Followers
Saturday, October 30, 2021
Friday, August 13, 2021
ඇඳි සිතුවම
නිසල රැයක ඔය තුරුලේ සැතපෙන්න
කවුළුව හැර තබමි ඔබ මෙහි පැමිණෙන්න
දෙතොලට දෙතොල තබනට ප්‍රථමව ඔන්න
වචන දෙකක් මුමුණන්නට ඉඩදෙන්න
ඇඳි සිතුවම ම හිස් වෙනවා වගේ දැනුනා
මවුපිය සෙනෙහසින් මට නුඹ වැට බැඳුනා
සිත තුල මෝදු වූ පෙම්සුව තනි කෙරුණා
නුඹ නැති දාක මම තනියම මෙහි රැඳුනා
දුර අහසේ පායන සඳ සිතට ලගයි
මගේ සිතට සඳ මෙන් නුඹ බොහොම ලඟයි
ආලය ලඟදි නුඹෙ සෙනෙහස දයාබරයි
අඳුර සමග නුඹෙ තුරුලම ප්‍රියංකරයි....
Tuesday, August 10, 2021
ජීවිතයේ ඉම................
ජීවිතයේ ඉම....
පෙනෙන මායිමක් කොතනද
අනිත් එවුන් එකා පිට එකා
ඉටිකොළ උඩ පැක් වෙන්නේ කේක් වගේ
පෝරණව ළග අළු වෙන්නට සූදානම්
ඉවසුම් නොදෙන හදවත
රිදුම්න් කිරි ගසන හඬ
අසා එන්නට නොහැකිව
කනට ඇබ ගසා ගත්
ලොකු පුටුවල වැජබෙන සක්‍ර දෙවිදුනි
බලාපන්...
ගෞරවාන්විත අවසානයකට
යන්නට ඉඩ දීපන්....
මේ එතෙන මිනිස් ජීවිත...
එතෙන, වෙලෙන , ගැටෙන, වැටෙන, මිනිස් හදවත
දීපන් හදවතට සහනයක්
නිදහසේ වැලලෙන්නටවත්
එක එකාගේ පදයට කේක් වගේ පැක් නොවී
නිදහසේ
වාතලයට හුස්ම මුසුකොට
ගෞරවාන්විත අවසානයකට
යන්නට ඉඩ දීපන්....
Sunday, August 8, 2021
දිරන බව
දිරන බව
දිරන බවදැන දැනත්
එකිනෙකා වෙන වෙනම
ගස් බූටි ගසා
වට්ටි පිටින්
සිද්ධාර්ථයන් එපා යයි අස්කර දැමූ
ලෞකික සැපත ලෝකෝත්තර සැපතට
ඇමිණීමට උත්සාහ කරන
අමු සිංහල බෞද්ධයින්...
කියන්නේ කුමක්ද........................
බෝ ගහේ අතු
එකිනෙක
වැලිමළුව සිප ගන්නේ කොඩිවල බරෙන්
පටිමා ගෙය සුවඳ දුමින් පිරී ඉතිරෙන්නේ
එකිනෙකා මිටි ගණනින් තනි තනිව දැල් වූ
සුවඳ දුමින්......
බුදුන් වහන්සේ කෙසේනම්
නිදහසේ ආස්වාස ප්‍රාස්වාස කරන්නද
අමු බෞද්ධයෝ
කරන්නේ කුමක්ද...................
සංසාර ගමන
කෙටිකර ගන්නට
අත්හැර දැමූ මාර්ගය දිගේ
හැති අරිමින් දිවිමය
පෙමට කොයින්ද සීමා
පෙමට කොයින්ද සීමා
හුදකලාවේ බිතු අතර
තෙරපෙන්නට
ඉඩදෙන්න...
මෝදුවන සඳට
කොඳුරන්නට ඉඩදෙන්න...
සිහින් විහඟ සත්සරයට
මැදි වන්නට
ඉඩ දෙන්න...
මුහුදේ රළ අතර
සත්සර මුසුවී ඈත පෙන පිඩුවක් ව
ඈත අහසේ
වළාකුළු මත රටා මවන්නට
ඉඩදෙන්න...
පිපෙන පුෂ්පයන් මත
සුවඳ තවරන්නට...
ඉගිලෙන සමනලුන්ට
පැනි බොන්නට...
මල නොතලා මලේ සුවඳ විඳගන්නට
ලොවට ඉඩදෙන්න...
ඉතිං කොහෙද පෙමට බාධා....
Saturday, August 7, 2021
හදවතට
හදවතට
භික්ෂුව හා ගිහියා අතර වෙනස අපැහැදිළි බවට පත් වෙමින් තිබෙන මෙවැනි යුගයක භික්ෂූන් ද දැඩි මතධාරී වූ ද ඇතැම් විට ප්‍රචණ්ඩ වූ ද දේශපාලන කටයුතු වල නිරත වෙතැයි සිතිය හැකිය. ජවිපෙ ඇතුළුව සෑම දේශපාලන පක්ෂයකටම අයත් භික්ෂූන් සිටින හෙයින් ඔවුන් බුදුන්ගේ පණිවුඩයට නොව එම දේශපාලන පණිවුඩයන්ට ප්‍රතිචාර දක්වන අයුරු දැක්ක හැකිය. ඒ කෙසේ වුවද සංසන්දනාත්මකව බලන කල බෞද්ධයන්ගේ හැසිරීම එතරම් නරක නැත. ජාතිකවාදී භික්ෂූන් හා ගිහියන් දේශපාලනමය ඝෝෂාවන්හි යෙදී සිටියත් ඔවුන් අද දින ඉන්දියාවේ සිටින තාපස භටයන් තරම් ප්‍රචණ්ඩ හෝ ගුජරාතයේ මිනීමරු ජන පිරිස් හෝ තරම් තත්ත්වයකට පත් වී නැත. මුස්ලිමුන්ගේ ජීහඩ් දර්ශනයේ ආභාශය ලැබූ අය සංඛ්‍යාවෙන් ඉතා ස්වල්පය. මව්බිම වෙනුවෙන් මැරෙන සොල්දාදුවන් නිවන් යනවා යැයි කියන්නේ එකම එක භික්ෂුවක් විසින් පමණි. භික්ෂූන්ගේ ජාතිභේදවාදී අදහස් දමිළයන් අන්තවාදීන් වීමට වත්මන් යුද්ධය දිගින් දිගටම පැවතීමටත් තරමක් දුරට හේතුභූත වූ නමුත් ඔවුන්ගේ වත්මන් ප්‍රතිචාරයන් තනිව ගෙන නොව එලිටීටීඊය විසින් සිදුකර ඇති අපරාධ පසුබිමේ තබා බැලිය යුතු වේ. වන්දනාවේ යමින් සිටි භික්ෂූන් හා සාමණේරයන් ඝාතනය, සිවිල් වැසියන් වෙත එල්ල කළ ප්‍රහාර, මෑතකදී මහනුවර දළදා මාළිගාවට පහර දීම ආදී ප්‍රකෝපකාරී සිද්ධි රාශියක් එල්ටීටීඊය සිදු කළහ. මේ කෙසේ වුවත් “බෞද්ධයන්” ලෙස මනුෂ්‍යයන්ගේ දුක්විඳීම් ගැන කම්පා වනවා නම් භික්ෂූන් හා ගිහි බෞද්ධයන් දැන් සිදුවන සාම ක්‍රියාවලියට විරුද්ධ නොවිය යුතුය. ප්‍රධාන පෙළේ භික්ෂූන් බොහෝ දෙනෙකු සාම ක්‍රියාවලිය අනුමත කරමින් එය අත්හදා බලන්නට කැමැති වී තිබීම වාසනාවකි. ජවිපෙ, සිහල උරුමය සහ තවත් සංවිධාන කිහිපයකට සම්බන්ධ තරුණ භික්ෂූහු මීට විරුද්ධ වී සිටිති.
වත්මන් තත්ත්වය ගැන මගේ සිතේ තිබුණු බරකින් ඉහත අයුරින් නිදහස් වී මා සාකච්ඡා කරන්නට යන පූර්ව යටත් විජිත යුගයේ ජාතික භාවය හා අනන්‍යතාව වෙතට දැන් යොමු වෙමි.
නූතන සංකල්ප භාවිතයෙන් තොරව බෞද්ධ “කුමක් හෝ” සංකල්පනය කර ගැනීම
මුලදී යටත් විජිත යුගයට පෙර ශ්‍රී ලංකාවේ පැවැති තතත්ත්වය නිරූපණය කිරීම සඳහා “ජාතිය” “ජාතික රාජ්‍යය” හෝ “රාජ්‍යය” යන කිසිදු වචනයක් භාවිතයෙන් වැළකී සිටීමට කැමැත්තෙමි. යුරෝපීය චින්තනයෙන් ලබා ගත් මේ වචන යොදනු වෙනුවට “බෞද්ධ කුමක් හෝ” යන්න තාවකාලිකව යොදා ගනිමින් එම පූර්ව යටත් විජිත යුගයේ පැවැති තත්ත්වය පිළිබඳ යථාභූත තොරතුරු පමණක් සපයනු කැමැත්තෙමි. එදා පැවැති තත්ත්වය අනුව ශ්‍රී ලංකා රාජත්වය තුළ ස්වාධිපත්‍ය පිළිබඳ අදහස පැහැදිළිවම පිළිගෙන තිබුණු බව පෙනේ. (මෙතැනදී මුල් ඉංග්‍රීසි පිටපතේ පහත සඳහන් වාක්‍යය සිංහල පරිවර්තනයෙන් මඟ හැරී ගොස් තිබේ . It was an ideological construct, a fiction, though a very significant one. එය මතවාදී නිර්මිතයක්, ප්‍රබන්ධයක් නමුත් ඉතා වැදගත් එකක් වීය.) කලින් කල තැනින් තැන පැන නැගුණු කුඩා රාජධානිවල (12 වන සියවසින් පසු යාපනේ රාජධානිය වැනි) රජවරු පවා තම අණසක පවත්වාගෙන සිටියේ ඒ කුඩා පෙදෙසේ පමණක් වුවත් තමන් මුළු ලංකාවටම අධිපති යැයි කියාගෙන උන්හ. යථාර්ථයෙන් ඒ ප්‍රාදේශීය රජුන් තමා රජ කළ පෙදෙසේ ස්වාධීනත්වය තහවුරු කරගෙන සිටියේ සංකල්පීය වශයෙන් අධිපතිභාවය උරුම වී ඇතැයි සැලකුණු රාජධාණිය කෙරේ ගරුසරු දැක්වූ අතරතුර ය. පුරාණ හා මධ්‍යකාලීක යුගයන්හි වැඩිපුර කලක් රුහුණේ යථාර්ථයෙන් තිබුණේ ස්වාධීන රාජ්‍යයකි. එය “රජරට” (ස්වාධිපත්‍යයේ උරුමය රැඳී පැවැති හෙයින් එම නම දැරූ) අනුරාධපුරයේ හෝ පොළොන්නරුවේ පැවැති රාජධානිවල ප්‍රතිබිම්භයක් විය. 15 වන සියවසින් පසුව මහනුවර රජවරු ප්‍රාදේශීය පරිපාලකයන් පත් කිරීම පහකිරීම වැනි බලතල ක්‍රියාත්මක කරමින් තම රාජ්‍යයේ අණසක පතුරවාගෙන සිටියහ. මේ අයුරින් කලින් කල දිවයිනේ පැන නැගුණු රාජධානි ව්‍යූහමය වශයෙන් අසමාන වුවත් සංකල්පමය වශයෙන් ඒකාබද්ධ බෞද්ධ “කුමක් හෝ” යැයි සැලකී තිබුණි. විටින් විට සම්පාදනය වූ මහාවංශයේ කොටස් තුළ ප්‍රායෝගික ව මුළු රට එක් සේසත් කල ලෙස හඳුනාගෙන ඇත්තේ දුට්ඨ ගාමිණී (ක්‍රි.පූ. 161-137) පළමුවන විජයබාහු (ක්‍රි.ව. 1070-1110) පළමුවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1186) සහ, අවසාන වශයෙන්, සයවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1411-1461) යන රජවරුන්ය. එහෙයින් ඉතිහාසයේ වැඩිපුර කලක් රාජ්‍ය මධ්‍යස්ථානය අස්ථාවරව පැවතුණි. එහෙත් එම බෞද්ධ “කුමක හෝ” නීත්‍යානුසාරීව මුළු දිවයිනටම අණසක පැවැත්වීමේ අයිතිය පිළිබඳ අදහස දිගින් දිගටම පැවැත ආවේය. විවිධ වශයෙන් කැබලි වී පැවැති “රාජ්‍යය” සමතික්‍රමණය කළා වූ මතවාදීමය ඒකාබද්ධතාව ගොඩනැගී තිබුණේ කෙසේද යන්න දැන් විස්තර කරනු කැමැත්තෙමි. බෞද්ධ ජන සංකල්පණය තුළ එම මතවාදීමය ඒකාබද්ධතාව නිර්මාණය කොට ප්‍රකාශ වූයේ කෙසේද?
1. හයවන සියවසේ රචිත මහාවංශයේ පළමු කොටසට අනුව බුදුරදහු මේ දිවයිනට තෙවරක් අහසින් වැඩියාහු මෙහි සිටි යක්ෂයන් ගිරිදීපයට පළවා හැර උතුරේ වාසය කළ නාගයන් අතර වූ දබරයක් සංසිඳවා ඔවුන් සිය දහමට හරවා ගත්හ. පසුව ශුද්ධ භූමි බවට පත් වූ කැළණිය, මහියංගනය හා සුමනකූටය යන තැන් බුදුන් වැඩි තැන් වේ. මේ ගැන විවාදයක් ඇත්තේ කලාතුරකිනි. මේ ගමන්වල අරුත පැහැදිළිය. දිවයින දුෂ්ට වූ යක්ෂයන්ගෙන් මුදාගෙන යහපත් වූ නාගයන් සම්‍යක් දෘෂ්ටියට හරවා තිබේ. බුදු පහසින් පරිශුද්ධ වූ ස්ථාන අතර සිරිපතුල පිහිටුවන ලද සුමනකූටය අතිශයෙන්ම වැදගත් වූ වන්දනා ස්ථානය බවට පත් වූවකි. බුදුරදුන්ගේ ගමන් මගින් අනාගතයේ බුදුසමය සුප්‍රතිෂ්ඨිත වන මේ ලංකා භූමිය අභිෂේක කලාක් වැන්න. සිංහලයන්ගේ ආදි පුරුෂයා වන විජයගේ ආගමනය සඳහා දිවයින සූදානම් කර තැබුණි.
