Followers

Saturday, June 12, 2021

ග්‍රීසියේ සාහිත්‍ය

 

ග්‍රීසියේ සාහිත්‍ය 

බටහිර සාහාත්‍යය විචාරයේ ආරම්භය සිදුවන්නේ ග්‍රීසිය මුල්කොට ගෙන ය. ක්‍රිස්තු පූර්ව හයවන ශතවර්ෂයේ පමණ දියුණු රාජ්‍යයක් ලෙස පැවති ග්‍රීසිය බටහිර සාහිත්‍යය විචාරය බිහිකළ තිඹිරිගෙය යි. දෘශ්‍යය කාව්‍යයේ උත්පත්තිය ද ග්‍රීසිය මුල්කොටගෙන ඇතිවුණි. දෘශ්‍යය කාව්‍යය බිහිවීම උදෙසා ආගමික අභිචාර විදීන්, පුරාතන දේව සංකල්ප තුළින් බිහි වූ බහු දේවවාදී අදහස් රැසක් මිශ්‍ර විය. දේව මණ්ඩලයක් ඇදහූ ග්‍රීකයින්ගේ ප්‍රධාන දෙවිදුන් හෙවත් දේවමණ්ඩලයේ ප්‍රධානියා වූයේ “සියුස්” දෙවියන්ය. සියුස් දෙවියන්ගේ පුත්‍රයා නමින් “දියෝනිස්”ය. සශ්‍රීකත්වයට, සාඵල්‍යතාවයට, මධ්‍යසාරයට අධිපති දෙවියන් වූයේ මේ දියෝනීස් දෙවියන්ය. කෘෂිකාර්මික දිවිපෙවතක් ගෙවූ ග්‍රීකයින් තමන්ට ලද සරු අස්වැන්නෙන් ප්‍රථම කොටස ස්තෝත්‍ර, ගීතිකා ගයමින් මිදි යුෂ පානය කරමින්, නර්තනයේ යෙදෙමින් දෙවියන්ට පුද දෙන්නට විය. එම ආගමික අභිචාර විදි පසුකාලීනව දෘශ්‍යය කාව්‍යය බිහිවන්නට මූල බීජ සැපයීය.

ග්‍රීක සාහිත්‍යය තුළ ප්‍රධාන වශයෙන්,

1.වීර කාව්‍යය

2.පද්‍යය කාව්‍යය

3.දෘශ්‍යය කාව්‍යය

4.ග්‍රීක ඉතිහාස කථා

5.ග්‍රීක දාර්ශනික සාහිත්‍යය 

වැනි සංයුතින් රැසක් පවතී. ක්‍රි.පූ.9,8 සියවස්වලට අයත් රාජසභා කවියෙකු වූ හෝමර්ගේ වීරකාව්‍ය ද්විත්වයකි. එනම් ඉලියඩ්, ඔඩිසි යි. ක්‍රි.පූ 15-12 කාලයේ ග්‍රීසියේ පැවති යුධමය තත්ත්වය ඉස්මතු කරන මෙම වීරකාව්‍ය විමර්ශනයෙන් ග්‍රීක සාහාත්‍යයේ එක් විශේෂතාවක් ඉස්මතු වී පෙනීයයි. එනම් එවක සමාජ පරිසරය ප්‍රතිනිර්මාණය කිරීම වස් සාහිත්‍යයේ මැදිහත් වීමයි.ඉලියඩ් කාව්‍ය තුළින් ග්‍රීකයන් යුද්ධයේ දී පෑ වීරත්වය, දේශ ප්‍රේමීයත්වය, රණ ශූරත්වය හා ශික්ෂණය වර්ණනා කරයි. ප්‍රධාන වශයෙන් ම ග්‍රීකයන්ගේ නිර්මාණ සාහිත්‍ය යන ෂානරයට නොවැටේ. මූලික වශයෙන් ම ඒවා ඔවුන්ගේ යම් යම් සමාජ කියාකාරකම් හා බද්ධ වී පවතී. නාට්‍ය රඟ දක්වන ලද්දේ විශේෂ උත්සව අවස්ථාවලදී ය. ග්‍රීකයන්ගේ නිර්මාණ භාෂාව ද තරමක් වෙනස් එකක් විය. සම්භාව්‍ය යුගයේ දී, කාව්‍යය ගැන සාකච්ඡා කරන්නට වඩා, වැදගත්කමක් ගත්තේ වාගාලංකාරය (RHETORIC) ගැන සාකච්ඡා කිරීමට ය . එහෙත් වාගාලංකාරය යොදා ගන්නා ලද්දේ සංස්කෘතික පදනමකට වඩා ප්‍රායෝගික ප්‍රයෝජන සඳහා ය. එනම් නීතිමය, දේශපාලනිකමය ගනුදෙනු වල දී වඩා කැපීපෙනෙන විලාසයෙන් භාෂාව භාවිතයට හුරුපුරුදු වීම වාගාලංකාරය ප්‍රගුණ කිරීමේ මූලික අරමුණ විය. 

