන ආස්වාදයක් ද ලැබිය හැකිය. දෙසියක් අවුරුදු ජීවත් වීමෙන් ලැබිය හැකි අත්දැකීමටත්, මානව චරිතය පිළිබඳ දැනුමටත් තැන්පත් නුවණක් ද ජාතක පොත ඉගෙනීමෙන් ලැබිය හැකිය. ”

(බණකතා සාහිත්‍යය)


 ජාතක කතා වනාහි ඉතා ඈත අතීතයේ භාරතීයයන් විසින් නිපදවන ලදුව අවුරුදු දෙදහස් ගණනක් භාරතීයයන් හා ලාංකිකයන් අතර වැඩී පෝෂණය වී ආ නිර්මාණයක් වේ. එහෙයින් ඒවා මත පැරැන්නන්ගේ අනාදිමත් කාලයක සිට ජීවිතයෙන් ලද ගැඹුරු අත්දැකීම් හා සුනිශිත නුවණ කැවී ඇත්තේය. මනුෂ්‍යත්වය පතුලේ ස්පර්ශ කොට එහි සැඟවුණු තතු දිවැසින් මෙන් පසක් කොටගත් මංජුසා වැනි වූ ජාතක පොත ඒවාට පිටු දුන් අත්දැකීම්වලට පෘථුල බවත් ගාම්භීරත්වයක් එමගින් ප්‍රකාශයට පත් වන සියුම් වූ බුද්ධියෙන් හා ඇතැම් කරුණු මඟින් ඇතැම් රුසියානු ප්‍රබන්ධ කතාකරුවන්ගේ නොයෙක් නිර්මාණයන්ට සමවන බව මාර්ටින් වික්‍රමසිංහයන් නොයෙක් ලෙසින් පෙන්වා දී ඇත. 


“ලෝක සාහිත්‍යයේ ඇතුළු විය යුතු සිංහල පොතක් වෙතොත් එය ජාතක පොත හැර අනිකක් නොවේ හැබැයි එහි එන සියලුම කතා ලෝක සාහිත්‍යයේ ඇතුළුවන කතා ගණයෙහිලා සැලකිය නොහැකිය. හොඳම කතා තෝරාගෙන අනික් රටවල ශූර ලේඛකයන් හොඳම සරල රීතියෙන් තම නිර්මාණයන්ගේ භාෂාවට නැගුවහොත් ජාතක කතා ලෝක සාහිත්‍යයෙහි පැරණි කථා වස්තූන් අතර උසස්ම තැනක් ගන්නේ ය.”

    (ජාතක කතා විමසුම) 


වික්‍රමසිංහයන්ගේ මෙම ප්‍රකාශයෙන් ද සනාථ වන්නේ අප සතුව ඇති එකම පැරණි විශිෂ්ටතම සාහිත්‍යය ග්‍රන්ථය ජාතක පොත බවයි. බුත්සරණ හුදු ධර්ම දේශනයට පමණක් උගතුන් අතින් රචනා වූ කෘති වෙයි. ඒවා වෙනස් වන ලෝකයට අනුව වෙනස් නොවන නිසා අභාවයට යයි. ඒත් ජාතක පොත සිංහලයාගේ කට බස තියෙන තාක් අභාවයට නොඑන බව මාර්ටින් වික්‍රමසිංහයෝ පෙන්වා දෙති. ජාතක කතාවල ඇති එක් විශේෂයක් නම් මිනිස් සිත අනාවරණය කිරීමයි. මෙබඳු කතා ලෝක සාහිත්‍යයේ පවා උසස් කෘති ලෙස සැලකේ. එබඳු කතා ජාතක කතා අතර ද බහුලව දකින්නට ලැබේ. මිනිස් සිතේ ගුප්ත බව අනාවරණය කරමින් ගැඹුරු ජීවිතාවබෝධයක් ජාතක කතා කියවීමෙන් ලැබිය හැකිය. ඊර්ෂ්‍යාව, තෘෂ්ණාව යනාදී කෙලෙස් උනට ආකාර වන මිනිස් සිත බුද්ධියෙන් දැකිය නොහැකි තරම් ගුණධර්මයකි. මිනිස් සිතේ මේ තරම් රහස් තැන් හෙළි කරන පුවත් වස්තු කොට ගෙන රචිත කතා දක්නට ලැබෙන්නේ බටහිර උසස්ම ලේඛකයන්ගේ නවකතා අතරය. ගී ද මෝපසාන්, තෝල්ස්තෝයි, චෙකොෆ්, දොස්තොවුස්කි, ෆ්ලෝබෙයා ආදීන්ගේ කෘතිවල එන එබඳු උසස් කතාවලට සමකල හැකි කතා ඇති එකම පැරණි කතා සංග්‍රහය ජාතක පොතයි. රාගය වැනි භයංකාර මනෝභාවයන් ජාතක කතාකාරයා ඉතා ශූර ලෙස ම තම කතාවලින් ආවරණය කරයි. එම කතා වර්තමාන මනෝවිද්‍යාවට අනුකූල වන හැටි සසඳා බැලීමෙන් දැනගත හැකිය.

  කලාබු රජු අන්ත‍ඃපුර කතුන් සමග මඟුල් උයනේ රමණය කරයි. රජු කාමාක්ස්වාදයෙන් වෙහෙස වී නිදි වැදුණු කළ සමහර ගෑනු ගොස් උයනෙහි කෙළවර උන් තවුසෙකු දෙසන බණ අසන බව අසා රකුසෙකු සේ කිපෙයි. රජ්ජු වදකයන් ගෙන්වා ඔවුන් ලවා තවුසාගේ අත් පා කප්පවයි. තවුසා කෙරෙහි වඩාත් කිපෙන රජ, උඹේ ශාන්තිය තියෙන්නෙ මෙතන දැයි අසමින් ඇටෙන් පිපිරෙන තරම් හයියෙන් පපුවට පයින් අනියි. 

මේ ජාතක කථාවන්ගෙන් කෙරෙන චිත්ත චෛතසික විභාගය ළං වෙන්නේ රුසියාවේ හා ප්‍රංශයේ ඇතැම් නවකතාකාරයන් මනුෂ්‍යන්ගේ ආධ්‍යාත්මයෙන් සැත්කමකට හසුරන්නාක් මෙන් මීට අවුරුදු හැට හැත්තෑවකට පෙර ලියූ නවකතාවල එන ඇතැම් පුවත් වලටය. කෙළෙසුන් පවන මුනිවරයා අතීත ඉන්දියාවේ ජනයාගෙන් පිදුම් ලැබුවේය. එවැන්නෙකු ගෙන් තමාගේ ගෑනුන් බණ අසා ඇතැයි අසා රජු කිපෙන්නේ ඉතා සංකීර්ණ චෛතසික ධර්මයන් ගෙන් සංකරණය නිසාය. ගැහැනුන් තමන්ගේ තනි පරිහරණයට කැප වූවන් ලෙස සැලකූ කලාබු රජු ගේ අහංකාරකම තනිකර ඔවුන් භුක්ති විඳීම පිළිබඳ ඉරිසියාව, පලිගැනීමේ චේතනාව, කෙළෙස් තැවීම, යන මතය නිසා තමා මත්තේ හටගත් නිවට හැඟීම යනාදී චෛතසික එයින් සමහරකි. කාමුකයෙකු වූ ඔහු මහත් වූ කායික වේදනා විඳින තවුසා දෙස බලා ආස්වාදයක් ලබයි. බටහිර උසස්ම මනෝවිද්‍යාඥයන් අනාවරණය කරන තතු බොහෝ පැරණි ජාතක කතා වල අන්තර්ගත වී තිබෙන ආකාරය මේ කතා මඟන් අපට දැක ගත හැකිය. මෙබඳු කතා සංග්‍රහයක් අප රටේ නොව ලොවේම නැති බව පෙර අපර දෙදිගම උගතුන් ගේ අදහසයි. තවත් ජාතක කථාවක් විමසීමෙන් මේ කරුණ සනාථ කළ හැකි ය.  


අසනඝ ජාතකය මිනිස් සිත විභාග කරන කදිම කතාවකි. අසනඝ කුමාරයා උපන් දා සිට ගැහැණුන් නුරුස්සයි. ගැහැනියක කිරි පොවන කල්හි ඔහු නළවන්නට බැරිතරම් හඬයි. එහෙයින් ඔහුට කිරිපොවනු ලැබූයේ මව්කිරි මුවා කොට ඇගේ පියයුරු තිරයෙන් මෑත් කොට දීමෙනි. හේ ගෑණුන්ගෙන් තොරව පිරිමින් ම අත වැඩේ. උපතේ පටන් නිමල් බඹසර රක්නා බ්‍රහ්මයෙකු මිනිස් පියසට බටුවාක් වැනිය. එහෙත් හදිසියේ අප තුළ ප්‍රබල තිගැස්මක් ඇති කරමින් සියලු තතු නොසිතූ අතට පෙරළි තරුණ අසනඝ කුමාරයාගේ කුටිය අසල සිට ගී ගයන යුවතියකගේ මියුරු සර කන වැකුණු සැණින් ම කුමාරයාගේ බඹසර බිඳෙයි. ඔහු ඇය ගෙන්වා ඇය සමග තමා මෙතෙක් ගැරහූ ග්‍රාම ධර්මයෙහි යෙදේ. එපමනකින් සියල්ල හමාර වන්නේ නැත. කුමාරයා කඩුව අමෝරාගෙන නුවර වීදිවලට බැස මෙවැනි කාම සැපතක් මා මිස අන්‍යයන් අනුභව නොකළ මනා යැයි කියා දුටු දුටු පිරිමින් පෙති ගසයි. මේ කතා සිඟිත්ත වූ කල්හි රාග, ද්වේෂ, මෝහා දී තතු මැනවින් හෙළි කරන්නකි. රාගය යටපත් කොට තිබෙන තාක්කල් හොඳය. එහෙත් ඒයට පිබිදෙන්නට ඉඩක් ලැබුණ හොත් එයට සාමාන්‍යය ලෙස ක්‍රියාත්මක වන්නට ඉඩ දුන්නා නම් එයින් වන්නට තිබුණු අයහපතට වඩා භයංකර විපත් වලට මග පාදයි. එවිට එය ගිනි කන්දක් සේ අන්‍යයන් කෙරෙහි පුපුරයි. එයින් ලෝ වාසීන්ට කවර විපත් එල්ල වේ දැයි කියන්නට බැරිය. එවැනි විපත්වලට ගොදුරු වනවාට වඩා රාගය සාමාන්‍යය මාර්ගවලින් තෘප්ත කිරීම  නොමැනවි ද? රාගයක් අන්‍ය ක්ලේශයනුත් මැඩීමට තිබෙන්නේ දෙමගක් පමණකි. එක් මඟකි සාමාන්‍යය මාර්ගවලින් තෘප්තියට පත් කිරීමයි. නැතහොත් මනසින්  විදසුන් නුවණින් ඒ රාගාදීයෙහි තතු පසක් කොට ගැනීමෙන්. මේ අතර මැද පිළිවෙතක් නැත. රාගය ඔබා තැබීම අතිශය භයංකර වූවකි. එයින් සිදුවන්නේ නපුරක්මය. අසනඝ  ජාතකයෙන් අපගේ නුවණට කිඳා බස්වන්නේ මනුෂ්‍යය ස්වභාවය සම්බන්ධ මෙබඳු සැබෑ කරුණු ය. මේ නිසා අපගේ ඥාන මණ්ඩලය තව තවත් ප්‍රසාරණය වෙයි. මෙබඳු කතාවලින් ලැබෙන ඥානය බොළඳ නවකතා සියයක් කියෙව්වද අපට නොලැබේ.


 සනාතන සිංහල ගද්‍ය..,

   පොදු සිංහල ජනයාගේ සිත ඇතුළතට පිවිසියාක් මෙන් පැරණි නිහතමානි භික්ෂූන් විසින් ව්‍යවහාර බසින් ලියන ලද බැවින් ජාතක කථා සංග්‍රහය සනාතන ග්‍රන්ථයක් වෙයි. ඒ කතාවන්ට වස්තු වූයේ කිසිකලක පරණ වීමෙන් අභාවයට නොවන ජීවන ප්‍රවෘත්ති බැවින් ද එය සනාතන ග්‍රන්ථයක් වෙයි. චරිත අභ්‍යන්තරය ගැඹුරින් විශ්ලේෂණය කිරීමට ජාතක කතාකරුවන් සමත් වූ අයුරු සිංහල ජාතක පොත විමසීමෙන් ප්‍රතීයමාන වෙයි.

 සිංහල ජාතක පොත වනාහි මිනිස් සිත හෙවත් චරිත අභ්‍යන්තර ඉතා හොඳින් නිර්මාණය කරන ලක්දිව එකම පැරණගද්‍ය කාව්‍යය ලෙස සැලකේ. මිනිස් සිත නැමැති අඳුරු අගාධ ගුහාව වෙතට පාඨකයා ගෙන ගොස් එහි ඇති තතු අනාවරණය කරයි. මනුෂ්‍යය චිත්ත සන්තානයේ ගුප්ත බවත් අගාධ බවත් හෙළි කරන ඇතැම් ජාතක කතා ළං වන්නේ බටහිර උසස්ම වන කතාවලටය.

මාර්ටින් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන ආකාරයට මනෝ විද්‍යාවට අනුව විවේචනය කළ යුතු චරිත ජාතක කතාවල සුලබ වුවද ඒවා එකකවත් නවකතා කලාව අනුව ලියැවී නැත. අද්භූත ප්‍රවෘත්තීන් ගළපා කතා ලියන ලේඛකයන් මිථ්‍යා කතා ලෙස සලකා බැහැර කරන ඇතැම් බෞද්ධ කතාවල, මානසික විද්‍යාඥයින්ට පමණක් විශේෂ වූ ගුප්ත මානසික ලෝකයක ප්‍රවෘත්තීන් පන්සිය පනස් ජාතක පොතෙන් දක්නට ඇත. පන්සිය පනස් ජාතක පොතෙහි එන ගන්ඩතීන්දු ජාතකය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කිරීමට ප්‍රථම මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පහත දැක්වෙන ප්‍රකාශය ගෙනහැර දැක්වීම මැනවි යැයි හැඟේ.


 “ලෝක සාහිත්‍යයෙහි ඇතුළු විය යුතු සිංහල පොතක් වෙතොත් එය ජාතක කතා පොත හැර අනෙකක් නොවේ...”


 ගණ්ඩතින්දු ජාතකය අරමුණ..,

      මෙම ජාතක කතාවේ අරමුණ රාජ පාලනය සඳහා අර්ථවත් උපදේශයක් ධ්වනිත කිරීමය. වර්තමාන කතාවේ ඒ බව මෙසේ සඳහන් වේ,

       “රජු දරුවන්ට දිය යුතු අවවාදයක් අරභයා මේ ජාතකය වදාළ සේක”


 අතීත කතාවේ පඤ්චාල නම් රජ කෙනකු පිළිබඳ දක්වමින් රාජ පාලනය අධාර්මික ලෙස ගෙන යන ආකාරය දක්වා ඇත,

 “පඤ්චාල නම් රජ්ජුරු කෙනෙක් ඡන්දයෙන් අගතියට ගොස් අධර්මයෙන් රාජ්‍යය කරන්නාහ.”


  මෙම විස්තරවලින් පෙනෙන්නේ මෙම කතාවේ අරමුණ අධාර්මික රජකුට රාජ්‍යය පාලනය අරබයා උපදෙස් ලබා දීමයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ අතීතයේ සිට නූතනය දක්වා ම මෙහි වලංගුභාවය එකසේ ම රඳා පැවතීමයි. කතා සන්දර්භය අතීත කතාව ජාතක කතාකරු ඉතා පැහැදිලි සන්දර්භයෙන් සකසා ඉදිරිපත් කරයි. ප්‍රථමයෙන්ම රජුගේ අධාර්මික වූ පාලනය පාඨකයාට මෙසේ දැනගන්නට සලස්වයි.


 “ඒ රජ්ජුරුවන්ගේ යුවරජ සෙනෙවිරත් ආදීහු අධර්මයෙහි නිරත ව දනවු වාසි සත්ත්වයන්ගෙන් අපමණ බඳු පඬුරු ගෙන බොහෝ පීඩා කරන්නාහ. එකල්හි රාජ්‍යයවාසී සත්ත්වයෝ රාජ පුරුෂයන් කෙරෙහි භයින් තම තමන්ගේ අඹු දරුවන් අරගෙන වල් වැද ඒ ඒ තැන්හි බයෙන් ඇවිදිනාහ. ”


මීළඟට ජාතක කතාකරු රජුගේ මෙම ඡන්දයෙන් අගතියට ගොස් සිදු කරන අධර්මිෂ්ඨ පාලනය යහමගට ගැනීමට දේවතාවෙකුගේ චරිතයක් නිර්මාණය කරයි. රසිකයාගේ සිතට අද්භූත රසය කැඳවමින් එම චරිත රාත්‍රීයෙහි රජු ඉදිරියේ සිට මහත් ආලෝකයක් විහිදුවා මෙසේ ප්‍රකාශමාන කරයි.

 “රජ්ජුරුවෙනි අවුරුදු පතා තොපගේ බලි ග්‍රහණයට කොට මේ තිඹිරි ගස වසන්නා වූ වෘක්ෂ දේවතාවා නම් මම ය. තොපට අවවාද දෙන පිණිස ආමි.”


 මායා යථාර්ථවාදී න්‍යාය පිළිබඳ සාකච්ඡා කරන නූතනය ප්‍රවිෂ්ට විය යුත්තේ පුරාතන අක්මුල් වෙත බව ජාතක පොත පරිශීලනය කිරීමෙන් මනාව ප්‍රතීයමාන වේ. දේවතවගේ විස්තරය අසා බොහෝ කලකිරුණු රජු රාජ්‍යය අමාත්‍යංශයට පාවාදී පුරෝහිත බමුණා සමඟ වෙස් වලාගෙන ජනතාව අතරට යයි. මේ රජු ඉතා නම්‍යශීලී යහපත් රජකු බව මෙයින් හෙළි වේ. අනතුරුව ජාතක කතාකරු තම කතාව ඉතාම පැහැදිලි සංදර්භයක් නිර්ණය කොට අතුරු කතා හයකින් කතාව විකාශනය කරයි.

පය කටුවක් ඇනුණු පිටිසර මහලු මිනිසා පිළිබඳ කතාව 

වැඩිවිය පත් වූ දූ දෙදෙනෙකු සිටින මහළු ස්ත්‍රිය පිළිබඳ කතාව

 හී වැලෙන් මිඳී පය බිඳුණු ගවයෙකු අයිති ගොවියා පිළිබඳ කතාව 

කිරි මුට්ටිය බිඳ දමා ගිය කුළු දෙන අයිති ගොපල්ලා පිළිබඳ කතාව 

 රාජ පුරුෂයෙකුගේ අතින් ගව පැටවා මැරුණු අවස්ථාව නිරූපිත කතාව 

 කපුටාගේ ග්‍රහණයට හසුවූ මැඩියා පිළිබඳ කතාව 

මෙම කතා හුදු ධර්මය දේශනා කිරීමට භාවිතා නොකොට කතා රසය ජනිත වන ආකාරයෙන් ජීවමානව ඉදිරිපත් කොට රාජ පාලකයාට අධාර්මික ස්වරූපය ඒත්තු ගන්වා රාජ්‍යය පාලනය අරඹයා ගැඹුරු වූත් හරවත් වූත් පණිවුඩයක් තබයි. ජාතක කතාවල අන්තර්ගත වන පුළුල් සමාජ අවබෝධය මෙ කතාව මතින් මනාව හෙළි වේ. පාලකයා කෙබඳු වියයුතු ද යන්න ගැඹුරු අයුරින් විග්‍රහය කරන කතාවකි මෙය. මෙම කතා සියල්ලටම අයිති හැමදෙනාම සිතන්නේ රටත් ජනතාවත් පත්වී සිටින මෙම මහා කරදරයන් සියල්ලට ම රජතුමා වගකිවයුතු බවයි. ඔහුගේ අධාර්මික පාලනය නිසා මෙසේ සිදුවී ඇති බවයි. 


පළමු අතුරු කථාව මෙසේ විමසමු.., 

මහලු පුරුෂයෙක් වලින් කටු ඇරගෙන අවුල් ගෙය වට කොට අවුරා දොර බැද තමාගේ දරුවන් හා බිරිද සමග කැලේට යති. දිවා කාලයේ කැලේ ගතකොට රාජපුරුෂයන් ගිය කල්හි නිවසට පැමිණ දොරකඩ ඇති කටු ඇද දමයි. ඒ අතර සවසට ඔහුගේ කකුලේ කටුවක් ඇනෙයි. එවිට ඒ මහලු පුරුෂයා රජතුමාට මෙසේ බැණ වදින්නට පටන් ගත්තේය.


“යම් සේ මම මේ කටු ඇනී දුක් විඳින ලදීම් එපරිද්දෙන් පඤ්චාල දේශවාසී මේ රජ ද සංග්‍රාම භූමියේ හෙව සතුරන්ගෙන් පැරද තියුණුව හීයෙන් විදින ලදුව මා සේම දුක් අනුභව කෙරේ වා.”


මෙසේ මහලු මිනිසා රජතුමාට බැණ වදිනු පුරෝහිත බමුණාට ඇසෙයි. ඔහු මෙසේ අසයි.

 “එම්බල මහන පුරුෂය වයෝවෘද්ධ හෙයින් ඇස අඳුරුව හේතුකොටගෙන පය කටු ඇනගෙන නිරපරාධ වූ රජ්ජුරුවන් වහන්සේට නිස්කාරණයේ බෙනෙයි කිමෙක්ද?”


පුරෝහිත බමුණාගේ ප්‍රශ්නයට මහලු පුරුෂයා දෙන පිළිතුර රජුගේ අධාර්මික බව ඉස්මතු කොට රටත් රටවැසියාත් මුහුණපාන අභාග්‍යයසම්පන්න ඉරණම කියාපාන කැඩපතක් බඳුය.

 “රජ්ජුරුවෝ දැහැමින් රාජ්‍යයය කරන්නාහු වී නම් අමාත්‍යය සේවකාදී එපරිද්දෙන්ම ධර්මිෂ්ඨ ය. ඔවුන් ධර්මිෂ්ඨ වුවහොත් සත්ත්වයන්ට අනන්‍ය නොවදී නම් සත්ත්වයෝ වල් නොවැද තම තමන්ගේ ගෙයි සැපසේ දරුවන් උකුලෙහි නටවමින් විභවනුරූප වූ පරිද්දෙන් වසන්නාහු. රජ්ජුරුවන් නිසා වේද අප සැපසේ වසන්නේ යැයි රජු දීඝායු ව සුව විඳි ආවඩ වඩා ඉදිනාහ. මේ රජහු එලෙස විචාරණ කමක් නැති හෙයින් වේද ගහට ගේ නැතිව දොර නැතිව දුක් විඳින්නේ ඒ යැයි කියා තොප ගේ රජ්ජුරුවන්ගෙ ගහටයේ... ඇවිදිනා හෙයින් වේද මේ කටු ඇනුනේ ඇයි මෙලෙස රජ්ජුරුවන්ට දෝෂාරෝපණය කොට කීයේය.”



මහලු මිනිසාගේ මේ වචනවලින් කතා කතාවේ පරමාර්ථය ඉටුකර ගනී. රජු දුෂ්ටයකු වුවද මේ බස් අසා නම්‍ය පුද්ගලයකු බවට පත්වේ. පුරෝහිත බමුණා අමතා රජ පවස වචන මේ ආකාරයෙන් විමසමු.

 “ආචාරීනි මහලූ පුරුෂයන් කීයේ ඇත්තමය අපගේම දෝෂය. මෙතැන් පටන් දශරාජ ධර්මයෙන් රාජ්‍යය කරම්හ.”


අද පැතිර යන වෛරසය හමුවේ ශ්‍රී ලාංකේය ජනතාව මෙන්ම ලෝකවාසී ජනතාව ද තම රාජ්‍යයය පාලනය කරන නායකයාට දෝෂාරෝපණය කරන්නෙත් මේ ආකාරයෙන් ම නොවේ ද? මේ නිසා මෙය අතීනය සිට නූතනය දක්වා ගලා ආ ඒකාකාරී දම් වැලක එක් පුරුකක් නිරූපණය කිරීමක් ම නොවේද යන්න රසිකයාගේ සිතවෙත පතිතවන හැඟීමයි. රජකු අවිචාරවත් පාලනය නිසා රට වැසියන් දුක් විඳින අයුරු විදහා පාමින් දසරාජ ධර්මයෙන් රාජ්‍යය පාලනයෙහි යෙදිය යුතු බව හා එහි අගය වටහා දීමට ජාතක කතාකරු භාවිත කරන මීළඟ උපක්‍රමය යි. 

                 තවත් අතුරු කතාවකි එක්තරා වයෝවෘද්ධ ස්ත්‍රියක් තමාගේ වැඩි වයසට පැමිණි දූවරු දෙදෙනෙකු  ගෙයිම රඳවා ගෙන වලින් දර පලා ගෙනවුත් විකොට බැල මෙහෙවර කොට රකින්නී ය. එක් දවසක් වලට ගොස් පළා කඩන්.නීය කැලයෙන් අත වැරදි පෙරළී බිම වැටී ඇඟ කඳුළු වලින් ඇස කඳුළු පිස පිස රජතුමාට ආක්‍රෝෂ කලා ය.  මේ ආක්‍රෝෂ පරිභව ඇසුනු පුරෝහිත බමුණා මහළු ස්ත්‍රියගෙන් රජුට බැන වැදීමට හේතු විමසුවේය. ඊට ඇය දෙන පිළිතුර රජ කෙනෙකුගේ අධාර්මික පාලනය නිසා රටවැසියා පීඩනයට පත්වන ආකාරය ධ්වනිත කරන්නකි.

 “සොරුන්ගෙන් අනවකආශයෙන් පෙළෙන ලද රාජ්‍යය වාසීන්ගෙන් මාගේ දරුවන් පිසවා කන්නේ කවුරුද?”


සොර බිය ඇතිව වාසය කරන මේ තැනැත්තිය තම දරුවන්ට ආහාර පිස කන්න දෙන්නෙ කවුරුන් දැයි ප්‍රශ්න කරයි. රටපුරා සොරබිය පැතිරගිය ඊට වගකිව යුත්තේ රජු නොවේ දැයි ප්‍රශ්න කරයි. රටපුරා සොරබිය පැතිර ගිය කල්හි ඊට වගකිය යුත්තේ රජු නොවේ දැයි ඇය ඇසුවාය. ඇගේ බස් අසා වෙස් වලාගෙන සිටි රජු පුරෝහිතට කීවේ නුවරට ගොස් මෙතැන් සිට දැහැමින් රාජ්‍යයය විචාර මු යන්නයි.


අනතුරුව එක්තරා ගොවියෙකු සීසාන අතර ගොනෙකු සී වැල පයේ ඇනී යා නොහී එතැනම සිටින කල ගොවියා රජුට මෙසේ බැන වදින්නට විය.

    “මේ ගොනා සී වලින් මිදුනා ලදුව පය බැඳී යම්සේ යා නොහී වැද හොබී ද? එපරිද්දෙන්ම පඤ්චාල රජු ද යුද්ධයෙහි සතුරන් විසින් පරදවන ලද්දේ අඩ යටියෙන් ඇවිණි මේ ගොනා සේම අනාථ අසරණ ව වේදනා මහත්ව රණබිම්හි හි වැටී හොවීවා.”


ගොවියා මොනතරම් රාජ්‍යය වෛරයක් ඇතිව බැන වැදුණේ ද? බොහෝ කාලයක් සිතේ පැවැති වෛරය මේ වචනවලින් ආවරණය වෙයි, මෙසේ රජුට බැන වැදීමට හේතු විමසූ පුරෝහිතයාට ගොවියා පවසන මතු වදන් රාජ්‍යය පාලකයෙකු අධාර්මික වීම නිසා රටවැසියා විඳින දුක මෙන්ම රජුගේ ජන පීඩනය අනාවරණය කරයි.

      “එම්බල පින්වත් වූ බ්‍රාහ්මණය, ප්‍රජාව රැකීමෙහි නිරාභිලාෂීව අධර්මයෙන් බදු පඬුරු ගෙන සත්ත්වයන් පෙළෙන්නා වූ රාජ භයින් චෝර භයින් පීඩිත ව මද අස්වැසිල්ලක් නොලැබෙන දනව් වාසීන් ඇති මේ රජු හට...”


මෙසේ ගොවියා පවසන වදන්වලින් හෙළි වන්නේ රජුගේ අධර්මිෂ්ඨ බවයි. මෙම ගොවියා තවදුරටත් රජුට බැණ වැදීමට හේතු පෙන්වමින් එදින තමාට වූ ආසන්නත ම සිද්ධිය ද බ්‍රාහ්මණයාට සිහිපත් කර දෙන්නේ මෙසේය.

 “මාගේ ස්ත්‍රිය දහවල් බත් ඇරගෙන එන්නී අතරමග දී දැක රාජ සේවකයින් විසින් බත් උදුරන ලද්දේ වන දහවල් වන කල්හි බත් නොලැබ ක්ෂුධාවෙන් පීඩිතව ඈ එන පෙර මඟ බල බලා ගොනාට අස්ථානයේ පහර ගසාපිමි. ඒ ගොනා පය ක්ෂණයෙන් ඇද සීවැල ඇනගත. මේ කාරණයෙන් මා විසින් පහරණ ලද්දේ නොහේ අධර්මිෂ්ඨ රජකම් කරන මේ පංච රජු විසින් පහරන ලද්දේ ය.”


මේ කරුණු ඇසූ රජු නැවත වරක් කරුණු තේරුම් ගෙන මෙතැන් පටන් දැහැමින් රාජ්‍යය කිරීමට සිතා ගත්තේය. මෙසේ රාජ්‍යය විචාරණ ඕනෑම කාලයක ඕනෑම රජෙකුට රාජ්‍යය විචාල යුත්තේ කෙසේද හා ප්‍රතිපාදන ම මෙම ජාතක කතාවෙන් දිගින් දිගටම අතුරු කතා ඔස්සේ අනාවරණය කරයි. ජාතක පොත සනාතන අගයක් ඇති ග්‍රන්ථයක් වන්නේ මෙබඳු සර්වකාලීන අගයක් ඇත ධර්මතා මේ පොතෙන් නිරූපණය කරන බැවිනි. මෙම ධර්මතා කවදාවත් පරණ වීමෙන් අභාවයට නොවෙයි. ජාතක පොත සනාතන ගද්‍ය ග්‍රන්ථයක් ලෙස පිළිගැනීමට මෙම පොදු ධර්මතා අන්තර්ගත වීම ම හේතු වී ඇත.

 මීළඟට මෙම ජාතකයේ අන්තර්ගත වන ගොපල්ලාගේ කතාව අපට හමුවේ. රාජ්‍යය සේවකයාගේ දූෂණ හෙළි කරන තවත් හොඳ කෙටිකතාවකි. ගොපල්ලාගේ කතාව. 


රජු අධාර්මික වන විට රජ සේවකයින් අධාර්මික වී දූෂණයෙන් ජනතාව පෙළෙන මෙම කතාව වර්තමානයට ද උචිත අර්ථයක් ගෙන දෙන්නකි. ගොපල්ලා පුරෝහිතයා අමතා කරන පිළිතුර විමසා බලමු.

 “පින්වත්තු වූ බ්‍රාහ්මණය පඤ්චාල රජ ඡන්දයෙන් අගතියට ගොස් රාජ්‍යය ධූරයෙහි ප්‍රමාද ව ජනපදවාසීන්ට බොහෝ පීඩා කරන්නේ. ඔහුගේ සේවකයෝ පසල් දනව්වකට ගයහද පීඩා කරන්නේ ය. එසේ හෙයින් මම ද ඒ සේවකයන් විසින් බොහෝ කොට කිරි ගෙනවයි පෙළෙන ලද්දෙමි. චණ්ඩ ව අතට අසුවෙන කිරි දෙවිය නොදෙන දෙනෙකුගේ කිරි දොවන්නට වන් කල්හි ඒ කුළු දෙන් කිරි මුට්ටිය බිඳ මාත් ඇන එළා වලට දිව පුව. ඉතින් ඒ රජ දැහැමින් රජ කළේ නම් ඔවුන්ගේ සේවකයොත් අධර්මිෂ්ඨ නොවෙති. එසේ කල්හි දනව්වාසීන්ට මෙබඳු ව භ‍ය නූපදින්නේ ය.”


රාජ්‍යය සේවකයින් අධාර්මික දූෂිත වන්නේ රජ එසේ වන විට ය. ඒ නිසා ධුරාවලිය මුල සිටම යහපත් ධාර්මික පාලනයක් සහ යහපාලනයක් ඇති වේ නම් රට ධාර්මික වී සුඛිතමුදිත වන බව මේ කතාවෙන් අවධාරණය කරයි. කතාවක් කියන අතරම කතා රසයට බාධා නොවන සේ ධර්ම කරුණු ඉදිරිපත් කිරීමෙන් දක්ෂතාවය ජාතක කතා නිර්මාණය කල පැරැන්නන් මතින් ස්ඵූට වූ තවත් කාරණාවක් බව සනාථ කළ හැකිය. 

බදු එකතු කරන රාජ පුරුෂයෙකු වස්සෙකු මරා සම උපුටාගත් කතාව ද රජුගේ අධර්මිෂ්ඨ වීමෙන් රටට වන අවැඩ කියා පාන්නකි. මෙම අතුරු කතා අතර මඩුවන් පිළිබඳ කතා ද සිත්ගන්නා සුළු අයුරින් ජාතක කතාකරු අරුතම කතාවේ පරමාර්ථය ඉටු කරවා ගැනීමට සමත් වූ ආකාරයෙන් ස්ඵුට කරයි. වෘක්ෂ දේවතාවාගේ ආනුභාවයෙන් මඩුවන් බමුණාට කියන මතු අදහස් රාජ පාලනය පිවිතුරු බව මනහර ලෙස කියාපාන අවස්ථාවකි.

      “ඉදින් බමුණ මේ රජ දසරාජ ධර්මයෙන් රාජ්‍යය කරන්නේ වී නම් මේ රාජ්‍යය වස්ත්‍රාභරණ ධන ධාන්‍යයෙන් සමෘද්ධ වන්නේය. කලට වැසි වැස සමෘද්ධ ව ශස්‍යෙයන් යුක්ත වන්නේය. සියලු වැව් පොකුණු හෝ කඳුරැලි ආදිය ප්‍රසන්න ජලයෙන් පිරි සිටින්නේය. සත්වයෝ සුඛිතමුදිත වූවාහු බත් අනුභව කරන කල්හි අග්‍රපිණ්ඩය හැර කපුටන්ට දෙන්නාහ. කපුටුවෝ බත් අනුභව කොට මෙලෙස ප්‍රාණවධ නොකරන්නාහ.”


මෙසේ රජුගේ මැදිහත් නොවීම නිසා රජුගේ ධාර්මික ප්‍රතිපදාවක් නොමැතිකම නිසා රට විනාශයට ගොස් ජන ජීවිතයට පීඩාවට පත්වන ආකාරය මෙන්ම ජන පීඩාවට පත්වී සිදුවන විනාසය කලාත්මක උපක්‍රම ඔස්සේ ජාතක කතාකරු නිරූපණය කරයි.



ජාතක පොතේ භාෂාව.., 

සිංහල පන්සිය පනස් ජාතක පොත උගත් නූගත් සැමට බණ කීමට රචිත ග්‍රන්ථයකි. මේ නිසා ජාතික පොතේ ඇත්තේ පොදු ජනතාවට සරල ලෙස බණ කීමට උචිත ලෙස සැකසුණු භාෂා ලිපියකි. මේ පිළිබඳ විද්වතුන් කිහිපදෙනෙකුගේ අදහස් මෙසේ විමසමු.


 “සිංහල ජාතක පොතේ බස පොදුජන බස ලෙසින් ගැනීම උගතුන්ගෙ සිරිතයි. පොදුජන බස අලුත් දේශීය මාර්ගයක් ලෙස හඳුන්වනු ලැබූවද එය අලුතින්ම ඇති වූවක් නොව මීට කලින් අවධියක සිට පැමිණ අලුත් කරනු ලැබූ අංගයකි. සද්ධර්මරත්නාවලියෙන් ඇරඹුණු පොදු ජන වහර කතා රචනයට සුදුසු අයුරින් දක්නට ඇත්තේ ජාතක පොතෙහි ය.  උගතාටත් නූගතාටත් බාලයාටත් මහල්ලාටත් තේරුම්ගතහැකි බස් නියරක් දක්නට ලැබෙන්නේ ජාතක පොතෙහි ය.”

( මහාචාර්ය ආනන්ද කුලසූරිය)


 “බුදුබණහි එන උපමා රූපකයන්ගේ අපූර්වත්වය අලුත් බව අපට පළමුව පෙන්වා දුන්නේ සද්ධර්මරත්නාවලිය ලියූ ධර්මසේන හිමියන් විසිනි. අනතුරුව පාලි රීතියක් පාලියෙහි එන උපමා රූපක ඇසුරෙන් සිංහලයන්ගේ කට බස් රීතියට හුරු ආදීන සිංහල රීතියක් නිපදවූයේ ජාතක කතා සිංහලයට නැගූවන් විසිනි.”

( මාර්ටින් වික්‍රමසිංහ)


 “ජාතක පොතේ කර්තෘ වූ සද්ධර්මරත්නාවලී මාර්ගය ගරු කරමින් වැඩි පිරිසකට කියවා හෝ අසා තේරුම් ගෙන රස විඳිය හැකි බස් වහරකින් ජාතක පොත සම්පාදනය කළෝය.”

 (මහාචාර්ය ඒ වී සුරවීර)

 මේ විස්තරවලින් පෙනෙන්නේ ජාතක පොත රචනා කළ කතෘන් සිංහලයගෙ කට බසට ලඟ රීතියකින් ජාතක පොත රචනා කර ඇති බවයි. අමාවතුර, බුත්සරණ වැනි පූර්ව කාලීන කෘති වඩාත් ව්‍යක්ත රිතියකින් රචනා වූ අතර ජාතක කතා කට වහරින් රචනා වූ ගද්‍ය ග්‍රන්ථයකි. එහෙත් ඇතැම් තැනක භාෂාව මිශ්‍ර කොට තැබීම විශේෂ ලක්ෂණයකි. දේවධර්ම ජාතක එහි වර්තමාන කතාව සරල වහරකින් රචනා වූ හොඳම කතාවකි. 


ජාතක පොතේ භාෂාව සරල වු ව්‍යංගාර්ථයෙන් හැඟීම් පළ කිරීම විශේෂ ලක්ෂණයකි. මතු දැක්වෙන නිදසුන බලන්න. බහුභාණ්ඩික භික්ෂුවකගේ සිවුරු අඳන ආදිය දැන සේනාසන චාරිකාවේ යෙදෙන භික්ෂුහු මෙසේ අසති. බහුභාණ්ඩික භික්ෂුවගේ බොහෝ සිවුරු පිළි ආදිය දැක විශ්මයට පත්ව දෑත් විහිදාගෙන අත දික් කොට සිවුරු පිළි පෙන්වමින් හැසිරෙන ආකාරය මේ වැනුම ඇසෙන සැමට මැවී පෙනේ. සරල වැකි පුනපුනා යෙදීමෙන් ව්‍යංගාර්ථවත් බස් වහරක් යොදා ගෙන තිබේ. ජාතක පොත පොදු ජනයාට සමීප බසකින් කතා නිර්මාණය වී ඇතත් එහි කතා රීතියෙහි එක් ලක්ෂණයක් නම් භින්නත්වයයි. සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය වැනි කෘතිවල එන සමරූපීතාව ජාතක පොතේ නැත. ඊට හේතුව ජාතක පොත තනි කතුවරයෙකුගේ නිර්මාණයක් නොවීමයි. සමහර කතා මිශ්‍ර සිංහලයට නැඹුරුවී අලංකාර රීතියකින් නිර්මාණය වී ඇත. සම්බුලා ජාතකයේ මතු දැක්වෙන අවස්ථාව විමසා බලමු.

 “එකල්හි දානව රාක්ෂසයෙකු ගුවනින් යනුයේ පවනඹල රන්ලියට නිගා දුන් තුනු සිරින් වොර වදනා ඒ ලද වූ ස්ත්‍රිය තුනු සිරි දැක, ඇය කෙරෙහි පිළිබඳ සිත් ඇතිව මෙසේ කීයේය. හැසී සිටින්නා වූ කහර ප්‍රදේශයක් ඇති කරපිරිමිද මධ්‍යම ප්‍රදේශයක් ඇති ජන ශූන්‍ය වූ මේ වන මධ්‍යයෙහි ගල් කඳු රැලිය අසනනා ගොඩනැගී බව හේතු කොටගෙන පවනඹල පල්ලව පත්‍රයක් මෙන් චලිත වීම් ඇතිව... ”


සම්බුලා දේවිය ගේ රූපශ්‍රීය පැවසෙන මේ වැනුම හොඳම බස ජාතක කතාකරු සරල ගැමි බසින් වර්ණනා කළා නම් ඇගේ ශරීර සෝබාව මෙතරම් මනහර ලෙස ගැනිය නොහැකි ය ජාතක පොතේ භාෂාව අලංකාර කළ ප්‍රධානතම අංගයක් නම් අන්තර්ගත උපමා වන්නේ තැනට සුදුසු උපමා තෝරාගෙන ඉදිරිපත් කරමින් අදහස හකුලා දැක්වීමට ජාතක කතා රචකයෝ සමත් වූහ. සම්බුලා ජාතක ඉන් උපුටා ගත් උපමා කිහිපයක් මෙසේ විමසමු.

පහන් නැති තැන පහන් මෙන් 

සම්බුලා දේවිය ගේ රූපශීය මොන තරම් විශිෂ්ට එකක් දැයි මින් ප්‍රකාශ වේ. අලුත් කසායෙන් උලා නා ගොඩනැගී දේවිය ගැන පවසන මතු උපමාව බලන්න

  රන් රැසින් තවරන කලක් මෙන් ඇගේ ලාලිත්‍යය පවසන මතු උපමාව ද නිර්මාණාත්මක එකකි 

පවනඹල පත්‍රයක් මෙන් 

මෙසේ උපමා භාවිතය අතින් ජාතක පොතේ භාෂාව විචිත්‍රත්වය ට පත් වී ඇත.

 

පන්සිය පනස් ජාතක පොත වනාහි සිංහල සාහිත්‍යයයේ ඇත්තාවු විශාලතම වූද අතිශය ජනප්‍රිය වූ ද කෘතියකි. සිංහල සමාජය හා සංස්කෘතිය කෙරෙහි මෙන් ම සිංහල සාහිත්‍ය කෙරෙහි ද ජාතක කතාවෙන් තරම් අනෙක් එකදු සාහිත්‍යකින් හෝ බලපෑමක් සිදු නොවීය.

( මහාචාර්ය ඒ වී සුරවීර)

  අවසානයට ප්‍රථම..,

     ජාතක කතාවේ ආකෘතිය සැකෙවින්..,

  වර්තමාන හා අතීත කතා අතර දැක්වෙන චරිත මගින් ජන ජීවිතයේ පවතින විවිධ ගැටලු  ගැන සාකච්ඡා කරනු ලැබේ. එමඟින් පුද්ගලයාගේ ජීවන තත්ත්වය හැසිරීම් රටාව, චරිත ලක්ෂණ, ගති පැවතුම් ආදිය විස්තර වෙයි. මේ අතර චරිත හැඩගස්වා ගැනීමෙන් යහපත් ජීවිතයක් ගත කිරීමට උපකාරී වන යහපත් ගුණධර්ම ඉදිරිපත් කරයි. හැම කතාවකින්ම මෙන් ජනජීවිතය සංකීර්ණත්වය පැහැදිලි කරයි. මේ සඳහා දුෂ්ට චරිත, සාධු චරිත, සංකීර්ණ චරිත උපයෝගී කරගෙන ඇත. අවසානයේ පූර්වාපර සන්ධි ගැළපීමෙන් සමෝධානය දක්වයි.


 ජාතක කතා ගොඩනැගීමේ පරමාර්ථය..,

                   ජාතක කතා නිර්මාණය කිරීමේ මූලික පරමාර්ථය  ගැටළු විරහිත ධාර්මික ගති පැවතුම් ඇති යහපත් සමාජයක් බිහි කිරීමයි.

 ජාතක කතා වලින් මූලික වශයෙන් බමුණු මත වාදවලට පහර දීම ද බමුණන් විවේචනය කිරීමද තවත් පරමාර්ථයක් වශයෙන් දැක්විය හැකිය.

 සමාජ සිරිත් විරිත් සුරක්ෂිත කිරීම සහ ගැටළු විරහිත සුඛිතමුදිත ජන සමාජයකට මාර්ග පාදා දීමට  ඉගැන්වීම් ඉදිරිපත් කිරීම ද ජාතක කතා ඉදිරිපත් කිරීමේ තවත් පරමාර්ථයක් ලෙස සඳහන් කළ හැකිය. පන්ති කුල භේද ප්‍රතික්ෂේප කිරීම එහි ඇති තවත් පරමාර්ථයකි.

මිනිස් ජීවිතය විවරණය කිරීම

  සාදු චරිත ගොඩනැගීමට පියවර ගැනීම

  සහෘද සමාජයක් ගොඩනැගීම

  වැඩිහිටියන්ට ගරු සැලකිලි දැක්වීම, ස්ත්‍රී, පුරුෂ, සත්ත්ව චරිත ක්‍රියාත්මක වීම ඉදිරිපත් කිරීම මෙහි ඇති තවත් පරමාර්ථ ලෙස සැකෙවින් දැක්වීමට පිළිවන.


 

         ජාතක කතාවෙ සන්දර්භය..,

  අද්භූත සිද්ධීන්ගෙන් ගහන වීම ජාතක කතා වල සන්දර්භය දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. සස ලාංඡනය ඇඳීම, සඳ පලාගෙන යාම, සක්දෙව් ඉල්ලීස ගෙ විලාපය ගැනීම, කුස ජාතකය ශක්‍රයාගේ ඉදිරිපත්වීම මේ ආදී අද්භූත දේ ජාතක කතාවල සන්දර්භය දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. (මායා යථාර්ථවාදය) අසන්නාගේ සිත් ඇදී යන ආකාරයට ජාතක කතාකරු සිය කතා රචනා කිරීමට ද ජාතක කතා සන්දර්භය දක්නට ලැබෙන උසස් ලක්ෂණයෙකි. බස් වහරට අනුව වේගයෙන් ගලා යන ආකර්ශනීය වූ සිදුවීම් වලින් ඇතැම් ජාතක කතා පැවතීමද ජාතක කතා සන්දර්භය දක්නට ලැබෙන තවත් ලක්ෂණයකි.


ජාතක කතාවේ බස් වහර පිළිබඳ කෙටි විමසුම..,

 ජාතක කතාවේ භාෂාව ජනවහරට සමීප වූවකි. එහෙත් එහි උපමා රූපක ආදිය බෙහෙවින් ම යෙදී ඇත්තේ ජාතකට්ඨකථාව අනුසාරයෙනි.

 ජාතක පොත එක් කර්තෘ කෙනෙකුගේ නොවන බැවින් එහි විවිධ භාෂා ශෛලීන් දක්නට ඇත. අමාවතුර, බුත්සරණ, සද්ධර්මරත්නාවලිය ආදී ග්‍රන්ථවල දක්නට ලැබෙන භාෂා ශෛලීන් ද ජනවහර ද පාලි භාෂාවෙන් සිංහලයට ගත් උපමා රූපක ආදිය ද කට වහර ද යන මෙකී සියලුම ලක්ෂණ ජාතක කතා භාෂාවෙන් දක්නට ලැබේ. ජාතක කතා බස් වහරෙහි සමකාලීන භාෂා රටාවේ හුදී ජන පහන් සංවේගය දනවන භාෂා රීතියක් දක්නට ලැබේ. ඇතැම් අවස්ථාවක එහි නාට්‍යෝචිත භාෂා ව්‍යවහාරයක් දක්නට ලැබේ. විශේෂයෙන්ම මේ පැහැදිලි වන්නේ ඇතැම් ජාතක කතාවල එන සංවාද ආශ්‍රිතවය. එසේම මෙහි භාෂා විලාසයෙනි අනුප්‍රාස, ලක්ෂණද කෙටි වැකි, ශෛලියද එසේම පණ්ඩිත ප්‍රිය සම්භාව්‍ය භාෂා රීතිය ද දක්නට ලැබේ. තවද මෙහි හෙළ වදන් පමණක් මුසුකළ බස් වහරක් ද ඇතැම් තැන්හි දක්නට ඇත. එසේම සංස්කෘත භාෂා ශෛලියකට අනුගතව ගිය භාෂා රටාවක් ද දක්නට ලැබේ. සරල භාෂා ශෛලිය, සම්භාව්‍ය භාෂා ශෛලිය, සංවාද භාෂා ශෛලිය, ජනවහර භාෂා ශෛලිය, නාට්‍යයයෝචිත භාෂා ශෛලිය, හෙලබස් ශෛලිය, සංස්කෘත භාෂා ශෛලිය ආදී ශෛලීන් ජාතක පොතෙහි අන්තර්ගත වී ඇති. මෙයින් ජාතක කතා කර්තෘ මණ්ඩලය සතු වූ භාෂාව පිළිබඳ දැනුම විශද කරයි. 


  ජාතක කතාවේ දක්නට ලැබෙන මනෝවිද්‍යාත්මක ලක්ෂණ..,

 චිත්ත චෛතසිකය මනෝභාවයන්ගේ හෙළි කිරීම මෙහිදී ප්‍රබල ලෙසින් ඉදිරිපත් කරයි. නූතන මනෝවිද්‍යාඥයන් විසින් සිත විග්‍රහය කිරීමද බුද්ධාගමට අනුව විග්‍රහය කිරීම හා සමාන යැයි විටෙක පෙන්වා දිය හැකිය. සිග්මන් ෆෙයිඩ් බටහිර මනෝ විද්‍යඥයෙකි. ඔහුගේ මනෝවිද්‍යාත්මක මූලධර්ම විග්‍රහයයන් සහ ජාතික පොතෙහි මනෝවිද්‍යාත්මක චරිත විග්‍රහය අතර සමීප සම්බන්ධතාවයක් පවතී.



සෙව්වන්දි ප්‍රේමතිලක

      ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

Sunday, July 18, 2021

එන්න අපේකම ගන්න

 


ජනශ්‍රැති යනු මොනවාද?



මුඛ පරම්පරාගතව පැවත එන (සම්භාවිත) (genaration to genaration) මානව ඥාන සම්භාරය ජනශ්‍රැතිය යි. ජනශ්‍රැතිය යන්න මිනිසා හා බැඳී පවතින වාගාලාපයකි. එය ගැඹුරු අර්ථයක්‌ දනවන පුළුල්‌ වපසරියක් ආවරණය කරන්නා වූ විෂයයක්‌ බව බොහෝ දෙනා විසින්‌ අවබෝධ කොටගෙන නැත. තාක්ෂණයේ දියුණුව සමඟ මිනිසාගේ අන්‍යතා වල්බිහි වී ගොස් ඇත. ගැමි ජනතාව ජනශ්‍රැති රස විඳින්නන්‌ මිස විශේෂඥයෝ නොවෙති. එහෙත්‌ ඉන් විශාල මානසික සුවයක් මෙන්ම ආධ්‍යාත්මික සුවයක් කරා ඔවුන් ගමන් කරති. ජනශ්‍රැති පිළිබඳ මේ මතය සමාජය පුරා පැතිර ඒ පිළිබඳ අවබෝධයක්‌ ලබන්නේ නම්‌ ඒවායේ නියම වටිනාකම ඔවුන්‌ විසින්‌ වටහාගන්නවාට සැකයක්‌ නැත. එවිට සැම සමාජයකම සංස්කෘතික උරුමයක්‌ ලෙස සැලකෙන තමතමන්ගේ ජනශ්‍රැති ආරක්ෂා කිරීම, ඉගෙනීම හා එය සංරක්ෂණය කිරීමට සියල්ලන් එකතු වෙනවා නොඅනුමානය.

ජනශ්‍රැති පිළිබඳ නිර්වචන කිරීමේදී ජනශ්‍රැති යනු මොනවාදයි යන්න නිවැරදිව අවබෝධ කොටගැනීමට පමණක්‌ නොව එහි විෂය පථය හඳුනාගැනීමටද ඉඩකඩ ලැබෙනු ඇත. එවිට ජනශ්‍රැතිවලින්‌ සිදු වන සේවාවන්‌ මොනවාදයි සොයා බැලීමද පහසු වනු ඇත. ජනශ්‍රැති පසුපස හඹා යෑමේදී පුරාණෝක්ති මෙන්ම වැලලී යන්නට නියමිත ඉතිහාසය පිළිබඳව පුළුල් අවබෝධයක් මිනිසාට සම්පාදනය කර ගැනීම අපහසු කටයුත්තක් නොවේ. 

"ජනශ්‍රැති” නිර්වචන කිරීමේ පහසුව සඳහා එම වචනයේ සැකැස්ම සලකා බැලූ විට එහි කොටස්‌ දෙකක්‌ දක්නට හැකිය. එනම්‌ "ජන” හා "ශ්‍රැතිය” වශයෙනි. ජන යනු කිසියම්‌ ජන කොට්ඨාසයක්‌ නැතහොත්‌ ජන සමූහයක්‌ යයි අර්ථ දැක්විය හැකිය. අනෙක්‌ අතට " ශ්‍රැතිය " යනු අසන දෙය. මුඛ පරම්පරාගතව පැවත එන දේමය. එනම්‌ එවන්‌ ජන කොට්ඨාසයක්‌ වෙතින්‌ නැතිනම්‌ ඒ ජන කොටස පිළිබඳ අසන්නට ලැබෙන දේ ජන ශ්‍රැතිය  ලෙසින් නොනැසී පැවත එයි. 

ඒ අනුව ජනශ්‍රැති යනු ඉතා සරල ලෙස අර්ථ දක්වන්නේ නම්‌ ජනතාව විසින්‌ ජනතාව පිළිබඳ ජනතාව මඟින්‌ අසනු ලබන දේ යයි හැඳින්විය හැකිය. අසන්නේ කියනු ලබනු දෙය වන බැවින්‌ ජනශ්‍රැති යනු වාචිකව නොහොත්‌ මුඛ පරම්පරාගතව පැවත එන දෙයක්‌ බව නිගමනය කළ හැකිය. මහාචාර්ය ජේ.බී.දිසානායක  මේ අදහස මෙසේ පැහැදිලිව දක්වයි.

 "ජනශ්‍රැති යන පදයෙන්‌ අදහස්‌ කෙරෙන්නේ කිසියම්‌ ජන කොට්ඨාසයක්‌ අතර මුඛ පරම්පරාගතව එන ව්‍යවහාර සමුච්චයයි.” 

(ජනශ්‍රැති ශබ්ද කෝෂය)

ජනශ්‍රැති වශයෙන්‌ අප විසින්‌ හඳුන්වනු ලබන්නේ යම්‌ නිශ්චිත ප්‍රකාශන මාධ්‍යයකි. එය යමක්‌ විකාශනය හෝ සංනිවේදනය කිරීම සඳහා යොදාගන්නා ලද උපාය මාර්ගයකි. එකී මාධ්‍යය මඟින්‌ විකාශනය කරනු ලබන්නේ යම්දැනුම්‌ සම්භාරයකි. මූලික චශයෙන්‌ එම දැනුම අයත්‌ වන්නේ ලිඛිත මාධ්‍යයක්‌ උපයෝගී කොට නොගත් අධ්‍යාපන ක්‍රමවේදයකටය. ඒවා වර්තමානය දක්වා ගෙන එනු ලැබ ඇත්තේ මුඛ පරම්පරාවෙනි. මෙම ක්‍රමවේදය හැඳින්වීමට අපි ජනශ්‍රැති යයි නාමයක්‌ භාවිතා කරමු.ජනශ්‍රැති යයි අප විසින්‌ ඊට සිංහල යෙදුම යෙදීමේදී එහි අන්තර්ගතයට අයත්‌ අනෙක්‌ සියලු දේ 




අතර මිනිසුන්ගේ ගතිපැවතුම්‌, සිරිත්විරිත්‌, චර්යා ධර්ම, මිථ්‍යා විශ්වාස, කවි, කථා, ප්‍රස්ත පිරුළු ආදිය ඇතුළත්‌ කළ හැකි බව යන්න සැලකිල්ලට ගැනීමෙන්‌ මුඛ පරම්පරාගතව එන සියලු ආකාරයේ පැරණි දැනුම්‌,අදහස්‌, හැඟීම, භෞතික නිර්මාණ ආදී කොටගත්‌ දෑ සියල්ල කෙටියෙන්‌ දක්වීමට සකසාගන්නා ලද පහසු යෙදුමක්‌ බව පෙනී යයි.




දේශීය ශාන්ති කර්මය 


දේශීය ශාන්ති කර්මය සන්නියකුම හෙවත් දහඅටසන්නිය, රටයකුම හෙවත් රිද්දියාගය, සූනියම් යාගය ලෙස දක්වයි. දේශීය ශාන්තිකර්ම ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන් කිරීමට පිළිවන. ඉන් පළමුවැන්න ලෙස පූජා කර්මත් දෙවන වැන්න ලෙස යාතුකර්ම දැක්වීමට හැකිය. පූජා කර්ම යනු පූජා කරන පවත්වනු ලබන්නේ බුදුන් වහන්සේ වෙනුවෙන්ය. ඒ අනුව පූජා කර්ම ලෙස සති පිරිත් පිංකම් අවසන් යි පැවැත්වෙන දොරකඩඅස්න, යුගාසන බණ, සූවිසි විවරණය, ආලවක දමනය, මිලින්ද ප්‍රශ්නය දැක්වීමට පිළිවන.

 යාතුකර්ම කොටසට අයත් වන්නේ යාතුකර්මයක් යනු තමන්ට වැළදෙන රෝග මෙන්ම මනුෂ්‍යය අනුෂ්‍යය භය තුරන් කර ගැනීම සඳහා දෙවියන් යක්ෂයින් සහ ග්‍රහයන් සඳහා පවත්වනු ලබන ශාන්තිකර්ම වේ. මෙහිදී පුද ලබන්නේ දෙවියන් යක්ෂයින් සහ ග්‍රහයින් වේ. මේවා තුරන් කිරීම සදහා ඇස් වහ, කට වහ හෝ වහ නැති කිරීමට පිරිතෙන් යම් සෙතක් වේ යැයි මුතුන්මිත්තන් ස්වභාවධර්මයෙන් සිදු වූ කරදර සහ හිරිහැර වලින් මිදීම සඳහාද විවිධ පුද පූජා පතනට වුණා. ඒ අනුව බිලිපූජා, පිදේනි ලබාදීම තුළින් සෙතක් ශාන්තියක් ලබා ගැනීම බලාපොරොත්තු විය. මෙම ක්‍රමය බුදු දහමත් සමඟ ම වෙනස් වන්නට සිද්ධ වුණා ශාන්ති කර්ම පිළිබඳව ඉගෙනීමේදී ප්‍රධාන කොටස් තුනකට ශාන්තිකර්ම බෙදා වෙන් කරයි.

උඩරට ශාන්තිකර්ම ඉන් පළමු වැන්නයි. උඩරට ශාන්තිකර්ම ලෙස කොහොඹාකංකාරිය, යක් තොවිල්, බලිතොවිල් දැක්වීමට පුළුවන්. දෙවැන්න පහතරට ශාන්තිකර්මයි. පහත රට ශාන්ති කර්ම ලෙස ගම්මඩු, දෙවොල්මඩු, මහසොහොන් සමයම, සන්නියකුම, සූනියම් යාගය, රටයකුම් දැක්වීමට පුළුවනි. තෙවැන්න සබරගමු ශාන්තිකර්මයි.  සබරගමු ශාන්තිකර්ම ලෙස ගී මඩු. මල් මඩු, පහන් මඩු, තුන්හිරියා මඩු, හැල්ලුම් මඩු, කිරි මඩු දැක්වීමට පුළුවන.

ඉතා අතීතයේ  සිංහල සමාජයේ විසුවන් තමන්ට ඇතිවන විවිධ කරදර ලෙඩරෝග, හා ස්‌වභාව ධර්මයාගෙන් සිදුවන හානි, උවදුරු දුරු කර ගැනීම සඳහා නොයෙකුත් අන්දමේ පුද පූජා ශාන්ති කර්ම සිදුකරගනී. මේවාට බලි, තොවිල්, යාග හෝමද ඇතුළත්ය. ඇතැම් පැරැන්නෝ ලෙඩක්‌, ආබාධයක්‌ වැළඳුන විට ඒ ගැන නිශ්චිත ලෙස සොයා ගැනීමට, යකැදුරන් ශාන්තිකර්මවල යෙදී සිටින්නන්, ජොතිෂ්‍යවේදීන් හමුවීම එවක සිරිතකි. තුන්දොස්‌ කිපීමෙන් ලෙඩරෝග 18 ක්‌ පමණ “සන්නි ආබාධ” ලෙස ඔවුහු හඳුන්වති. භූත සන්නිය, අභූත සන්නිය, වෙඩි, වාත, සන්නිය, පිත් සන්නිය, කෝල සන්නිය, ජල සන්නිය යනාදී වශයෙන් ඒවා හැඳින්වෙයි. 




තුන් දොස්‌ කිපීමෙන් (වාතය-පිත-සෙම) නිසා ඇතිවන රෝග දහඅට සන්නි යාගයෙන් සංකේතවත් කරයි. යක්‌ ඇදුරන් විවිධ රංගන විලාසිතා මගින් චරිත අවස්‌ථා 18 ක්‌ නිරූපණය කිරීම මෙහිදී විශේෂයි. හැම සන්නි නැටුමකටම වෙස්‌ මුහුණු පැළැඳීම සිදුකෙරේ. රංගනවලදී හාස්‍යය, ත්‍රාසය, භීතිය, ඇති කිරීමෙන් ආතුරයාගේ මනෝ විකෘති භාවය සුවපත් කිරීමට දොළොස්‌ පාලිය රංගනය කරනු ලබයි. මෙහිදී පාලිය, හත්පාලිය, දොළොස්‌පාලිය ආදී නැටුම්ද නිර්මාණය වෙයි.

යාග හෝම පැවැත්වීම වැඩි වශයෙන් සිදුවන්නේ කෙම්මුර දිනවලයි. එනම් බදාදා – සෙනසුරාදා දිනයන්ගේය. ශාන්ති කර්ම පිළිබඳ ඉතිහාසය මිනිස්‌ සමාජයේ උපතේ සිටම පැවැත එන්නක්‌ වෙයි. එනම් යථානුභූත අවධිය දක්වා එය දිවයයි. බුද්ධ කාලයේ පවා විවිධ ආගම් ඇදහිලිවලදී ගස්‌ ගල් පර්වත පවා ඇදහීමේ ක්‍රමවේද පැවැතුනි. කඩවර, කොහොඹ, ගම්බාර, සූනියන්, සත් පත්තිනි දෙවිවරුන් උදෙසා ශාන්ති කර්ම පුද පූජා පැවැත්වීම අදටත් පැරණි අය අමතක නොකරයි.


අධ්‍යයන වපසරිය - බලි ශාන්තිකර්ම


බලි (bali) යන පදය විශ්වකෝෂවල සදහන් වන්නේ ඉන්දුනීසියාවට අයත් බාලි දුපත හා බටහිර බෙංගාල රාජ්‍යයේ හො(ව්)රා දිස්ත්‍රික්කයේ පිහිටි බාලි නගරයක් පිළිබද පමණි.හින්දු පුරාණෝක්ති හා දේව පුරාණ සංග්‍රහවලද බලි,මහාබලි,බාලි යන අර්ථකථනය කර ඇත. එහෙත් මේ පිළිබද බලි යාගයට ඉගියක් නොලැබෙන අතර භාරතීය සමාජ සංස්කෘතික ඉතිහාසය තුළ බලි යන වචනය සදහා නොයෙක් අර්ථකථන ලබා දී ඇත.

“බලි” යනු සිංහලයේ සේම සංස්කෘත,පාලි සහ ප්‍රකෘත භාෂාවල එකම අරුතක් යෙදෙන වචනයක් ලෙස මේ සම්බන්ධ වඩාත් වැදගත් පර්යේෂණයක් සිදු කර ඇති මහාචාර්ය විනී විතාරණ මහතාගේ අදහසයි. එම අරුත නම් දේව යක්ෂාදින්ට දෙනු ලබන පිදෙන්න,යාග   සහ ශාන්තිකර්මය සදහා අඔන රූප බලි යනුවෙනි. පාලි සාහිත්‍යයේ ද බලි යන පදය පුජාර්ථයෙන් ව්‍යවහාර වී ඇති ආකාරය හදුනාගත හැකිය. “බලි” යන පදය ප්‍රාග් බෞද්ධ හා සමකාලින වෛදික හා බ්‍රාහ්මණික ව්‍යවහාරයන්ගෙන් සංස්කෘත හා පාලියට ඇතුල් වූ බව විද්වත් මතය වේ. බලි ශාන්තිකර්ම ග්‍රහයන්ගේ බලපෑම මිනිස්‌ ජීවිතය කෙරේ එල්ල වන ආකාරය අනුව සුභඵල හෝ අසුභ ඵල ගෙන දෙන බව මතුක පෙන්වයි. 

ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන පංච මහා භූතයන් ඇතිවන්නාවූ මිනිස්‌ ශරීරයට බලපවත්වන්නා වූ නවග්‍රහයන් එක්‌ එක්‌ ස්‌ථානවලට ගමන් කරන විට එහි බලපෑම මත ඇතිවන නොයෙකුත් අපල උවදුරු දුරු කර ගැනීම සඳහා විවිධ සෙත් ශාන්ති ක්‍රම, පූජා විධි, බාරහාරවීම් වැනි අභිචාරාත්මක ප්‍රතිකාරවලට සිංහල ගැමියා වැඩි නැඹුරුවක්‌ දක්‌වා ඇත. ලෝකයේ සෑම රටකම විවිධ ජාතීන් පුරාතන කාලයේ සිටම තමන් මුහුණ දුන් උවදුරු, ලෙඩ දුක්‌ කරදර ආදියෙන් ආරක්‌ෂාව, පිහිට ලබා ගැනීමට ග්‍රහයන්, දෙවියන් වෙනුවෙන් පුද සත්කාර යාගහෝම සිදුකරන ලදී. 




මෙම පුදසත්කාර කිරීම්වලට ඔවුනොවුන්ගේ සංස්‌කෘතිකාංග එක්‌වීම නිසා මෙම ශාන්තිකර්මවල සාහිත්‍යමය විචිත්‍රත්වයක්‌ ඇතිවිය. තමන්ට මුහුණදීමට සිදුවෙතැයි සිතන ඇස්‌වහ, කටවහ, හෝවහ, අඳෝවැඩියා, යක්‍ෂ, පේත, කුම්භාණ්‌ඩ, ගිරිදෝෂ ඇති කරවන ගුප්ත බලවේගවලින් ආරක්‌ෂාවීමට මෙන්ම බවභෝග වගාව සරුවීමට, ආරක්‌ෂා කිරීමට කලට වේලාවට වැස්ස ලබා ගැනීමට පුරාතනයේ සිට සිදුකරනු ලබන ශාන්තිකර්ම විශේෂයක්‌ ලෙස මෙම බලි ශාන්ති කර්මය හැඳින්විය හැක.

ග්‍රහයන්ගෙන් වන අපල සඳහා කරන ප්‍රධානත ම ශාන්ති කර්මය බලි ශාන්තිකර්මය ලෙස හැඳින්විය හැකිය.

යාතුකර්ම හෝ යාගකර්ම යන විවිධ නම්වලින් හැඳින්වෙන ශාන්තිකර්ම  අප ජන සංස්‌කෘතියේ අනාදිමත් කාලයක සිට පැවත එන්නකි. යාගකර්ම අතර බලි යාගයට විශේෂ තැනක්‌ හිමිවේ. බලි ශාන්තිකර්මය උඩරට, පහතරට, සබරගමුව යන සම්ප්‍රදායන් ත්‍රිත්වයට ම පොදු ශාන්තිකර්මයකි. මෙම ශාන්තිකර්මයේ ද ප්‍රදේශ අනුව යම් යම් වෙනස්කම් දැකිය හැකිය. උඩරට බලි, පහතරට බලි, සබරගමු බලි, නුවරකලාවිය බලි වශයෙන් සම්ප්‍රදායන් 5 ක්‌ දක්නට ඇත. රවි, චන්ද්‍ර, කුජ, බුද, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන නවග්‍රහයන්ගෙන් සිදුවෙතැයි විශ්වාස කරනු ලබන අපල උපද්‍රවවලින් අත්මිදීම උදෙසා බලි ශාන්තිකර්ම පැවැත්වීම පුරාතනයේ සිට පැවත එන සිරිතකි. බලි ශාන්තිකර්මය මිනිසාට වැළඳෙන අට අනූවක්‌ රෝග නව අනූවක්‌ ව්‍යාධීන්, දෙසිය තුනක්‌ අන්ත්‍රා අයත් වෙති.


මෙම ශාන්ති කර්මයට බුදුන්, දෙවියන්, යකුන්, රාක්‍ෂයන්, ග්‍රහයන් යන සැවොම අයත්වීම විශේෂයකි. නමුත්, ගැයුම්, නැටුම්, චිත්‍ර, මූර්ති ගොක්‌ කලාව ඇතුළු කලා අංග බොහොමයක්‌ මෙය වටා වෙයි. කෙනකුට ග්‍රහ දෝෂයක්‌ ලැබූ විට රෝගී අවස්‌ථාවකදී බෙහෙත් කළද සුවයක්‌ නොලද විට කේන්දර බලා ඒ අනුව ශාන්ති කර්මයක්‌ කිරීම පුරාණ සිරිතයි. බලි යනු, සංස්‌කෘත භාෂාව අනුව පූජාව යනුවෙන් අර්ථ ගැන්වේ. බලි ශාන්තිකර්මය අනෙකුත් ශාන්තිකර්ම අතුරින් වෙනස්‌ වනුයේ එය රූප මගින් කරනු ලබන ශාන්ති කර්මයක්‌ බැවිනි. ශ්‍රී ලංකාවේ මෙම ශාන්තිකර්මය සඳහා භාවිත වන බලි වර්ග දෙකකි. එනම්,

රූප බලි

ඇඹුම් බලි 


රූප බලි යනු,

 අදාළ බලියට නියමිත ග්‍රහයන්, දෙවියන් හෝ යක්‍ෂයන්ගේ රුව කැන්වස්‌ රෙද්දක හෝ එවැනි මාධ්‍යයක ඇඳීමයි. 


ඇඹුම් බලි යනු,

 අදාළ කටයුත්ත මැටිවලින් අඹා වර්ණ ආලේපකොට රූප සැකසීමයි. මෙයින් කුමන ක්‍රමයකට හෝ රූප සකස්‌කොට තබා එය ඉදිරිපිට සිට ශාන්තිකර්මය කරනු ලබයි.







ක්‍රි. පූ. 4 වන ශතවර්ෂයේ පණ්‌ඩුකාභය රජ සමයේ බලි ශාන්තිකර්ම පැවැතුණු බව පොත පතවල සඳහන් කරණු මඟින් ප්‍රතීයමාන වන කරුණකි. චිත්තරාජ, කාලවේල, වලමා, මහේජ යන යක්‍ෂයන් රජුට නොයෙකුත් අවස්‌ථාවන්හිදී ආධාර කළ බව සඳහන් වේ. ඔවුන්ට කෘතගුණ සැලකීමක්‌ වශයෙන් ආරාම සාදා බලි පූජා පැවැත්වූ බව පැරණි ග්‍රන්ථයන්හි සඳහන් වේ. භාතරයේ සිට පැමිණි බමුණන්ගෙන් බලි ශාන්තිකර්මය ලංකාවට පැමිණි බව සඳහන් වුවත් මෙම ශාන්තිකර්ම බොහොමයකට ලාංකේය පරිසරයට උචිත බව පෙනේ. බොහෝ ශාන්තිකර්ම කරනුයේ දෙවියන්, යක්‍ෂයන්, පේතයන් සඳහා වුවත් ශාන්තිකර්මය පුරා ගායනා කරනු ලබන ගායනාවල බුදුගුණ අන්තර්ගත වේ. තොටගමුවේ  රාහුල හිමියන්ගේ හා වීදාගම හිමියන්ගේ මැදිහත්වීමෙන් බලියාගය සම්බන්ධ බෞද්ධාගමික මුහුණුවරක්‌ තිබුණු බව පොත පතවල සඳහන් වේ. 


බලි යාගය පිළිබඳ පොත්පත්වල සඳහන් ආකාරයට බලි වර්ග 35 ක්‌ භාවිතයේ පවතින බව කියෑවේ. මෙම බලි වර්ග 35 අතුරින් වර්තමානයේ භාවිත වනුයේ අත්බලි, විස්‌කම් බලි, මල් බලි, දිය කොරහබලි, නවග්‍රහ බලි, දේව කන්‍යාබලි යන බලිය. බලි යාගයකදී බලිය නිර්මාණය වන්නේ ආතුරයාගේ කේන්දරය අනුවය. බලි ශාන්ති කර්මයේ උපත පිළිබඳ ලාංකීය සිංහල සමාජය තුළ පවතින ප්‍රධානතම මතය උත්තර භාරතය හා බැඳෙයි. දඹදිව මහා සම්මත රජු සමයේ එය ආරම්භ වූ බව ප්‍රබලතම අදහස වන අතර විශාලා මහනුවර ලිච්ඡවි රජදරුවන්ගේ රජ සමයේ ආරම්භවූ බවටද මතයක්‌ පවතී. විශාලා මහනුවර පැවැති තුන්බිය තුරන් කිරීම සඳහා බලියාග පැවැත්වූ බව සඳහන් වේ. තුන්බිය නැති කිරීමට බුදුන් වහන්සේ දේශනා කළ රතනසූත්‍රය දේශනාවේ "දිවාච රත්තෝච හරංතියේ බලිං" යන පාඨයෙන් එදා පැවැති බලියාග පිළිබඳ ඉඟියක්‌ ලබා දෙයි. සිංහල ජනයා විසින් පවත්වනු ලබන මෙම ශාන්තිකර්මය කිරීමට පෙර කප් සිටුවනු ලැබේ. ඉන්පසු බලි ඇඹීම සඳහා හුඹස්‌ මැටි කඩාගනු ලබන්නේද ශාස්‌ත්‍රානුකූල ක්‍රමයකටය. මැටි ගැනීමට ප්‍රථම හුඹස වටේ ගොස්‌ රැහැන් ඇද ආරක්‌ෂා කර දෙවියන්ට කන්නලව් කර කපා ගත් මැටි සුවඳ කිරි පැන් ඉස අනා මැටිවලින් කොටසක්‌ මල් බුලත් තටුවක තැන්පත් කර සුවඳ දුම් අල්ලා ඊට පසු අඹන බලිවල හිසට කොටසක්‌ මිශ්‍ර කෙරේ. ඇඹීමෙන් පසු ස්‌වභාවික වර්ණවලින් වර්ණවත් කරයි. 



බලි ශාන්තිකර්මය සිදු කිරීමේ පිළිවෙත් අනුව බලිය ඇඹීමෙන් පසු අඳුන් ජීවම් කර නැකතට නේත්‍රා තබනු ලබයි. පසුව බලිය කෙලින් කර බලිය පාමුල සරසනු ලබයි. ආතුරයා පන්දලමට කැඳවීමෙන් පසු පහන් දල්වා තුරුණුවන් සරණ යයි.


නමස්‌කාරය දේවාරාධනාව

යාගය පටන් ගැනීමට පෙර පිරිත් හුය ගෙන ප්‍රධාන ඇදුරුතුමා තෙරුවන් නැමැද දේවාරාධනාව කරයි. මඟුල් බෙර වාදනය කර ශ්ලෝක කවි ගායනා කරයි. පිරිත්හුය ආතුරයා අතට පත් කිරීම, ආතුරයා ඉදිරියේ කන්‍යාවන් දෙදෙනකු ආවඩමින් පිරිත් හුය ආතුරයා අතට පත් කරයි.









කඩතුරාව ඇරී

මෙය යාගයේ කෙරෙන ප්‍රධාන කටයුත්තකි සුදු රෙද්දකින් වසා තිබූ බලිය ආතුරයා ඇතුළු සභාවට දර්ශනය වනසේ ඉවත් කරයි. ඉතා මනරම් කවි ගායනා කිරීමක්‌ ද වෙයි.

බලිය පාවාදීම

මෙහිදී ඒ ඒ ග්‍රහයන්ට අදාළව අධිපතිකම් දරන දේව යක්‍ෂ කොට්‌ඨාසවලට අදාළ කවි ගායනා කරමින් බලිය පාවාදීම සිදු කරයි.

අටමගල පෑගීම

දිවි හිස, හාල්, පොල් ගෙඩිය, තොලබෝ කොළය, දෙපුරුක්‌ හීරැස්‌ස කැබැල්ල, හත් රියන් දිග කදුරු මෝල් ගස, හාල් පඬුරු හා කහ සහිත කලය යන මෙම ද්‍රව්‍යය කලාලය මත තබා ආතුරයාගේ දෙපා ඒ මතට යොමු කරයි.

මල් බුලත් පුටුව තැබීම

ආතුරයාට දෙහි කැපීම, යන්ත්‍ර දැමීම ආදිය කෙරෙ.¨ මෙයට මල් බුලත් තටුව උපයෝගි කර ගනී. මංගල අෂ්ඨක කවි ශ්ලෝක කියය

ග්‍රහයන්ට දොල පිදේනි දීම

බලියේ පාමුල තබා ඇති භෝජන තටුවේ තැන්පත්කර තිබෙන කැවිලි, පලතුරු, තෙල් ජාති සියල්ලම 7 බැගින් වන සේ නවග්‍රහයන්ට පුදයි.

ග්‍රහ ශාන්ති කවි කීම

ග්‍රහ දෙවියන්ගේ ගුණ ගායනා කරමින් හා ඔවුන්ගේ පිහිට පතමින් කවි ගායනා කිරීම, ග්‍රහයන්ට අමතරව බලියට අනුරූපව කවියා දේව රාක්‌ෂ බලි වලටද දශා අතුරු දශා වලටද කවි ගායනා කරයි. විශාලා ශාන්තිය, රතන සූත්‍රය ගයා බලිවලට පඬුරු දමා ආතුරයාට සෙත් පතයි. සියලු දෙවි දේවතාවන්ට පිංදී පිංබෙර වයා බලි 

ශාන්ති කර්මය නිමා කරයි. (තොරතුරු මහාචාර්ය මුදියන්සේ දිසානායක සූරීන්ගේ සිංහල නර්තන කලාව කෘතිය හා අන්තර්ජාලය)










බලි ශාන්තිකර්මය

සෙත් කරනා උපත දැනා මැයි බඳිනා සැටි ලකුණා

සස ගතිනා වියත් ගෙනා සාගුලෙනා මැසි මනිනා

සිවු ගතිනා වියත් ගෙනා සෑගුලෙනා සුඵල    මනා

මේ ලෙසිනා මැසි බඳිනා ගිරි අඟනා රැව        අඹනා


නිරිත කොනා යුතා මල් මල් සුවඳැති වැටෙකෙ වන වෙතා

උරඟ පෙන ලතා දුන්වන් පාට්න් මැණික හිමි           වෙතා

තල ද කිරිබතා ලොල් වඩවන සිතට රුචි           වෙතා

පනිඳු දෙති සෙතා සුන්බුන් කර දොස ඔබට           සෙතා


නරවරඟන නරු ඇඳගෙන නටති එතැන නළු නාටක වෙස්            ගෙන

නතර නොවන නද කරවන නපුරු සිතින නසමැයි මුණි          සිතමින

නමකුරු ගෙන නව නැකතින නපුරු දුදන නපුරට කළ                    මේ වින

නව මුණිගුණ නළල එලන සියලුම වින නහි නහි දොස           දුරලන


අත දරන එසිරි වස ගෙන       දිවයුරා

රත යහන නැගෙති මහ මෙර වට             කරා

කන බොජුන කොකුන් ගෙන ඉඹුලෙහි          අරා

සෙත ඔබට දෙවති පිරිවත දොස          හැරා


සුරත රැගෙන පන්දම යාගෙට       ඇඳුරා 

වමතට විදුරු මිණියක් රැගෙන නඳ                   කරා

පෙර සිට උපත පන්දම යාග කවි              කරා

මේ ඔබට ආවඩන් සැම දෝෂ දුරු              කරා


අකුණු දේවතාවා පන්දමේ වෙසෙයි

දග්නි දේවතාවා ගිනිජලේ            වෙසෙයි

කළඑළි දේවතාවා ලෝකයේ           වෙසෙයි

අවුලු පන්දමෙන් සැම දෝෂ දුරු       කෙරෙයි





















බලි - බිලි යනුවෙන් සිංහලයේ එන වචන ගැළපීමේ ස්වර වේ.“බිලි”යන වහර සිංහලයේ නොයෙක් තැන්වල යෙදේ. බිලි යනු යක්ෂාදින්ට වෙත කැප කරණු ලබන පිදෙන්නක් විශේෂයෙන් ප්‍රාණයෙන් යුක්ත පිදෙන්නෙක් වෙයි. බිලි යනු බලියාගය හෝ බලි රුපය හෝ නොවේ. බලි යන පදයට අර්ථ නිරුපණ 5ක් ඉදිරිපත් කිරීමට සිරි ලියනගේ මහතා සමත්ව ඇත.(ජනශ්‍රැති ශබ්ද කෝෂය ) බලියාග – ශාන්ති කර්ම වලදී, තැඹිලි නවසි, බෝදිලි, දොතළු ආදී ගෙඩි වර්ගද, සිරැස්‌ස වැල්ද, පොල් පුවක්‌, රත්මල් වැනි මල්ද සැරසිලිවලට සාදා ගනු ලැබේ. මීට අමතරව කෙසෙල් කොළ, කෙසෙල් පතුරු, කැවිලි වර්ග, කෙසෙල් ආදී දේද යොදා ගැනේ.

බලි   -      අ         -  මෝඩ, බාල

            ආ      -   බලවත්, බලය ඇති, ශක්තිමත්

            ඇ      -    විශාල, මහත්

          ඈ  -  දේව යක්ෂ ප්‍රේතාදින්ට පිරිනමන පූජා,යක්ෂ,පේතාදින්ට කරන ශාන්ති කර්ම තොවිල් ආදිය

            ඇ      -    බද්ද,කප්පම,දීමනාව


තවද පුරාණෝක්ති ඇසුරින් බලි නමැති අසුර රාජයකු ගැන ද කියවේ. එහි දක්වන ආකාරයට බලි ඇදුරු,බලි ඇරීම්, බලි කර්මාන්ත, බලි ක්‍රියා, බලි තිබීම් යන පර්යාය වදන් කිහිපයක් හමුවේ. විශේෂයෙන් එහි එන “බලි කුඩම්” යනු ජයවර්ධනපුර කෝට්ටේ මාලිගාවේ “බලිබෙත් බලිකුඩම් වැඩ සිටි” යන හැදින්විමෙන් දක්වා ඇත්තේ බලි ශාන්තිකර්ම පවත්වන ස්ථාන වශයෙන්ය. බලි යන්නෙහි විකාශනය පිළිබද විග්‍රාහාත්මක ඓතිහාසිකව විස්තරයක් බන්දුල ජයවර්ධන මහතා බෞද්ධ විශ්ව කෝෂයට සපයා තිබේ. සෘග් වේදයේ රජුට දෙන තෑග්ගක් යන අර්ථයෙන් ද, දෙවියන්ට කරණු ලබන පුජාවක් යන අර්ථයෙන් ද බලි යන පදය යෙදී ඇති බව මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා පෙන්වා දේ. ( තිස්ස කාරියවසම් 1986:13)

බලි යන්න සමග “දණ්ඩ” යන පදය ද එකට යෙදී තිබෙන ආකාරය “කුළාවක ජාතකයේ” ද “මහා සුපින ජාතකයේ ද”,ධම්ම පදට් කථාවේ ද දණ්ඩ බලි යන්නෙන් යෙදී තිබීමෙන් පෙනේ. බලි ලබන පුද්ගලයන් අනුව අංගුත්තර නිකායෙහි පංච බලි වර්ගීකරණය දක්වා ඇත. ඒවානම් මෙසේයි,

බලි නෑයන්ට දෙන පිදවිලි

අත්ති බලි ආගන්තුකයන්ට දෙන පිදිවිලි

පේත හෝ පුබ්බ පේත බලි මළගිය අයට දෙන පිදිවිලි

රාජ බලි රජුන්ට හෝ ප්‍රභූන්ට දෙන පිදිවිලි

දේව බලි දෙවියන්ට දෙන පිදිවිලි







වස්‌තු සහ සිද්ධි කෙරෙහි දේවත්වයක්‌ ආරූඪ වීමට සාපේක්‍ෂ වශයෙන් වැඩි කලක්‌ ගියේ නැත. එම දෙවියන් පින වීමෙහිලා යම් දෙයක්‌ ඔවුන් වෙත පූජා කිරීමේ සිරිතක්‌ ද පැතිර ගියේය.එමඟින් ප්‍රාථමික ආගම් බිහි වන්නට විය. 

මේ අනුව බලත් ම සියලු ජාතීහු සිය ඉතිහාසයේ කවර අවස්‌ථාවක දී හෝ යම් දෙවිකෙනෙක්‌ ඇදහූ බවද ඔවුන් වෙත යම් දෑ පූජා හෙවත් බලිවශයෙන් ඉදිරිපත් කිරීමේ සිරිතක්‌ දැරූ බවද පිළිගත මනා ය. (රත්නායක 2007(63). 

දෙවියෝ, යක්‌ෂයෝ, ග්‍රහ තාරකා, ගස්‌ ගල් ආදී ස්‌වාභාවික දේවල් හා වෙනත් දෑ හා බැඳුණු අභිචාර විධි ගැමි ජන සමාජය තුළ දක්‌නට ලැබේ. එතුලින් බලියාග බලිය පදනම් කරගෙන බිහි වූ බවට ද තොරතුරු හමුවේ. 

හෙරඩෝටස්‌ පවසන ආකාරයට අනුව ග්‍රීසියේ ත්‍රේස්‌ පළාතේ පුරුෂයෙකු මළ පසු බොහෝ විට භාර්යාව බිලිදීම පිළිබ`ද සම්ප්‍රදායක්‌ පැවති බව සදහන් කරයි. ගෙල මිරිකා, වළලා, පුළුස්‌සා, දියේ ගිල්වා, අවියෙන් ඇනකොටා මරා දැමීමේ පුරුද්දක්‌ යුප්‍රටීස් ටයිග්‍රීස්‌ ගංගාදාරයේ, රෝමයේ මෙන්ම බෝල්ටික්‌ මුහුද ආසන්න රටවල ද පැවති බව විනී විතාරණ සදහන් කරයි. ඉන්පසු මියගිය ආත්ම ආරූඪවීම වළක්වනුවස් බලි යාග පූජාව සිදුකර ඇතිබවට සාධක හමුවෙයි.


බලි පුජාව සදහා යොදා ගන්නා වර්ණ

වර්ණ යනු සංඥාකාරකයෙකි. වර්ණය හා සංකේතයක් යන අංශ දෙකෙන්ම භාවිතයට ගත හැකිය වර්ණ ප්‍රධාන හා අප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා ඇත. ප්‍රධාන වර්ණ වලින් අනෙක් වර්ණ සකස් කරන ගනු ලැබේ. බලි ඇදුරන් විසින් වර්ණ සාදාගනු ලබන්නේ අවටින් සොයා ගත හැකි පාරසරික අමුද්‍රව්‍යය භාවිතා කිරීමෙනි. නිදසුන් ලෙසින්,

·      කොළ - මිදෙල්ල මැකරල්

·      කහ - සමර

·      රතු - රට කහ, සිමෙන්ති,ගුරුගල්

·      කළු - බැටරි කුඩු, පොල් කටු අගුරු කුඩු පැණියෙන් දියකොට

·      සුදු - හුණු

මෙසේ වර්ණ සංජානනය වීම සඳහා මූලිකවන කරුණු කිහිපයකි.

·      ආලෝකය

·      දුර   

·      වස්තුවේ ප්‍රමාණය

·      වර්ණ මිශ්‍රණය








ආලෝකය නොමැති අදුරු තැනක වර්ණවල ක්‍රියාකාරිත්වයක් සිදු නොවේ.ආලෝකයේ ප්‍රමාණය අනුව වර්ණ වල දීප්තිය හා අදුරු බව රදා පවතී. බලි ශාන්තියේ දී ආතුරයා ප්‍රමුඛ ප්‍රේක්ෂක පිරිස වෙත වර්ණ සංජානනය වන්නේ අදුරු රුයක පන්දම් එළියෙන් කහ මිශ්‍රිත ආලෝකයක් තුළය. බලියක් පටන්ග ගන්නේ රාත්‍රී 9 ට පමණය. එය පසු දා පාන්දර වන තෙක්ම පවති. ඒ නිසා දුර හා වර්ණ පිහිටීම් අතර වැදගත් කමක් පවති. බලි මඩුවේ බලියේ සිට ආතුරයා අතර නිශ්චිත දුරක් ඇත. 


දුර වැඩි වන විට වර්ණ වල දීප්තිය අඩු වී අදුරු පැහැයක් ගන්නා අතර,අති සමීප වූ විට වර්ණයන්ගේ නියම ප්‍රකෘතිය ගිලිහි යයි. බලියේ ප්‍රමාණය වස්තුවේ හැඩය විශාලතම වර් දෘශමාන වීම කෙරෙහි බලපා ඇත. බලි රුපයට යොදන වර්ණ සංකලනයට හාත්පස වෙනස් ලෙස රෙදි කඩක අදින බලි රූපවල වර්ණ යොදා ඇත . වස්තුවට සාපේක්ෂව වර්ණ භාවිතය වැදගත් කර ඇත. 

මල් බලියේ දී ගොක් කොළවලින් හා කෙසෙල් බද පතුරුවලින් සකසා ගත් රාමුව පසුතලයේ දිස්වන්නේ එම මෘදු ලා කොළ පැහැයට වඩා තද කොළ පැහැය දිස් වන කෙසෙල් කොළ හෝ හබරල පත්‍රය. මල් බලියේ හැම ගැබක් තුල ම රතු කහ මල් දවටා ඇත පසුතලය තද කොළ පැහැතිය ඒ මතින් බලි ගැබෙහි ගොක් කොළ රඔ පතුරුවල ලා කහ පැහැය ආකර්ශණිය වේ. පොල්බැ මගින් සැකසුණ පහනේ සුදු පැහැයත්, කහදිය කොතලයේ නැවුම් දුබුරු පැහැයත් ය. මේවා එකිනෙකට ගැළපෙන ලෙස යොදා ගැනීමට බලි ඇදුරා සමත්ව ඇත. මේ මගින් අපේක්ෂිත මානසික චිකිත්සාව සදහා එය සාර්ථක ආකාරයට යොදා ගෙන ඇත. මෙහි රතු කහ මලින් හා නිල් පිරිසි භාවිතයෙන් අදාළ ග්‍රහ දෙවියන් සංකේතවත් කිරීමට යොදා ගන්නා ලදී.

බලියේ ප්‍රධාන අරමුණ හා බද්ධව වර්ණ යොදා ගැනීමේදී එහි මනෝවිද්‍යාත්මක කාරණා මුල් වේ. වර්ණ සංජානනය තුළ සතුට, අසතුට හා වෙනත් හැගුම් ඒ සමග බද්ධ වේ. රතු, නිල්කොළ, දම්, කහ තද වර්ණ ලෙස ගැනේ. මේවා බලියේදී විවිධ ප්‍රකාශන ඉදිරිපත් කිරීමට යොදා ගන්නා ලදී. රතු හෙවත් ප්‍රකෝපය දරුණු බව ප්‍රචණ්ඩත්වය වැනි හැගීම් ද, නිල් වර්ණයෙන් සාමකාමී බවද, සතුටද, කළු වර්ණයෙන් කණගාටුව වේදනාව යන ආදිය සංකේතවත් කරයි. බලි ශාන්තිකර්මයෙදී වැඩි වශයෙන් සුදු වර්ණය යොදා ගනු ලැබේ. සුදු වර්ණය (පාරිශුද්ධත්වය හා සංයමය නිරුපණය කරයි). ඇදුරෝ සුදු පිරුවට ඇද සිටි, හිසේ පළදින උරමාලය (මෙය දිගු විශාල රෙදි කඩක් ඔතා ඒ වටා රතු රන්වන් රෙදි පටියකින් අලංකරණය කොට වළල්ලක් ආකාරයට තනා හිසේ පලදා ගනී). සුදු පැහැතිය රෙදි කඩෙහි දෙපස හිසෙන් පහළට එල්ලා වැටෙන සේ සකසා ඇත. පාරිශුද්ධත්වය සහ බුදුන් වහන්සේ කෙරෙහි දක්වන ගෞරවනියත්වය සුදු පැහැය සංකේතවත් කරයි. ආතුරයාවසා සිටින වහන් තරාවත්, බලිය වසා සිටින කඩ තුරවත් ඇදුරන්, බෙරවාදකයන්ගේ ආදියගේත් වස්ත්‍ර මේ සියල්ලම සුදු පැහැයට මුල් තැන දේ.

 සුදු පැහැය අඩ අදුරේ දී වඩා දීප්තිමත් බාවයකින් කැපී පෙනේ. පන්දන් එළියෙන් ආලෝකමත් වන බලි ශාන්ති මඩුව තුල දිස්වන සුදු වර්ණයත් ආතුරයාගේ මනස ආකර්ෂණය කරන්නකි. වර්ණය යොදා ගන්නා කාලය හා ස්භාවය සමග සැසදීමෙන් මෙය අවබෝධ කර ගත හැකිය. සුදු වර්ණ භාවිතය දේශීය සංස්කෘතික ජන විශානය කාලයක් හැදී වැඩුණු බෞද්ධ ශික්ෂණයේ පවිත්‍රත්වය සංකේතවත් කරයි. බලි ශාන්තියෙදී සුදු වර්ණය ළගට වැඩි වශයෙන් භාවිතා කරන වර්ණය වන්නේ රතු වර්ණයයි. එයින් රතු වර්ණය ( අපිරිසිදු බව කිල්ල) ප්‍රකාශමාන කරයි. දේව, රක්ෂා, යක්ෂ, පිශාචාදී  සංකේතවත් කිරීම සදහා රතු වර්ණය යොදා ගනු ලැබේ.




 බුද්ධ පුජාව සදහා රතු මලක්වත් භාවිතා නොකරන අතර බලි ශාන්තිකර්මයේ රතු වර්ණයට හිමිවන්නේ සුවිශේෂ තත්ත්වයකි. බොහෝ ශාන්තිකර්ම අවස්ථා වල මධ්‍යම රාත්‍රිය තුළ ප්‍රබල හා අවේගවත් බෙරවාදන නර්තන ඉදිරියේ රතු රෙදි කඩක් පැළද ගනී . සුනියන් දේවතාව හා කාලි දේවතාව රතු වර්ණයෙන් සංකේත වත් කෙරේ. බලි රූපයෙහි පමණක් නොව බලි ඇදුරාගේ වස්ත්‍රාභරණ වලින් ¼ කට වඩා වැඩි වශයෙන් රතු වර්ණයෙන් යුක්ත වේ. නිදසුන් ලෙසින් රක්ත වර්ණය යොදා ගැනීම,

ඉණට වෙළන බද වෙළුම්

පිරුවටයේ දාරය

උරමාලයේ අලංකරණය

පුන නුල

පිදේනි සදහා දෙන කැවිලි පලතුරු ආදිය රතු පාට වේ. පෙන්වා දිය හැකිය. 

රක්ත වර්ථය හා සමානවම යොදන වර්ණයකි කළු වර්ණය. එයින් බිය ප්‍රතාපවත් බව හා නපුර, නරක, රැය ,අදුර ,නිරය පෙන්නුම් කරයි. රිරී යකා රතු පාටිනුත්, කළු යකා කළු පාටිනුත් නිරුපණය වී ඇති බව පහතරට තොවිල් හා සමයන් යාතු කර්මවල හදුනා ගත හැක. ඔවුන් වර්ණ අතින් දෙආකාර වුවත් ස්වාභාව අතින් එක සමාන ය. කළු පැහැයෙන් රක්ෂා,යක්ෂාදීන්ගේ බඩ අත් ආදිය අගපසග නිරුපණය කර ඇත. කහ වර්ණයද බලි තොවිල්වල භාවිතයට ගන්නා වර්ණයකි. එයින් පාරිශුද්ධත්වය, පින් බලය පෙන්නුම් කරයි.

රතු සමග කහ වර්ණය එකට යොදාගන්නා අවස්ථාද පවතී. කන්‍යා බලි, විස්කම් බලි ,දේව බලි ආදියෙහි කහ වර්ණය යොදා ගැනීමෙන් සංකේතවත් වන්නේ යහපතකි. පළතුරු වලද කහ වර්ණය කැපී පෙනෙන වර්ණයකි. නිල් වර්ණය භාවිතයට ගෙන විෂ්ණු දෙවියන්ගේ බලය බලි යාගයේදී පෙන්වයි. තවද ඉන් බලය ,ජීවිතය ,කරුණාව ඉවසීම ද පෙන්වයි. නිල් පාට බොහෝ බලි ඇබුම් කවිවල දක්නට ලැබේ. ඒ ඒ ග්‍රහයාට යක්ෂයාට අදාළ වර්ණ ඇත. හිරුගේ රුපය ඇදීය යුක්තේ කහ පාටින් සදු, සුදු පාටිනුත්, අගහරු රතු පාටිනුත් ඇඕය යුතුය. ග්‍රහ දෙවියන් හැරුණු විට නැකත් සදහා ද සංකේතවත් වර්ණ යොදා ගනු ලැබේ. අස්විද බෙරණ නැකත් සදහා රතු වර්ණයත් පුනාවස නැකත් සදහා නිල් පාට යොදා ගනී.



බලි උපත් කථා

අංගුන්තර නිකායේ පුද්ගලයන් පදනම් කරගෙන බලි වර්ගීකරණයක්‌ දක්‌නට ලැබේ. එය පංච බලි යනුවෙන් හැඳින්වේ.

ඥාති බලි - නෑයන්ට දෙන පිදවිලි







02. අත්ථි බලි - ආගන්තුකයන්ට දෙන පිදවිලි

03. ප්‍රේත හෝ පුබ්බ ප්‍රේත බලි - මළගියවුන්ට දෙන පිදවිලි

04. රාජ බලි - රජුන්ට හෝ ප්‍රභූන්ට දෙන පිදවිලි

05. දේව බලි - දෙවියන්ට දෙන පිදවිලි

''බලි'' යන්න සිංහලයෙහි බිලි බවට පත්ව ඇත. මෙම වහර බිලි යම්, බිලි බඳුන්, බිලි කැවුම්. එහෙත් කල් ඇවෑමෙන් බිලි යන්නෙහි මුල් අරුත් සීමා වු සේ පෙනෙයි. මේ බිලි යනු බලි යාගය හෝ බලි රූපය හෝ නොවේ. යකෂාදීන් වෙත කැප කරනු ලබන පිදෙන්නක්‌ වෙයි . වර්තමානයේ නවග්‍රහයන් සඳහා බලි වර්ග නවයක්‌ පිළිබඳව සඳහන් වේ. ඒවානම්, 


රවිට - ශාන්ති මංගල්ල බලිය 

චන්ද්‍රයාට - සෝම මංගල්ල බලිය 

සිකුරුට - ජීව මංගල්ල බලිය

බුධට - සර්ව රූප බලිය 

අඟහරුට - කාල මුර්තු බලිය

බ්‍රහස්‌පතිට - අභය කල්‍යාණ බලිය

රාහුට - අසුර ගිරි රාක්‌ෂ බල

කේතුට - කෘෂ්ණ රාක්‌ෂ බලිය

සෙනසුරුට - දසා ක්‍රෝධ බලිය 


බලි උපත් කථා සතරක්‌ ''බලියාග පිළිවෙළ'' කෘතියෙහි සඳහන් වේ.

01. ලිච්චවි කුමාරයකු සම්බන්ධ බලි උපත,

02. බුදුන් කල තුන් බියවන් විශාලා මහනුවර බලි උපත, 

03. විජය කුවේණි සමයේ බලි උපත,

04. මහා සම්මත රජුන් සමයේ බලි උපත,










බලි සංඛ්‍යාව පිළිබඳ පිළිගත් මතයක්‌ නොමැත. ප්‍රදාන වශයෙන් බලි වර්ග දෙකක්‌ ඇත.

01. ඇතුල් පන්තියේ බලි

02. පිට පන්තියේ බලි

ඇතුල් පන්තියේ බලි සංඛ්‍යාව 7100 ක්‌ වන අතර පිට පන්තියේ බලි 84000 කි. බලි ඇදුරන් හා ප්‍රචලිත කවිවල පන්තිස්‌ බලි පිළිඳව සඳහන් වේ.


ශ්‍රී ලංකාවේ බලි උපත හා විකාශනය

ලංකාවේ බලි ශාන්තිකර්මය හා සම්බන්ධ ප්‍රධාන සම්ප්‍රදායන් පහක්‌ පිළිබඳ නූතන විද්වත්හු සඳහන් කරති. එනම් උඩරට බලි, පහතරට බලි, ඌවේ බලි, නුවර කලාවියේ බලි, සබරගමු බලි වශයෙනි. මේ හා බැඳුණු බලි දහස්‌ ගණනක්‌ පිළිබඳව පොත පතේ සඳහන් වෙයි. ඒවා ඇතුල් පන්තියේ බලි හා පිට පන්තියේ බලි වශයෙනි. ප්‍රධාන කොටස්‌ දෙකකට වර්ග කර දක්‌වා තිබේ.

බලි නිර්මාණ කලාවට ද බලි ශාන්තිකර්මයට තරම්ම දිගු ඉතිහාසයක්‌ ඇති හෙයින් බලිය ද බොහෝ කරුණු පොත පතේ වෙයි. වෛදික යුගයට අයත් භාරතිය ග්‍රන්ථ රැසකම බලි නිර්මාණ ගැන වෙයි. 

මිට අමතරව බලි නිර්මාණය පිළිබදව බොහෝ කරුණු පොත්පත්වල මෙන්ම ජනප්‍රවාදගතව පවතින ඇබුම් කව්වලින් ද හඳුනාගත හැකිය. බලි ඇඹීම සියලු ශිල්ප විධි ඇතුළත් වී ඇත්තේ මේ බලි ඇඹුම් කවිවලය. බලි සැකසීම සඳහා යොදා ගන්නා නිර්මාණ ක්‍රම දෙකක් ලංකාවේ භාවිත වන බව හඳුනාගත හැකිය. එනම්,

කඩබලි හා රූප බලි වශයෙනි, කඩබලි යනු චිත්‍රනය මගින් රෙදිකඩක සකසා ගන්නා බලියයි. රූප බලි යනු මැටියෙන් අඹාපින්තාරු කර සාදා ගන්නා ඇඹුම් බලියයි. (එම) බලි ඇඹීම සඳහා හුඹස්‌ මැටි උපයෝගී කරගනී. මැටි තෝරා ගැනීමේ දී ආවේණික වූ නීති කිහිපයක් වෙයි. නියමිත පරිමාණයට සකස්‌කරගත් දැව මුවා මැස්‌සක කවිවල විස්‌තර කර ඇති අන්දමට හුඹස්‌ මැටියෙන් ඇඹූ ප්‍රතිරූප,ග්‍රහ රූප ආදියෙහි මතුපිට සුදුහුණු හෝ මකුඵ ආලේප කොට සායම් ගා මැටි බලි සකස්‌ කරගෙන තිබේ. මෙසේ බලිරූප අඹාගැනීමෙන් පසුව වර්ණ ගැන්වීම කරනු ලබනු ලැබේ. බලි සිතුවම් තාවකාලික කෘතීන් බැවින් ඒවා සිතුවම් කිරීමට යොදාගත් වර්ණ ද කල් නොපවතින, පහසුවෙන් සොයාගත හැකි ඒවා වන්නට ඇත                            (සිංහල ශබ්දකෝෂය 19701(9).


බලි නිර්මාණකරණය සරල ක්‍රියාවක්‌ නොව එකිනෙක බැඳුණු සංකීර්ණ ක්‍රියාවලියකි. පොත පතේ සදහන් වන ආකාරයට මෙන්ම ජනප්‍රවාදයේ පවතින ආකාරයටත් බලි නිර්මාණය හා සම්බන්ධ ක්‍රියාවලිය පිළිවෙළකට මෙසේ හඳුනා ගත හැකිය. 








* බලි මැසි නැගීම හෙවත් මැසි බැදීම

* බලි මඩුව තැන

* තුඹස පේ කිරීම

* මැටි පදම් කිරීම

* මැටි අතින් පේ කිරීම

* අත් බලිය සෑදීම 

* බලිය ඇඹීම

* වර්ණ ගැන්වීම 

* නේත්‍රා තැබීම

* බලි නැගි සිටුවීම හෙවත් කෙලින් සිටුවීම වශයෙනි.

ලංකාවේ නොයෙක්‌ ප්‍රදේශයන්ට ආවේණික වූ පුද පූජා රටාවන්ට අනුකූලව බලි නිර්මාණය කරනු ලබයි. ලංකාවේ කිසිදු ප්‍රදේශයක දක්‌නට නොලැබෙන නුවර කලාවියට පමණක්‌ම ආවේණික වූ කන්‍යා යාගය හෙවත් බෝදිලිමා බලිය පිරිමි බෝදිලිමාට බය වී ලෙඩට දුකට පත්වීම නිසා එයින් මිදීමට මෙය පවත්වනු ලැබේ. මෙහි දි බෝදිලිමාගේ බලිය අඹනු ලැබේ. කාන්තාවන් හත් දෙනකු විසින් මෙය සිදුකරනු ලබයි. 

පුළුටු මැටි රූපවල දක්‌නට ලැබෙන විරූපි හා බහිරව රූපවලට සමානතාවයක්‌ හා ඇදහිලි හා විශ්වාසයන් ද බෝදිලිමාබලිය තුළ ද දක්‌නට ලැබේ.

කන්‍යා යාගයේ උපත් කථාව වනුයේ මහා සම්මත රාජය කාලයේ දල්ලජ නම් වු සෙනෙවියාට දාව එම බිසවට දරු ගැබක්‌ ඇතිවිය. එම දරුවා ඉපදුන හොත් සෙනෙවියාට ඉතා ම අපල තත්ත්වයක්‌ හා භයානක ප්‍රතිඵල අත්විඳින්නට සිදුවන බව බමුණෝ ප්‍රකාශ කළහ. බමුණන්ගේ ප්‍රකාශය බොරුවක්‌ බව නොදත් සෙනෙවියා එය විශ්වාස කර දරු ගැබ විනාශ කරන්නට තීරණය කළේය. මේ සදහා හෙතෙම ''අංගුල'' නම් විෂ වර්ගය බිසවට දුන් බව කියති. මේ විෂ ශරීර ගතවීම නිසා දරු කළලය පමණක්‌ නොව බිසව ද මරණයට පත්විය. ඇගේ මරණය සිදුවන අවස්‌ථාවේ ඇය තුළ ස්‌වාමියා කෙරෙහි වෛරයක්‌, කෝපයක්‌ ඇතිවිය. මරණයෙන් පසු ඇය බෝදිලිමා යක්ෂණිය ලෙස උපත ලැබීය. එතැන් පටන් ඇය පිරිමින් කෙරෙහි වෛරයෙන් කල් ගත කළාය. ඒ අනුව කන්‍යා යාගය සිදු කරනු ලබන්නේ බෝදිලිමා ආවේශ වූ පිරිමින් සදහාය. දරුවෙකු ලැබීමට සිටි කාන්තාවක්‌ සැමියා කෙරෙහි වෛරයෙන් මිය ගිය විට ඇය යක්‌ෂණියක්‌ වී යෑයි විශ්වාස කරති. මෙම යාගයේ සියලු ම කටයුතු සිදුකරනු ලබන්නේ කාන්තාවන් පමණක්‌ වීම මෙහි සුවිශේෂ ලක්‌ෂණයකි 

(රත්නායක 20071(12).








එහි එන කවි කිහිපයක් මේ ආකාර වෙයි,

පිරිමින්න                      සන්නට

වෙසමුනි වරන්            ගපන්නට

සොයා ගියේ                  විමනට

වෙස්‌ තුනක්‌ දුනි රජුන්   යකිනිට


කඵ වන් සකක්‌                  මෙනි 

පෙරලි පෙරලී තදින්       පැමිණුනි

කටුසු වෙස්‌                     ගනිමිනි

යකිනි සොඳුරිය ලෙස ද පැමිණුනි 


මෙහි දක්‌නට ලැබෙන පුද පූජා පිළිවෙළ වනුයේ,

කන්‍යාවියන්ගේ පා දෝවනය කිරීම

කන්‍යාවියන් වෙත දානය පිළිගැන්වීම 

(කැවුම්, කෙසෙල්, කිරිබත් සහ අවුල්පත්)

ආතුරයා විසින් පහන් පත්තු කිරීම

කන්‍යාවියන් විසින් ආතුරයාට සෙත් පැතීම

ප්‍රධාන ඇදුරියන් බුලත් දී පිළිගැනීම

තුඹසේ මැටි කපා ඉවත් කිරීම සහ 

බලිය ඇඹීම හා වර්ණ ගැන්වීම

ඇදුරිය දෙවියන්ට කන්නලව් කිරීම

වැල් පොටවල් හිසෙහි තබාගෙන පේ කිරීම

ආතුරයාට ''බෝදිලිමා'' ආවේශ වීම

''බෝදිලිමා'' බලියට වැල් පොටවල් දැමීම

වැල් පොටවල් එකින් එක කැපීම

දෙහි කැපීම






ආතුරයාට සෙත් පතා නූලක්‌ දැමීම

මොල්ගස්‌ උඩ තෙල් පොල් කටුව තැබීම ආදි වේ.


බලි ඇදුරන් අතර ප්‍රචලිත බලි කිහිපයක් පහතින්වේ.

අත් බලිය, ආකාශ බලිය, නිධාන බලිය, ජාල කීර්ති බලිය, ග්‍රහ පන්ති බලිය, ඕලන්ද බලිය, ඇස් බලිය, කුසුම් බලිය, සිංහ බලිය, බත් බලිය, භූමි බලිය, චක්‍ර බලිය, පපග්‍රහ බලිය, කුක්කුට බලිය, කර්ණාත බලිය, ගණතේ බලිය, ග්‍රහපති බලිය, පෙරේත බලිය, රත්මනිස බලිය, චන්ද්‍ර බලිය, චන්ද්‍ර මණ්ඩල බලිය, පරමේ බලිය, ග්‍රහ දෝෂ බලිය, ආඬි රූප මංගල්ල බලිය, කුර රාක්ෂ බලිය, සකල මඩුල්ල බලිය, අංගම්මඩුල්ල බලිය, ශුද්ධ චක්‍ර බලිය, භූත නවග්‍රහ බලිය, සිව් රූප බලිය, බුද්ධ රූප හා ශාන්ති මංගල්ල බලි, මාංශ බලිය, දෙවි බලිය, යුග බලිය, මස් බලිය, දින බලිය, රාශි බලිය, හීන් හතර බලිය, රූප බලිය, කල්‍යාණ බලිය, මඩුලූ බලිය, අෂ්ට බලිය, යාග බලිය, යක් බලිය, අන්ත හිමි බලිය, අහස් බලිය, නර බලිය, වරාස බලිය, පක්ෂ බලි 11, ප්‍රීති බලිය, නක්ෂත්‍ර බලිය, චක්‍ර බලිය, අට රකුස බලිය, ප්‍රතිමා බලිය, මංගල බලිය, වෙස් බලිය, දසාලත් බලිය, සක බලිය, පිස්සුන් බලිය, කඩ බලිය, යාත්‍රා බලිය, කුලූ බලිය.

සාදනු ලබන මාධ්‍යය මූලික කොටගත් බලි කිහිපයක්ද වේ.

වෙල් බලිය – මෙය වැලි වලින් තනන බලියකි. 

කඩ බලිය – මෙය රෙද්දෙන් තනන බලියකි. 

මල් බලිය – මෙය මැටියෙන් තනන බලියකි. 

බත් බලි, ග්‍රහ බලි – මෙය මැටියෙන් තැනූ නවග්‍රහ බලියකි. 

වස් හෙවත් විස්කම් බලිය – වර්ෂ වලට හිමි බලියකි.




ග්‍රහ අපල සඳහා කරනු ලබන බලි ශාන්තිකර්ම

රවිගේ අපල වලට

දශාවේ මුල් කොටස – සිරිකොත් බලිය 

දශාවේ මැද කොටස – වර්ෂාධිපති බලිය 

දශාවේ අග කොටස – අභය කල්‍යාණි බලිය







සඳුගේ අපල වලට

දශාවේ මුල් කොටස – කාල මෘත්‍යු බලිය 

දශාවේ මැද කොටස – ශාන්ති මංගල බලිය 

දශාවේ අග කොටස – ශුභ මංගල බලිය


කුජගේ අපල වලට

දශාවේ මුල් කොටස – භූම නාග බලිය 

දශාවේ මැද කොටස – මහසොප් මංගල බලිය 

දශාවේ අග කොටස – මේෂ රකුසු බලිය


බුධගේ අපල වලට

දශාවේ මුල් කොටස – වර්ෂාධිපති බලිය 

දශාවේ මැද කොටස – පංච යන්ත්‍ර බලිය 

දශාවේ අග කොටස – දේව කල්‍යාණ බලිය



ගුරුගේ අපල වලට

දශාවේ මුල් කොටස – වර්ෂාධිපති බලිය 

දශාවේ මැද කොටස – අභය කල්‍යාණ බලිය 

දශාවේ අග කොටස – විෂ්ණු රූප බලිය


සිකුරුගේ අපල වලට

දශාවේ මුල් කොටස – දේව මංගල බලිය 

දශාවේ මැද කොටස – ශුභ මංගල බලිය 

දශාවේ අග කොටස – අත්ත කල්‍යාණ බලිය






ශනිගේ අපල වලට

දශාවේ මුල් කොටස – දශ ක්‍රෝධ බලිය 

දශාවේ මැද කොටස – නිලඟ රාක්ෂ බලිය 

දශාවේ අග කොටස – ගෞඩි රාක්ෂ බලිය


රාහුගේ අපලවලට

දශාවේ මුල් කොටස – අසුර ගිරි රාක්ෂ බලිය 

දශාවේ මැද කොටස – නාග රාක්ෂ බලිය 

දශාවේ අග කොටස – සුට රකුසු බලිය


කේතුගේ අපල වලට

දශාවේ මුල් කොටස – බ‍්‍රහ්ම රූප බලිය 

දශාවේ මැද කොටස – පක්ෂුවන් රාක්ෂ බලිය 

දශාවේ අග කොටස – නිලඟ රාක්ෂ බලිය




බලි වර්ග සඳහා පොදු වශයෙන් යොදා ගන්න ප්‍රධාන ද්‍රව්‍යය පහතින් හඳුන්වා ඇත.

පොල් මල් 2ක්, බත් හත්මාළුව, පොල් ගෙඩි 2ක්, තොලඹු , හීරැස්ස, හාල්, සුදු රෙද්දෙන් වැසූ පුටුවක්, බුලත් හා හඳුන්, පුවක් මල් 2ක්, කට්ටකුමංජල් බාගයක්, පිණි දියර කුප්පියක්, හදුන්කූරු පැකට් 5ක්, නව සුවඳ, සුදු හඳුන්, රත් හඳුන්, දේවදාර, සැවැන්න, ලොස් සුබුරු, අඟිල් ගුගුල්, කස්තුරි, ගොරෝචන, සුවඳ කොට්ටන්, පිරුවාට සරම් 08ක්, මල් වර්ග 09ක්, පළතුරු වර්ග 09, කැවිලි වර්ග 09ක්, කිරි පැණි, ලදපස් මල්, පස්ගෝ රස, පස් තෙල්, නූල් පන්දුවක්, කෙසෙල් කඳන් ලෙලි පට්ට 01ක්, කොළ ජාති 09ක්, කොතල 01ක්, පස්වලූ, තැඹිලි, බෝදිලි, පුවක්, දෝතලූ, 





ඉඹුල් කරු, තොල බෝ, රඹ, වැටකේ, නුග, දිවුල්, කොහොඹ, බෝ, දිවි කදුරු, කලස් 09ක්, මෝල් ගසක්, හවරියක්, කැඩපතක්, පැඟිරි කෝටු 08ක්, පැදුරක්, කුකුළෙක්, පන්දම් 04ක්, විලක්කු 35ක්, නෙත් තැබීමට රෙදි රියන් 5ක්, පාට තුනේ රෙදි රියන් 6ක්, බලි ඉදිරීමට සුදු රෙදි රියන් 5ක්, හට්ටි 01ක්, මුට්ටි 01ක්, ඇටි ඇට වර්ග 05ක් ආදී වශයෙන් තවත් ද්‍රව්‍යය අවශ්‍යය වේ.

අපේ ඉතිහාසය ගත්කල පෙරදිග රටවලින් මෙන්ම පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණ වලින් ගහණ වූ යුගයක්ව පැවතිණි. එකී යටත් විජිත සමයන් තුල අප රටින් විදෙස් රටවලට ගෙනගිය සංස්කෘතිකමය වටිනාකමක් උසුලන දෑ බොහෝය. තවමත් ඒවා එම රටවල කෞතුකාගාරයන්හි සංරක්ෂණය කොට තැන්පත් කර තිබේ. නමුත් සත්‍යය ලෙසම ඒවා තවමත්  ලාංකීය උරුමයන්ම වේ. මේ පිළිබදව තව ගැඹුරු අධ්‍යයනයකට යොමු වීමට පහත ග්‍රන්ථ අධ්‍යයනය කිරීම වටී.

 රත්නාලංකාරය,

 නවග්‍රහ ශාන්තිය, 

පිරිත්තුව

ග්‍රහ වළල්ල 

බලි වීදිය 

     රති කාල මෘත්යු බලිය

විස්කම් බලිය

අත්වල යාගය 

කාල චක්‍රය

රකුසු බලිය

දළ කඩවර යක්ෂ ගිරි බලිය 

වට පන්ති බලිය 

හීන් දොස් පහ කිරීම 

මල් බලි උපත 

රතිකම් කුමාර බලිකවි 

රතිකම් බලිකවි

තොට කුමාර බලිය 

බලි හැරයුම 

සුදර්ශන බලි 

රාශි ඵල කවි

පිළිස්සුම් දශාව

දිවි දොස් පිරිත්තුව 

මැටි බලි ශාන්තිය


අපේ පුරාණ ශාන්ති කර්ම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් එහි අධ්‍යයන ක්ෂේත්‍රය පුළුල් කිරීමට වැඩි අවධානයක් යොමුවිය යුතු කාලය පැමිණ ඇත. 






සමාජ සුභ සිද්ධිය උදෙසා හෝ සමාජයේ පෙරමං සලකුණූ විමසීම උදෙසා මෙවැනි සංස්කෘතික අංගවලට ඇත්තේ විශාල දැණුම් සම්භාරයකි. ඉන් නිසියාකාර ප්‍රයෝජන ලබා ගැනීමට අප නිර්මාණශීලී විය යුතුය. අපට අන්‍යය වූ දේ ලෝකට ඉදිරියේ එළිදැක්වීම මඟින්,

විදෙස් සංචාරකයින් ආකාර්ශනය කරගැනීම,

විදේශ විනිමය ඉපැයීම,

දේශීයත්වය වැඩි දියුණු කිරීම,

රැකියා අවස්ථා උත්පාදනය,

විශේෂයෙන්ම පුද්ගල රසවින්දනය වැඩි දියුණු කිරීම මෙන්ම පුද්ගල මානසික සුවතාවට රුකුල් දීම ද


 මේ හරහා සිදුකිරීමට හැකියාවක් පවතී. එසේ හෙයින් අභාවයට පත්වෙමින් යන දේශීය අන්‍යයතාවයන් රැකගනිමින් අනාගතයට එයින් කොටසක් හෝ දායාද කිරීමට වගකීම පැවරී ඇත්තේ අප උරමතයි. විදේශීය තරු සංකල්ප පසුපස හඹායෑම වෙනුවට දේශීය ඌරුවෙන් නව සංකල්ප බිහිකර ඉන් දේශයේ අභිමානය ලොවට සංප්‍රේෂණය කළ යුතු කාලය දැන් පැමිණ ඇත.





නිගමනය - 

දේශීය දේ මතින් නිසියාකාර ප්‍රයෝජන ලබා ගැනීමට නිර්මාණශීලීව කටයුතු කර අපට අන්‍යය වූ දේ ලෝකට ඉදිරියේ එළිදැක්වීම මඟින්,විදෙස් සංචාරකයින් ආකාර්ශනය කරගැනීම,විදේශ විනිමය ඉපැයීම,දේශීයත්වය වැඩි දියුණු කිරීම,රැකියා අවස්ථා උත්පාදනය,විශේෂයෙන්ම පුද්ගල රසවින්දනය වැඩි දියුණු කිරීමට අවකාශ පුළුල් කිරීම. 


යෝජනාව - 


විදේශීය තරු සංකල්ප පසුපස හඹායෑම වෙනුවට දේශීය ඌරුවෙන් නව සංකල්ප බිහිකර ඉන් දේශයේ අභිමානය ලොවට සංප්‍රේෂණය කිරීමට අවැසි කටයුතු සම්පාදනය.