2. විජය (ජයග්‍රහනය) කුමරු වනාහි තම පියා මරා සොහොයුරිය විවාහ කරගත් උතුරු ඉන්දියාවේ සිංහපුර රාජධානියේ රජ කළ රජුගේ දෙටු පුත් ය. දාමරික පිළිවෙත් නිසා ඔහු හා හත්සීයක් පිරිවර නැවක දමා පිටුවහල් කරනු ලදුව බුදුරදුන් පිරිනිවන් පානා දිනයේ දිවයිනට පැමිණෙති. ආධ්‍යාත්මික ලෝකයේ ජයග්‍රාහකයා (ජින) බුදුන් වන්නා සේ ගෙහසික ලෝකයේ ජයග්‍රාහකයා විජය වේ. පළමු වන බෞද්ධ රාජ්‍යයේ ආරම්භකයාට “විජය” නාමය දිවයිනේ පළමු ඉතිහාස ග්‍රන්ථය වන දීපවංශයේ ද පසුව මහාවංශයේ ද දීමට එක් හේතුවක් එයයි. ශ්‍රී ලංකාවෙත් පිටත ලියවුනු සෑම කෘතියකම පාහේ ඔහු හැඳින් වී ඇත්තේ “සිංහල” යන නමිනි. විජය ආරක්ෂා කරන ලෙස බුදුහු ශක්‍රයාට භාර කළහ. ශක්‍රයා එය විෂ්ණු (උපුල්වන්) වෙත භාර කරන ලදින් ඔහු දිවයිනේ ආරක්ෂක දෙවියෙක් ද බෝධිසත්වයෙක්ද බවට පත් වුණි. විජය පළමුව කුවේණී නම් යකිණිය විවාහ කරගෙන පසුව ඇය අතහැර දැමීය. එම විවාහයේ දරුවන්ගෙන් වැද්දෝ ඇති වූහ. පසුව විජය දක්ෂිණ (දමිළ රටේ) මධුරාපුරයෙන් (කෘෂ්ණගේ වාස භූමිය වූ උත්තර මධුරාවෙන් වෙනස්) රජ කුමරියක අභිෂේක කළත් දරුපල නැති බැවින් රජකම සඳහා ඔහු ඇවෑමෙන් මල් සුමිත්ත කුමරු පුත් පඬුවස්දෙව් සිංහ පුරයෙන් ගෙන්වා ගැනුණි.
Friday, August 6, 2021
පින්තූර කොටුව
හදවතට කතා කරන, හදවත විනිවිද යන අරගල බිමේ පින්තූර කොටුවක්. අනාගතයට ලොවක් තනන්නට බිළිදියනට සුරැකි හෙටක් තනන්නට ඔබ මහා පවුරකි... දෑත් බැඳි යදමේ නුඹ මහා පුරුකකි...
යන්න පෙරට පුතුනේ
යන්න පෙරට පුතුනේ
පා සලඹ කෝ පා යුග්මයේ අද
රඟහල වී දැන් අඳුරින් අඳුරට
රජ වෙන්නට ඔටුනක් හිස මැදි කර
සිහින දකින් පුතුනේ
අඬ සඳ මෝරන මැදියම් අහසින්
එළිය කරන් පුන් සඳිනේ
වැව් ඉස්මත්තේ කෙකා නගන සුදු
කොක්කු රෑන් ඉගිලී යන්නේ
නිලට නිලේ තඳ ඇඳුමින් සැරසී
වන දෙව්ලිය ආසිරි දෙන්නේ
දෙරණ පලා රතු කැට මතුවන්නට
දූවිලි රණබරණින් සැරසෙයි
දහඩිය විලවුන් සේ නුඹ පසුපස
අසිරි පතා පවනට එක්වෙයි
සිරිදෙව්ලිය මඟ එළි කරවයි
වන දෙව්ලිය පවනින් සනහයි
ගිරි දෙව්ලිය දිවි මඟ පෙන්වයි
මිහි දෙව්ලිය නුඹ රජ කරවයි...
යන්න පෙරට පුතුනේ
ගොස් රට භාර ගන්න පුතුනේ...
කොටස් වෙළදාම (Part deal )
කොටස් වෙළදාම
(Part deal )
වම් පැත්තේ ඇති වූ කොරයක්
නිසා වැන්දා දෙවියෙක්
චැනල් කරන්න දෙදාහයි
බෙහෙත්වලට පන්දාහයි
ගියා මහරෝහලට
පෝළිම දිගයි පාරට
දුන්න තුන්ඩු කෑල්ලට
ක්ලිනික් වැටුණේ අනිද්දට
ආපහු ගමට ගොස්
එන්න බෑ නෑ බස්
අමාරුව වී උස්
ඇදන් වැටුණා බිමට දඩොස්
ඇටන්ඩන් අයියා
ටෙලිය දක්කන් ආවා
වෙදා ළඟට කැඳවා
මෙන්න මෙහෙම කීවා
මෙයා මගේ හිතවතෙක්
මාමගේ පුතෙක්
කරන්න උදව්වක්
පව්නෙ මිනිහ ලෙඩෙක්
ටෙලියට අතාරින්න
පෙරින් දුන්න මොණරිය
කතා කළා හරි අපූරුවට
වෙදා ඉදිරියේ හිටගෙන
වකුගඩු නරක් වෙලා
දැන් කල් ගත වෙලා
එකක් බද්ධ කරලා
ඉන්න පුළුවන් සුවෙන් වසලා
සල්ලි වියදම් වෙනවා
ලක්ෂ හත අටක් යනවා
මෙහෙනම් වෙලා යනවා
සෙන්ටරේනම් කලින් වෙනවා
පාර්ට් . විකුණනවා
මෙහෙට දෙන්නත් එනවා
මොණරු මිටියක් දෙනවා
ලෙඩේ එතනින්ම හොඳ වෙනවා
වකුගඩු දෙක විතරක්මැයි බද්ධ කරන්නේ
වෙන මොනවගෙ අවයවදැයි ඕනේ කරන්නේ
අනේ මහත්තයෝ මගේ අවයව ගන්නේ
ඒවායේ වටිනාකම ගෙදරට දෙන්නේ
ගන්න අපේ දේ
බෝවන රෝග නැත්නම් වසංගත තත්ත්වයන් පැතිර යනවිට ඒවායින් ආරක්ෂාවීමට අපේ පැරැන්නන් අනුගමනය කළේ මොනවගේ උපාය මාර්ගයන්ද ?. දුම් ඇල්ලීම ඉන් ප්‍රධානයි.
දුම් ඇල්ලීම මගින් විෂබීජහරණය
පැරැන්නන් තමන්ගේ නිවස වගේම සේවා ස්ථානයටත් දුම් අල්ලන්න පුරුදු වෙලා හිටියා. ශාක හෝ සාම්බ්‍රානි කුඩු මේ සඳහා යොදාගන්නවා. මෙහිදී යොදාගන්නා ශාක පත්‍ර වෙන්නේ කොහොඹ,දෙහි, පාවට්ටා, කැප්පෙටියා, නික, ආඩතෝඩා ආදියයි. කොහොඹ කොළ දුමායනයෙන් ආසාධනය ඇතිකළ හැකි ක්ෂුද්‍රජීවීන් විනාශ කරදැමීම සිද්ධ වෙනවා. ඒවගේම මැසි, මදුරු උවදුරත් නැතිවෙනවා.
ඒවගේම සෙම්ප්‍රතිශ්‍යාව, තද හිසරදය, උණ හා කැස්ස වගේ ලෙඩරෝග වැළඳුණු විටදීත් විවිධ ශාක පත්‍ර භාජනයකට ගෙන ජලය සමග රත්කරලා එහි වාෂ්පය ආශ්වාස ප්‍රශ්වාස කරනවා. මෙමගින් සිද්ධවෙන්නේ ශ්වසන පද්ධතියේ ඇතිවන අපහසුතාව මඟහරවා හුස්ම ගැනීම පහසු කිරීමයි.
නික කොළ මේ වගේ අවස්ථාවලදී බහුලව යොදාගත්තා. නික කොළ මිටක් අරගෙන වතුරට දමා හොඳින් තම්බාගන්නවා. දුම්දමනකොට රෙද්දක් පොරවා ගෙන විනාඩි පහක්, හයක් පමණ කාලයක් දුම් අල්ලනවා. මෙමගින් නාසයේ උඩ පරානාසික කුහරපිටුපස විෂබීජ රැඳී තිබෙනවා නම් ඒවා විනාශ කිරීම සිද්ධවෙනවා.
කොරෝනා විෂබීජත් දින 3ක් හෝ 4ක් අපේ නාසයේ පරානාසිකකුහර පිටුපස සැඟවී පැවතිය හැකි බව දැන් හඳුනාගෙන තියෙනවා. නික කොළ වැනි දුම් ඇල්ලීම ඊට හොඳම විසඳුමක් වෙනවා.
රෝගියෙකු සිටින නිවසක් බව පෙන්වීම
දෙවියන්ගේ ලෙඩ නැත්නම් කිළි රෝගයන් විදියට නම් කෙරෙන සරම්ප, කම්මුල්ගාය, පැපොල වගේ වෛරස් රෝග වැළඳුණු විටදී කොහොඹ කොළ අත්තක් එල්ලා තැබීමත් පැරැන්නන් අනුගමනය කරපු තවත් ක්‍රමවේදයක්. මෙමගින් සංකේතවත් කෙරෙන්නේ තමන්ගේ නිවසේ රෝගියෙකු සිටින බවයි. මෙවැනි රෝගීන් ඉන්න ගෙවල් වලට ගොස් එන අය තමන්ගේ නිවසට ඇතුල්වෙන්න කලින් ශාක යුෂ අන්තර්ගත උණු වතුරෙන් ස්නානය කර පිරිසිදු වෙනවා.
ශාක අත්ත එල්ලා තැබීම මගින් විෂබීජ ඇතුළුවීමක් සිදුනොවෙන අතර තවදුරටත් ඒ ස්ථානයේ විෂබීජ පැතිරීමක් සිදුනොවන බව විශ්වාස කෙරෙනවා.
ස්වයං නිරෝධායනය
දෙවියන්ගේ ලෙඩ වැළඳුණු පිරිස් අවම වශයෙන් සතියක කාලයක් වත් නිවසටම වී කල්ගෙවනවා. පැපොල, ඇස්ලෙඩ, කම්මුල්ගාය හා සරම්ප වැනි රෝග වැළඳුණාම සතියක කාලයක් නිවසටම වී කල්ගෙවන්න පැරැන්නන් වගබලා ගත්තා. මෙමගින් ඒ රෝගය වෙනත් කෙනෙකුට පැතිරීම වැළැක්වීම සිදුවුණා. වැදගත්ම දේ මෙවැනි වැළඳී සුවවූ විට පවා ඒ පුද්ගලයින් සමාජය තුළ ගැවසෙන කාලය අඩු කර එය වසංගතයක් වීම වළක්වා ගැනීමයි. ඒ වගේම එවැනි රෝගීන් සිටින පවුලේ උදවියත් ස්වයං නිරෝධායනයට ලක්වුණා. ඔවුන් වැවේ මංකඩ, ළිඳ වැනි පොදු ස්ථාන වල ගැවසුණේ නැහැ.
දෙයියන්ගේ ලෙඩ හා තහංචි
පැපොල, සරම්ප, ඇස් ලෙඩ හා කම්මුල්ගාය දෙයියන්ගේ ලෙඩ නමින් අතීතයේ හැඳින්වුණා. මෙම රෝග වැළඳුණු විට මුලින්ම සිදුකරන්නේ නිවස තුළම රෝගියාව වෙන් කිරීමයි. නිවස තුළ පවුලෙන් වෙන් කිරීම වගේම නිවස සහිත පවුල සමාජයෙන් වෙන් කිරීම සිදුවුණා.
නිවසේ ප්‍රධාන කොටස් සමග කිසිම සම්බන්ධයක් නැති කාමරයක තමයි මේ රෝගියාව තිබ්බේ.
කොහොඹ කොළ ඇතුරුමක් මත රෝගියාට නිදාගැනීමට සැලැස්වීම, කාමරය දින කීපයකට වරක් කහ දිය ඉස විෂබීජහරණය කිරීමත් සිදුවුණා. මේ කාමරයේ උළුවස්සේ පවා කොහොඹ කොළ එල්ලනවා. රෝගියාගේ කෝප්පය, පිඟාන පවා වෙන්කර වෙනම වැසිකිළි පහසුකම් සැපයීමත් සිදුවුණා.
මෙම රෝග වැළඳී දවස් 14ක් ගතවී ගියාට පස්සේ රෝගියාව නැහැවීම සිද්ධවෙනවා. නිවසේ ඈත වෙනම අතුපැලක් ඒ සඳහා හදනවා . ප්‍රතිශක්තිය වඩන පැඟිරි කොළ, කොහොඹ කොළ වැනි දෑ මේ වතුරට එකතු කරනවා. එතෙක් රෝගියා ඇඳසිටි රෙදි පුළුස්සා දමනවා.
සාමාන්‍යයෙන්, දෙයියන්ගේ ලෙඩ දවස් 3, 7 හා 21 පුරාවට පැවතුණා. උදාහරණයක් විදියට ගත්තොත් පැපොල රෝගයවැළඳුණු රෝගියෙකු නහවා පිරිසිදු කරන්නේ දින 14 කට පසුවය. ඉන්පසු එළඹෙන සතියක කාලය රෝගය දැඩිව පැතිරීයාමේ දැඩිඅවධානමක් පවතින නිසා රෝගියා වගේම රෝගී තැනැත්තාගේ පවුලේ පිරිස ද දැඩි නිරෝධායනයට ලක්කෙරුණා.
මේ කාලයේදී රෝගියාට සමහර ආහාර වර්ග අනුභව කිරීම ද තහනම් වුණා. ‘මස්, මාළු‘ වැනි පිලිහුඩු කෑම වගේම කෑමට තෙල්, කහ වැනි දෑ එකතු කළේ නැහැ. මිරිස් හොදි වැනි දෙයක් ආහාරයට ගැනීමට ඉඩ ලබාදුන්නා.