ග්‍රීක පද්‍ය කාව්‍යයන් ද ග්‍රීක සාහිත්‍යයේ වැදගත් ස්ථානයක් හිමිකරගනී. ලොව පැරණි ම කාව්‍ය නිර්මාණකරු හිසියඩ් ග්‍රීසියේ ජීවත් විය. ඔහු,

ග්‍රීක දේව සංකල්පය

දේව උත්පත්තිය

දින චර්යාව නම් පද පංතින් නිර්මාණය කළේය. නොමග ගිය සිය සොයුරාට අවවාද කරනු වස් එය රචනා විය. 

විමසුමට පිවිසුම...

යුරෝපයේ බිහි වූ පැරණි ම කලා නිර්මාණ අපට හමුවන්නේ ග්‍රීක් සාහිත්‍යයෙනි. එනම් මහා කාව්‍ය, පද්‍ය කාව්‍ය, දෘශ්‍ය කාව්‍ය, දාර්ශනික රචනා, ඉතිහාස ලේඛන, විචාර ලේඛන. ලෝකය හමුවේ දියුණු සංස්කෘතියකට මෙන්ම දියුණු සාහිත්‍යයකට හිමිකම් කීවේ ද ග්‍රීක් ජාතීකයින් ය. එයට හේතුව අතිශය දියුණු ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යය ක්‍රමයක් ඇතැන්ස් නුවර කේන්ද්‍ර කොටගෙන පැවතීමයි. එසේම ඇතැන්ස් නුවර කේන්ද්‍ර කොටගත්  ග්‍රීසියේ විද්වත්හු කාව්‍ය සහ කාව්‍ය විචාරය පිළිබඳ තමන්ගේ නැණස මෙහෙයවූහ. 

භාරතීය කාව්‍යය විචාර ක්ෂේත්‍රයේ අලංකාර ශාස්ත්‍ර නම් ඡත්‍රය යටතේ අලංකාරවාදය, රසවාදය, ධ්වනිවාදය, ගුණ හා රීතිවාදය, ඖචිත්‍යවාදය, වක්‍රෝක්තිවාදය, සහ අනුමිතිවාදය වැනි විශාල විචාර සාහාත්‍යයක් පහළ වූවා සේම, අපරදිග ග්‍රීසියේ ද ක්‍රි.පූ පස්වැනි ශතවර්ෂය වන විට එවැනි විවිධ විචාර මතවාද ඇතිවී කලක් ගතවී ඇති බවට සාධක හමුවෙයි.  ප්‍රධාන වශයෙන් ග්‍රීක සාහිත්‍ය යුග කිහිපයකට බෙදා වෙන්කිරීමට පිළිවෙන. 

පූර්ව සම්භාව්‍ය යුගය

සම්භාව්‍ය යුගය

හෙලන්සතික යුගය (HELLENISTIC PERIOD)

රෝම යුගය

බයිසන්ටයින් සාහිත්‍යය

නූතන ග්‍රීක සාහිත්‍යය

මෙම එක් එක් යුගය තුළ ග්‍රීක සාහිත්‍යයේ විවිධ විශේෂතාවයන් දැකිය හැකිය. පද්‍යය කාව්‍යය සාහිත්‍යය අතරින් ග්‍රීක සාහිත්‍යයේ විශේෂතා විමසීමේ දී කවිපොත් දහසක් පමණ රචනා කරමින් ආදරය, කරුණාව, ප්‍රේමය, ලිංගිකත්වය පිළිබඳ කවි සාහිත්‍යයක් පැවතීම හුවා දැක්වීමට හැකිය. එම සාහිත්‍යය ග්‍රීසියට දායාද කළේ “සැෆෝ” නම් කිවිදියයි. ග්‍රීසියේ දාර්ශනිකයෙකු වූ ප්ලේටෝ ඇයගේ ළගම හිතවතෙකි. ග්‍රීකයන්ගේ විස්වාසය වූයේ කලාවට අධිපති දෙවියන් නව දෙනෙක් සිටින බවයි. ප්ලේටෝගේ අදහසට අනුව දසවෙනි දෙවිදුව සැෆෝ ය. 

ප්‍රධාන ලෙසම ග්‍රීක සාහිත්‍යයේ විශේෂතාවයකි ආගමික අභිචාර විදීන් තුළින් නිර්මාණය වූ ග්‍රීක දෘශ්‍ය කාව්‍යය කලාවකට පණ පෙවීම. ක්‍රි.පූ 600-500 කාලවකවානුව ග්‍රීක් සාහිත්‍යයේ ස්වර්ණමය යුගය යි. එනම් දෘශ්‍ය කාව්‍ය බිහිවූ යුගයයි. ඔගස්ට් කොම්න්ට්ගේ මිනිසාගේ බුද්ධි සංවර්ධන න්‍යායට අනුව දේවවාදී (බහුදේව වාදය) අවධිය තුළ තම නිර්මාණ බිහිකළ නිර්මාණකරුවන් අතර දෘශ්‍යය කාව්‍ය නිර්මාණකරුවන් ත්‍රිත්වයකි.

ඊස්කිලස්

සොෆොක්ලීස්

යුරිපිඩීස්

සාහිත්‍යයේ දී අප්‍රමාණ ප්‍රේක්ෂක සංඛ්‍යාවක් රස විඳින්නා වූ සාහිත්‍යාංගයකි නාට්‍යය. සුඛාන්ත, දුඛාන්ත දෘශ්‍ය කාව්‍යය ග්‍රීසියේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගනී. සොෆොක්ලීස්ගේ ඉඩිපස් රජ, ඇන්ටිගනී, කොලෝනස්හි ඊඩිපස්, ඉලෙක්ට්‍රා, ඇජැක්ස්, පිලොක්ටිටිස්, ට්‍රැචිනි මෙන්ම ඊස්කිලස්ගේ පර්සියන්වරු,ඇගමෙම්නන්, යුමිනයිඩීස්, ඔරිස්ටියා ඉරණම, දෛවය වැනි සාධක පෙරටු කොටගෙන නිර්මාණය විය. ඒ හා සමගාමීව විප්ලවකාරී අසහස් දරමින් යථානුභූත අවධියේ ලක්ෂණ වලට වඩා අධි භෞතික යුගයේ අදහස් විද්‍යමාන කරමින් යුරිපිඩීස් මීඩියා, ද බැකේ, ඉයෝන්, හිපොලිටස්, ට්‍රෝජන් ගැහැණූ නිර්මාණය කළේය. ග්‍රීක යුගයේ සාහිත්‍යයේ සාධනීය ලක්ෂණ පෙන්නුම් කරන මෙම දෘශ්‍ය කාව්‍යය ශෝකාන්තයෙන් ආරම්භය ගෙන සුඛාන්තය දක්වා විහිදෙයි. 

ආගමික පූජා විදි ඇසුරින් ආංගික හා වාචික අභිනයන් දෘශ්‍ය කාව්‍යයන්ට එක්කාසු කරගත් ග්‍රීකයන් දෙවියන් ඉදිරිපිට මිදියුෂ පානය කරමින් මිදි මල්මාලා පැලද රංඟනයේ යෙදෙයි. ග්‍රීසියේ මුල්ම ශෝඛාන්ත නාට්‍යකරු වූයේ තෙස්පියස්ය. එක් නළුවෙකු පමණක් යොදාගෙන ඉදිරිපත් කළ මෙම සරල නාට්‍යය පසු ඊඩිපස් රජ, කොලොනස්හි ඊඩිපස්, ඇන්ටිගනී හඳුන්වා දෙමින් දෘශ්‍ය කාව්‍ය සඳහා ඊස්කිලස් නාට්‍යයට නළුවන් පිරිසක් හඳුන්වා දුන්නේය. තවද සමාජ විවේචනය, සමාජ ගැටලු හුවා දැක්වීම ග්‍රීක සාහිත්‍යයේ තවත් විශේෂත්වයකි. ඇරිස්ටොෆානිස් එය LYSISTRA, THE BIRDS, THE FROGS, THE CLOUDS වැනි නිර්මාණ ඔස්සේ සිදුකළේය. ලොව පැරණිතම නාට්‍ය කලාවට හිමිකම් කියන්නේ ද ග්‍රීසියයි. දෘශ්‍ය කාව්‍ය ඔස්සේ ඉංග්‍රීසි සාහිත්‍යයෙහි ශ්‍රේෂඨතම නාට්‍යකරුවා වූ විලියම් ශේක්ෂ්පියර් ද දුඛාන්ත සඳහා ග්‍රීක් නාට්‍යය අභාසය ලබාගත්තේ එහි පැවති විශේෂත්වය නිසාමයි. රාජය අනුග්‍රහය ද  නොඅඩුව පැවති දෘශ්‍ය කාව්‍ය සම්ප්‍රදායට ඇරිස්ටෝටල් හා ප්ලේටෝ නාට්‍ය සම්බන්ඳව ලියන ලද විචාර ලිපි හා ග්‍රන්ථ තවත් වටිනාකමක් එක්කාසු කළේය. වහල් සේවය දැඩිලෙස පැවති මෙම යුගයේ ග්‍රීක දෘශ්‍ය කාව්‍යය රැසක් බිහිවූයේ ශාක්ෂරතාවයක් නොමැති ජනතාවට රසවිදිමටයි. එය තවත් විශේෂතාවක් ලෙස දැක්වීමට පිළිවෙන. සජීවි අත්දැකීමක් ලෙස විශාල නාට්‍යාගාර ඉදිකර ප්‍රේක්ෂණය සමූහික කිරීමට යත්න දැරූ ආකාරය එපිඩෝරස් නගරයේ පිහිටි 20,000 පමණ අසුන් ගැනීමට හැකි ග්‍රීක් නෘත්‍යාගාරයෙන් පිළිඹිබු වෙයි. 

ලෝකයට ප්‍රථම වශයෙන් DEMOCRACY හෙවත් ප්‍රජාතන්ත්‍රවාදය හඳන්වාදුන් ග්‍රීසිය පාසැල් හෙවත් SCHOOL යන වචනයද ලෝකයට හඳුන්වා දුන්නේ MUSES හෙවත් සංගීතය ද හඳුන්වා දෙමින්ය.  ලොව ප්‍රථම අක්ෂර මාලාවට ද  හිමිකම් කියන මොවුන් සතුව පැවති විශිෂ්ඨ ජනාවාස ක්‍රමය නිර්මාණ කටයුතු සඳහා රුකුලක් විය. ගණිතය පිළිබඳ දැණුමක් පැවති ග්‍රීකයින් සතුව විශිෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයක්ද විය. 

ප්ලේටෝගේ ශිෂ්‍යයා වූයේ ඇර්ස්ටෝටල් ය. ප්ලේටෝ මනෝරාජ්‍යමය කෘතිය වන REPUBLIC හි නාට්‍යය හා කාව්‍යය කිසියම් බලධාරියෙකු වාරණය ලක් කරන ආකාරය දක්වයි. කාව්‍ය සම්බන්ඳයෙන් දැනට ඉතිරිව පවතින ග්‍රන්ථයකි POETICS හෙවත් කාව්‍ය ශාස්ත්‍රය. ඒ තුළින් කවියට හිමි ස්ථානය කාව්‍ය නිර්මාණවල හරය හා විශේෂතාවයන් සීමාවන් හඳුනාගැනිමට හැකිය. අතීත ග්‍රීක ඉතිහාසය තුළ ග්‍රීක කාව්‍ය වීර කතා, දෙවියන්ට හා වීරයන්ට කරන ලද ස්ත්‍රෝත්‍ර ගායනා, මත් වූ විට ගීත ගායනය, ආගමික ගීතිකා, අවමංගල ළතෝනි වැනි විවිධ ආකාරයෙන් පැවති බව පෙනී යයි. මෙයද මෙම සාහිත්‍යයේ විශේෂතාවයකි. කවියට පමණක් නොව දර්ශනය ආදී විෂයන්ට ද දක්ෂතා දැක්වූ මොවුන්ට තරු හා ග්‍රහලෝක පිළිබඳව මනා දැණුමක් විය. 

සාහිත්‍යය කෘති විචාරය කිරීමේ ආරම්භය ග්‍රීක යුගය දක්වා දිවෙන්නෙකි. එය ප්ලේටෝගෙන් ඇරඹුණු බවට සාධක පවතී. ලෝකයේ ප්‍රථම සාහිත්‍යය විචාරකයා වූ ප්ලේටෝ වශේෂයෙන් ම සදාචාරවාදය පදනම් කරගනිමින් සාහිත්‍යය කෘති විචාරයට ලක් කළේය. ඒ තුළීන් එවක පැවති සාහිත්‍යයේ විශේෂතාවක් ඉස්මතු වෙයි. එනම් සදාචාරවාදී පදනමයි. ප්ලේටෝ සදාචාරය ලෙස සැලකුවේ සාහිත්‍යයකරුවෝ එක්තරා යුගයක දී දෙවියන් පිළිබඳ අවිස්වාස කිරීමට, සැක කිරීමට නැඹුරුවීමෙන් බැහැර වීමයි. හෝමර් සහ ඉලියට් යන කවීහු දෙවියන් සැක කිරීමට සුදුසු අදහස් ජනගත කළේය. ඒ තුළින් ග්‍රීක සාහිත්‍යය අධි භෞතික යුගයක ලක්ෂණවලට නැඹුරුවන ආකාරයන් පෙන්වා දීමට පිළිවෙන. මෙය ප්ලේටෝ ප්‍රතික්ෂේප කරමින් ඔහු පෞර රාජ්ජ්‍ය සංකල්පය මතු කරමින් මනෝ රාජ්‍යය තුළට කවියෝ වැදුදගත යුතු නැතැයි මතය ප්‍රතීයමාන කළේය. ඒ තුළින් ග්‍රීක සාහිත්‍යය තුළ කවියාට කවියට හිමි ස්ථානය හා එහි විශේෂතාවයන් පිළිබඳව අදහසක් අපට ලබා ගැනීමට හැකියාවක් ලැබෙයි. 

ප්ලේටෝ සාහිත්‍යය තුළ පරිකල්පනය ප්‍රත්ක්ෂේප කළත් ඔහුගේ ශිෂ්‍යය ඇරිස්ටෝටල් ප්‍රතික්ෂේප කළේ ප්ලේටෝගේ මතයයි. එ් තුළින් එවකට සාහිත්‍යය නිර්මාණ තුළ පරිකල්පනය පිරී තිබෙන්නට ඇතැයි නිගමනය කිරීමට දොරටුවක් විවිර වෙයි. කාව්‍ය ශාස්ත්‍රය හා අලංකාර ශාස්ත්‍රය ඇතුලතින් ඇරිස්ටෝටල් සාහාත්‍යය විචාර සිද්ධාන්ත රැසක් ඉදිරිපත් කරයි. බටහිර සංස්කෘතියෙහි නිජබිම ලෙස සැලකෙන ග්‍රීසිය හා ග්‍රීක සංස්කෘතිය ආසියාතික හා අප්‍රිකානු චින්තන ධාරාවන්ගෙන් හා බුද්ධිමය සම්ප්‍රදායන්ගෙන් පරිපෝෂිත වූ බවත්, ග්‍රීක සංස්කෘතිය අන්‍යය සාධාරණ වූ පුරෝගාමී සංස්කෘතියක් යන අදහස මතිභ්‍රමයක් බවත් විචාරකයෝ පෙන්වයි. පැරණි ග්‍රීක ශිෂ්ටාචාරයේ විශිෂ්ටත්වය ගැන මෑත යුගයේ අග්‍රගන්‍ය බටහිර දාර්ශනිකයෙකු වූ “බර්ට්‍රන්ඩ් රසල්” සාමිවරයා මෙසේ පවසයි. “ඊජිප්තුව සහ මෙසපොතේමියාවේ වසර දහස් ගණනක් තුළ වර්ධනය වෙමින් පැවති ශීෂ්ටාචාරයේ අඩු ලුහුඩුකම් සපුරාලීමෙන් එය පරිපූර්ණත්වයට පත්කිරීමේ ගෞරවය හිමිවන්නේ ග්‍රීක ශිෂ්ටාචාරයට යි. ගතානුගතිකත්වයෙන් හා පාරම්පරික සිතුවිලිවලින් තොරව ලෝක ස්වභාවය සහ ජීවිත පරමාර්ථ පිළිබඳ ග්‍රීක ශීෂ්ටාචාරයේ අවදානය යොමුවිය. ග්‍රීක චින්තන ධාරා මඟින් සෘජුව හෝ වක්‍රමාර්ග වලින් ප්‍රභාවත් නොවූ දේශයක් හෝ ජනතාවක් වත්මනේ ලෝකයේ ඇතැයි සිතිය නොහැකිය...” 

මෙවකට සාහිත්‍යය පොත්පත් ලිවීමේදී ග්‍රීක භාෂෘව යොදා ගැණින. ඉතිහාස කතා, වීර කාව්‍යය උසස් සාහිත්‍යය නිර්මාණ විය. හෙරඩෝටස්, තියුස්ඩ්ස්, ඇරිස්ටෝටල් ග්‍රීසියේ සිටි සාහිත්‍යකරුවෝය. ග්‍රීක ශිෂ්ටාචාරයෙන් ලොවට උරුම වූ දායාද ලෙස නූතන යුරෝපය ගොඩනැගීමට අවශ්‍යය මූලික පදනම විශේෂ ස්ථානයක් හිමිකරගනී. සාහිත්‍යය අතින් සුපෝෂිත ග්‍රීසිය දේශපාලනය, කලාව, විද්‍යාව බිහිකිරීමට දැක්වූ දායකත්වය ඔවුන්ගේ නිර්මාණ විමසීමෙන් විද්‍යමාන වෙයි. එනම් එම සාහිත්‍යය නිර්මාණ ඇතුලතින් විෂදවන සාපේක්ෂ හර පද්ධතිය මෙන්ම විශේෂතාවයන් ප්‍රතීයමාන වෙයි. 

සාහිත්‍යය පුනරුදය ඇති වූවේ ද  ග්‍රීක රෝම පොත්පත්වලිනි. මුලින් එම පොත් අනුකරණ සාහිත්‍යයක් බිහිවිය. රටවල් රාශියක මෙම කාලවකවානුවේදී ග්‍රීක හා ලතින් බස හැදෑරීය. මුල් යුගයේ සාහිත්‍ය පුනරුදයට බලපෑ අය අතරින් පෙට්රාක් සහ බොකෑෂියෝ හඳුන්වා දීමට පිළිවෙන. 1453දී කොන්ස්තන්තිනෝපල් නගරය තුර්කි මුස්ලිම් අල්ලා ගැනීම සමඟ ම එහි පුස්තකාලවල තිබූ ග්‍රීක රෝම පොත්පත් ඉන් පිටතට සංක්‍රමණය විය. එය යුරෝපය පුරා සාහිත්‍යය පුනරුදයක් ඇති කිරීමට හේතු විය. එතරම් ම ග්‍රීක සාහිත්‍යය සතුව ශක්ති ප්‍රමාණයක් ගැබ් විය. එය ග්‍රීක යුගයේ සාහිත්‍යයේ එක් ප්‍රධාන ලක්ෂණයකි. එනම් එවකට පැවති සාහිත්‍යයේ ගැඹුරයි. හරයයි. අරටුවයි. ග්‍රීක දර්ශනයේ ආරම්භය විශිෂ්ට බුද්ධිමතුන්, ප්‍රඥවන්තයන්, දාර්ශනිකයන් ජනතාව හා රජය අතර ගෙනගිය සංවාද කතිකාවන් ඔස්සේ බිහිවිය. දර්ශනය හෙවත් ෆිලෝසොපි යන වචනයේ අර්ථය අනුව “ඥානයට ආදරය කරන” යන අදහස් ඉස්මතු වෙයි. මෙය එවක සාහිත්‍යයේ සාර්ථකත්වයේ වැකියයි. හරයයි.

සෙව්වන්දි ප්‍රේමතිලක

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය


No comments: