Followers

Saturday, June 12, 2021

ජීවන විවරණයක් වූ කෙටි කතාව

 ජීවන විවරණයක් වූ කෙටි කතාව 

කෙටිකතාව යන්න පිළිබඳ විමසීමේදී ප්‍රධාන වශයෙන් ම එහි ජීවීගුණය මෙන්ම එහි අභ්‍යන්තරික ලක්ෂණ පාදක කොට ගනිමින් විවිධ වූ අදහස්, විවේචන, දෘෂ්ටින් පිළිබඳ විචාරකයෝ අදහස් දක්වති.“ද්‍රව්‍යමය වූත්, ආධ්‍යාත්මික වූත්, ඒකීය සංසිද්ධියක් වටා ගෙතුණු එක හුස්මට කියවා හමාර කළ හැකි ප්‍රබන්ධ ඛණ්ඩය කෙටිකතාවයි.” යනුවෙන් සමසෙට් මෝම් තම අදහස ඉදිරිපත් කරන අතරම, “කෙටිකතාවේ විශේෂාවධානය අවස්ථා කෙරෙහි යොමු වන අතර, නවකතාවේ අවධානය යොමු වන්නේ චරිත කෙරෙහිය යනුවෙන් කෙටිකතාවත්, නවකතාවත් අතර පවත්නා ප්‍රධාන ශිල්පීය වෙනස වශයෙන් පිඬු කර දැක්විය හැකිය. ”ලෙසින්  එඩ්ත් වෝට්න් කෙටිකතාව හඳුන්වයි. දයාසේන ගුණසිංහගේ අදහසට අනුව “කෙටිකතාව ජීවිතයේ සමීප රූපයකැයි මම කියන්නෙමි. නිර්වචනයක් වශයෙන් එම කියමන කිසිසේත් ම පරිපූර්ණ නොවන බව විවාදයක් නැත. එහෙත්, කෙටිකතාවේ සමස්ත ස්වභාවය පිළිබඳ ඉඟියක් ඒ තුළ ගැබ්වී ඇතැයි මම සිතමි. ”

 “කෙටිකතාවෙන් ප්‍රකාශ කෙරෙන අදහසක් කතාකරුවා තුළ පෙර තිබිය යුතුය. ඒ අදහස හා සම්බන්ධ නොවන එක ම වචනයකුදු මුළු රචනයේ කිසි ම තැනක නොතිබිය යුතුය. ”මෙසේ අදහස් එකතු කරන්නේ එඩ්ගා ඇලන්පෝ ය. කෙටිකතාවක ජීවී ගුණය පවතින්නේ ප්‍රධාන සාධක කිහිපයක් මතය. ඒ පිළිබඳව මෙසේ අවධානය යොමුකිරීමට කැමැත්තෙමි.

01. කතුවරයාගේ අරමුණ,

කතුවරයාගේ අරමුණ ඔහුගේ නිර්මාණය හරහා පිළිබිඹු වෙයි. තම නිර්මාණය පාඨකයා අතට පත්කළ වහා කතුවරයා මිය යන අතර, පාඨකයා නිර්මාණයට අරමුණක් තීරණය කරයි.

02. කතා වින්‍යාසය, 

කතාවේ ගැලපීම නොහොත් කතා සංදර්භය මේ නම් වේ. කෙටිකතාව මුල, මැද, අග යන කොටස් තුන සහිතව නිර්මාණය කළ කලා නිර්මාණයක් විය යුතුය.

  “ කෙටිකතාවක් තුරඟ තරගයක් වැනිය. එහි වඩාත් ම වැදගත් වන්නේ ආරම්භය හා අවසානයයි. ”

- එලරි සෙජ්වික් - 

03. භාෂාව, 

කෙටිකතාවක භාෂාව අරපිරිමැස්මකින් යුතුව භාවිතා කළ යුතුය. ඒ කෙසේ ද යත්, කෙටියෙන් (සංක්ෂිප්ත) නිර්මාණාත්මකව, සුන්දර සරල බස් වහරක් භාවිතයට ගැනීම නොව, අත්දැකීමට උචිත භාෂාවක් භාවිතා කිරීමයි.  

04. චරිත හා සිද්ධි නිරූපණය, 

හුදු කළු හෝ සුදු චරිත කෙටිකතාව තුළ ජීවත් නොවිය යුතුය. එනම් හොඳ හෝ නරක ලෙස ලේබල් ඇලවූ චරිත කෙටිකතාවක් තුළ නොවේ. සාර්ථක කෙටිකතාවක් තුළ ඇත්තේ වටකුරු චරිත හෙවත් අළු චරිත පමණි. කෙටිකතාව තුළ චරිත හික්මවනු ලබන්නේ සමාජ ආර්ථික බලවේගයන්ය. ප්‍රබල වූ එක් සිදුවීමක් වටා චරිත හා සිද්ධි ගෙතීමකට ලක්වෙයි.

05. පරිසර වර්ණනා හා සංකේත, 

පුද්ගල මනෝභාව පෙන්වීමට හෝ සම්මතයන්ට පටහැනි අවස්ථා වැනි දෑ නිරූපණයට නව්‍ය හා උචිත ආකාරයෙන් සංකේත භාවිතයට ගනී. (කේ.කේ සමන් කුමාරගේ “සර්පයෙකු හා සටන් වැද” කෙටිකතාවේ සර්පයා සංකේතයක් ලෙස යොදා ගැනීම.) කෙටිකතාවේ චරිත සැරිසරන, හැසිරෙන පරිසර(පසුබිම) පිළිබඳ කරන වර්ණනා තුළින් ඒ ඒ චරිතයේ සමාජ පන්තිය, චරිත ස්භාවය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙයි.