රෝගියාට කණ්ණාඩියෙන් මුහුණ බැලීමත් තහනම් වුණු අතර කණ්ණාඩිය රෙද්දකින් ආවරණය කෙරුණා. මෙහිදී සිද්ධවුණේ මුහුණේ ඇතිවන බුබුළු දකිනවිට තිබෙන බය, අප්‍රසන්න බව, කළකිරීම් සහගත බව වළක්වාගැනීමයි.
දෙයියන්ගේ ලෙඩ ඇති රෝගියෙකු සිටින නිවසකට අවශ්‍ය සියළු දේ අනෙක් ගැමියන් විසින් සැපයීමත් සිද්ධවුණා. රෝගියා සුවපත් වූ විට ගමේ වෙද මහතා, ගුරුන්නාන්සේ හෝ කපුරාළ පැමිණ දෙවියන්ගේ ගුණ සිහිකර මැතිරීම වගේම පඬුරක් ගැට ගැසීමත් සිදුවුණා.
ප්‍රතිශක්තිය වැඩි කරන ඖෂධ හා ආහාර
ලෙඩරෝග සමග සටන් කර ඊට ඔරොත්තු දීමේ හැකියාව ප්‍රතිශක්තිය ලෙස හඳුන්වනවා. අපේ පැරැන්නන් දරුවෙකුගේ උපතේ සිටම ප්‍රතිශක්තිය ගැන විශේෂ අවධානයක් දුන්නා. කොරෝනා වසංගත පැතිරී ගියපු මුල් දවස්වලදී පෙරුම්කායම්, වෙනිවැල් හා කොත්තමල්ලි රැල්ලක් පැතිරී ගියා. ඒකට හේතුවුණේ ඒවා අපේ සාම්ප්‍රදායික දැනුම තුළ විශේෂ තැනක් හිමිවන විෂබීජ නසන ඖෂධ වීමයි.
පැරැන්නන් ප්‍රතිශක්තිය ගැන විශේෂ අවධානයක් යොමුකළේ දරුවෙකුගේ උපතේ සිටයි.
දරුවෙක් ඉපදිලා මාස කීපයක් ගතවුණාට පස්සේ පෙරුම්කායම් හාවදකහ දරුවන්ගේ සිරුර ස්පර්ශ වන විදියට බැන්ඳේ විෂබීජ වලින් දරුවට එල්ලවන තර්ජන වළක්වන්නයි.
කුඩා දරුවන් වගේම වැඩිහිටියන්ගේ ද ප්‍රතිශක්තිය වර්ධනයට මුල්තැන දෙන්න පැරැන්නන් අමතක කළේ නැහැ.
කොත්තමල්ලි පානය, සුදුළූණු ව්‍යංජනය හෝ කැඳ, මිංචි කොළ කැඳ හෝ කලවම් පලා, පොළොස් ආහාරයට ගැනීම ද සිරුරේ ප්‍රතිශක්තිය වඩන දිව්‍ය ඖෂධ වුණා.
වෙනිවැල්, ගම්මිරිස්, සූදුරු, මහදුරු, පත්පාඩගම්, දෙහි හා දෙළුම් ද පානයට එක්කර ගැනීම සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට යොදාගත්තා. හැකි හැම අවස්ථාවකදීම රතු ළූණු ආහාර වලට එකතු කරගැනීම මගින් දුර්වල වූ ශරීර ශක්තිය නැවත වර්ධනය කරගැනීමට හැකිවුණා. ඉඟුරු දැමූ තේ පානය ද, නෙල්ලි, රසකිඳ, වෙනිවැල්, රණවරා, බෙලිමල් පානය ද ප්‍රතිශක්තිය වර්ධනය කරන්නට මනා පිටුබලයක් වුණා.
අද දවසේදී කොරෝනා වසංගතයට ගොදුරුවී ඉන්න අපිට පැරැන්නන් යොදාගත්තු මේ ක්‍රමවේද නැවත නැවතත් සිහිපත් කරදෙන්නේ මේ වසංගත වළක්වා ගතහැකි සාම්ප්‍රදායික ඥාණය අපි සතුව අතීතයේ ඉඳන්ම පැවතුණු බවයි. එහෙනම් අපිට වැරදුණේ කොතැනද ?.
Thursday, August 5, 2021
ගැමි ආගමට අයත් අභිචාර විධි
ගැමි ආගමට අයත් අභිචාර විධි
ගැමි ආගමට අයත් අභිචාර විධි (මන්ත‍්‍ර ගුරුකම්) කෙනෙකුට අනවින කිරීමට පමණක් නොව සෙත් සාන්ති ලැබීමට ද යොදා ගනී. පේ‍්‍රත භූත ආදී අමනුෂ්‍යයන්ගෙන් වන උපද්‍රව වලින් කෙනෙකු ආරක්ෂා කිරීම සඳහා මන්ත‍්‍ර ජපකොට කහ දියරෙහි පො`ගවන ලද නූලක් ගැට ගැසීමේ චාරිත‍්‍රය අද ද ලංකාවේ බහුලව පවතී. ”පිරිත් පැන් ඉසීම ද පිරිත් නූල් ගැට ගසා ගැනීම ද ගැමි ආගමේ අභිචාර ක‍්‍රමවලට අනුකූලව සාදා ගන්නා ලද බව අනුමාන කළ හැකිය.”” ( සිංහල ගැමි නාටකය 20 පිට) ගැමි ආගමට අයත් වෙනත් පූජා කර්ම බුදු සමය තුළට වැද්දගන්නා ලද සැටි ස්පුට කිරීම සඳහා ඔහු තවත් නිදර්ශන ගෙනහැර දක්වන්නේ මෙසේ ය. ”අවමංගල උත්සවයන්හි භික්ෂූන් වහන්සේ වෙත මතක වස්ත‍්‍ර පූජා කිරීම මෙයින් එකක් යයි හැෙ`ග්. මේ පූජා කර්මයන්හි දී මිය ගිය තැනැත්තාගේ නෑයෙකු විසින් පැන් වඩන විට භික්ෂූන් වහන්සේ කියන තිරෝකුඞ්ඩ සූත‍්‍රයෙහි මළ ගිය ඇත්තන් පිළිබඳ ගැමි ජන විශ්වාස කීපයක් අනතර්ගත වේ. එහි එක් පාඨයක් මේ චාරිත‍්‍රයේ ප‍්‍රභවය අවබෝධ කර ගැනීමට ඉවහල් වෙතියි පෙනේ . එනම් ඉතො දින්නෙන යාපෙන්ති පෙතා කාල කතා තහිං (මෙහි දෙන ලද්දෙන් මිය ගිය අය එහි යැපෙති.)යන්නයි .” (සිංහල ගැමි නාටකය 20 පිට) ”පේ‍්‍රතයෝ නිතරම කුසගින්නෙන් පෙළෙතියි යන විශ්වාසයෙන් හට ගත් චාරිත‍්‍රයක් වන ඔවුන් වෙත ආහාර පිදීමේ සිරිත ද පසු කාලයක දී ඔවුන්ගේ නාමයෙන් භික්ෂූන් වෙත දන් දීමේ චාරිත‍්‍රයක් වශයෙන් හැඩ ගැසිණැයි නිගමනය කිරීම යුක්ති යුක්ත සේ පෙනේ” . (සිංහල ගැමි නාටකය 20 පිට) සාමාන්‍ය ජනතාව අතර ගැමි ආගම මුල් බැසගෙන තිබූ නිසා බෞද්ධාගම ඔවුන් අතර ව්‍යාප්ත වීමේදී ඔවුන් දිනා ගැනීම සඳහා බෞද්ධ නොවූ එම චාරිත‍්‍රවලට බෞද්ධ වේශයක් ආරෝපණය කොට සමහරවිට බෞද්ධ චාරිත‍්‍ර හා උත්සව ලෙස සකස් කරගත් අවස්ථා ද ඇත. සමනොළ පර්වතයට අධිගෘහිත සමන්ත භද්‍ර දෙවියා එහි බුදුන්ගේ ශ‍්‍රීපාද ලාංඡුනය ඇතැයි සැලකෙන තැන් සිට එය ආරක්ෂා කරන සමන් දෙවියෙකු බවට පෙරළී පුද පූජා උත්සව සිදු කෙරෙයි. විෂ්ණු නාථ කතරගම හා පත්තිනි නම් හින්දු දෙවිවරුන් වෙත කෙරෙන පූජාවක් ලෙස ඇරඹි මහනුවර පෙරහැරෙහි ගැමි ආගමික චාරිත‍්‍ර ද අඩංගු වෙයි. පසුව 1775 දී කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ නියෝගයෙන් දන්ත ධාතූන් වහන්සේ ද එක් කරමින් එය දළදා මාලිගාවේ බෞද්ධ මහෝත්සවයක් බවට සකස් විණි. අළුත් ආගමක් වෙනත් ආගමක් පවත්නා රටකට ගෙන යන ලද කල්හි ආගම් දෙක අතර කිසියම් රහස් ගිවිසුමක් අනිවාර්යයෙන් ම සිදුවන බව මහාචාර්ය සරත්චන්ද්‍රයන් පවසයි. සත්‍යවශයෙන් ම සමස්ත ක‍්‍රියාවලිය තුළ කැපී පෙනෙන ලක්ෂණය නම් (සිංහල) ගැමි ආගමික සමාජය හා බුද්ධාගම රහස් ගිවිසුමක් මත ක‍්‍රියාකාරී වෙමින් එකිනෙක ඌණපූරණය කරගැනීම ය. (සිංහල) ගැමි ආගමික සමාජය බෞද්ධාගම තම දෘෂ්ටිමය ආයතනය ලෙස පිළිගනිමින් ද ඒ අතර බෞද්ධාගම එම සමාජය මත බලපෑම් සහගත ආයතනික තත්ත්වය තහවුරු කරගනිමින් ද සිංහල බෞද්ධ රාජ්‍යය නිර්මාණය කරගනී. එදා ගැමි ආගමට තිබූ තැන බෞද්ධාගම විසින් විස්ථාපනය කර අද ශ‍්‍රී ලංකාව නිර්මල බුදු දහම රජයන බුදුන්ගේ දේශය ලෙස මහත් ඉහළට ඔසවා ඇතැයි බෞද්ධයෙකුට අභිමානයක් දැනෙනු ඇත. එහෙත් ඉහත කරුණු ගැඹුරින් සැලකිල්ලට ගන්නේ නම් සිදුවී ඇත්තේ හාත්පසින්ම වෙනත් දෙයකි. බෞද්ධාගම නිරාමිස විමුක්තිය පිළිබඳ සිය ඉගැන්වීම මතින් ගොඩ නගාගෙන තිබූ ගෞරවනීය අනන්‍යතාවය අහෝසිකර ගනිමින් පුද පූජා උත්සව මංගල්‍ය යන්ත‍්‍ර මංත‍්‍ර ගුරුකම් වෙදකම් නැකත් බැලීම්වලින් ගහන සැබෑම සිංහල ගැමි ආගමික ආයතනයක් බවට පත්වී ඇත. කාලය අනුව නව්‍ය වෙමින් වුව ද ගමන් කරන්නේ ඒ මගෙහි ම ය. මිථ්‍යා විශ්වාසයන් වුව ද ඒවා මිනිසාගේ ජීවන අරගලය මතින් එනම් ප‍්‍රකෘතිය වෙනස් කිරීමට දරණ උත්සාහයේදී පිළිපන් ඒවා ය. කටුක ප‍්‍රකෘතිය විඳ දරාගැනීමටත් නැතිනම් චමත්කාර බලාපොරොත්තු හඹා යාමටත් ඔහු මෙහෙයවනු ලබන්නේ එම විශ්වාසයන් විසින් ය. ඒ නිසා ඔහු ඒවා සමග ඇලී ගැලී සිටිමට ආසා කරයි. මිථ්‍යාවට ආදරය කරන තරමට එසේ ආදරය කිරීමට පොළඹවන තරමට මිනිසා ප‍්‍රකෘතිය අවබෝධ කර ගැනීමට හෝ එය වෙනස් කිරීමට තැත් කරන්නේ නැත.
Monday, August 2, 2021
සිත නිවන භාවනාවකි..
සිත නිවන භාවනාවකි..
සිත නිවන භාවනාවකි..
සුන්දර මිතුදම
මිතුරෙකු වාගේ ආදරයක්
කවරෙකු නම් සංසාරේ පුරාවටම ලබාදේවිද
වැටෙන හැම වෙලාවක ම
හදවතට ලං වෙලා
නැගිටපං කියලා කියන්නේ වෙන කවුරුන්ද
සරසවි දිවියේ එක්කරගත් මිණි බරණ අතරට
අපූරු මිතුරු කැලක් හමුවූවා...
Friday, July 30, 2021
මිහිරි ලලිත - ළමා ගීය ළමා ගී ස්වර
මිහිරි ලලිත - ළමා ගීය
ළමා ගී ස්වර
❤👱
සිංහල ගේය පදමාලා සාහිත්‍යය පෝෂණය කළ ළමා ගීත රාශියකි. එවැනි ගීත නිර්මාණය කිරීම වැඩිහිටියන් උදෙසා ගීත නිර්මාණය කරනවාට වඩා ඉතා අපහසු කටයුත්තකි. දරුවන්ට ගෝචරවන පරිදි දරුවන් ලවා හෝ වැඩිහිටි ගායක ගායිකාවන් මඟින් ගැයුණු ගීත රාශියක් නූතනයේ අපට අසන්නට දකින්නට පිළිවෙන. වැඩිහිටියන්ගේ ලෝකය පන්ති සමාජයේ බලලෝභීත්වය මුසු කර්කශ දුගඳ හමන ලෝකයකි. මේ ලෝකය පුරා පැවරී ඇත්තේ රාගය, ද්වේෂය, මෝහය පරයා යන තෘෂ්ණාවයි. මෙවැනි සමාජයක් මත රජයන්නේ ක්‍රෝධය, මාන්නය පමණයි. මීට සපුරාම වෙනස් ලෝකයක්, රමණීය ලෝකයක් නැවත අංශක එකසිය අසූවක් හැරී බැලුවොත් අපට ම දැක ගැනීමට අවස්ථාවක් පවතී. ඒ ළදරු හා ළමා ලෝකය යි. එහි රජයන්නේ අහිංසාව හා ප්‍රේමයේ සුවඳ පමණයි. ළදරුවාට තමා අන්අය හා අන්දේත් අතර වෙනසක් නැත. හිස් සුදු කඩදාසි වැනි හිත් තුළ සිත්තම් කරන්නේ කුමන හැඟීම්, අදහස් උදහස් ද යන්න තීරණය වනුයේ නිර්මාණකරුවාගේ ප්‍රතිභාව මතයි. එපමණක් නොවෙයි වැඩිහිටියන්ට ද කාල්පනික ළමා ලෝකයට පිවිසීමට මේ ළමා ගීත මගක් හෙළිකරයි.
හඳ පානේ වැලි තලා
සුර කුමරියො මල් සලා
මිහිරි ලලිත ගී ගයා
නටති මේ රැයේ...
බිළිඳු සිහිනයක් වාග් චිත්‍රනට යොදාගත් වචන මත ගැබ්වෙන ප්‍රාණය ළමා සිත පුබුදුවාලන්නේ ස්වභාව ධර්මය හා ළමා මනස ගැටගසමිනි. ධවල වර්ණයෙන් යුතු වැලිතලා මෙන්ම හඳපාන ද ඒ වර්ණයෙන් ම බබළයි. මුනින් නැමූ විසල් රන් පාත්‍රයෙන් කිරි දහර වැගිර දසත වසා පැතිර යන පරිද්දෙන් ලොව වසා ගලාගොස් සඳ පහන සුදු වැලිතලා මත පතිත වන කල්හි ඒ ලොව්තුරු දසුන් ළමා මනසට ආමන්ත්‍රණය කරන්නේ විචිත්‍රවත් සිතුවිලි සමුදායක් විකසිත කරමිනි. මේ දසුනෙන් කුල්මත් වන සුර කුමරියො මල් සලා වයමින්, මිහිරි ලලිත ගී ගයා නටන සුන්දරත්වය ළමා සිතක මැවෙන සිහිනයක විනා අන් කවර සිහිනයක හෝ තිබිය නොහේ.
කුමුදු සමන් පෙළ සැදී
සීතල සඳ රැස් වැදී
කොමළ සිනා පා ලෙළ දේ
සුවඳ විහිදුවා...
සඳ රැස් මැදට ගුලීවී තාලෙට සිනාසෙන කුමුදු සමන් මල් ළමා සිත චමත්කාරයට කැඳවන්නේ ආශ්චර්යයක් උද්වහනය කරමිනි. “සඳ කැළුමෙන් තෙමි තෙමී, සුර බිළිදෝ නැළැවෙති...” ලෙස යෙදීමෙන් සුර කුමාරියන්ගේ රැඟුම්, සඳරැස් නෑමෙන් හටගත් සිහිලසින් නිදිසුව විඳීම ළමා මනස කිති කවයි. මේ රාත්‍රිය නිසලය. සියලු හඬ නිහඬය. මෙබඳු රාත්‍රියක සියල් සිරිසර දිස්වන අන්දමට, ළමා ලොවට එබී බලා මෙන් පදබැඳි ගීයකි මෙය. කල්පනා යානාවක නැගී මෙබඳු ළමා ලෝකයකට මේ ගීය සමඟ වැඩිහිටියන්ට ද පියාසර කිරීමට නොමිලේ ගුවන් ටිකට් පතක් ලැබෙයි.
ළමා මනස නිසිපරිදි දැනහැඳිනගත් කුමාරතුංග මුනිදාස අතින් ලියැවුණු මේ ගීතය සංගීතවත් කොට ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේවයන්ය. ළමා ගීතයට වස්තු විෂය ලෙස දරුවාගේ මනසට කතා කළ හැකි වපසරියක පවතින වස්තු සංකලනය කරමින් පබැඳි මේ ගීය රිද්මය, ආකෘතිය මෙන්ම ධ්වනිය අතින්ද ළමා මනසට ප්‍රබල ලෙස ගෝචර වෙයි. තවද සරල භාෂා භාවිතය, අනුප්‍රාස රසය යොදා ගැනීම හා පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වින්දනාත්මක පාර්ශවයෙන් ඉහළ මෙම ගීතය ළමා මනසේ කුකුස බිඳ දැමීමට තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරන සුන්දර ප්‍රතිභාවක ආලෝක ධාරාවකි. මෙවැනි රසාස්වාදයකට නැඹුරුවන දරුවාගේ සිත දයානුකම්පිත වනවා නොඅනුමානයි.
යූ.ආර්.එස්.ඩී ප්‍රේමතිලක
Wednesday, July 21, 2021
පන්සිය පනස් ජාතක පොත
පන්සිය පනස් ජාතක පොත
පන්සිය පනස් ජාතක පොත නමින් ලක්දිව ජනයා අතර ප්‍රසිද්ධ මෙම කෘතිය ජාතකට්ඨකථා යන නමින් හැඳින්වෙන පාලි කෘතියෙහි සිංහල පරිවර්තනයයි. ජාතක කතා පන්සිය පනහකට ආසන්න සංඛ්‍යාවක් මේ පොතේ ඇත. සිංහලයෙන් මෙතෙක් ලියවී ඇති විශාලතම බණ පොත මෙයයි. බෞද්ධයන් මෙය ජාතක පොත් වහන්සේ නමින් හඳුන්වා තිබීමෙන් පෙනෙන්නේ මේ කෘතිය කෙරෙහි ඇති අති විශාල ගෞරවාදරය යි.
මේ කෘතිය පිළිබඳ මහාචාර්ය ආනන්ද කුලසූරිය මහතා දක්වන්නේ මෙවැනි අදහසකි,
“ජාතක පොත තරම් මනුෂ්‍ය වර්ගයා අතර පැතිර ගිය කතා සමූහයක් සොයාගන්නට නොහැකිය. දඹදිව පොදු මහජනතාව අතරින් බිහි වී ඔවුන්ගේ ඕනෑ එපාකම් සිතුම් පැතුම් රුචි අරුචිකම් යනාදී හැඟීම්වලට අනුව ජන ජීවිතය පිළිබිඹු කෙරෙමින් ඔවුන් අතර බොහෝ කලෙක සිට පැවතෙමින් ආ කතා රැසකට විශේෂ ආකෘතියක් ගෙන දුන්නේ බෞද්ධයෝය. ඒ කතා වලට බෞද්ධයන් දුන් ආකෘතිය ජාතක නමින් හැඳින්වීම සුදුසු ය.”
ජාතික පොත කියවීමෙන්..,
බෞද්ධයන්ගේ විශේෂ සැලකිල්ලට ගෞරවාදරයට පාත්‍ර වූ මේ කෘතිය කුමන වටිනාකමක් ඇති කෘතියක් ද? මෙහි අභ්‍යන්තර වටිනාකම කුමක් ද? සිංහලයන්ගේ ශ්‍රද්ධා ශීලාදි ගුණයෙන් වඩා ලීමට කරුණා මෛත්‍රී ආදී උත්තම මානව ධර්මයන් පෝෂණය කිරීමට ද මෙම කෘතිය මහත් පිටුබලයක් වූ බව නොරහසකි. සාමන්‍ය පොදු මිනිසුන්ගේ දැනුම දියුණු කොට චරිත සංවර්ධනය කිරීමෙහිලා මෙම කෘතිය වඩාත් උපකාරී විය. සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිය පතුරවන්නට එදිනෙදා ජීවිතයෙහි නොයෙක් විට තමනට මුහුණ දෙන්නට සිදුවන විදිහේ ගැටළු කම්කටොළු මැදිහත් සිතින් තැන්පත් නුවණින් ඉවසන්නට, සැපදුක දෙකෙහි කවර විටෙක දී වත් සීමාව ඉක්මවා යන්නට ඉඩ නොතබන හික්මීමේ ගුණය ඇති කරන්නට වංචාවට ගොදුරු නොවී තැනට සුදුසු නුවණ මෙහෙයවා කටයුතු කරන්නට මිනිස් වර්ගයාට සදාචාර සම්පත්තියෙන් යුක්ත ව හැසිරෙන්නට ලංකා වාසීන් පුරුදු වූයේ ජාතක පොත ඇසුරු කිරීම නිසාය.
මේ අරභයා මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා දක්වන අදහස් මදක් විමසා බැලීම වටී...
“බුදුසමය මෙහි පිහිට වූ අවධියෙහි පටන් ම ජාතක කතා සිංහල බෞද්ධයන් අතර මහත් සේ ජනප්‍රිය වූ බව සිතිය හැකිය. ඉගෙනිම වූ කලී සැදැහැ බැතිය ලියලාවන චරිතය හැඩගන්වන නුවණ මුහු කරවන අත්දැකීමක් සේ ඔවුන් සිතූ බව පෙනේ. භාරතීය හින්දූන්ගේ චරිතවත් බුද්ධිමත් සකස් කිරීමෙහිලා මහාභාරතය රාමායනය යම් ආනුභාවයකින් සෑහේ ද සිංහල බෞද්ධයන් ගේ චරිතයත් බුද්ධියෙන් සැකසීමෙහිලා ජාතක පොත ද එවැනිම ආනුභාවයක් පා ඇත.”
පන්සිය පනස් ජාතක පොත මෙසේ ලාංකික සමාජයේ ජාතික චරිතය නිර්මාණය කිරීමට බොහෝ සෙයින් ඉවහල් උතුම් ධර්ම ග්‍රන්ථයකි. සැබැවින්ම ජාතක පොතෙහි අන්තර්ගත වන්නේ සමාජයේ ජීවත්වන මිනිසුන්ට මෙලොව වශයෙන් ජීවිතය සාර්ථක කර ගැනීමටත් පරලොව වශයෙන් සුගතියක් ලැබීමටත් අවශ්‍යය හොඳ නරක මිස අන් කිසිවක් නොවේ. මිනිසුන් මත පවතින යහපත් ගුණ හා දුර්ගුණ පවුල් ජීවිතය කෙරෙහි බලපාන හැටි දේවධර්ම වැනි ජාතක කතාවකින් විද්‍යමාන වේ. බලය අයුතු ලෙස යොදා ගැනීමෙන් සිදුවන විනාශය ගන්ඩතීන්දු ජාතකයෙන් අනාවරණය කරන්නේ නූතන පරපුරක් සිහි කැඳවමිනි. පවට ඇති ලැජ්ජාව හා බිය නිසා පවින් දුරු වී මෙලොව ජීවිතය යහපත් වන ආකාරය දේවධර්ම ජාතකය පුරාම තැවරී තිබේ. සිංහල ජාතක පොත ඈත අතීතයේ පටන් බෞද්ධයන් අතර හොඳින් භාවිතා වූ බණ කතා සංග්‍රහයක් බව සර් ඩී. බි ජයතිලක මහතා දක්වන මතු දැක්වෙන අදහස් වලින්ද සනාථ වේ.
“පන්සිය පනස් ජාතක පොත එතැන් පටන් ගත වූ අවුරුදු පන්සියයකට වැඩි කාලයක් මුළුල්ලෙහි සිංහල ජනයා අතර අනිත් සියළු ම පොත්වලට වඩා බහුල වශයෙන් භාවිතා වූයේ ය. විහාරස්ථානවල ද බෞද්ධ ගෘහවල ද ජාතක පොතෙන් බණ කීම බණ හා බණ ඇසීම පුරුද්දක්ව පැවතුනේය. ඇසූවූවන්ගේ හික්මීමත් චිත්ත විනෝදයත් එකසේ සැලැස්සූ මේ සත්චාරිත්‍රය මෑත කාලයෙහි අන්‍ය බොහෝ යහපත් සිරිත් මෙන්ම සිංහල ජනයා කෙරෙහි පහව ගොස් තිබේ.”
ජාතක කතා මිනිස් චරිතය ගුණධර්මවලින් පෝෂණය කළ හොඳ ධර්ම ග්‍රන්ථයක් බව යට දැක්වූ විස්තර මඟින් හොඳින් විද්‍යමාන වේ.
ජාතක කතා ප්‍රභවය වූයේ කෙසේද?..,
ජාතක කතා යනු අප බුදුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ කතා හැටියට අප කවුරුත් විශ්වාස කරති. එහෙත් ජාතක කතා පිළිබඳ කළ සමීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇත්තේ මේවා භාරතීය ජන කතා ඇසුරින් ප්‍රභවය වූ කතා විශේෂයක් හැටියට ය. බුදුන් වහන්සේත් සෙසු උන්වහන්සේලාගෙන් ශ්‍රාවකයන් වහන්සේලාගේ බණ දේශනා කිරීමේදී නිදර්ශන වශයෙන් මෙම කතා උපයෝගී කර ගත්හ. මේ අනුව භාරතයේ පුරා පැතිර තිබූ විවිධ ජනකතා බුද්ධ ධර්මය වෙතට පිවිසියේ ය. මෙසේ පැමිණි ජනකතා වර්තමාන ජාතක කතා ස්වරූපය ගන්නේ අනුක්‍රමයෙනි. ජනකතා ජාතක කතා බවට පරිවර්තනය කිරීමේ දී අමුතු අංග තුනක් එකතු විය.
ඒවා නම්,
1. වර්තමාන කතාව
2. අතීත කතාව
3. සමෝධානය
අප දන්නා සිංහල පන්සිය පනස් ජාතික පොතේ මේ ලක්ෂණ සියල්ල දක්නට ලැබේ. පළමු කොට ඇත්තේ වර්තමාන කතාව. බුදුන්වහන්සේගේ කාලෙ සිදු වූ කෙටි සිද්ධියකින් මෙය ආවරණය කරයි. මෙම සිද්ධිය පාදක කරගෙන අතීත කතාවක් කියයි. මෙම අතීත කතාව තමයි නියම ජාතක කතාව වන්නේ. සාහිත්‍යමය වශයෙන් වටින්නේ ද මෙම අතීත කතාවයි. ජාතක පොතේ වර්තමාන කතා අතරද හොඳ කෙටිකතාවලට සමකල හැකි කතා දක්නට ලැබෙයි. එහෙත් පැරණි භාරතීයයන් පැසුණු බුද්ධියෙන් නිමවූ නියම කතාව අතීත කතාවයි. අතීතයත් වර්තමානයත් සම වන කොටස හමුවේ. එය පූර්ව අපර සන්ධි ගැළපීම නම් වේ. එය හැඳින්වෙන්නේ සමෝධානය නමිනි. මෙසේ භාරතීය ජනතාවගේ පොදු ඥානයක් පැවැති කතා බුදුසමය වෙතට පිවිසුණු ජාතක නමින් වෙනම සංගෘහිත විය. බුදුසමය නවංග සත්ථුසාසන නමින් කොටසක් නවයකට බෙදා දැක්වීමේ ඉතා පැරණි ක්‍රමයක් ඇත. එම අංග නවයෙන් හත්වැනි අංගය වශයෙන් ගැනෙන්නේ ජාතක නම් කොටසයි. මෙසේ පැමිණි ජාතක නම් ග්‍රන්ථය භාරව ජාතකභාණක නම් භික්ෂු කොට්ඨාසයක් ද සිටි බව ඉතිහාසයේ දැක්වේ. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සත වර්ෂයේ දී ලක්දිවට බුදුසමය රැගෙන වැඩියා වූ මිහිඳු මහා හිමියන් ප්‍රමුඛ ධර්මදූතයන් වහන්සේත් ත්‍රිපිටකයේ අන්‍ය ග්‍රන්ථ මෙන්ම ජාතක නම් ග්‍රන්ථය ද මෙහි ගෙන ආහ. අනුරපුර මහා විහාරයේ වැඩ සිටි තෙරවරු මිහිඳු මාහිමියන් ගෙන ආ අටුවා ග්‍රන්ථ සිංහලයට නැඟූහ. මේ අනුව ජාතක කතාවලට පසුබිම පැවති කතා ද පැරණි සිංහලයට නැඟිණැයි විද්වත්තු විශ්වාස කරති. එසේ නැගුණු ජාතක අටුවා දැනට අභාවප්‍රාප්ත හෙළ අටුවා අතරට වැටේ. සිංහලයට නගන ලද ජාතක කතා ලක්දිව භික්ෂූන් විසින් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන එන ලදුව වළගම්බා රජ දවස ග්‍රන්ථාරූඪ කරන ලද බව පැවසේ. ක්‍රිස්තු වර්ෂයෙන් පස් වැනි ශතවර්ෂයේදී දඹදිවින් මෙහි පැමිණි බුදුගොස් මාහිමියන් පාලියට නැඟූ වේ එසේ සිංහලෙන් පැවති අටුවා ය. සිංහලෙන් පැවති පැරණි ජාතක අටුවාව පාළියට පෙරළීමක් බුදුගොස් බුද්ධඝෝෂ මාහිමියන් ගේ පරිවර්තන ව්‍යාපාරයෙන් ප්‍රතිඵලයක් විය. හෙළ අටුවා පෙරළා පාලි ජාතකට්ඨ කතාව නිර්මාණය වූයේ ද ඒ හිමියන් අතිනි. මෙම පාලි ජාතකට්ඨකතාව සිංහලයට පරිවර්තනය වූයේ කුරුණෑගල සමයේ දී ය. එනම් සිංහල පන්සියය පනස් ජාතක පොත කුරුණෑගල රජ කළ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු හෙවත් සතර වන පරාක්‍රමබාහු මහ රජු දවස ක්‍රිස්තු වර්ෂ 1302 දෙක 1326 නිර්මාණය විය.
සිංහල ජාතක පොත..,
සිංහල පන්සිය පනස් ජාතක පොතේ නම එසේ වුවද සිංහල ජාතක කථා 550 ක් ම එහි නැත. පන්සිය හතළිස් හතක් (547) පමණක් එහි ඇත. මෙම කතා සංග්‍රහයට 550 යනුවෙන් මතක තබා ගැනීමට පහසු රවුම් ඉලක්කමක් අවශ්‍යය නිසා දමන්නට ඇත. එහෙත් අපේ පොතේ නැති ජාතක කතා සමහර රටවල තිබේ. සියම් රටේ ජාතක කතා 50 අපේ සිංහල ජාතක පොතේ නැත. මෙහි කතෘත්වය පිළිබඳ විවිධ මතභේද පවතියි. චූලවංශය දැක්වෙන්නේ මෙම කාර්යය පරාක්‍රමබාහු නිරිඳුන් ගේ පරිවර්තනයක් බවත් එහෙත් ජාතක පොතේ දැක්වෙන්නේ ඊට වෙනස් අදහසකි පන්සිය පනස් ජාතක ධර්ම දේශනාව එළුවෙන් දක්වන්නට වුව මැනවැ යි කියා පරාක්‍රමබාහු නම් ඇමති සත්පුරුෂයාගේ ආරාධනාවෙන් හා වීරසිංහ පතිරාජ නම් අමාත්‍ය උත්තමයාගේ උත්සාහයෙන් අටුවා සාමීන් ලියූ ජාතක නිසා ම නොවරදවා එළුවෙන් ලියූ ජාතක කතාත් සත්පුරුෂ වූ මනුෂ්‍යයවිසින් කන්යොමා සිත් එළ ඇසිය යුතුය. මේ නිසා අපට පෙනෙන්නේ ජාතක පොත පැරකුම්බා රජුගේ අනුග්‍රහයෙන් එකී ඇමති දෙපළගේ උත්සාහයෙන් භික්ෂූන්ගේ ද ප්‍රධානත්වයෙන් කිසියම් පරිවර්තන මණ්ඩලයක් විසින් කළ කටයුත්තක් බවයි. සිංහල ජාතක පොතේ ඇති විවිධ ශෛලීන් එවැනි විශ්වාසයක් ද තහවුරු කරයි.
ජාතක කතාවල සාහිත්‍යමඅගය..,
ජාතක කතා පිළිබඳ අපේ පැරණි ශ්‍රද්ධා සම්පන්න ශ්‍රාවක ශ්‍රාවිකාවන් වෙත පැවැති මතය නම් මෙය මහඟු ධර්ම ග්‍රන්ථයක් බවයි. එය සත්‍යයකි. අනාදිමත් කාලයක සිට අපේ පැරැණි සමාජය ම හැඩගස්වා සාරධර්මවලින් පෝෂණය කොට ජාතික චරිත නිර්මාණය කළේ මෙම මහඟු ධර්ම ග්‍රන්ථය බව පොදු සත්‍යයකි.
එහෙත් මෙම ග්‍රන්ථය කියවා සොයා බැලූ උගතුන් පවසන්නේ මෙය ලෝක සාහිත්‍යයට පවා එක් කළ හැකි වටිනා ග්‍රන්ථයක් බවත්, මෙම කරුණු විග්‍රහ කිරීමට පෙර මාර්ටින් වික්‍රමසිංහ සූරීන් මේ පිළිබඳ දක්වා ඇති අදහසක් ගෙන හැර දැක්වීම මැනවැයි හැඟේ.
“උසස් නවකතා විස්සක් කියවන තරුණයාට වුවද හැට හැවිරිදි වියෙහි වූවෙකුගේ අත්දැකීමක් පැසුණු නුවණක් ලබයි. ඒ හේතුවෙන් ඔවුහු ප්‍රචණ්ඩ භාවයෙන් තොර වූ කෙලෙස් ඇත්තෙක් වෙයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, රාගය නඟින විට ඒ හැම එකක්ම වැඩ ගනී. මෙහි සමතෙක් වෙයි. ජාතක පොත විචාර බුද්ධියෙන් කියවීමෙන් අර අත්දැකීම් ලබා වඩාත් හොඳ තැන්පත් නුවණැත්තෙක් වූ වන අතරම හොද නවකතා කියවීමෙන් ලබන ආස්වාදයටම ළං වන ආස්වාදයක් ද ලැබිය හැකිය. දෙසියක් අවුරුදු ජීවත් වීමෙන් ලැබිය හැකි අත්දැකීමටත්, මානව චරිතය පිළිබඳ දැනුමටත් තැන්පත් නුවණක් ද ජාතක පොත ඉගෙනීමෙන් ලැබිය හැකිය. ”
(බණකතා සාහිත්‍යය)
ජාතක කතා වනාහි ඉතා ඈත අතීතයේ භාරතීයයන් විසින් නිපදවන ලදුව අවුරුදු දෙදහස් ගණනක් භාරතීයයන් හා ලාංකිකයන් අතර වැඩී පෝෂණය වී ආ නිර්මාණයක් වේ. එහෙයින් ඒවා මත පැරැන්නන්ගේ අනාදිමත් කාලයක සිට ජීවිතයෙන් ලද ගැඹුරු අත්දැකීම් හා සුනිශිත නුවණ කැවී ඇත්තේය. මනුෂ්‍යත්වය පතුලේ ස්පර්ශ කොට එහි සැඟවුණු තතු දිවැසින් මෙන් පසක් කොටගත් මංජුසා වැනි වූ ජාතක පොත ඒවාට පිටු දුන් අත්දැකීම්වලට පෘථුල බවත් ගාම්භීරත්වයක් එමගින් ප්‍රකාශයට පත් වන සියුම් වූ බුද්ධියෙන් හා ඇතැම් කරුණු මඟින් ඇතැම් රුසියානු ප්‍රබන්ධ කතාකරුවන්ගේ නොයෙක් නිර්මාණයන්ට සමවන බව මාර්ටින් වික්‍රමසිංහයන් නොයෙක් ලෙසින් පෙන්වා දී ඇත.
“ලෝක සාහිත්‍යයේ ඇතුළු විය යුතු සිංහල පොතක් වෙතොත් එය ජාතක පොත හැර අනිකක් නොවේ හැබැයි එහි එන සියලුම කතා ලෝක සාහිත්‍යයේ ඇතුළුවන කතා ගණයෙහිලා සැලකිය නොහැකිය. හොඳම කතා තෝරාගෙන අනික් රටවල ශූර ලේඛකයන් හොඳම සරල රීතියෙන් තම නිර්මාණයන්ගේ භාෂාවට නැගුවහොත් ජාතක කතා ලෝක සාහිත්‍යයෙහි පැරණි කථා වස්තූන් අතර උසස්ම තැනක් ගන්නේ ය.”
(ජාතක කතා විමසුම)
වික්‍රමසිංහයන්ගේ මෙම ප්‍රකාශයෙන් ද සනාථ වන්නේ අප සතුව ඇති එකම පැරණි විශිෂ්ටතම සාහිත්‍යය ග්‍රන්ථය ජාතක පොත බවයි. බුත්සරණ හුදු ධර්ම දේශනයට පමණක් උගතුන් අතින් රචනා වූ කෘති වෙයි. ඒවා වෙනස් වන ලෝකයට අනුව වෙනස් නොවන නිසා අභාවයට යයි. ඒත් ජාතක පොත සිංහලයාගේ කට බස තියෙන තාක් අභාවයට නොඑන බව මාර්ටින් වික්‍රමසිංහයෝ පෙන්වා දෙති. ජාතක කතාවල ඇති එක් විශේෂයක් නම් මිනිස් සිත අනාවරණය කිරීමයි. මෙබඳු කතා ලෝක සාහිත්‍යයේ පවා උසස් කෘති ලෙස සැලකේ. එබඳු කතා ජාතක කතා අතර ද බහුලව දකින්නට ලැබේ. මිනිස් සිතේ ගුප්ත බව අනාවරණය කරමින් ගැඹුරු ජීවිතාවබෝධයක් ජාතක කතා කියවීමෙන් ලැබිය හැකිය. ඊර්ෂ්‍යාව, තෘෂ්ණාව යනාදී කෙලෙස් උනට ආකාර වන මිනිස් සිත බුද්ධියෙන් දැකිය නොහැකි තරම් ගුණධර්මයකි. මිනිස් සිතේ මේ තරම් රහස් තැන් හෙළි කරන පුවත් වස්තු කොට ගෙන රචිත කතා දක්නට ලැබෙන්නේ බටහිර උසස්ම ලේඛකයන්ගේ නවකතා අතරය. ගී ද මෝපසාන්, තෝල්ස්තෝයි, චෙකොෆ්, දොස්තොවුස්කි, ෆ්ලෝබෙයා ආදීන්ගේ කෘතිවල එන එබඳු උසස් කතාවලට සමකල හැකි කතා ඇති එකම පැරණි කතා සංග්‍රහය ජාතක පොතයි. රාගය වැනි භයංකාර මනෝභාවයන් ජාතක කතාකාරයා ඉතා ශූර ලෙස ම තම කතාවලින් ආවරණය කරයි. එම කතා වර්තමාන මනෝවිද්‍යාවට අනුකූල වන හැටි සසඳා බැලීමෙන් දැනගත හැකිය.
කලාබු රජු අන්තඃපුර කතුන් සමග මඟුල් උයනේ රමණය කරයි. රජු කාමාක්ස්වාදයෙන් වෙහෙස වී නිදි වැදුණු කළ සමහර ගෑනු ගොස් උයනෙහි කෙළවර උන් තවුසෙකු දෙසන බණ අසන බව අසා රකුසෙකු සේ කිපෙයි. රජ්ජු වදකයන් ගෙන්වා ඔවුන් ලවා තවුසාගේ අත් පා කප්පවයි. තවුසා කෙරෙහි වඩාත් කිපෙන රජ, උඹේ ශාන්තිය තියෙන්නෙ මෙතන දැයි අසමින් ඇටෙන් පිපිරෙන තරම් හයියෙන් පපුවට පයින් අනියි.
මේ ජාතක කථාවන්ගෙන් කෙරෙන චිත්ත චෛතසික විභාගය ළං වෙන්නේ රුසියාවේ හා ප්‍රංශයේ ඇතැම් නවකතාකාරයන් මනුෂ්‍යන්ගේ ආධ්‍යාත්මයෙන් සැත්කමකට හසුරන්නාක් මෙන් මීට අවුරුදු හැට හැත්තෑවකට පෙර ලියූ නවකතාවල එන ඇතැම් පුවත් වලටය. කෙළෙසුන් පවන මුනිවරයා අතීත ඉන්දියාවේ ජනයාගෙන් පිදුම් ලැබුවේය. එවැන්නෙකු ගෙන් තමාගේ ගෑනුන් බණ අසා ඇතැයි අසා රජු කිපෙන්නේ ඉතා සංකීර්ණ චෛතසික ධර්මයන් ගෙන් සංකරණය නිසාය. ගැහැනුන් තමන්ගේ තනි පරිහරණයට කැප වූවන් ලෙස සැලකූ කලාබු රජු ගේ අහංකාරකම තනිකර ඔවුන් භුක්ති විඳීම පිළිබඳ ඉරිසියාව, පලිගැනීමේ චේතනාව, කෙළෙස් තැවීම, යන මතය නිසා තමා මත්තේ හටගත් නිවට හැඟීම යනාදී චෛතසික එයින් සමහරකි. කාමුකයෙකු වූ ඔහු මහත් වූ කායික වේදනා විඳින තවුසා දෙස බලා ආස්වාදයක් ලබයි. බටහිර උසස්ම මනෝවිද්‍යාඥයන් අනාවරණය කරන තතු බොහෝ පැරණි ජාතක කතා වල අන්තර්ගත වී තිබෙන ආකාරය මේ කතා මඟන් අපට දැක ගත හැකිය. මෙබඳු කතා සංග්‍රහයක් අප රටේ නොව ලොවේම නැති බව පෙර අපර දෙදිගම උගතුන් ගේ අදහසයි. තවත් ජාතක කථාවක් විමසීමෙන් මේ කරුණ සනාථ කළ හැකි ය.
අසනඝ ජාතකය මිනිස් සිත විභාග කරන කදිම කතාවකි. අසනඝ කුමාරයා උපන් දා සිට ගැහැණුන් නුරුස්සයි. ගැහැනියක කිරි පොවන කල්හි ඔහු නළවන්නට බැරිතරම් හඬයි. එහෙයින් ඔහුට කිරිපොවනු ලැබූයේ මව්කිරි මුවා කොට ඇගේ පියයුරු තිරයෙන් මෑත් කොට දීමෙනි. හේ ගෑණුන්ගෙන් තොරව පිරිමින් ම අත වැඩේ. උපතේ පටන් නිමල් බඹසර රක්නා බ්‍රහ්මයෙකු මිනිස් පියසට බටුවාක් වැනිය. එහෙත් හදිසියේ අප තුළ ප්‍රබල තිගැස්මක් ඇති කරමින් සියලු තතු නොසිතූ අතට පෙරළි තරුණ අසනඝ කුමාරයාගේ කුටිය අසල සිට ගී ගයන යුවතියකගේ මියුරු සර කන වැකුණු සැණින් ම කුමාරයාගේ බඹසර බිඳෙයි. ඔහු ඇය ගෙන්වා ඇය සමග තමා මෙතෙක් ගැරහූ ග්‍රාම ධර්මයෙහි යෙදේ. එපමනකින් සියල්ල හමාර වන්නේ නැත. කුමාරයා කඩුව අමෝරාගෙන නුවර වීදිවලට බැස මෙවැනි කාම සැපතක් මා මිස අන්‍යයන් අනුභව නොකළ මනා යැයි කියා දුටු දුටු පිරිමින් පෙති ගසයි. මේ කතා සිඟිත්ත වූ කල්හි රාග, ද්වේෂ, මෝහා දී තතු මැනවින් හෙළි කරන්නකි. රාගය යටපත් කොට තිබෙන තාක්කල් හොඳය. එහෙත් ඒයට පිබිදෙන්නට ඉඩක් ලැබුණ හොත් එයට සාමාන්‍යය ලෙස ක්‍රියාත්මක වන්නට ඉඩ දුන්නා නම් එයින් වන්නට තිබුණු අයහපතට වඩා භයංකර විපත් වලට මග පාදයි. එවිට එය ගිනි කන්දක් සේ අන්‍යයන් කෙරෙහි පුපුරයි. එයින් ලෝ වාසීන්ට කවර විපත් එල්ල වේ දැයි කියන්නට බැරිය. එවැනි විපත්වලට ගොදුරු වනවාට වඩා රාගය සාමාන්‍යය මාර්ගවලින් තෘප්ත කිරීම නොමැනවි ද? රාගයක් අන්‍ය ක්ලේශයනුත් මැඩීමට තිබෙන්නේ දෙමගක් පමණකි. එක් මඟකි සාමාන්‍යය මාර්ගවලින් තෘප්තියට පත් කිරීමයි. නැතහොත් මනසින් විදසුන් නුවණින් ඒ රාගාදීයෙහි තතු පසක් කොට ගැනීමෙන්. මේ අතර මැද පිළිවෙතක් නැත. රාගය ඔබා තැබීම අතිශය භයංකර වූවකි. එයින් සිදුවන්නේ නපුරක්මය. අසනඝ ජාතකයෙන් අපගේ නුවණට කිඳා බස්වන්නේ මනුෂ්‍යය ස්වභාවය සම්බන්ධ මෙබඳු සැබෑ කරුණු ය. මේ නිසා අපගේ ඥාන මණ්ඩලය තව තවත් ප්‍රසාරණය වෙයි. මෙබඳු කතාවලින් ලැබෙන ඥානය බොළඳ නවකතා සියයක් කියෙව්වද අපට නොලැබේ.
සනාතන සිංහල ගද්‍ය..,
පොදු සිංහල ජනයාගේ සිත ඇතුළතට පිවිසියාක් මෙන් පැරණි නිහතමානි භික්ෂූන් විසින් ව්‍යවහාර බසින් ලියන ලද බැවින් ජාතක කථා සංග්‍රහය සනාතන ග්‍රන්ථයක් වෙයි. ඒ කතාවන්ට වස්තු වූයේ කිසිකලක පරණ වීමෙන් අභාවයට නොවන ජීවන ප්‍රවෘත්ති බැවින් ද එය සනාතන ග්‍රන්ථයක් වෙයි. චරිත අභ්‍යන්තරය ගැඹුරින් විශ්ලේෂණය කිරීමට ජාතක කතාකරුවන් සමත් වූ අයුරු සිංහල ජාතක පොත විමසීමෙන් ප්‍රතීයමාන වෙයි.
සිංහල ජාතක පොත වනාහි මිනිස් සිත හෙවත් චරිත අභ්‍යන්තර ඉතා හොඳින් නිර්මාණය කරන ලක්දිව එකම පැරණගද්‍ය කාව්‍යය ලෙස සැලකේ. මිනිස් සිත නැමැති අඳුරු අගාධ ගුහාව වෙතට පාඨකයා ගෙන ගොස් එහි ඇති තතු අනාවරණය කරයි. මනුෂ්‍යය චිත්ත සන්තානයේ ගුප්ත බවත් අගාධ බවත් හෙළි කරන ඇතැම් ජාතක කතා ළං වන්නේ බටහිර උසස්ම වන කතාවලටය.
මාර්ටින් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන ආකාරයට මනෝ විද්‍යාවට අනුව විවේචනය කළ යුතු චරිත ජාතක කතාවල සුලබ වුවද ඒවා එකකවත් නවකතා කලාව අනුව ලියැවී නැත. අද්භූත ප්‍රවෘත්තීන් ගළපා කතා ලියන ලේඛකයන් මිථ්‍යා කතා ලෙස සලකා බැහැර කරන ඇතැම් බෞද්ධ කතාවල, මානසික විද්‍යාඥයින්ට පමණක් විශේෂ වූ ගුප්ත මානසික ලෝකයක ප්‍රවෘත්තීන් පන්සිය පනස් ජාතක පොතෙන් දක්නට ඇත. පන්සිය පනස් ජාතක පොතෙහි එන ගන්ඩතීන්දු ජාතකය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කිරීමට ප්‍රථම මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පහත දැක්වෙන ප්‍රකාශය ගෙනහැර දැක්වීම මැනවි යැයි හැඟේ.
“ලෝක සාහිත්‍යයෙහි ඇතුළු විය යුතු සිංහල පොතක් වෙතොත් එය ජාතක කතා පොත හැර අනෙකක් නොවේ...”
ගණ්ඩතින්දු ජාතකය අරමුණ..,
මෙම ජාතක කතාවේ අරමුණ රාජ පාලනය සඳහා අර්ථවත් උපදේශයක් ධ්වනිත කිරීමය. වර්තමාන කතාවේ ඒ බව මෙසේ සඳහන් වේ,
“රජු දරුවන්ට දිය යුතු අවවාදයක් අරභයා මේ ජාතකය වදාළ සේක”
අතීත කතාවේ පඤ්චාල නම් රජ කෙනකු පිළිබඳ දක්වමින් රාජ පාලනය අධාර්මික ලෙස ගෙන යන ආකාරය දක්වා ඇත,
“පඤ්චාල නම් රජ්ජුරු කෙනෙක් ඡන්දයෙන් අගතියට ගොස් අධර්මයෙන් රාජ්‍යය කරන්නාහ.”
මෙම විස්තරවලින් පෙනෙන්නේ මෙම කතාවේ අරමුණ අධාර්මික රජකුට රාජ්‍යය පාලනය අරබයා උපදෙස් ලබා දීමයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ අතීතයේ සිට නූතනය දක්වා ම මෙහි වලංගුභාවය එකසේ ම රඳා පැවතීමයි. කතා සන්දර්භය අතීත කතාව ජාතක කතාකරු ඉතා පැහැදිලි සන්දර්භයෙන් සකසා ඉදිරිපත් කරයි. ප්‍රථමයෙන්ම රජුගේ අධාර්මික වූ පාලනය පාඨකයාට මෙසේ දැනගන්නට සලස්වයි.
“ඒ රජ්ජුරුවන්ගේ යුවරජ සෙනෙවිරත් ආදීහු අධර්මයෙහි නිරත ව දනවු වාසි සත්ත්වයන්ගෙන් අපමණ බඳු පඬුරු ගෙන බොහෝ පීඩා කරන්නාහ. එකල්හි රාජ්‍යයවාසී සත්ත්වයෝ රාජ පුරුෂයන් කෙරෙහි භයින් තම තමන්ගේ අඹු දරුවන් අරගෙන වල් වැද ඒ ඒ තැන්හි බයෙන් ඇවිදිනාහ. ”
මීළඟට ජාතක කතාකරු රජුගේ මෙම ඡන්දයෙන් අගතියට ගොස් සිදු කරන අධර්මිෂ්ඨ පාලනය යහමගට ගැනීමට දේවතාවෙකුගේ චරිතයක් නිර්මාණය කරයි. රසිකයාගේ සිතට අද්භූත රසය කැඳවමින් එම චරිත රාත්‍රීයෙහි රජු ඉදිරියේ සිට මහත් ආලෝකයක් විහිදුවා මෙසේ ප්‍රකාශමාන කරයි.
“රජ්ජුරුවෙනි අවුරුදු පතා තොපගේ බලි ග්‍රහණයට කොට මේ තිඹිරි ගස වසන්නා වූ වෘක්ෂ දේවතාවා නම් මම ය. තොපට අවවාද දෙන පිණිස ආමි.”
මායා යථාර්ථවාදී න්‍යාය පිළිබඳ සාකච්ඡා කරන නූතනය ප්‍රවිෂ්ට විය යුත්තේ පුරාතන අක්මුල් වෙත බව ජාතක පොත පරිශීලනය කිරීමෙන් මනාව ප්‍රතීයමාන වේ. දේවතවගේ විස්තරය අසා බොහෝ කලකිරුණු රජු රාජ්‍යය අමාත්‍යංශයට පාවාදී පුරෝහිත බමුණා සමඟ වෙස් වලාගෙන ජනතාව අතරට යයි. මේ රජු ඉතා නම්‍යශීලී යහපත් රජකු බව මෙයින් හෙළි වේ. අනතුරුව ජාතක කතාකරු තම කතාව ඉතාම පැහැදිලි සංදර්භයක් නිර්ණය කොට අතුරු කතා හයකින් කතාව විකාශනය කරයි.
පය කටුවක් ඇනුණු පිටිසර මහලු මිනිසා පිළිබඳ කතාව
වැඩිවිය පත් වූ දූ දෙදෙනෙකු සිටින මහළු ස්ත්‍රිය පිළිබඳ කතාව
හී වැලෙන් මිඳී පය බිඳුණු ගවයෙකු අයිති ගොවියා පිළිබඳ කතාව
කිරි මුට්ටිය බිඳ දමා ගිය කුළු දෙන අයිති ගොපල්ලා පිළිබඳ කතාව
රාජ පුරුෂයෙකුගේ අතින් ගව පැටවා මැරුණු අවස්ථාව නිරූපිත කතාව
කපුටාගේ ග්‍රහණයට හසුවූ මැඩියා පිළිබඳ කතාව
මෙම කතා හුදු ධර්මය දේශනා කිරීමට භාවිතා නොකොට කතා රසය ජනිත වන ආකාරයෙන් ජීවමානව ඉදිරිපත් කොට රාජ පාලකයාට අධාර්මික ස්වරූපය ඒත්තු ගන්වා රාජ්‍යය පාලනය අරඹයා ගැඹුරු වූත් හරවත් වූත් පණිවුඩයක් තබයි. ජාතක කතාවල අන්තර්ගත වන පුළුල් සමාජ අවබෝධය මෙ කතාව මතින් මනාව හෙළි වේ. පාලකයා කෙබඳු වියයුතු ද යන්න ගැඹුරු අයුරින් විග්‍රහය කරන කතාවකි මෙය. මෙම කතා සියල්ලටම අයිති හැමදෙනාම සිතන්නේ රටත් ජනතාවත් පත්වී සිටින මෙම මහා කරදරයන් සියල්ලට ම රජතුමා වගකිවයුතු බවයි. ඔහුගේ අධාර්මික පාලනය නිසා මෙසේ සිදුවී ඇති බවයි.
පළමු අතුරු කථාව මෙසේ විමසමු..,
මහලු පුරුෂයෙක් වලින් කටු ඇරගෙන අවුල් ගෙය වට කොට අවුරා දොර බැද තමාගේ දරුවන් හා බිරිද සමග කැලේට යති. දිවා කාලයේ කැලේ ගතකොට රාජපුරුෂයන් ගිය කල්හි නිවසට පැමිණ දොරකඩ ඇති කටු ඇද දමයි. ඒ අතර සවසට ඔහුගේ කකුලේ කටුවක් ඇනෙයි. එවිට ඒ මහලු පුරුෂයා රජතුමාට මෙසේ බැණ වදින්නට පටන් ගත්තේය.
“යම් සේ මම මේ කටු ඇනී දුක් විඳින ලදීම් එපරිද්දෙන් පඤ්චාල දේශවාසී මේ රජ ද සංග්‍රාම භූමියේ හෙව සතුරන්ගෙන් පැරද තියුණුව හීයෙන් විදින ලදුව මා සේම දුක් අනුභව කෙරේ වා.”
මෙසේ මහලු මිනිසා රජතුමාට බැණ වදිනු පුරෝහිත බමුණාට ඇසෙයි. ඔහු මෙසේ අසයි.
“එම්බල මහන පුරුෂය වයෝවෘද්ධ හෙයින් ඇස අඳුරුව හේතුකොටගෙන පය කටු ඇනගෙන නිරපරාධ වූ රජ්ජුරුවන් වහන්සේට නිස්කාරණයේ බෙනෙයි කිමෙක්ද?”
පුරෝහිත බමුණාගේ ප්‍රශ්නයට මහලු පුරුෂයා දෙන පිළිතුර රජුගේ අධාර්මික බව ඉස්මතු කොට රටත් රටවැසියාත් මුහුණපාන අභාග්‍යයසම්පන්න ඉරණම කියාපාන කැඩපතක් බඳුය.
“රජ්ජුරුවෝ දැහැමින් රාජ්‍යයය කරන්නාහු වී නම් අමාත්‍යය සේවකාදී එපරිද්දෙන්ම ධර්මිෂ්ඨ ය. ඔවුන් ධර්මිෂ්ඨ වුවහොත් සත්ත්වයන්ට අනන්‍ය නොවදී නම් සත්ත්වයෝ වල් නොවැද තම තමන්ගේ ගෙයි සැපසේ දරුවන් උකුලෙහි නටවමින් විභවනුරූප වූ පරිද්දෙන් වසන්නාහු. රජ්ජුරුවන් නිසා වේද අප සැපසේ වසන්නේ යැයි රජු දීඝායු ව සුව විඳි ආවඩ වඩා ඉදිනාහ. මේ රජහු එලෙස විචාරණ කමක් නැති හෙයින් වේද ගහට ගේ නැතිව දොර නැතිව දුක් විඳින්නේ ඒ යැයි කියා තොප ගේ රජ්ජුරුවන්ගෙ ගහටයේ... ඇවිදිනා හෙයින් වේද මේ කටු ඇනුනේ ඇයි මෙලෙස රජ්ජුරුවන්ට දෝෂාරෝපණය කොට කීයේය.”
මහලු මිනිසාගේ මේ වචනවලින් කතා කතාවේ පරමාර්ථය ඉටුකර ගනී. රජු දුෂ්ටයකු වුවද මේ බස් අසා නම්‍ය පුද්ගලයකු බවට පත්වේ. පුරෝහිත බමුණා අමතා රජ පවස වචන මේ ආකාරයෙන් විමසමු.
“ආචාරීනි මහලූ පුරුෂයන් කීයේ ඇත්තමය අපගේම දෝෂය. මෙතැන් පටන් දශරාජ ධර්මයෙන් රාජ්‍යය කරම්හ.”
අද පැතිර යන වෛරසය හමුවේ ශ්‍රී ලාංකේය ජනතාව මෙන්ම ලෝකවාසී ජනතාව ද තම රාජ්‍යයය පාලනය කරන නායකයාට දෝෂාරෝපණය කරන්නෙත් මේ ආකාරයෙන් ම නොවේ ද? මේ නිසා මෙය අතීනය සිට නූතනය දක්වා ගලා ආ ඒකාකාරී දම් වැලක එක් පුරුකක් නිරූපණය කිරීමක් ම නොවේද යන්න රසිකයාගේ සිතවෙත පතිතවන හැඟීමයි. රජකු අවිචාරවත් පාලනය නිසා රට වැසියන් දුක් විඳින අයුරු විදහා පාමින් දසරාජ ධර්මයෙන් රාජ්‍යය පාලනයෙහි යෙදිය යුතු බව හා එහි අගය වටහා දීමට ජාතක කතාකරු භාවිත කරන මීළඟ උපක්‍රමය යි.
තවත් අතුරු කතාවකි එක්තරා වයෝවෘද්ධ ස්ත්‍රියක් තමාගේ වැඩි වයසට පැමිණි දූවරු දෙදෙනෙකු ගෙයිම රඳවා ගෙන වලින් දර පලා ගෙනවුත් විකොට බැල මෙහෙවර කොට රකින්නී ය. එක් දවසක් වලට ගොස් පළා කඩන්.නීය කැලයෙන් අත වැරදි පෙරළී බිම වැටී ඇඟ කඳුළු වලින් ඇස කඳුළු පිස පිස රජතුමාට ආක්‍රෝෂ කලා ය. මේ ආක්‍රෝෂ පරිභව ඇසුනු පුරෝහිත බමුණා මහළු ස්ත්‍රියගෙන් රජුට බැන වැදීමට හේතු විමසුවේය. ඊට ඇය දෙන පිළිතුර රජ කෙනෙකුගේ අධාර්මික පාලනය නිසා රටවැසියා පීඩනයට පත්වන ආකාරය ධ්වනිත කරන්නකි.
“සොරුන්ගෙන් අනවකආශයෙන් පෙළෙන ලද රාජ්‍යය වාසීන්ගෙන් මාගේ දරුවන් පිසවා කන්නේ කවුරුද?”
සොර බිය ඇතිව වාසය කරන මේ තැනැත්තිය තම දරුවන්ට ආහාර පිස කන්න දෙන්නෙ කවුරුන් දැයි ප්‍රශ්න කරයි. රටපුරා සොරබිය පැතිරගිය ඊට වගකිව යුත්තේ රජු නොවේ දැයි ප්‍රශ්න කරයි. රටපුරා සොරබිය පැතිර ගිය කල්හි ඊට වගකිය යුත්තේ රජු නොවේ දැයි ඇය ඇසුවාය. ඇගේ බස් අසා වෙස් වලාගෙන සිටි රජු පුරෝහිතට කීවේ නුවරට ගොස් මෙතැන් සිට දැහැමින් රාජ්‍යයය විචාර මු යන්නයි.
අනතුරුව එක්තරා ගොවියෙකු සීසාන අතර ගොනෙකු සී වැල පයේ ඇනී යා නොහී එතැනම සිටින කල ගොවියා රජුට මෙසේ බැන වදින්නට විය.
“මේ ගොනා සී වලින් මිදුනා ලදුව පය බැඳී යම්සේ යා නොහී වැද හොබී ද? එපරිද්දෙන්ම පඤ්චාල රජු ද යුද්ධයෙහි සතුරන් විසින් පරදවන ලද්දේ අඩ යටියෙන් ඇවිණි මේ ගොනා සේම අනාථ අසරණ ව වේදනා මහත්ව රණබිම්හි හි වැටී හොවීවා.”
ගොවියා මොනතරම් රාජ්‍යය වෛරයක් ඇතිව බැන වැදුණේ ද? බොහෝ කාලයක් සිතේ පැවැති වෛරය මේ වචනවලින් ආවරණය වෙයි, මෙසේ රජුට බැන වැදීමට හේතු විමසූ පුරෝහිතයාට ගොවියා පවසන මතු වදන් රාජ්‍යය පාලකයෙකු අධාර්මික වීම නිසා රටවැසියා විඳින දුක මෙන්ම රජුගේ ජන පීඩනය අනාවරණය කරයි.
“එම්බල පින්වත් වූ බ්‍රාහ්මණය, ප්‍රජාව රැකීමෙහි නිරාභිලාෂීව අධර්මයෙන් බදු පඬුරු ගෙන සත්ත්වයන් පෙළෙන්නා වූ රාජ භයින් චෝර භයින් පීඩිත ව මද අස්වැසිල්ලක් නොලැබෙන දනව් වාසීන් ඇති මේ රජු හට...”
මෙසේ ගොවියා පවසන වදන්වලින් හෙළි වන්නේ රජුගේ අධර්මිෂ්ඨ බවයි. මෙම ගොවියා තවදුරටත් රජුට බැණ වැදීමට හේතු පෙන්වමින් එදින තමාට වූ ආසන්නත ම සිද්ධිය ද බ්‍රාහ්මණයාට සිහිපත් කර දෙන්නේ මෙසේය.
“මාගේ ස්ත්‍රිය දහවල් බත් ඇරගෙන එන්නී අතරමග දී දැක රාජ සේවකයින් විසින් බත් උදුරන ලද්දේ වන දහවල් වන කල්හි බත් නොලැබ ක්ෂුධාවෙන් පීඩිතව ඈ එන පෙර මඟ බල බලා ගොනාට අස්ථානයේ පහර ගසාපිමි. ඒ ගොනා පය ක්ෂණයෙන් ඇද සීවැල ඇනගත. මේ කාරණයෙන් මා විසින් පහරණ ලද්දේ නොහේ අධර්මිෂ්ඨ රජකම් කරන මේ පංච රජු විසින් පහරන ලද්දේ ය.”
මේ කරුණු ඇසූ රජු නැවත වරක් කරුණු තේරුම් ගෙන මෙතැන් පටන් දැහැමින් රාජ්‍යය කිරීමට සිතා ගත්තේය. මෙසේ රාජ්‍යය විචාරණ ඕනෑම කාලයක ඕනෑම රජෙකුට රාජ්‍යය විචාල යුත්තේ කෙසේද හා ප්‍රතිපාදන ම මෙම ජාතක කතාවෙන් දිගින් දිගටම අතුරු කතා ඔස්සේ අනාවරණය කරයි. ජාතක පොත සනාතන අගයක් ඇති ග්‍රන්ථයක් වන්නේ මෙබඳු සර්වකාලීන අගයක් ඇත ධර්මතා මේ පොතෙන් නිරූපණය කරන බැවිනි. මෙම ධර්මතා කවදාවත් පරණ වීමෙන් අභාවයට නොවෙයි. ජාතක පොත සනාතන ගද්‍ය ග්‍රන්ථයක් ලෙස පිළිගැනීමට මෙම පොදු ධර්මතා අන්තර්ගත වීම ම හේතු වී ඇත.
මීළඟට මෙම ජාතකයේ අන්තර්ගත වන ගොපල්ලාගේ කතාව අපට හමුවේ. රාජ්‍යය සේවකයාගේ දූෂණ හෙළි කරන තවත් හොඳ කෙටිකතාවකි. ගොපල්ලාගේ කතාව.
රජු අධාර්මික වන විට රජ සේවකයින් අධාර්මික වී දූෂණයෙන් ජනතාව පෙළෙන මෙම කතාව වර්තමානයට ද උචිත අර්ථයක් ගෙන දෙන්නකි. ගොපල්ලා පුරෝහිතයා අමතා කරන පිළිතුර විමසා බලමු.
“පින්වත්තු වූ බ්‍රාහ්මණය පඤ්චාල රජ ඡන්දයෙන් අගතියට ගොස් රාජ්‍යය ධූරයෙහි ප්‍රමාද ව ජනපදවාසීන්ට බොහෝ පීඩා කරන්නේ. ඔහුගේ සේවකයෝ පසල් දනව්වකට ගයහද පීඩා කරන්නේ ය. එසේ හෙයින් මම ද ඒ සේවකයන් විසින් බොහෝ කොට කිරි ගෙනවයි පෙළෙන ලද්දෙමි. චණ්ඩ ව අතට අසුවෙන කිරි දෙවිය නොදෙන දෙනෙකුගේ කිරි දොවන්නට වන් කල්හි ඒ කුළු දෙන් කිරි මුට්ටිය බිඳ මාත් ඇන එළා වලට දිව පුව. ඉතින් ඒ රජ දැහැමින් රජ කළේ නම් ඔවුන්ගේ සේවකයොත් අධර්මිෂ්ඨ නොවෙති. එසේ කල්හි දනව්වාසීන්ට මෙබඳු ව භය නූපදින්නේ ය.”
රාජ්‍යය සේවකයින් අධාර්මික දූෂිත වන්නේ රජ එසේ වන විට ය. ඒ නිසා ධුරාවලිය මුල සිටම යහපත් ධාර්මික පාලනයක් සහ යහපාලනයක් ඇති වේ නම් රට ධාර්මික වී සුඛිතමුදිත වන බව මේ කතාවෙන් අවධාරණය කරයි. කතාවක් කියන අතරම කතා රසයට බාධා නොවන සේ ධර්ම කරුණු ඉදිරිපත් කිරීමෙන් දක්ෂතාවය ජාතක කතා නිර්මාණය කල පැරැන්නන් මතින් ස්ඵූට වූ තවත් කාරණාවක් බව සනාථ කළ හැකිය.
බදු එකතු කරන රාජ පුරුෂයෙකු වස්සෙකු මරා සම උපුටාගත් කතාව ද රජුගේ අධර්මිෂ්ඨ වීමෙන් රටට වන අවැඩ කියා පාන්නකි. මෙම අතුරු කතා අතර මඩුවන් පිළිබඳ කතා ද සිත්ගන්නා සුළු අයුරින් ජාතක කතාකරු අරුතම කතාවේ පරමාර්ථය ඉටු කරවා ගැනීමට සමත් වූ ආකාරයෙන් ස්ඵුට කරයි. වෘක්ෂ දේවතාවාගේ ආනුභාවයෙන් මඩුවන් බමුණාට කියන මතු අදහස් රාජ පාලනය පිවිතුරු බව මනහර ලෙස කියාපාන අවස්ථාවකි.
“ඉදින් බමුණ මේ රජ දසරාජ ධර්මයෙන් රාජ්‍යය කරන්නේ වී නම් මේ රාජ්‍යය වස්ත්‍රාභරණ ධන ධාන්‍යයෙන් සමෘද්ධ වන්නේය. කලට වැසි වැස සමෘද්ධ ව ශස්‍යෙයන් යුක්ත වන්නේය. සියලු වැව් පොකුණු හෝ කඳුරැලි ආදිය ප්‍රසන්න ජලයෙන් පිරි සිටින්නේය. සත්වයෝ සුඛිතමුදිත වූවාහු බත් අනුභව කරන කල්හි අග්‍රපිණ්ඩය හැර කපුටන්ට දෙන්නාහ. කපුටුවෝ බත් අනුභව කොට මෙලෙස ප්‍රාණවධ නොකරන්නාහ.”
මෙසේ රජුගේ මැදිහත් නොවීම නිසා රජුගේ ධාර්මික ප්‍රතිපදාවක් නොමැතිකම නිසා රට විනාශයට ගොස් ජන ජීවිතයට පීඩාවට පත්වන ආකාරය මෙන්ම ජන පීඩාවට පත්වී සිදුවන විනාසය කලාත්මක උපක්‍රම ඔස්සේ ජාතක කතාකරු නිරූපණය කරයි.
ජාතක පොතේ භාෂාව..,
සිංහල පන්සිය පනස් ජාතක පොත උගත් නූගත් සැමට බණ කීමට රචිත ග්‍රන්ථයකි. මේ නිසා ජාතික පොතේ ඇත්තේ පොදු ජනතාවට සරල ලෙස බණ කීමට උචිත ලෙස සැකසුණු භාෂා ලිපියකි. මේ පිළිබඳ විද්වතුන් කිහිපදෙනෙකුගේ අදහස් මෙසේ විමසමු.
“සිංහල ජාතක පොතේ බස පොදුජන බස ලෙසින් ගැනීම උගතුන්ගෙ සිරිතයි. පොදුජන බස අලුත් දේශීය මාර්ගයක් ලෙස හඳුන්වනු ලැබූවද එය අලුතින්ම ඇති වූවක් නොව මීට කලින් අවධියක සිට පැමිණ අලුත් කරනු ලැබූ අංගයකි. සද්ධර්මරත්නාවලියෙන් ඇරඹුණු පොදු ජන වහර කතා රචනයට සුදුසු අයුරින් දක්නට ඇත්තේ ජාතක පොතෙහි ය. උගතාටත් නූගතාටත් බාලයාටත් මහල්ලාටත් තේරුම්ගතහැකි බස් නියරක් දක්නට ලැබෙන්නේ ජාතක පොතෙහි ය.”
( මහාචාර්ය ආනන්ද කුලසූරිය)
“බුදුබණහි එන උපමා රූපකයන්ගේ අපූර්වත්වය අලුත් බව අපට පළමුව පෙන්වා දුන්නේ සද්ධර්මරත්නාවලිය ලියූ ධර්මසේන හිමියන් විසිනි. අනතුරුව පාලි රීතියක් පාලියෙහි එන උපමා රූපක ඇසුරෙන් සිංහලයන්ගේ කට බස් රීතියට හුරු ආදීන සිංහල රීතියක් නිපදවූයේ ජාතක කතා සිංහලයට නැගූවන් විසිනි.”
( මාර්ටින් වික්‍රමසිංහ)
“ජාතක පොතේ කර්තෘ වූ සද්ධර්මරත්නාවලී මාර්ගය ගරු කරමින් වැඩි පිරිසකට කියවා හෝ අසා තේරුම් ගෙන රස විඳිය හැකි බස් වහරකින් ජාතක පොත සම්පාදනය කළෝය.”
(මහාචාර්ය ඒ වී සුරවීර)
මේ විස්තරවලින් පෙනෙන්නේ ජාතක පොත රචනා කළ කතෘන් සිංහලයගෙ කට බසට ලඟ රීතියකින් ජාතක පොත රචනා කර ඇති බවයි. අමාවතුර, බුත්සරණ වැනි පූර්ව කාලීන කෘති වඩාත් ව්‍යක්ත රිතියකින් රචනා වූ අතර ජාතක කතා කට වහරින් රචනා වූ ගද්‍ය ග්‍රන්ථයකි. එහෙත් ඇතැම් තැනක භාෂාව මිශ්‍ර කොට තැබීම විශේෂ ලක්ෂණයකි. දේවධර්ම ජාතක එහි වර්තමාන කතාව සරල වහරකින් රචනා වූ හොඳම කතාවකි.
ජාතක පොතේ භාෂාව සරල වු ව්‍යංගාර්ථයෙන් හැඟීම් පළ කිරීම විශේෂ ලක්ෂණයකි. මතු දැක්වෙන නිදසුන බලන්න. බහුභාණ්ඩික භික්ෂුවකගේ සිවුරු අඳන ආදිය දැන සේනාසන චාරිකාවේ යෙදෙන භික්ෂුහු මෙසේ අසති. බහුභාණ්ඩික භික්ෂුවගේ බොහෝ සිවුරු පිළි ආදිය දැක විශ්මයට පත්ව දෑත් විහිදාගෙන අත දික් කොට සිවුරු පිළි පෙන්වමින් හැසිරෙන ආකාරය මේ වැනුම ඇසෙන සැමට මැවී පෙනේ. සරල වැකි පුනපුනා යෙදීමෙන් ව්‍යංගාර්ථවත් බස් වහරක් යොදා ගෙන තිබේ. ජාතක පොත පොදු ජනයාට සමීප බසකින් කතා නිර්මාණය වී ඇතත් එහි කතා රීතියෙහි එක් ලක්ෂණයක් නම් භින්නත්වයයි. සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය වැනි කෘතිවල එන සමරූපීතාව ජාතක පොතේ නැත. ඊට හේතුව ජාතක පොත තනි කතුවරයෙකුගේ නිර්මාණයක් නොවීමයි. සමහර කතා මිශ්‍ර සිංහලයට නැඹුරුවී අලංකාර රීතියකින් නිර්මාණය වී ඇත. සම්බුලා ජාතකයේ මතු දැක්වෙන අවස්ථාව විමසා බලමු.
“එකල්හි දානව රාක්ෂසයෙකු ගුවනින් යනුයේ පවනඹල රන්ලියට නිගා දුන් තුනු සිරින් වොර වදනා ඒ ලද වූ ස්ත්‍රිය තුනු සිරි දැක, ඇය කෙරෙහි පිළිබඳ සිත් ඇතිව මෙසේ කීයේය. හැසී සිටින්නා වූ කහර ප්‍රදේශයක් ඇති කරපිරිමිද මධ්‍යම ප්‍රදේශයක් ඇති ජන ශූන්‍ය වූ මේ වන මධ්‍යයෙහි ගල් කඳු රැලිය අසනනා ගොඩනැගී බව හේතු කොටගෙන පවනඹල පල්ලව පත්‍රයක් මෙන් චලිත වීම් ඇතිව... ”
සම්බුලා දේවිය ගේ රූපශ්‍රීය පැවසෙන මේ වැනුම හොඳම බස ජාතක කතාකරු සරල ගැමි බසින් වර්ණනා කළා නම් ඇගේ ශරීර සෝබාව මෙතරම් මනහර ලෙස ගැනිය නොහැකි ය ජාතක පොතේ භාෂාව අලංකාර කළ ප්‍රධානතම අංගයක් නම් අන්තර්ගත උපමා වන්නේ තැනට සුදුසු උපමා තෝරාගෙන ඉදිරිපත් කරමින් අදහස හකුලා දැක්වීමට ජාතක කතා රචකයෝ සමත් වූහ. සම්බුලා ජාතක ඉන් උපුටා ගත් උපමා කිහිපයක් මෙසේ විමසමු.
පහන් නැති තැන පහන් මෙන්
සම්බුලා දේවිය ගේ රූපශීය මොන තරම් විශිෂ්ට එකක් දැයි මින් ප්‍රකාශ වේ. අලුත් කසායෙන් උලා නා ගොඩනැගී දේවිය ගැන පවසන මතු උපමාව බලන්න
රන් රැසින් තවරන කලක් මෙන් ඇගේ ලාලිත්‍යය පවසන මතු උපමාව ද නිර්මාණාත්මක එකකි
පවනඹල පත්‍රයක් මෙන්
මෙසේ උපමා භාවිතය අතින් ජාතක පොතේ භාෂාව විචිත්‍රත්වය ට පත් වී ඇත.
පන්සිය පනස් ජාතක පොත වනාහි සිංහල සාහිත්‍යයයේ ඇත්තාවු විශාලතම වූද අතිශය ජනප්‍රිය වූ ද කෘතියකි. සිංහල සමාජය හා සංස්කෘතිය කෙරෙහි මෙන් ම සිංහල සාහිත්‍ය කෙරෙහි ද ජාතක කතාවෙන් තරම් අනෙක් එකදු සාහිත්‍යකින් හෝ බලපෑමක් සිදු නොවීය.
( මහාචාර්ය ඒ වී සුරවීර)
අවසානයට ප්‍රථම..,
ජාතක කතාවේ ආකෘතිය සැකෙවින්..,
වර්තමාන හා අතීත කතා අතර දැක්වෙන චරිත මගින් ජන ජීවිතයේ පවතින විවිධ ගැටලු ගැන සාකච්ඡා කරනු ලැබේ. එමඟින් පුද්ගලයාගේ ජීවන තත්ත්වය හැසිරීම් රටාව, චරිත ලක්ෂණ, ගති පැවතුම් ආදිය විස්තර වෙයි. මේ අතර චරිත හැඩගස්වා ගැනීමෙන් යහපත් ජීවිතයක් ගත කිරීමට උපකාරී වන යහපත් ගුණධර්ම ඉදිරිපත් කරයි. හැම කතාවකින්ම මෙන් ජනජීවිතය සංකීර්ණත්වය පැහැදිලි කරයි. මේ සඳහා දුෂ්ට චරිත, සාධු චරිත, සංකීර්ණ චරිත උපයෝගී කරගෙන ඇත. අවසානයේ පූර්වාපර සන්ධි ගැළපීමෙන් සමෝධානය දක්වයි.
ජාතක කතා ගොඩනැගීමේ පරමාර්ථය..,
ජාතක කතා නිර්මාණය කිරීමේ මූලික පරමාර්ථය ගැටළු විරහිත ධාර්මික ගති පැවතුම් ඇති යහපත් සමාජයක් බිහි කිරීමයි.
ජාතක කතා වලින් මූලික වශයෙන් බමුණු මත වාදවලට පහර දීම ද බමුණන් විවේචනය කිරීමද තවත් පරමාර්ථයක් වශයෙන් දැක්විය හැකිය.
සමාජ සිරිත් විරිත් සුරක්ෂිත කිරීම සහ ගැටළු විරහිත සුඛිතමුදිත ජන සමාජයකට මාර්ග පාදා දීමට ඉගැන්වීම් ඉදිරිපත් කිරීම ද ජාතක කතා ඉදිරිපත් කිරීමේ තවත් පරමාර්ථයක් ලෙස සඳහන් කළ හැකිය. පන්ති කුල භේද ප්‍රතික්ෂේප කිරීම එහි ඇති තවත් පරමාර්ථයකි.
මිනිස් ජීවිතය විවරණය කිරීම
සාදු චරිත ගොඩනැගීමට පියවර ගැනීම
සහෘද සමාජයක් ගොඩනැගීම
වැඩිහිටියන්ට ගරු සැලකිලි දැක්වීම, ස්ත්‍රී, පුරුෂ, සත්ත්ව චරිත ක්‍රියාත්මක වීම ඉදිරිපත් කිරීම මෙහි ඇති තවත් පරමාර්ථ ලෙස සැකෙවින් දැක්වීමට පිළිවන.
ජාතක කතාවෙ සන්දර්භය..,
අද්භූත සිද්ධීන්ගෙන් ගහන වීම ජාතක කතා වල සන්දර්භය දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. සස ලාංඡනය ඇඳීම, සඳ පලාගෙන යාම, සක්දෙව් ඉල්ලීස ගෙ විලාපය ගැනීම, කුස ජාතකය ශක්‍රයාගේ ඉදිරිපත්වීම මේ ආදී අද්භූත දේ ජාතක කතාවල සන්දර්භය දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. (මායා යථාර්ථවාදය) අසන්නාගේ සිත් ඇදී යන ආකාරයට ජාතක කතාකරු සිය කතා රචනා කිරීමට ද ජාතක කතා සන්දර්භය දක්නට ලැබෙන උසස් ලක්ෂණයෙකි. බස් වහරට අනුව වේගයෙන් ගලා යන ආකර්ශනීය වූ සිදුවීම් වලින් ඇතැම් ජාතක කතා පැවතීමද ජාතක කතා සන්දර්භය දක්නට ලැබෙන තවත් ලක්ෂණයකි.
ජාතක කතාවේ බස් වහර පිළිබඳ කෙටි විමසුම..,
ජාතක කතාවේ භාෂාව ජනවහරට සමීප වූවකි. එහෙත් එහි උපමා රූපක ආදිය බෙහෙවින් ම යෙදී ඇත්තේ ජාතකට්ඨකථාව අනුසාරයෙනි.
ජාතක පොත එක් කර්තෘ කෙනෙකුගේ නොවන බැවින් එහි විවිධ භාෂා ශෛලීන් දක්නට ඇත. අමාවතුර, බුත්සරණ, සද්ධර්මරත්නාවලිය ආදී ග්‍රන්ථවල දක්නට ලැබෙන භාෂා ශෛලීන් ද ජනවහර ද පාලි භාෂාවෙන් සිංහලයට ගත් උපමා රූපක ආදිය ද කට වහර ද යන මෙකී සියලුම ලක්ෂණ ජාතක කතා භාෂාවෙන් දක්නට ලැබේ. ජාතක කතා බස් වහරෙහි සමකාලීන භාෂා රටාවේ හුදී ජන පහන් සංවේගය දනවන භාෂා රීතියක් දක්නට ලැබේ. ඇතැම් අවස්ථාවක එහි නාට්‍යෝචිත භාෂා ව්‍යවහාරයක් දක්නට ලැබේ. විශේෂයෙන්ම මේ පැහැදිලි වන්නේ ඇතැම් ජාතක කතාවල එන සංවාද ආශ්‍රිතවය. එසේම මෙහි භාෂා විලාසයෙනි අනුප්‍රාස, ලක්ෂණද කෙටි වැකි, ශෛලියද එසේම පණ්ඩිත ප්‍රිය සම්භාව්‍ය භාෂා රීතිය ද දක්නට ලැබේ. තවද මෙහි හෙළ වදන් පමණක් මුසුකළ බස් වහරක් ද ඇතැම් තැන්හි දක්නට ඇත. එසේම සංස්කෘත භාෂා ශෛලියකට අනුගතව ගිය භාෂා රටාවක් ද දක්නට ලැබේ. සරල භාෂා ශෛලිය, සම්භාව්‍ය භාෂා ශෛලිය, සංවාද භාෂා ශෛලිය, ජනවහර භාෂා ශෛලිය, නාට්‍යයයෝචිත භාෂා ශෛලිය, හෙලබස් ශෛලිය, සංස්කෘත භාෂා ශෛලිය ආදී ශෛලීන් ජාතක පොතෙහි අන්තර්ගත වී ඇති. මෙයින් ජාතක කතා කර්තෘ මණ්ඩලය සතු වූ භාෂාව පිළිබඳ දැනුම විශද කරයි.
ජාතක කතාවේ දක්නට ලැබෙන මනෝවිද්‍යාත්මක ලක්ෂණ..,
චිත්ත චෛතසිකය මනෝභාවයන්ගේ හෙළි කිරීම මෙහිදී ප්‍රබල ලෙසින් ඉදිරිපත් කරයි. නූතන මනෝවිද්‍යාඥයන් විසින් සිත විග්‍රහය කිරීමද බුද්ධාගමට අනුව විග්‍රහය කිරීම හා සමාන යැයි විටෙක පෙන්වා දිය හැකිය. සිග්මන් ෆෙයිඩ් බටහිර මනෝ විද්‍යඥයෙකි. ඔහුගේ මනෝවිද්‍යාත්මක මූලධර්ම විග්‍රහයයන් සහ ජාතික පොතෙහි මනෝවිද්‍යාත්මක චරිත විග්‍රහය අතර සමීප සම්බන්ධතාවයක් පවතී.
සෙව්වන්දි ප්‍රේමතිලක
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය






















