ජනශ්‍රැති යනු මොනවාද?
මුඛ පරම්පරාගතව පැවත එන (සම්භාවිත) (genaration to genaration) මානව ඥාන සම්භාරය ජනශ්‍රැතිය යි. ජනශ්‍රැතිය යන්න මිනිසා හා බැඳී පවතින වාගාලාපයකි. එය ගැඹුරු අර්ථයක් දනවන පුළුල් වපසරියක් ආවරණය කරන්නා වූ විෂයයක් බව බොහෝ දෙනා විසින් අවබෝධ කොටගෙන නැත. තාක්ෂණයේ දියුණුව සමඟ මිනිසාගේ අන්‍යතා වල්බිහි වී ගොස් ඇත. ගැමි ජනතාව ජනශ්‍රැති රස විඳින්නන් මිස විශේෂඥයෝ නොවෙති. එහෙත් ඉන් විශාල මානසික සුවයක් මෙන්ම ආධ්‍යාත්මික සුවයක් කරා ඔවුන් ගමන් කරති. ජනශ්‍රැති පිළිබඳ මේ මතය සමාජය පුරා පැතිර ඒ පිළිබඳ අවබෝධයක් ලබන්නේ නම් ඒවායේ නියම වටිනාකම ඔවුන් විසින් වටහාගන්නවාට සැකයක් නැත. එවිට සැම සමාජයකම සංස්කෘතික උරුමයක් ලෙස සැලකෙන තමතමන්ගේ ජනශ්‍රැති ආරක්ෂා කිරීම, ඉගෙනීම හා එය සංරක්ෂණය කිරීමට සියල්ලන් එකතු වෙනවා නොඅනුමානය.
ජනශ්‍රැති පිළිබඳ නිර්වචන කිරීමේදී ජනශ්‍රැති යනු මොනවාදයි යන්න නිවැරදිව අවබෝධ කොටගැනීමට පමණක් නොව එහි විෂය පථය හඳුනාගැනීමටද ඉඩකඩ ලැබෙනු ඇත. එවිට ජනශ්‍රැතිවලින් සිදු වන සේවාවන් මොනවාදයි සොයා බැලීමද පහසු වනු ඇත. ජනශ්‍රැති පසුපස හඹා යෑමේදී පුරාණෝක්ති මෙන්ම වැලලී යන්නට නියමිත ඉතිහාසය පිළිබඳව පුළුල් අවබෝධයක් මිනිසාට සම්පාදනය කර ගැනීම අපහසු කටයුත්තක් නොවේ.
"ජනශ්‍රැති” නිර්වචන කිරීමේ පහසුව සඳහා එම වචනයේ සැකැස්ම සලකා බැලූ විට එහි කොටස් දෙකක් දක්නට හැකිය. එනම් "ජන” හා "ශ්‍රැතිය” වශයෙනි. ජන යනු කිසියම් ජන කොට්ඨාසයක් නැතහොත් ජන සමූහයක් යයි අර්ථ දැක්විය හැකිය. අනෙක් අතට " ශ්‍රැතිය " යනු අසන දෙය. මුඛ පරම්පරාගතව පැවත එන දේමය. එනම් එවන් ජන කොට්ඨාසයක් වෙතින් නැතිනම් ඒ ජන කොටස පිළිබඳ අසන්නට ලැබෙන දේ ජන ශ්‍රැතිය ලෙසින් නොනැසී පැවත එයි.
ඒ අනුව ජනශ්‍රැති යනු ඉතා සරල ලෙස අර්ථ දක්වන්නේ නම් ජනතාව විසින් ජනතාව පිළිබඳ ජනතාව මඟින් අසනු ලබන දේ යයි හැඳින්විය හැකිය. අසන්නේ කියනු ලබනු දෙය වන බැවින් ජනශ්‍රැති යනු වාචිකව නොහොත් මුඛ පරම්පරාගතව පැවත එන දෙයක් බව නිගමනය කළ හැකිය. මහාචාර්ය ජේ.බී.දිසානායක මේ අදහස මෙසේ පැහැදිලිව දක්වයි.
"ජනශ්‍රැති යන පදයෙන් අදහස් කෙරෙන්නේ කිසියම් ජන කොට්ඨාසයක් අතර මුඛ පරම්පරාගතව එන ව්‍යවහාර සමුච්චයයි.”
(ජනශ්‍රැති ශබ්ද කෝෂය)
ජනශ්‍රැති වශයෙන් අප විසින් හඳුන්වනු ලබන්නේ යම් නිශ්චිත ප්‍රකාශන මාධ්‍යයකි. එය යමක් විකාශනය හෝ සංනිවේදනය කිරීම සඳහා යොදාගන්නා ලද උපාය මාර්ගයකි. එකී මාධ්‍යය මඟින් විකාශනය කරනු ලබන්නේ යම්දැනුම් සම්භාරයකි. මූලික චශයෙන් එම දැනුම අයත් වන්නේ ලිඛිත මාධ්‍යයක් උපයෝගී කොට නොගත් අධ්‍යාපන ක්‍රමවේදයකටය. ඒවා වර්තමානය දක්වා ගෙන එනු ලැබ ඇත්තේ මුඛ පරම්පරාවෙනි. මෙම ක්‍රමවේදය හැඳින්වීමට අපි ජනශ්‍රැති යයි නාමයක් භාවිතා කරමු.ජනශ්‍රැති යයි අප විසින් ඊට සිංහල යෙදුම යෙදීමේදී එහි අන්තර්ගතයට අයත් අනෙක් සියලු දේ
අතර මිනිසුන්ගේ ගතිපැවතුම්, සිරිත්විරිත්, චර්යා ධර්ම, මිථ්‍යා විශ්වාස, කවි, කථා, ප්‍රස්ත පිරුළු ආදිය ඇතුළත් කළ හැකි බව යන්න සැලකිල්ලට ගැනීමෙන් මුඛ පරම්පරාගතව එන සියලු ආකාරයේ පැරණි දැනුම්,අදහස්, හැඟීම, භෞතික නිර්මාණ ආදී කොටගත් දෑ සියල්ල කෙටියෙන් දක්වීමට සකසාගන්නා ලද පහසු යෙදුමක් බව පෙනී යයි.
දේශීය ශාන්ති කර්මය
දේශීය ශාන්ති කර්මය සන්නියකුම හෙවත් දහඅටසන්නිය, රටයකුම හෙවත් රිද්දියාගය, සූනියම් යාගය ලෙස දක්වයි. දේශීය ශාන්තිකර්ම ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන් කිරීමට පිළිවන. ඉන් පළමුවැන්න ලෙස පූජා කර්මත් දෙවන වැන්න ලෙස යාතුකර්ම දැක්වීමට හැකිය. පූජා කර්ම යනු පූජා කරන පවත්වනු ලබන්නේ බුදුන් වහන්සේ වෙනුවෙන්ය. ඒ අනුව පූජා කර්ම ලෙස සති පිරිත් පිංකම් අවසන් යි පැවැත්වෙන දොරකඩඅස්න, යුගාසන බණ, සූවිසි විවරණය, ආලවක දමනය, මිලින්ද ප්‍රශ්නය දැක්වීමට පිළිවන.
යාතුකර්ම කොටසට අයත් වන්නේ යාතුකර්මයක් යනු තමන්ට වැළදෙන රෝග මෙන්ම මනුෂ්‍යය අනුෂ්‍යය භය තුරන් කර ගැනීම සඳහා දෙවියන් යක්ෂයින් සහ ග්‍රහයන් සඳහා පවත්වනු ලබන ශාන්තිකර්ම වේ. මෙහිදී පුද ලබන්නේ දෙවියන් යක්ෂයින් සහ ග්‍රහයින් වේ. මේවා තුරන් කිරීම සදහා ඇස් වහ, කට වහ හෝ වහ නැති කිරීමට පිරිතෙන් යම් සෙතක් වේ යැයි මුතුන්මිත්තන් ස්වභාවධර්මයෙන් සිදු වූ කරදර සහ හිරිහැර වලින් මිදීම සඳහාද විවිධ පුද පූජා පතනට වුණා. ඒ අනුව බිලිපූජා, පිදේනි ලබාදීම තුළින් සෙතක් ශාන්තියක් ලබා ගැනීම බලාපොරොත්තු විය. මෙම ක්‍රමය බුදු දහමත් සමඟ ම වෙනස් වන්නට සිද්ධ වුණා ශාන්ති කර්ම පිළිබඳව ඉගෙනීමේදී ප්‍රධාන කොටස් තුනකට ශාන්තිකර්ම බෙදා වෙන් කරයි.
උඩරට ශාන්තිකර්ම ඉන් පළමු වැන්නයි. උඩරට ශාන්තිකර්ම ලෙස කොහොඹාකංකාරිය, යක් තොවිල්, බලිතොවිල් දැක්වීමට පුළුවන්. දෙවැන්න පහතරට ශාන්තිකර්මයි. පහත රට ශාන්ති කර්ම ලෙස ගම්මඩු, දෙවොල්මඩු, මහසොහොන් සමයම, සන්නියකුම, සූනියම් යාගය, රටයකුම් දැක්වීමට පුළුවනි. තෙවැන්න සබරගමු ශාන්තිකර්මයි. සබරගමු ශාන්තිකර්ම ලෙස ගී මඩු. මල් මඩු, පහන් මඩු, තුන්හිරියා මඩු, හැල්ලුම් මඩු, කිරි මඩු දැක්වීමට පුළුවන.
ඉතා අතීතයේ සිංහල සමාජයේ විසුවන් තමන්ට ඇතිවන විවිධ කරදර ලෙඩරෝග, හා ස්‌වභාව ධර්මයාගෙන් සිදුවන හානි, උවදුරු දුරු කර ගැනීම සඳහා නොයෙකුත් අන්දමේ පුද පූජා ශාන්ති කර්ම සිදුකරගනී. මේවාට බලි, තොවිල්, යාග හෝමද ඇතුළත්ය. ඇතැම් පැරැන්නෝ ලෙඩක්, ආබාධයක් වැළඳුන විට ඒ ගැන නිශ්චිත ලෙස සොයා ගැනීමට, යකැදුරන් ශාන්තිකර්මවල යෙදී සිටින්නන්, ජොතිෂ්‍යවේදීන් හමුවීම එවක සිරිතකි. තුන්දොස් කිපීමෙන් ලෙඩරෝග 18 ක් පමණ “සන්නි ආබාධ” ලෙස ඔවුහු හඳුන්වති. භූත සන්නිය, අභූත සන්නිය, වෙඩි, වාත, සන්නිය, පිත් සන්නිය, කෝල සන්නිය, ජල සන්නිය යනාදී වශයෙන් ඒවා හැඳින්වෙයි.
තුන් දොස් කිපීමෙන් (වාතය-පිත-සෙම) නිසා ඇතිවන රෝග දහඅට සන්නි යාගයෙන් සංකේතවත් කරයි. යක් ඇදුරන් විවිධ රංගන විලාසිතා මගින් චරිත අවස්‌ථා 18 ක් නිරූපණය කිරීම මෙහිදී විශේෂයි. හැම සන්නි නැටුමකටම වෙස් මුහුණු පැළැඳීම සිදුකෙරේ. රංගනවලදී හාස්‍යය, ත්‍රාසය, භීතිය, ඇති කිරීමෙන් ආතුරයාගේ මනෝ විකෘති භාවය සුවපත් කිරීමට දොළොස් පාලිය රංගනය කරනු ලබයි. මෙහිදී පාලිය, හත්පාලිය, දොළොස්‌පාලිය ආදී නැටුම්ද නිර්මාණය වෙයි.
යාග හෝම පැවැත්වීම වැඩි වශයෙන් සිදුවන්නේ කෙම්මුර දිනවලයි. එනම් බදාදා – සෙනසුරාදා දිනයන්ගේය. ශාන්ති කර්ම පිළිබඳ ඉතිහාසය මිනිස් සමාජයේ උපතේ සිටම පැවැත එන්නක් වෙයි. එනම් යථානුභූත අවධිය දක්වා එය දිවයයි. බුද්ධ කාලයේ පවා විවිධ ආගම් ඇදහිලිවලදී ගස් ගල් පර්වත පවා ඇදහීමේ ක්‍රමවේද පැවැතුනි. කඩවර, කොහොඹ, ගම්බාර, සූනියන්, සත් පත්තිනි දෙවිවරුන් උදෙසා ශාන්ති කර්ම පුද පූජා පැවැත්වීම අදටත් පැරණි අය අමතක නොකරයි.
අධ්‍යයන වපසරිය - බලි ශාන්තිකර්ම
බලි (bali) යන පදය විශ්වකෝෂවල සදහන් වන්නේ ඉන්දුනීසියාවට අයත් බාලි දුපත හා බටහිර බෙංගාල රාජ්‍යයේ හො(ව්)රා දිස්ත්‍රික්කයේ පිහිටි බාලි නගරයක් පිළිබද පමණි.හින්දු පුරාණෝක්ති හා දේව පුරාණ සංග්‍රහවලද බලි,මහාබලි,බාලි යන අර්ථකථනය කර ඇත. එහෙත් මේ පිළිබද බලි යාගයට ඉගියක් නොලැබෙන අතර භාරතීය සමාජ සංස්කෘතික ඉතිහාසය තුළ බලි යන වචනය සදහා නොයෙක් අර්ථකථන ලබා දී ඇත.
“බලි” යනු සිංහලයේ සේම සංස්කෘත,පාලි සහ ප්‍රකෘත භාෂාවල එකම අරුතක් යෙදෙන වචනයක් ලෙස මේ සම්බන්ධ වඩාත් වැදගත් පර්යේෂණයක් සිදු කර ඇති මහාචාර්ය විනී විතාරණ මහතාගේ අදහසයි. එම අරුත නම් දේව යක්ෂාදින්ට දෙනු ලබන පිදෙන්න,යාග සහ ශාන්තිකර්මය සදහා අඔන රූප බලි යනුවෙනි. පාලි සාහිත්‍යයේ ද බලි යන පදය පුජාර්ථයෙන් ව්‍යවහාර වී ඇති ආකාරය හදුනාගත හැකිය. “බලි” යන පදය ප්‍රාග් බෞද්ධ හා සමකාලින වෛදික හා බ්‍රාහ්මණික ව්‍යවහාරයන්ගෙන් සංස්කෘත හා පාලියට ඇතුල් වූ බව විද්වත් මතය වේ. බලි ශාන්තිකර්ම ග්‍රහයන්ගේ බලපෑම මිනිස් ජීවිතය කෙරේ එල්ල වන ආකාරය අනුව සුභඵල හෝ අසුභ ඵල ගෙන දෙන බව මතුක පෙන්වයි.
ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන පංච මහා භූතයන් ඇතිවන්නාවූ මිනිස් ශරීරයට බලපවත්වන්නා වූ නවග්‍රහයන් එක් එක් ස්‌ථානවලට ගමන් කරන විට එහි බලපෑම මත ඇතිවන නොයෙකුත් අපල උවදුරු දුරු කර ගැනීම සඳහා විවිධ සෙත් ශාන්ති ක්‍රම, පූජා විධි, බාරහාරවීම් වැනි අභිචාරාත්මක ප්‍රතිකාරවලට සිංහල ගැමියා වැඩි නැඹුරුවක් දක්‌වා ඇත. ලෝකයේ සෑම රටකම විවිධ ජාතීන් පුරාතන කාලයේ සිටම තමන් මුහුණ දුන් උවදුරු, ලෙඩ දුක් කරදර ආදියෙන් ආරක්‌ෂාව, පිහිට ලබා ගැනීමට ග්‍රහයන්, දෙවියන් වෙනුවෙන් පුද සත්කාර යාගහෝම සිදුකරන ලදී.
මෙම පුදසත්කාර කිරීම්වලට ඔවුනොවුන්ගේ සංස්‌කෘතිකාංග එක්‌වීම නිසා මෙම ශාන්තිකර්මවල සාහිත්‍යමය විචිත්‍රත්වයක් ඇතිවිය. තමන්ට මුහුණදීමට සිදුවෙතැයි සිතන ඇස්‌වහ, කටවහ, හෝවහ, අඳෝවැඩියා, යක්‍ෂ, පේත, කුම්භාණ්‌ඩ, ගිරිදෝෂ ඇති කරවන ගුප්ත බලවේගවලින් ආරක්‌ෂාවීමට මෙන්ම බවභෝග වගාව සරුවීමට, ආරක්‌ෂා කිරීමට කලට වේලාවට වැස්ස ලබා ගැනීමට පුරාතනයේ සිට සිදුකරනු ලබන ශාන්තිකර්ම විශේෂයක් ලෙස මෙම බලි ශාන්ති කර්මය හැඳින්විය හැක.
ග්‍රහයන්ගෙන් වන අපල සඳහා කරන ප්‍රධානත ම ශාන්ති කර්මය බලි ශාන්තිකර්මය ලෙස හැඳින්විය හැකිය.
යාතුකර්ම හෝ යාගකර්ම යන විවිධ නම්වලින් හැඳින්වෙන ශාන්තිකර්ම අප ජන සංස්‌කෘතියේ අනාදිමත් කාලයක සිට පැවත එන්නකි. යාගකර්ම අතර බලි යාගයට විශේෂ තැනක් හිමිවේ. බලි ශාන්තිකර්මය උඩරට, පහතරට, සබරගමුව යන සම්ප්‍රදායන් ත්‍රිත්වයට ම පොදු ශාන්තිකර්මයකි. මෙම ශාන්තිකර්මයේ ද ප්‍රදේශ අනුව යම් යම් වෙනස්කම් දැකිය හැකිය. උඩරට බලි, පහතරට බලි, සබරගමු බලි, නුවරකලාවිය බලි වශයෙන් සම්ප්‍රදායන් 5 ක් දක්නට ඇත. රවි, චන්ද්‍ර, කුජ, බුද, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන නවග්‍රහයන්ගෙන් සිදුවෙතැයි විශ්වාස කරනු ලබන අපල උපද්‍රවවලින් අත්මිදීම උදෙසා බලි ශාන්තිකර්ම පැවැත්වීම පුරාතනයේ සිට පැවත එන සිරිතකි. බලි ශාන්තිකර්මය මිනිසාට වැළඳෙන අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධීන්, දෙසිය තුනක් අන්ත්‍රා අයත් වෙති.
මෙම ශාන්ති කර්මයට බුදුන්, දෙවියන්, යකුන්, රාක්‍ෂයන්, ග්‍රහයන් යන සැවොම අයත්වීම විශේෂයකි. නමුත්, ගැයුම්, නැටුම්, චිත්‍ර, මූර්ති ගොක් කලාව ඇතුළු කලා අංග බොහොමයක් මෙය වටා වෙයි. කෙනකුට ග්‍රහ දෝෂයක් ලැබූ විට රෝගී අවස්‌ථාවකදී බෙහෙත් කළද සුවයක් නොලද විට කේන්දර බලා ඒ අනුව ශාන්ති කර්මයක් කිරීම පුරාණ සිරිතයි. බලි යනු, සංස්‌කෘත භාෂාව අනුව පූජාව යනුවෙන් අර්ථ ගැන්වේ. බලි ශාන්තිකර්මය අනෙකුත් ශාන්තිකර්ම අතුරින් වෙනස් වනුයේ එය රූප මගින් කරනු ලබන ශාන්ති කර්මයක් බැවිනි. ශ්‍රී ලංකාවේ මෙම ශාන්තිකර්මය සඳහා භාවිත වන බලි වර්ග දෙකකි. එනම්,
රූප බලි
ඇඹුම් බලි
රූප බලි යනු,
අදාළ බලියට නියමිත ග්‍රහයන්, දෙවියන් හෝ යක්‍ෂයන්ගේ රුව කැන්වස් රෙද්දක හෝ එවැනි මාධ්‍යයක ඇඳීමයි.
ඇඹුම් බලි යනු,
අදාළ කටයුත්ත මැටිවලින් අඹා වර්ණ ආලේපකොට රූප සැකසීමයි. මෙයින් කුමන ක්‍රමයකට හෝ රූප සකස්‌කොට තබා එය ඉදිරිපිට සිට ශාන්තිකර්මය කරනු ලබයි.
ක්‍රි. පූ. 4 වන ශතවර්ෂයේ පණ්‌ඩුකාභය රජ සමයේ බලි ශාන්තිකර්ම පැවැතුණු බව පොත පතවල සඳහන් කරණු මඟින් ප්‍රතීයමාන වන කරුණකි. චිත්තරාජ, කාලවේල, වලමා, මහේජ යන යක්‍ෂයන් රජුට නොයෙකුත් අවස්‌ථාවන්හිදී ආධාර කළ බව සඳහන් වේ. ඔවුන්ට කෘතගුණ සැලකීමක් වශයෙන් ආරාම සාදා බලි පූජා පැවැත්වූ බව පැරණි ග්‍රන්ථයන්හි සඳහන් වේ. භාතරයේ සිට පැමිණි බමුණන්ගෙන් බලි ශාන්තිකර්මය ලංකාවට පැමිණි බව සඳහන් වුවත් මෙම ශාන්තිකර්ම බොහොමයකට ලාංකේය පරිසරයට උචිත බව පෙනේ. බොහෝ ශාන්තිකර්ම කරනුයේ දෙවියන්, යක්‍ෂයන්, පේතයන් සඳහා වුවත් ශාන්තිකර්මය පුරා ගායනා කරනු ලබන ගායනාවල බුදුගුණ අන්තර්ගත වේ. තොටගමුවේ රාහුල හිමියන්ගේ හා වීදාගම හිමියන්ගේ මැදිහත්වීමෙන් බලියාගය සම්බන්ධ බෞද්ධාගමික මුහුණුවරක් තිබුණු බව පොත පතවල සඳහන් වේ.
බලි යාගය පිළිබඳ පොත්පත්වල සඳහන් ආකාරයට බලි වර්ග 35 ක් භාවිතයේ පවතින බව කියෑවේ. මෙම බලි වර්ග 35 අතුරින් වර්තමානයේ භාවිත වනුයේ අත්බලි, විස්‌කම් බලි, මල් බලි, දිය කොරහබලි, නවග්‍රහ බලි, දේව කන්‍යාබලි යන බලිය. බලි යාගයකදී බලිය නිර්මාණය වන්නේ ආතුරයාගේ කේන්දරය අනුවය. බලි ශාන්ති කර්මයේ උපත පිළිබඳ ලාංකීය සිංහල සමාජය තුළ පවතින ප්‍රධානතම මතය උත්තර භාරතය හා බැඳෙයි. දඹදිව මහා සම්මත රජු සමයේ එය ආරම්භ වූ බව ප්‍රබලතම අදහස වන අතර විශාලා මහනුවර ලිච්ඡවි රජදරුවන්ගේ රජ සමයේ ආරම්භවූ බවටද මතයක් පවතී. විශාලා මහනුවර පැවැති තුන්බිය තුරන් කිරීම සඳහා බලියාග පැවැත්වූ බව සඳහන් වේ. තුන්බිය නැති කිරීමට බුදුන් වහන්සේ දේශනා කළ රතනසූත්‍රය දේශනාවේ "දිවාච රත්තෝච හරංතියේ බලිං" යන පාඨයෙන් එදා පැවැති බලියාග පිළිබඳ ඉඟියක් ලබා දෙයි. සිංහල ජනයා විසින් පවත්වනු ලබන මෙම ශාන්තිකර්මය කිරීමට පෙර කප් සිටුවනු ලැබේ. ඉන්පසු බලි ඇඹීම සඳහා හුඹස් මැටි කඩාගනු ලබන්නේද ශාස්‌ත්‍රානුකූල ක්‍රමයකටය. මැටි ගැනීමට ප්‍රථම හුඹස වටේ ගොස් රැහැන් ඇද ආරක්‌ෂා කර දෙවියන්ට කන්නලව් කර කපා ගත් මැටි සුවඳ කිරි පැන් ඉස අනා මැටිවලින් කොටසක් මල් බුලත් තටුවක තැන්පත් කර සුවඳ දුම් අල්ලා ඊට පසු අඹන බලිවල හිසට කොටසක් මිශ්‍ර කෙරේ. ඇඹීමෙන් පසු ස්‌වභාවික වර්ණවලින් වර්ණවත් කරයි.
බලි ශාන්තිකර්මය සිදු කිරීමේ පිළිවෙත් අනුව බලිය ඇඹීමෙන් පසු අඳුන් ජීවම් කර නැකතට නේත්‍රා තබනු ලබයි. පසුව බලිය කෙලින් කර බලිය පාමුල සරසනු ලබයි. ආතුරයා පන්දලමට කැඳවීමෙන් පසු පහන් දල්වා තුරුණුවන් සරණ යයි.
නමස්‌කාරය දේවාරාධනාව
යාගය පටන් ගැනීමට පෙර පිරිත් හුය ගෙන ප්‍රධාන ඇදුරුතුමා තෙරුවන් නැමැද දේවාරාධනාව කරයි. මඟුල් බෙර වාදනය කර ශ්ලෝක කවි ගායනා කරයි. පිරිත්හුය ආතුරයා අතට පත් කිරීම, ආතුරයා ඉදිරියේ කන්‍යාවන් දෙදෙනකු ආවඩමින් පිරිත් හුය ආතුරයා අතට පත් කරයි.
කඩතුරාව ඇරී
මෙය යාගයේ කෙරෙන ප්‍රධාන කටයුත්තකි සුදු රෙද්දකින් වසා තිබූ බලිය ආතුරයා ඇතුළු සභාවට දර්ශනය වනසේ ඉවත් කරයි. ඉතා මනරම් කවි ගායනා කිරීමක් ද වෙයි.
බලිය පාවාදීම
මෙහිදී ඒ ඒ ග්‍රහයන්ට අදාළව අධිපතිකම් දරන දේව යක්‍ෂ කොට්‌ඨාසවලට අදාළ කවි ගායනා කරමින් බලිය පාවාදීම සිදු කරයි.
අටමගල පෑගීම
දිවි හිස, හාල්, පොල් ගෙඩිය, තොලබෝ කොළය, දෙපුරුක් හීරැස්‌ස කැබැල්ල, හත් රියන් දිග කදුරු මෝල් ගස, හාල් පඬුරු හා කහ සහිත කලය යන මෙම ද්‍රව්‍යය කලාලය මත තබා ආතුරයාගේ දෙපා ඒ මතට යොමු කරයි.
මල් බුලත් පුටුව තැබීම
ආතුරයාට දෙහි කැපීම, යන්ත්‍ර දැමීම ආදිය කෙරෙ.¨ මෙයට මල් බුලත් තටුව උපයෝගි කර ගනී. මංගල අෂ්ඨක කවි ශ්ලෝක කියය
ග්‍රහයන්ට දොල පිදේනි දීම
බලියේ පාමුල තබා ඇති භෝජන තටුවේ තැන්පත්කර තිබෙන කැවිලි, පලතුරු, තෙල් ජාති සියල්ලම 7 බැගින් වන සේ නවග්‍රහයන්ට පුදයි.
ග්‍රහ ශාන්ති කවි කීම
ග්‍රහ දෙවියන්ගේ ගුණ ගායනා කරමින් හා ඔවුන්ගේ පිහිට පතමින් කවි ගායනා කිරීම, ග්‍රහයන්ට අමතරව බලියට අනුරූපව කවියා දේව රාක්‌ෂ බලි වලටද දශා අතුරු දශා වලටද කවි ගායනා කරයි. විශාලා ශාන්තිය, රතන සූත්‍රය ගයා බලිවලට පඬුරු දමා ආතුරයාට සෙත් පතයි. සියලු දෙවි දේවතාවන්ට පිංදී පිංබෙර වයා බලි
ශාන්ති කර්මය නිමා කරයි. (තොරතුරු මහාචාර්ය මුදියන්සේ දිසානායක සූරීන්ගේ සිංහල නර්තන කලාව කෘතිය හා අන්තර්ජාලය)
බලි ශාන්තිකර්මය
සෙත් කරනා උපත දැනා මැයි බඳිනා සැටි ලකුණා
සස ගතිනා වියත් ගෙනා සාගුලෙනා මැසි මනිනා
සිවු ගතිනා වියත් ගෙනා සෑගුලෙනා සුඵල මනා
මේ ලෙසිනා මැසි බඳිනා ගිරි අඟනා රැව අඹනා
නිරිත කොනා යුතා මල් මල් සුවඳැති වැටෙකෙ වන වෙතා
උරඟ පෙන ලතා දුන්වන් පාට්න් මැණික හිමි වෙතා
තල ද කිරිබතා ලොල් වඩවන සිතට රුචි වෙතා
පනිඳු දෙති සෙතා සුන්බුන් කර දොස ඔබට සෙතා
නරවරඟන නරු ඇඳගෙන නටති එතැන නළු නාටක වෙස් ගෙන
නතර නොවන නද කරවන නපුරු සිතින නසමැයි මුණි සිතමින
නමකුරු ගෙන නව නැකතින නපුරු දුදන නපුරට කළ මේ වින
නව මුණිගුණ නළල එලන සියලුම වින නහි නහි දොස දුරලන
අත දරන එසිරි වස ගෙන දිවයුරා
රත යහන නැගෙති මහ මෙර වට කරා
කන බොජුන කොකුන් ගෙන ඉඹුලෙහි අරා
සෙත ඔබට දෙවති පිරිවත දොස හැරා
සුරත රැගෙන පන්දම යාගෙට ඇඳුරා
වමතට විදුරු මිණියක් රැගෙන නඳ කරා
පෙර සිට උපත පන්දම යාග කවි කරා
මේ ඔබට ආවඩන් සැම දෝෂ දුරු කරා
අකුණු දේවතාවා පන්දමේ වෙසෙයි
දග්නි දේවතාවා ගිනිජලේ වෙසෙයි
කළඑළි දේවතාවා ලෝකයේ වෙසෙයි
අවුලු පන්දමෙන් සැම දෝෂ දුරු කෙරෙයි
බලි - බිලි යනුවෙන් සිංහලයේ එන වචන ගැළපීමේ ස්වර වේ.“බිලි”යන වහර සිංහලයේ නොයෙක් තැන්වල යෙදේ. බිලි යනු යක්ෂාදින්ට වෙත කැප කරණු ලබන පිදෙන්නක් විශේෂයෙන් ප්‍රාණයෙන් යුක්ත පිදෙන්නෙක් වෙයි. බිලි යනු බලියාගය හෝ බලි රුපය හෝ නොවේ. බලි යන පදයට අර්ථ නිරුපණ 5ක් ඉදිරිපත් කිරීමට සිරි ලියනගේ මහතා සමත්ව ඇත.(ජනශ්‍රැති ශබ්ද කෝෂය ) බලියාග – ශාන්ති කර්ම වලදී, තැඹිලි නවසි, බෝදිලි, දොතළු ආදී ගෙඩි වර්ගද, සිරැස්‌ස වැල්ද, පොල් පුවක්, රත්මල් වැනි මල්ද සැරසිලිවලට සාදා ගනු ලැබේ. මීට අමතරව කෙසෙල් කොළ, කෙසෙල් පතුරු, කැවිලි වර්ග, කෙසෙල් ආදී දේද යොදා ගැනේ.
බලි - අ - මෝඩ, බාල
ආ - බලවත්, බලය ඇති, ශක්තිමත්
ඇ - විශාල, මහත්
ඈ - දේව යක්ෂ ප්‍රේතාදින්ට පිරිනමන පූජා,යක්ෂ,පේතාදින්ට කරන ශාන්ති කර්ම තොවිල් ආදිය
ඇ - බද්ද,කප්පම,දීමනාව
තවද පුරාණෝක්ති ඇසුරින් බලි නමැති අසුර රාජයකු ගැන ද කියවේ. එහි දක්වන ආකාරයට බලි ඇදුරු,බලි ඇරීම්, බලි කර්මාන්ත, බලි ක්‍රියා, බලි තිබීම් යන පර්යාය වදන් කිහිපයක් හමුවේ. විශේෂයෙන් එහි එන “බලි කුඩම්” යනු ජයවර්ධනපුර කෝට්ටේ මාලිගාවේ “බලිබෙත් බලිකුඩම් වැඩ සිටි” යන හැදින්විමෙන් දක්වා ඇත්තේ බලි ශාන්තිකර්ම පවත්වන ස්ථාන වශයෙන්ය. බලි යන්නෙහි විකාශනය පිළිබද විග්‍රාහාත්මක ඓතිහාසිකව විස්තරයක් බන්දුල ජයවර්ධන මහතා බෞද්ධ විශ්ව කෝෂයට සපයා තිබේ. සෘග් වේදයේ රජුට දෙන තෑග්ගක් යන අර්ථයෙන් ද, දෙවියන්ට කරණු ලබන පුජාවක් යන අර්ථයෙන් ද බලි යන පදය යෙදී ඇති බව මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා පෙන්වා දේ. ( තිස්ස කාරියවසම් 1986:13)
බලි යන්න සමග “දණ්ඩ” යන පදය ද එකට යෙදී තිබෙන ආකාරය “කුළාවක ජාතකයේ” ද “මහා සුපින ජාතකයේ ද”,ධම්ම පදට් කථාවේ ද දණ්ඩ බලි යන්නෙන් යෙදී තිබීමෙන් පෙනේ. බලි ලබන පුද්ගලයන් අනුව අංගුත්තර නිකායෙහි පංච බලි වර්ගීකරණය දක්වා ඇත. ඒවානම් මෙසේයි,
බලි නෑයන්ට දෙන පිදවිලි
අත්ති බලි ආගන්තුකයන්ට දෙන පිදිවිලි
පේත හෝ පුබ්බ පේත බලි මළගිය අයට දෙන පිදිවිලි
රාජ බලි රජුන්ට හෝ ප්‍රභූන්ට දෙන පිදිවිලි
දේව බලි දෙවියන්ට දෙන පිදිවිලි
වස්‌තු සහ සිද්ධි කෙරෙහි දේවත්වයක් ආරූඪ වීමට සාපේක්‍ෂ වශයෙන් වැඩි කලක් ගියේ නැත. එම දෙවියන් පින වීමෙහිලා යම් දෙයක් ඔවුන් වෙත පූජා කිරීමේ සිරිතක් ද පැතිර ගියේය.එමඟින් ප්‍රාථමික ආගම් බිහි වන්නට විය.
මේ අනුව බලත් ම සියලු ජාතීහු සිය ඉතිහාසයේ කවර අවස්‌ථාවක දී හෝ යම් දෙවිකෙනෙක් ඇදහූ බවද ඔවුන් වෙත යම් දෑ පූජා හෙවත් බලිවශයෙන් ඉදිරිපත් කිරීමේ සිරිතක් දැරූ බවද පිළිගත මනා ය. (රත්නායක 2007(63).
දෙවියෝ, යක්‌ෂයෝ, ග්‍රහ තාරකා, ගස් ගල් ආදී ස්‌වාභාවික දේවල් හා වෙනත් දෑ හා බැඳුණු අභිචාර විධි ගැමි ජන සමාජය තුළ දක්‌නට ලැබේ. එතුලින් බලියාග බලිය පදනම් කරගෙන බිහි වූ බවට ද තොරතුරු හමුවේ.
හෙරඩෝටස් පවසන ආකාරයට අනුව ග්‍රීසියේ ත්‍රේස් පළාතේ පුරුෂයෙකු මළ පසු බොහෝ විට භාර්යාව බිලිදීම පිළිබ`ද සම්ප්‍රදායක් පැවති බව සදහන් කරයි. ගෙල මිරිකා, වළලා, පුළුස්‌සා, දියේ ගිල්වා, අවියෙන් ඇනකොටා මරා දැමීමේ පුරුද්දක් යුප්‍රටීස් ටයිග්‍රීස් ගංගාදාරයේ, රෝමයේ මෙන්ම බෝල්ටික් මුහුද ආසන්න රටවල ද පැවති බව විනී විතාරණ සදහන් කරයි. ඉන්පසු මියගිය ආත්ම ආරූඪවීම වළක්වනුවස් බලි යාග පූජාව සිදුකර ඇතිබවට සාධක හමුවෙයි.
බලි පුජාව සදහා යොදා ගන්නා වර්ණ
වර්ණ යනු සංඥාකාරකයෙකි. වර්ණය හා සංකේතයක් යන අංශ දෙකෙන්ම භාවිතයට ගත හැකිය වර්ණ ප්‍රධාන හා අප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා ඇත. ප්‍රධාන වර්ණ වලින් අනෙක් වර්ණ සකස් කරන ගනු ලැබේ. බලි ඇදුරන් විසින් වර්ණ සාදාගනු ලබන්නේ අවටින් සොයා ගත හැකි පාරසරික අමුද්‍රව්‍යය භාවිතා කිරීමෙනි. නිදසුන් ලෙසින්,
· කොළ - මිදෙල්ල මැකරල්
· කහ - සමර
· රතු - රට කහ, සිමෙන්ති,ගුරුගල්
· කළු - බැටරි කුඩු, පොල් කටු අගුරු කුඩු පැණියෙන් දියකොට
· සුදු - හුණු
මෙසේ වර්ණ සංජානනය වීම සඳහා මූලිකවන කරුණු කිහිපයකි.
· ආලෝකය
· දුර
· වස්තුවේ ප්‍රමාණය
· වර්ණ මිශ්‍රණය
ආලෝකය නොමැති අදුරු තැනක වර්ණවල ක්‍රියාකාරිත්වයක් සිදු නොවේ.ආලෝකයේ ප්‍රමාණය අනුව වර්ණ වල දීප්තිය හා අදුරු බව රදා පවතී. බලි ශාන්තියේ දී ආතුරයා ප්‍රමුඛ ප්‍රේක්ෂක පිරිස වෙත වර්ණ සංජානනය වන්නේ අදුරු රුයක පන්දම් එළියෙන් කහ මිශ්‍රිත ආලෝකයක් තුළය. බලියක් පටන්ග ගන්නේ රාත්‍රී 9 ට පමණය. එය පසු දා පාන්දර වන තෙක්ම පවති. ඒ නිසා දුර හා වර්ණ පිහිටීම් අතර වැදගත් කමක් පවති. බලි මඩුවේ බලියේ සිට ආතුරයා අතර නිශ්චිත දුරක් ඇත.
දුර වැඩි වන විට වර්ණ වල දීප්තිය අඩු වී අදුරු පැහැයක් ගන්නා අතර,අති සමීප වූ විට වර්ණයන්ගේ නියම ප්‍රකෘතිය ගිලිහි යයි. බලියේ ප්‍රමාණය වස්තුවේ හැඩය විශාලතම වර් දෘශමාන වීම කෙරෙහි බලපා ඇත. බලි රුපයට යොදන වර්ණ සංකලනයට හාත්පස වෙනස් ලෙස රෙදි කඩක අදින බලි රූපවල වර්ණ යොදා ඇත . වස්තුවට සාපේක්ෂව වර්ණ භාවිතය වැදගත් කර ඇත.
මල් බලියේ දී ගොක් කොළවලින් හා කෙසෙල් බද පතුරුවලින් සකසා ගත් රාමුව පසුතලයේ දිස්වන්නේ එම මෘදු ලා කොළ පැහැයට වඩා තද කොළ පැහැය දිස් වන කෙසෙල් කොළ හෝ හබරල පත්‍රය. මල් බලියේ හැම ගැබක් තුල ම රතු කහ මල් දවටා ඇත පසුතලය තද කොළ පැහැතිය ඒ මතින් බලි ගැබෙහි ගොක් කොළ රඔ පතුරුවල ලා කහ පැහැය ආකර්ශණිය වේ. පොල්බැ මගින් සැකසුණ පහනේ සුදු පැහැයත්, කහදිය කොතලයේ නැවුම් දුබුරු පැහැයත් ය. මේවා එකිනෙකට ගැළපෙන ලෙස යොදා ගැනීමට බලි ඇදුරා සමත්ව ඇත. මේ මගින් අපේක්ෂිත මානසික චිකිත්සාව සදහා එය සාර්ථක ආකාරයට යොදා ගෙන ඇත. මෙහි රතු කහ මලින් හා නිල් පිරිසි භාවිතයෙන් අදාළ ග්‍රහ දෙවියන් සංකේතවත් කිරීමට යොදා ගන්නා ලදී.
බලියේ ප්‍රධාන අරමුණ හා බද්ධව වර්ණ යොදා ගැනීමේදී එහි මනෝවිද්‍යාත්මක කාරණා මුල් වේ. වර්ණ සංජානනය තුළ සතුට, අසතුට හා වෙනත් හැගුම් ඒ සමග බද්ධ වේ. රතු, නිල්කොළ, දම්, කහ තද වර්ණ ලෙස ගැනේ. මේවා බලියේදී විවිධ ප්‍රකාශන ඉදිරිපත් කිරීමට යොදා ගන්නා ලදී. රතු හෙවත් ප්‍රකෝපය දරුණු බව ප්‍රචණ්ඩත්වය වැනි හැගීම් ද, නිල් වර්ණයෙන් සාමකාමී බවද, සතුටද, කළු වර්ණයෙන් කණගාටුව වේදනාව යන ආදිය සංකේතවත් කරයි. බලි ශාන්තිකර්මයෙදී වැඩි වශයෙන් සුදු වර්ණය යොදා ගනු ලැබේ. සුදු වර්ණය (පාරිශුද්ධත්වය හා සංයමය නිරුපණය කරයි). ඇදුරෝ සුදු පිරුවට ඇද සිටි, හිසේ පළදින උරමාලය (මෙය දිගු විශාල රෙදි කඩක් ඔතා ඒ වටා රතු රන්වන් රෙදි පටියකින් අලංකරණය කොට වළල්ලක් ආකාරයට තනා හිසේ පලදා ගනී). සුදු පැහැතිය රෙදි කඩෙහි දෙපස හිසෙන් පහළට එල්ලා වැටෙන සේ සකසා ඇත. පාරිශුද්ධත්වය සහ බුදුන් වහන්සේ කෙරෙහි දක්වන ගෞරවනියත්වය සුදු පැහැය සංකේතවත් කරයි. ආතුරයාවසා සිටින වහන් තරාවත්, බලිය වසා සිටින කඩ තුරවත් ඇදුරන්, බෙරවාදකයන්ගේ ආදියගේත් වස්ත්‍ර මේ සියල්ලම සුදු පැහැයට මුල් තැන දේ.
සුදු පැහැය අඩ අදුරේ දී වඩා දීප්තිමත් බාවයකින් කැපී පෙනේ. පන්දන් එළියෙන් ආලෝකමත් වන බලි ශාන්ති මඩුව තුල දිස්වන සුදු වර්ණයත් ආතුරයාගේ මනස ආකර්ෂණය කරන්නකි. වර්ණය යොදා ගන්නා කාලය හා ස්භාවය සමග සැසදීමෙන් මෙය අවබෝධ කර ගත හැකිය. සුදු වර්ණ භාවිතය දේශීය සංස්කෘතික ජන විශානය කාලයක් හැදී වැඩුණු බෞද්ධ ශික්ෂණයේ පවිත්‍රත්වය සංකේතවත් කරයි. බලි ශාන්තියෙදී සුදු වර්ණය ළගට වැඩි වශයෙන් භාවිතා කරන වර්ණය වන්නේ රතු වර්ණයයි. එයින් රතු වර්ණය ( අපිරිසිදු බව කිල්ල) ප්‍රකාශමාන කරයි. දේව, රක්ෂා, යක්ෂ, පිශාචාදී සංකේතවත් කිරීම සදහා රතු වර්ණය යොදා ගනු ලැබේ.
බුද්ධ පුජාව සදහා රතු මලක්වත් භාවිතා නොකරන අතර බලි ශාන්තිකර්මයේ රතු වර්ණයට හිමිවන්නේ සුවිශේෂ තත්ත්වයකි. බොහෝ ශාන්තිකර්ම අවස්ථා වල මධ්‍යම රාත්‍රිය තුළ ප්‍රබල හා අවේගවත් බෙරවාදන නර්තන ඉදිරියේ රතු රෙදි කඩක් පැළද ගනී . සුනියන් දේවතාව හා කාලි දේවතාව රතු වර්ණයෙන් සංකේත වත් කෙරේ. බලි රූපයෙහි පමණක් නොව බලි ඇදුරාගේ වස්ත්‍රාභරණ වලින් ¼ කට වඩා වැඩි වශයෙන් රතු වර්ණයෙන් යුක්ත වේ. නිදසුන් ලෙසින් රක්ත වර්ණය යොදා ගැනීම,
ඉණට වෙළන බද වෙළුම්
පිරුවටයේ දාරය
උරමාලයේ අලංකරණය
පුන නුල
පිදේනි සදහා දෙන කැවිලි පලතුරු ආදිය රතු පාට වේ. පෙන්වා දිය හැකිය.
රක්ත වර්ථය හා සමානවම යොදන වර්ණයකි කළු වර්ණය. එයින් බිය ප්‍රතාපවත් බව හා නපුර, නරක, රැය ,අදුර ,නිරය පෙන්නුම් කරයි. රිරී යකා රතු පාටිනුත්, කළු යකා කළු පාටිනුත් නිරුපණය වී ඇති බව පහතරට තොවිල් හා සමයන් යාතු කර්මවල හදුනා ගත හැක. ඔවුන් වර්ණ අතින් දෙආකාර වුවත් ස්වාභාව අතින් එක සමාන ය. කළු පැහැයෙන් රක්ෂා,යක්ෂාදීන්ගේ බඩ අත් ආදිය අගපසග නිරුපණය කර ඇත. කහ වර්ණයද බලි තොවිල්වල භාවිතයට ගන්නා වර්ණයකි. එයින් පාරිශුද්ධත්වය, පින් බලය පෙන්නුම් කරයි.
රතු සමග කහ වර්ණය එකට යොදාගන්නා අවස්ථාද පවතී. කන්‍යා බලි, විස්කම් බලි ,දේව බලි ආදියෙහි කහ වර්ණය යොදා ගැනීමෙන් සංකේතවත් වන්නේ යහපතකි. පළතුරු වලද කහ වර්ණය කැපී පෙනෙන වර්ණයකි. නිල් වර්ණය භාවිතයට ගෙන විෂ්ණු දෙවියන්ගේ බලය බලි යාගයේදී පෙන්වයි. තවද ඉන් බලය ,ජීවිතය ,කරුණාව ඉවසීම ද පෙන්වයි. නිල් පාට බොහෝ බලි ඇබුම් කවිවල දක්නට ලැබේ. ඒ ඒ ග්‍රහයාට යක්ෂයාට අදාළ වර්ණ ඇත. හිරුගේ රුපය ඇදීය යුක්තේ කහ පාටින් සදු, සුදු පාටිනුත්, අගහරු රතු පාටිනුත් ඇඕය යුතුය. ග්‍රහ දෙවියන් හැරුණු විට නැකත් සදහා ද සංකේතවත් වර්ණ යොදා ගනු ලැබේ. අස්විද බෙරණ නැකත් සදහා රතු වර්ණයත් පුනාවස නැකත් සදහා නිල් පාට යොදා ගනී.
බලි උපත් කථා
අංගුන්තර නිකායේ පුද්ගලයන් පදනම් කරගෙන බලි වර්ගීකරණයක් දක්‌නට ලැබේ. එය පංච බලි යනුවෙන් හැඳින්වේ.
ඥාති බලි - නෑයන්ට දෙන පිදවිලි
02. අත්ථි බලි - ආගන්තුකයන්ට දෙන පිදවිලි
03. ප්‍රේත හෝ පුබ්බ ප්‍රේත බලි - මළගියවුන්ට දෙන පිදවිලි
04. රාජ බලි - රජුන්ට හෝ ප්‍රභූන්ට දෙන පිදවිලි
05. දේව බලි - දෙවියන්ට දෙන පිදවිලි
''බලි'' යන්න සිංහලයෙහි බිලි බවට පත්ව ඇත. මෙම වහර බිලි යම්, බිලි බඳුන්, බිලි කැවුම්. එහෙත් කල් ඇවෑමෙන් බිලි යන්නෙහි මුල් අරුත් සීමා වු සේ පෙනෙයි. මේ බිලි යනු බලි යාගය හෝ බලි රූපය හෝ නොවේ. යකෂාදීන් වෙත කැප කරනු ලබන පිදෙන්නක් වෙයි . වර්තමානයේ නවග්‍රහයන් සඳහා බලි වර්ග නවයක් පිළිබඳව සඳහන් වේ. ඒවානම්,
රවිට - ශාන්ති මංගල්ල බලිය
චන්ද්‍රයාට - සෝම මංගල්ල බලිය
සිකුරුට - ජීව මංගල්ල බලිය
බුධට - සර්ව රූප බලිය
අඟහරුට - කාල මුර්තු බලිය
බ්‍රහස්‌පතිට - අභය කල්‍යාණ බලිය
රාහුට - අසුර ගිරි රාක්‌ෂ බල
කේතුට - කෘෂ්ණ රාක්‌ෂ බලිය
සෙනසුරුට - දසා ක්‍රෝධ බලිය
බලි උපත් කථා සතරක් ''බලියාග පිළිවෙළ'' කෘතියෙහි සඳහන් වේ.
01. ලිච්චවි කුමාරයකු සම්බන්ධ බලි උපත,
02. බුදුන් කල තුන් බියවන් විශාලා මහනුවර බලි උපත,
03. විජය කුවේණි සමයේ බලි උපත,
04. මහා සම්මත රජුන් සමයේ බලි උපත,
බලි සංඛ්‍යාව පිළිබඳ පිළිගත් මතයක් නොමැත. ප්‍රදාන වශයෙන් බලි වර්ග දෙකක් ඇත.
01. ඇතුල් පන්තියේ බලි
02. පිට පන්තියේ බලි
ඇතුල් පන්තියේ බලි සංඛ්‍යාව 7100 ක් වන අතර පිට පන්තියේ බලි 84000 කි. බලි ඇදුරන් හා ප්‍රචලිත කවිවල පන්තිස් බලි පිළිඳව සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ බලි උපත හා විකාශනය
ලංකාවේ බලි ශාන්තිකර්මය හා සම්බන්ධ ප්‍රධාන සම්ප්‍රදායන් පහක් පිළිබඳ නූතන විද්වත්හු සඳහන් කරති. එනම් උඩරට බලි, පහතරට බලි, ඌවේ බලි, නුවර කලාවියේ බලි, සබරගමු බලි වශයෙනි. මේ හා බැඳුණු බලි දහස් ගණනක් පිළිබඳව පොත පතේ සඳහන් වෙයි. ඒවා ඇතුල් පන්තියේ බලි හා පිට පන්තියේ බලි වශයෙනි. ප්‍රධාන කොටස් දෙකකට වර්ග කර දක්‌වා තිබේ.
බලි නිර්මාණ කලාවට ද බලි ශාන්තිකර්මයට තරම්ම දිගු ඉතිහාසයක් ඇති හෙයින් බලිය ද බොහෝ කරුණු පොත පතේ වෙයි. වෛදික යුගයට අයත් භාරතිය ග්‍රන්ථ රැසකම බලි නිර්මාණ ගැන වෙයි.
මිට අමතරව බලි නිර්මාණය පිළිබදව බොහෝ කරුණු පොත්පත්වල මෙන්ම ජනප්‍රවාදගතව පවතින ඇබුම් කව්වලින් ද හඳුනාගත හැකිය. බලි ඇඹීම සියලු ශිල්ප විධි ඇතුළත් වී ඇත්තේ මේ බලි ඇඹුම් කවිවලය. බලි සැකසීම සඳහා යොදා ගන්නා නිර්මාණ ක්‍රම දෙකක් ලංකාවේ භාවිත වන බව හඳුනාගත හැකිය. එනම්,
කඩබලි හා රූප බලි වශයෙනි, කඩබලි යනු චිත්‍රනය මගින් රෙදිකඩක සකසා ගන්නා බලියයි. රූප බලි යනු මැටියෙන් අඹාපින්තාරු කර සාදා ගන්නා ඇඹුම් බලියයි. (එම) බලි ඇඹීම සඳහා හුඹස් මැටි උපයෝගී කරගනී. මැටි තෝරා ගැනීමේ දී ආවේණික වූ නීති කිහිපයක් වෙයි. නියමිත පරිමාණයට සකස්‌කරගත් දැව මුවා මැස්‌සක කවිවල විස්‌තර කර ඇති අන්දමට හුඹස් මැටියෙන් ඇඹූ ප්‍රතිරූප,ග්‍රහ රූප ආදියෙහි මතුපිට සුදුහුණු හෝ මකුඵ ආලේප කොට සායම් ගා මැටි බලි සකස් කරගෙන තිබේ. මෙසේ බලිරූප අඹාගැනීමෙන් පසුව වර්ණ ගැන්වීම කරනු ලබනු ලැබේ. බලි සිතුවම් තාවකාලික කෘතීන් බැවින් ඒවා සිතුවම් කිරීමට යොදාගත් වර්ණ ද කල් නොපවතින, පහසුවෙන් සොයාගත හැකි ඒවා වන්නට ඇත (සිංහල ශබ්දකෝෂය 19701(9).
බලි නිර්මාණකරණය සරල ක්‍රියාවක් නොව එකිනෙක බැඳුණු සංකීර්ණ ක්‍රියාවලියකි. පොත පතේ සදහන් වන ආකාරයට මෙන්ම ජනප්‍රවාදයේ පවතින ආකාරයටත් බලි නිර්මාණය හා සම්බන්ධ ක්‍රියාවලිය පිළිවෙළකට මෙසේ හඳුනා ගත හැකිය.
* බලි මැසි නැගීම හෙවත් මැසි බැදීම
* බලි මඩුව තැන
* තුඹස පේ කිරීම
* මැටි පදම් කිරීම
* මැටි අතින් පේ කිරීම
* අත් බලිය සෑදීම
* බලිය ඇඹීම
* වර්ණ ගැන්වීම
* නේත්‍රා තැබීම
* බලි නැගි සිටුවීම හෙවත් කෙලින් සිටුවීම වශයෙනි.
ලංකාවේ නොයෙක් ප්‍රදේශයන්ට ආවේණික වූ පුද පූජා රටාවන්ට අනුකූලව බලි නිර්මාණය කරනු ලබයි. ලංකාවේ කිසිදු ප්‍රදේශයක දක්‌නට නොලැබෙන නුවර කලාවියට පමණක්‌ම ආවේණික වූ කන්‍යා යාගය හෙවත් බෝදිලිමා බලිය පිරිමි බෝදිලිමාට බය වී ලෙඩට දුකට පත්වීම නිසා එයින් මිදීමට මෙය පවත්වනු ලැබේ. මෙහි දි බෝදිලිමාගේ බලිය අඹනු ලැබේ. කාන්තාවන් හත් දෙනකු විසින් මෙය සිදුකරනු ලබයි.
පුළුටු මැටි රූපවල දක්‌නට ලැබෙන විරූපි හා බහිරව රූපවලට සමානතාවයක් හා ඇදහිලි හා විශ්වාසයන් ද බෝදිලිමාබලිය තුළ ද දක්‌නට ලැබේ.
කන්‍යා යාගයේ උපත් කථාව වනුයේ මහා සම්මත රාජය කාලයේ දල්ලජ නම් වු සෙනෙවියාට දාව එම බිසවට දරු ගැබක් ඇතිවිය. එම දරුවා ඉපදුන හොත් සෙනෙවියාට ඉතා ම අපල තත්ත්වයක් හා භයානක ප්‍රතිඵල අත්විඳින්නට සිදුවන බව බමුණෝ ප්‍රකාශ කළහ. බමුණන්ගේ ප්‍රකාශය බොරුවක් බව නොදත් සෙනෙවියා එය විශ්වාස කර දරු ගැබ විනාශ කරන්නට තීරණය කළේය. මේ සදහා හෙතෙම ''අංගුල'' නම් විෂ වර්ගය බිසවට දුන් බව කියති. මේ විෂ ශරීර ගතවීම නිසා දරු කළලය පමණක් නොව බිසව ද මරණයට පත්විය. ඇගේ මරණය සිදුවන අවස්‌ථාවේ ඇය තුළ ස්‌වාමියා කෙරෙහි වෛරයක්, කෝපයක් ඇතිවිය. මරණයෙන් පසු ඇය බෝදිලිමා යක්ෂණිය ලෙස උපත ලැබීය. එතැන් පටන් ඇය පිරිමින් කෙරෙහි වෛරයෙන් කල් ගත කළාය. ඒ අනුව කන්‍යා යාගය සිදු කරනු ලබන්නේ බෝදිලිමා ආවේශ වූ පිරිමින් සදහාය. දරුවෙකු ලැබීමට සිටි කාන්තාවක් සැමියා කෙරෙහි වෛරයෙන් මිය ගිය විට ඇය යක්‌ෂණියක් වී යෑයි විශ්වාස කරති. මෙම යාගයේ සියලු ම කටයුතු සිදුකරනු ලබන්නේ කාන්තාවන් පමණක් වීම මෙහි සුවිශේෂ ලක්‌ෂණයකි
(රත්නායක 20071(12).
එහි එන කවි කිහිපයක් මේ ආකාර වෙයි,
පිරිමින්න සන්නට
වෙසමුනි වරන් ගපන්නට
සොයා ගියේ විමනට
වෙස් තුනක් දුනි රජුන් යකිනිට
කඵ වන් සකක් මෙනි
පෙරලි පෙරලී තදින් පැමිණුනි
කටුසු වෙස් ගනිමිනි
යකිනි සොඳුරිය ලෙස ද පැමිණුනි
මෙහි දක්‌නට ලැබෙන පුද පූජා පිළිවෙළ වනුයේ,
කන්‍යාවියන්ගේ පා දෝවනය කිරීම
කන්‍යාවියන් වෙත දානය පිළිගැන්වීම
(කැවුම්, කෙසෙල්, කිරිබත් සහ අවුල්පත්)
ආතුරයා විසින් පහන් පත්තු කිරීම
කන්‍යාවියන් විසින් ආතුරයාට සෙත් පැතීම
ප්‍රධාන ඇදුරියන් බුලත් දී පිළිගැනීම
තුඹසේ මැටි කපා ඉවත් කිරීම සහ
බලිය ඇඹීම හා වර්ණ ගැන්වීම
ඇදුරිය දෙවියන්ට කන්නලව් කිරීම
වැල් පොටවල් හිසෙහි තබාගෙන පේ කිරීම
ආතුරයාට ''බෝදිලිමා'' ආවේශ වීම
''බෝදිලිමා'' බලියට වැල් පොටවල් දැමීම
වැල් පොටවල් එකින් එක කැපීම
දෙහි කැපීම
ආතුරයාට සෙත් පතා නූලක් දැමීම
මොල්ගස් උඩ තෙල් පොල් කටුව තැබීම ආදි වේ.
බලි ඇදුරන් අතර ප්‍රචලිත බලි කිහිපයක් පහතින්වේ.
අත් බලිය, ආකාශ බලිය, නිධාන බලිය, ජාල කීර්ති බලිය, ග්‍රහ පන්ති බලිය, ඕලන්ද බලිය, ඇස් බලිය, කුසුම් බලිය, සිංහ බලිය, බත් බලිය, භූමි බලිය, චක්‍ර බලිය, පපග්‍රහ බලිය, කුක්කුට බලිය, කර්ණාත බලිය, ගණතේ බලිය, ග්‍රහපති බලිය, පෙරේත බලිය, රත්මනිස බලිය, චන්ද්‍ර බලිය, චන්ද්‍ර මණ්ඩල බලිය, පරමේ බලිය, ග්‍රහ දෝෂ බලිය, ආඬි රූප මංගල්ල බලිය, කුර රාක්ෂ බලිය, සකල මඩුල්ල බලිය, අංගම්මඩුල්ල බලිය, ශුද්ධ චක්‍ර බලිය, භූත නවග්‍රහ බලිය, සිව් රූප බලිය, බුද්ධ රූප හා ශාන්ති මංගල්ල බලි, මාංශ බලිය, දෙවි බලිය, යුග බලිය, මස් බලිය, දින බලිය, රාශි බලිය, හීන් හතර බලිය, රූප බලිය, කල්‍යාණ බලිය, මඩුලූ බලිය, අෂ්ට බලිය, යාග බලිය, යක් බලිය, අන්ත හිමි බලිය, අහස් බලිය, නර බලිය, වරාස බලිය, පක්ෂ බලි 11, ප්‍රීති බලිය, නක්ෂත්‍ර බලිය, චක්‍ර බලිය, අට රකුස බලිය, ප්‍රතිමා බලිය, මංගල බලිය, වෙස් බලිය, දසාලත් බලිය, සක බලිය, පිස්සුන් බලිය, කඩ බලිය, යාත්‍රා බලිය, කුලූ බලිය.
සාදනු ලබන මාධ්‍යය මූලික කොටගත් බලි කිහිපයක්ද වේ.
වෙල් බලිය – මෙය වැලි වලින් තනන බලියකි.
කඩ බලිය – මෙය රෙද්දෙන් තනන බලියකි.
මල් බලිය – මෙය මැටියෙන් තනන බලියකි.
බත් බලි, ග්‍රහ බලි – මෙය මැටියෙන් තැනූ නවග්‍රහ බලියකි.
වස් හෙවත් විස්කම් බලිය – වර්ෂ වලට හිමි බලියකි.
ග්‍රහ අපල සඳහා කරනු ලබන බලි ශාන්තිකර්ම
රවිගේ අපල වලට
දශාවේ මුල් කොටස – සිරිකොත් බලිය
දශාවේ මැද කොටස – වර්ෂාධිපති බලිය
දශාවේ අග කොටස – අභය කල්‍යාණි බලිය
සඳුගේ අපල වලට
දශාවේ මුල් කොටස – කාල මෘත්යු බලිය
දශාවේ මැද කොටස – ශාන්ති මංගල බලිය
දශාවේ අග කොටස – ශුභ මංගල බලිය
කුජගේ අපල වලට
දශාවේ මුල් කොටස – භූම නාග බලිය
දශාවේ මැද කොටස – මහසොප් මංගල බලිය
දශාවේ අග කොටස – මේෂ රකුසු බලිය
බුධගේ අපල වලට
දශාවේ මුල් කොටස – වර්ෂාධිපති බලිය
දශාවේ මැද කොටස – පංච යන්ත්‍ර බලිය
දශාවේ අග කොටස – දේව කල්‍යාණ බලිය
ගුරුගේ අපල වලට
දශාවේ මුල් කොටස – වර්ෂාධිපති බලිය
දශාවේ මැද කොටස – අභය කල්‍යාණ බලිය
දශාවේ අග කොටස – විෂ්ණු රූප බලිය
සිකුරුගේ අපල වලට
දශාවේ මුල් කොටස – දේව මංගල බලිය
දශාවේ මැද කොටස – ශුභ මංගල බලිය
දශාවේ අග කොටස – අත්ත කල්‍යාණ බලිය
ශනිගේ අපල වලට
දශාවේ මුල් කොටස – දශ ක්‍රෝධ බලිය
දශාවේ මැද කොටස – නිලඟ රාක්ෂ බලිය
දශාවේ අග කොටස – ගෞඩි රාක්ෂ බලිය
රාහුගේ අපලවලට
දශාවේ මුල් කොටස – අසුර ගිරි රාක්ෂ බලිය
දශාවේ මැද කොටස – නාග රාක්ෂ බලිය
දශාවේ අග කොටස – සුට රකුසු බලිය
කේතුගේ අපල වලට
දශාවේ මුල් කොටස – බ‍්‍රහ්ම රූප බලිය
දශාවේ මැද කොටස – පක්ෂුවන් රාක්ෂ බලිය
දශාවේ අග කොටස – නිලඟ රාක්ෂ බලිය
බලි වර්ග සඳහා පොදු වශයෙන් යොදා ගන්න ප්‍රධාන ද්‍රව්‍යය පහතින් හඳුන්වා ඇත.
පොල් මල් 2ක්, බත් හත්මාළුව, පොල් ගෙඩි 2ක්, තොලඹු , හීරැස්ස, හාල්, සුදු රෙද්දෙන් වැසූ පුටුවක්, බුලත් හා හඳුන්, පුවක් මල් 2ක්, කට්ටකුමංජල් බාගයක්, පිණි දියර කුප්පියක්, හදුන්කූරු පැකට් 5ක්, නව සුවඳ, සුදු හඳුන්, රත් හඳුන්, දේවදාර, සැවැන්න, ලොස් සුබුරු, අඟිල් ගුගුල්, කස්තුරි, ගොරෝචන, සුවඳ කොට්ටන්, පිරුවාට සරම් 08ක්, මල් වර්ග 09ක්, පළතුරු වර්ග 09, කැවිලි වර්ග 09ක්, කිරි පැණි, ලදපස් මල්, පස්ගෝ රස, පස් තෙල්, නූල් පන්දුවක්, කෙසෙල් කඳන් ලෙලි පට්ට 01ක්, කොළ ජාති 09ක්, කොතල 01ක්, පස්වලූ, තැඹිලි, බෝදිලි, පුවක්, දෝතලූ,
ඉඹුල් කරු, තොල බෝ, රඹ, වැටකේ, නුග, දිවුල්, කොහොඹ, බෝ, දිවි කදුරු, කලස් 09ක්, මෝල් ගසක්, හවරියක්, කැඩපතක්, පැඟිරි කෝටු 08ක්, පැදුරක්, කුකුළෙක්, පන්දම් 04ක්, විලක්කු 35ක්, නෙත් තැබීමට රෙදි රියන් 5ක්, පාට තුනේ රෙදි රියන් 6ක්, බලි ඉදිරීමට සුදු රෙදි රියන් 5ක්, හට්ටි 01ක්, මුට්ටි 01ක්, ඇටි ඇට වර්ග 05ක් ආදී වශයෙන් තවත් ද්‍රව්‍යය අවශ්‍යය වේ.
අපේ ඉතිහාසය ගත්කල පෙරදිග රටවලින් මෙන්ම පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණ වලින් ගහණ වූ යුගයක්ව පැවතිණි. එකී යටත් විජිත සමයන් තුල අප රටින් විදෙස් රටවලට ගෙනගිය සංස්කෘතිකමය වටිනාකමක් උසුලන දෑ බොහෝය. තවමත් ඒවා එම රටවල කෞතුකාගාරයන්හි සංරක්ෂණය කොට තැන්පත් කර තිබේ. නමුත් සත්‍යය ලෙසම ඒවා තවමත් ලාංකීය උරුමයන්ම වේ. මේ පිළිබදව තව ගැඹුරු අධ්‍යයනයකට යොමු වීමට පහත ග්‍රන්ථ අධ්‍යයනය කිරීම වටී.
රත්නාලංකාරය,
නවග්‍රහ ශාන්තිය,
පිරිත්තුව
ග්‍රහ වළල්ල
බලි වීදිය
රති කාල මෘත්යු බලිය
විස්කම් බලිය
අත්වල යාගය
කාල චක්‍රය
රකුසු බලිය
දළ කඩවර යක්ෂ ගිරි බලිය
වට පන්ති බලිය
හීන් දොස් පහ කිරීම
මල් බලි උපත
රතිකම් කුමාර බලිකවි
රතිකම් බලිකවි
තොට කුමාර බලිය
බලි හැරයුම
සුදර්ශන බලි
රාශි ඵල කවි
පිළිස්සුම් දශාව
දිවි දොස් පිරිත්තුව
මැටි බලි ශාන්තිය
අපේ පුරාණ ශාන්ති කර්ම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් එහි අධ්‍යයන ක්ෂේත්‍රය පුළුල් කිරීමට වැඩි අවධානයක් යොමුවිය යුතු කාලය පැමිණ ඇත.
සමාජ සුභ සිද්ධිය උදෙසා හෝ සමාජයේ පෙරමං සලකුණූ විමසීම උදෙසා මෙවැනි සංස්කෘතික අංගවලට ඇත්තේ විශාල දැණුම් සම්භාරයකි. ඉන් නිසියාකාර ප්‍රයෝජන ලබා ගැනීමට අප නිර්මාණශීලී විය යුතුය. අපට අන්‍යය වූ දේ ලෝකට ඉදිරියේ එළිදැක්වීම මඟින්,
විදෙස් සංචාරකයින් ආකාර්ශනය කරගැනීම,
විදේශ විනිමය ඉපැයීම,
දේශීයත්වය වැඩි දියුණු කිරීම,
රැකියා අවස්ථා උත්පාදනය,
විශේෂයෙන්ම පුද්ගල රසවින්දනය වැඩි දියුණු කිරීම මෙන්ම පුද්ගල මානසික සුවතාවට රුකුල් දීම ද
මේ හරහා සිදුකිරීමට හැකියාවක් පවතී. එසේ හෙයින් අභාවයට පත්වෙමින් යන දේශීය අන්‍යයතාවයන් රැකගනිමින් අනාගතයට එයින් කොටසක් හෝ දායාද කිරීමට වගකීම පැවරී ඇත්තේ අප උරමතයි. විදේශීය තරු සංකල්ප පසුපස හඹායෑම වෙනුවට දේශීය ඌරුවෙන් නව සංකල්ප බිහිකර ඉන් දේශයේ අභිමානය ලොවට සංප්‍රේෂණය කළ යුතු කාලය දැන් පැමිණ ඇත.
නිගමනය -
දේශීය දේ මතින් නිසියාකාර ප්‍රයෝජන ලබා ගැනීමට නිර්මාණශීලීව කටයුතු කර අපට අන්‍යය වූ දේ ලෝකට ඉදිරියේ එළිදැක්වීම මඟින්,විදෙස් සංචාරකයින් ආකාර්ශනය කරගැනීම,විදේශ විනිමය ඉපැයීම,දේශීයත්වය වැඩි දියුණු කිරීම,රැකියා අවස්ථා උත්පාදනය,විශේෂයෙන්ම පුද්ගල රසවින්දනය වැඩි දියුණු කිරීමට අවකාශ පුළුල් කිරීම.
යෝජනාව -
විදේශීය තරු සංකල්ප පසුපස හඹායෑම වෙනුවට දේශීය ඌරුවෙන් නව සංකල්ප බිහිකර ඉන් දේශයේ අභිමානය ලොවට සංප්‍රේෂණය කිරීමට අවැසි කටයුතු සම්පාදනය.

No comments:
Post a Comment