06. සංවාද, සංවාද, කතාව සජීවිව ඉදිරිපත් කිරීමට, 

චරිතවල ප්‍රකට හෝ අප්‍රකට ලක්ෂණ පෙන්වීමට (ආත්ම භාෂණ හෝ දෙබස්) , කතාව විකාශනයට (කතාවේ ගලාගෙන යෑමට)  උපකාරී වෙයි.

07.ධාරණාවේ ඒකීයත්වය, හෙවත් ඒකීයභූත ධාරණාව, කෙටිකතාවක සිද්ධි දම්වැලක පුරුක් සේ එකට බැඳී පැවතිය යුතුය. එහෙන් මෙහෙන් එල්ලෙන පන්ඉරු වැනි අනවශ්‍යය සිදුවීම් කෙටිකතාවක් තුළ තිබිය නොහැකිය. කෙටිකතාව දියමන්තියකට සමාන කරන්නේ ද එහි කඩතොළු නොමැති වීම හා හොඳ නිර්මාණයක් වන නිසාය. කතාව තුළ තුවක්කුවක් පිළිබඳ සඳහන් කරන්නේනම් කතාව අවසන් වීමට ප්‍රථම එය පත්තු විය යුතුම ය.

08. දෘෂ්ටිකෝණය, 

ප්‍රධාන ආකාර තුනකි,

1. උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය ( මම, අපි) ආත්මීය

මෙය භාවිතයට ගනු ලබන්නේ තමන්ගේ මානසික ගැටලු, සියුම් හැඟීම් ඉදිරිපත් කිරීමටය. 

2. මධ්‍යම පුරුෂ දෘෂ්ටිකෝණය ( ඔබ) අප ඉදිරිපිට සිටින

මෙය භාවිතයට ගනු ලබන්නේ අල්ප වශයෙනි.

3. ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය ( ඔහු, ඇය, ඔවුහු)

මෙය භාවිතයට ගනු ලබන්නේ පුද්ගලයාගේ භාහිර ස්වරූපයන් මත පදනම්වය.

09. පරිකල්පනය, 

අපූර්ව දේවල් නිර්මාණයට දක්වන සමත්කම පරිකල්පනය නම්වෙයි. කෙටිකතාවට පාදකවන අත්දැකීම කතුවරයාගේ පරිකල්පනය ඇසුරින් නිර්මාණයක් බවට පත්කරයි.

නිදසුනක් ලෙස, 

මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ “වහල්ලු” කෙටිකතා සංග්‍රහයට පාදක වූයේ ගවයෙකු වමාරමින් තණකොළ බුදින දසුනකි. නමුත් කතුවරයා තම අත්දැකීමට චින්තනය, මානසික ශක්තිය හා නිර්මාණශීලීත්වය මිශ්‍රකොට නව්‍ය වූ නිර්මාණයක් පාඨකයාට සමීප කරයි. 

සිංහල කෙටිකතාවේ ප්‍රභවය පිළිබඳ විවිධමතප්‍රධාන මත තුනක් (03) පවතී. ඒ පිළිබඳවද කෙටියෙන් හැඳින්වීමක් කිරීමට කැමැත්තෙමි. ප්‍රධාන වශයෙන් ම සමිභාව්‍ය චිරන්තන ගද්‍ය සාහිත්‍යය තුළින් කෙටිකතාව ආරම්භයට මඟ පෑදුණු බවට මතවාද ඉදිරිපත්වෙයි. මාර්ටින් වික්‍රමසිංහ මහතා මේ අදහස ඉදිරිපත් කරන අතර ඔහු සද්ධර්මරත්නාවලිය" සද්ධර්මාලංකාරය " ජාතක පොත හා කෙටිකතාව අතර ඇති සම්බන්ඳතාවය පෙන්වා දෙයි. දෙවැනි මතවාදය ලෙසින් බටහිර කෙටිකතා කලාව තුළින් බලපෑම ලැබී දේශීය කෙටිකතාව ආරම්භ වූ බවට මතවාද ඉදිරිපත්වෙයි. සරත්චන්ද්‍ර මහතා මේ අදහස ඉදිරිපත් කරන අතර ඔහු පෙන්වා දෙන්නේ ලාංකේය කෙටිකතාවට Anton Chekhov"  Leo Tolstoy " Gustav Flaubert " Guy de Maupassant " Nikolai Gogol  වැනි බටහිර ලේඛකයන්ගේ ආභාසය ලැබුණු බවයි. තුන්වැනි මතවාදය ලෙසින් සමිභාව්‍ය චිරන්තන ගද්‍ය සාහිත්‍යය තුළින් හා බටහිර කෙටිකතා කලාව තුළින් ආභාසය ලැබී දේශීය කෙටිකතාව ආරම්භ වූ බවට අදහස් ඉදිරිපත් කරයි. සරච්චන්ද්‍ර වික්‍රමසූරිය හා විමල් දිසානායක යන දෙදෙනා මේ මතය ඉදිරිපත් කරන අතර ඔවුන් පෙන්වා දෙන්නේ සිංහල කෙටිකතා කලාවේ අන්තර්ගතය සමිභාව්‍ය චිරන්තන ගද්‍ය සාහිත්‍යය තුළින් ආභාසය ලැබූව ද ආකෘතිමය වශයෙන් එය බටහිර කෙටිකතාවට නෑකම් කියන බවයි. කෙසේ නමුදු ජීවිතයෙන් පෙත්තක්, සමස්තයෙන් අංශ්‍රමාත්‍රයක් විවරණය කිරීමට, සහෘදයාට ඉක්මනින් අවශෝෂණය වන ඖෂධයක් ලෙස කෙටිකතාව කෙටියෙන් හැඳින්වීමට පිළිවෙන.

- සෙව්වන්දි ප්‍රේමතිලක - 

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය


No comments: