Followers

Thursday, April 29, 2021

පුරා - ඇස 2

  

අලකේශ්වර හෙවත් අලගක්කෝනාර තුන්වන වික්‍රමබාහු රජු බවට පැමිණීම නිසා සිදු වූ තවත් දෙයක් නම් ඉහත කී රජවරුන් දෙදෙනාටම අගමැතිකම් කළ සේනාධිලංකාර අප්‍රධාන තත්ත්වයට පත්වීමය. ඒ තැන හිමි වූයේ ප්‍රභූරාජ නමින් හැඳින්වූ නිශ්ශංක අලගක්කෝනාරටය. වැඩිකල් නොයා ඔහු රටේ පාලන තන්ත්‍රය මෙහෙයවූ ප්‍රබලම පුද්ගලයා බවට පත්විය.

            මේ අතරේ ආර්යචක්‍රවර්ති තමාගේ බලය කඩිනමින් ව්‍යාප්ත කර ගනිමින් සිටියේය. යුද්ධ ගිවිසුමට අනුව ඉහත කී උඩරට සමහර ප්‍රදේශයන්හි ද හලාවත, මීගමුව, කොළඹ යන තොටුපොළවල්හිද බලය ඔහු තමා සතු කර ගත්තේය. නිශ්ශංක අලගක්කෝනාර වණික් වංශයට (වෙළෙඳ කුළයට) අයත් වූවෙකි. තොටුපළවල් ආශ්‍රිතව ඉපැරණ විශාල ධනස්කන්ධය ආර්යචක්‍රවර්තිට හිමි වීම ඔහුට රුස්සන්නක් නොවීය. ආර්ය චක්‍රවර්තිගේ බලය මෙල්ල කිරීම සඳහා බලකොටුවක් ඉදි කිරීමට අදහස් කළේ ය. ඒ සදහා සුදුසුම ස්ථානය වූයේ කෝට්ටේ භූමිභාගය.

          තුන් පැත්තෙන්ම දියවන්නා ඔයෙන් ද අනෙක් පැත්ත ස්වභාවික මඩ වගුරුවලින්ද වටවූ භූමි භාගයක් තෝරා ගත් හෙතෙම එය කබොක් ගලින් බැඳි ප්‍රාකාරයකින් වට කර ගත්තේය. එහි තැනින් තැන මුර කපොලු පනවා මුර භටයින් රැඳවූ අලගක්කෝනාර තැනින් තැන දේවාල ඉදි කරවා උපුල්වන්, සමන්, විභීෂණ, කතරගම යන දෙවිවරුන් සඳහා වෙන්කර වූයේය. ඔහු එයින් අදහස් කළේ සෙබළුන්ගේ මානසික ශක්තිය දියුණු කොට ධෛර්යසම්පන්න කරවීමය. ඉතා නුවණැතිව ක්‍රියා කළ හෙතෙම සෑහෙන කාලයකට අවශ්‍ය ආහාරපාන ද රැස් කොට, කල්යල් බලා පහරදී තොටුපොළවල්වල බදු අය කරමින් සිටි ආර්යචක්‍රවර්තිගේ මිනිසුන් එළවා දැමුවේය.

 ආර්ය චක්‍රවර්ති බළසේනා එළවා හලාවත, මීගමුව සහ කොළඹ තොටුපළවල් අල්ලා ගත්තද අලගක්කෝනාරගේ සේනා විසින් පලවා හරින ලදී. මෙසේ ආර්ය චක්‍රවර්තිගේ බලයෙන් හීන කළ අලගක්කෝනාර තවත් වැදගත් දෙයක නිරත විය. දෙවනගල වනරතන මාහිමි ඇවෑමෙන් සීලවංශ ධම්මකිත්ති නාහිමියන් එම පදවියෙන් පිදුම් ලබන අතර අලගක්කෝනාර එතුමන්ගේ සහභාගිත්වයෙන් මහා සංඝයා රැස් කරවා ක්‍රිස්තු වර්ෂ 1360 දී දුසිල් මහණුන් සිවුරු හරවා ශාසන ශෝධනයක් සිදු කර වූයේය.

මෙම අලගක්කෝනාර "රාජා ලංකා මහීතලේ" ලෙසින් වික්‍රමබාහු රජු සිටියදීම ලංකාධිපති රජු ලෙසින් හඳුන්වා තිබේම ද විශේෂයෙන් සලකා බැලිය යුත්තකි.

 ඒ සමයෙහි ජයමහලෑණ නමින් තවත් බල සම්පන්නයකු වික්‍රමබාහු රාජ සභාවේ සිටි බව සඳහන්ය මේ.  ජයමහලෑණ  නියගම්පායේ විහාර ප්‍රතිසංස්කරණය කළ අතර අලගක්කෝනාර කැලණි විහාරය ප්‍රතිසංස්කරණය කළේය. එසේම ඔහු කෝට්ටේ නතර වී හිදිමින් තම ජන්ම භූමිය වූ රයිගම ප්‍රදේශයේ ද ශාසනික කටයුතුවල නිරත විය. 

ක්‍රිස්තු වර්ෂ 1377  වික්‍රමබාහු රජු ඇවෑමෙන් පස්වන බුවනෙකබාහු ලෙසින් රජ වූයේ මෙම අලගක්කෝනාරට දාව ඔහුගේ බිරිඳ වූ වික්‍රමබාහු රජුගේ සහෝදරිය බිහිකල පුතුය. මින් ටික කලකට පසු එනම් ක්‍රිස්තු වර්ෂ 1381 දී පමණ ආර්යචක්‍රවර්ති තමන්ට වූ පරාජය මකා ගැනීම සඳහා එකවර ගොඩින් හා මුහුදින් විශාල හමුදා දෙකක් ඒවා එකවර කෝට්ටේට හා ගම්පොළට පහරදීමට තැත් කළේය. ගම්පොල සිටි පස්වන බුවනෙකබාහු කෝට්ටේට පළාගිය අතර උඩරට සේනාවෝ ආර්ය චක්‍රවර්තීන්ගේ හමුදාව පලවා ජයග්‍රහණය ලැබීය. මුහුදින් නැව්වලින් පැමිණි හමුදාව දෙමටගොඩ පානදුර ආදී තැන්වල කඳවුරු බැඳ ගත්හ. අලගක්කෝනාර එම නැව් විනාශ කොට හමුදාවද එළවා දැමීය. බුවනෙකබාහු නැවතත් ගම්පොළට ගියේය. පස්වන බුවනෙකබාහු රජුගේ අවසාන සමයේදී ඈපා තනතුරද දැරූ අර්ථනායක නැමැත්තා මිය ගිය අතර එම තනතුර හිමි වූයේ දේව මන්ත්‍රී නැමැත්තාට ය. මේ දේව මන්ත්‍රී අලගක්කෝනාර ගේ සහෝදරයෙකි. පස්වන බුවනෙකබාහු රජු තම අවසාන කාලයෙහි කෝට්ටේට ගිය පසු රාජ සභාවේ උසස් නිලධාරීහු එක්ව දේව මන්ත්‍රී යුවරජු වීරබාහු විසින් නම් තබා ගම්පොළ  සිංහාසනාරූඪ කළහ.

 නමුත් නිකාය සංග්‍රහය එය එලෙසින්ම සනාථ කරන්නේ නැත. සමහර මූලාශ්‍රයන්හි ඉහත සඳහන් අර්ථනායක ද අලගක්කෝනාර ගේ සහෝදරයෙකු ලෙසින් දක්වා ඇත. එසේම ගම්පොළ බුවනෙකබාහු රජුගේ අගමැති හා ප්‍රභූ රාජ වශයෙන් සිටි අලගක්කෝනාර හා ගම්පොළ වික්‍රමබාහු රජුගේ අගමැති හා ප්‍රභූ රාජ වශයෙන් සිටි නිශ්ශංක අලගක්කෝනාර යනු දෙදෙනෙකු බව ද සඳහන් කළ තැනැත්තා නිශ්ශංක අලගක්කෝනාර ගේ බෑනා හෙවත් සහෝදරයාගේ පුතෙකු බව ද සඳහන්ව ඇත. ඒ අනුව ජයවර්ධනපුර කෝට්ටේ බලකොටුව ගොඩ නැංවූයේ වික්‍රමබාහු රජුගේ අගමැති වශයෙන් සිටි නිශ්ශංක අලගක්කෝනාර හෙවත් අලගක්කෝනාර යි.

 මෙම අලගක්කෝනාර පරපුරේ තොරතුරු දඹදෙණි අවධියේ සිට දැක ගත හැකිය. කෑරගල පද්මාවතී පිරිවෙන කරවා ඇත්තේ පද්මාවතී නමින් සිටි අලගක්කෝනාරගේ සහෝදරියකට වැඳපුදා ගැනීමටය. (කෑරගල සෙල්ලිපිය)

 ඉබන් බතූතා ක්‍රිස්තු වර්ෂ 1344 දී පමණ ශ්‍රී පාද වන්දනාවේ යද්දී අලගක්කෝනාර නැමැත්තෙකු විශාල ප්‍රදේශයක පාලකයා වශයෙන් සිටියදී හමුවූ බවද ඔහුට සුදු ඇතෙකු සිටි බවද ජනතාව කැරලි ගසා ඔහු බලයෙන් පහකොට ඇස් අන්ධ කොට ඔහුගේ පුතකුට බලය ලබාදුන් බව ද සඳහන් කොට ඇත.


 මතුසම්බන්ධයි

 සෙව්වන්දි ප්‍රේමතිලක


Sunday, April 25, 2021

පුරා - ඇස

  ගම්පොළ පාලනයේ නිමාව හා 
කෝට්ටේ රාජධානිය පිහිටුවීම 01

    .        


 

කෝට්ටේ රාජධානිය පිහිටුවන ලද්දේ 14වන සියවසේදී ය. ඒ වන විට ලාංකීය රාජස්ථානයේ මූලික ස්ථානය වූයේ ගම්පොළය. පස්වන විජයබාහු හෙවත් සවුළු විජයබාහු රජුගේ අවසාන සමයේදී ඔහුගේ වැඩිමහල් පුත් සිව්වන බුවනෙකබාහු ගම්පොළ රාජධානිය පිහිටුවා ගත්තේය. ඔහුගේ සහෝදර පස්වන පරාක්‍රමබාහු දැදිගම ඈපාවරයකු සේ පාලනය ගෙනගිය අතර අලගක්කෝනාර නම් අයෙක් රයිගම පෙදෙසේ පාලන කටයුතුවල නිරත වී ඇත. සවුළු විජයබාහු රජු අභාවයට පත් වූ කල්හි සිව්වන බුවනකබාහු අභිෂේක රජු වශයෙන් පිළිගැනුණි. ඔහුගේ ඇමති ලෙස කටයුතු කරන ලද්දේ සේනාධිලංකාර සෙනෙවිරත් නැමැත්තාය. 

               සිව්වන බුවනෙකබාහු රජු අයත් වන සවුළු පරම්පරාව පැරණි රාජ වංශයන් ට පැහැදිලි සබඳතාවයක් නොපෙන්වයි.  කල් යාමේදී මෙම පාලකයෝ ගණවැසි, වණික්වංශ, ගිරි වංශ ආදී පරම්පරාවල යම් යම් ප්‍රභූවරුන්ගේ ග්‍රහණයට නතු වූ බව පැහැදිලිව දක්නට ඇති දෙයකි. එම ප්‍රභූවරු රාජකීයයන් හා සබඳතා ගොඩනඟා ගැනීමට සමත් වූයේ ඉහළ ආර්ථික තලයකට පිවිසීමට තරම් හැකියාවක් තිබූ හෙයිනි. පසුකාලීනව ඔවුන්ගේ දරු මුණුපුරන් ඔටුන්න හිමි කරගත් ආකාරය දැකගත හැකිය.
 මෙම කාලයේදී දැකිය හැකි තවත් විශේෂත්වයක් වනුයේ සමකාලීන රජවරුන් විසින් ඒ ඒ ප්‍රදේශ පාලනය කිරීමය.


        ආර්යචක්‍රවර්ති නැමැත්තෙක් උතුරු පාලකයා වශයෙන් සිට දකුණේ සිංහල රාජ්‍ය විවිධ අතවර, බලපෑම් පමුණුවාලූයේය. කෙසේ වුවද මෙම ගම්පොළ රාජධානියේ එතරම් සුවිශාල වූවක් බව නොපෙනේ. බුවනකබාහු රජුගේ පාලනය වැඩි වශයෙන් පැවතියේ මහනුවර හා ඒ ආසන්න කොත්මලේ හා උලපනේ යන ප්‍රදේශයන්හිය. එසේම ඔහුගේ පාලනය දකුණු ප්‍රදේශයද තිබූ බව පිළිගත හැකි සාධකයක් වූයේ ඔහුගේ සේනාධිලංකාර නම් ඔව් ඇමතිවරයා වැලිගම අග්බෝ විහාරයේ පිළිම ගෙයක් කරවා යම් යම් ශාසනික සේවාවන්හි නිරත වූ බව නිකාය සංග්‍රහය හා තිසර සන්දේශය ආදියෙහි සඳහන් ව තිබීම ය.


 සිව්වන බුවනෙකබාහු රජුගේ අවසාන රාජ්‍ය සමයේ දී ඔහු වික්‍රමබාහු නම් වූ පෙදෙස් පාලකයකු හා සිවිල් යුද්ධයක පැටලී තිබේ. (මෙම වික්‍රමබාහු පේරාදෙණිය පාලනය කළ අයෙකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගම්පොළ රාජධානියේ එක්තරා කොටසක් වික්‍රමබාහුගේ පාලනයට නතුවිය. පසුකාලීනව තුන්වන වික්‍රමබාහු ලෙසින් ගම්පොල රාජ්‍යත්වයට පත් වන්නේ මොහුය.)


 වසර 1351 දී  සිව්වන බුවනෙකබාහු මියගිය අතර මේ වන විට දිවයිනේ යම් යම් පෙදෙස් පාලනය කළ තවත් පෙදෙස් නායකයින් කිහිප දෙනකුම සිටි බව කියැවේ. ඒ අතරේ කොළඹ පාලනය කළ  ඇබිසීනියන්වරුන් පිරිසකගේ සහාය ඇතිව ජලස්ථි නම් නාවිකයා ද, රයිගම පෙදෙස පාලනය කළ යි පිළිගත හැකි නිශ්ශංක අලකේශ්වර ද මූලික ස්ථානයක් ගනී. (එකල සිරි පාද වන්දනාවේ ගිය ඉබන් බතූතාගේ සටහන් වලින් ද මෙය සනාථ වී ඇත. )


    මෙම අලකේශ්වර ඉහළ පවුල් සමග විවාහ සබඳතා ගොඩ නගා ගනිමින් බලය තහවුරු කරගත් අය ය. තවද බේරුවල පෙදෙස ''ක්වජා ජහාන්'' නම් වූ මුස්ලිම් ජාතිකයෙකු විසින් පාලනය කල බව ''කොඩ්රිටන්'' සඳහන් කොට ඇත. ඉහත සඳහන් පරිදි සිව්වන බුවනකබාහු හා වික්‍රමබාහු අතර ගැටුම පැවති සමයේ දී මොවුන් තම බලය තහවුරු කරගත් බවට සාධක තිබේ.


 මේ අතරේ තවත් පාලක පෙදෙසක් වූයේ විශේෂයෙන් උතුරු මැද පෙදෙස මූලික කොටගත් වන්නියාර්වරුන් ය. මෙම වන්නියාර්වරු උතුරු පාලකයා වූ ආර්ය චක්‍රවර්තිගේ බලය පිළිගත් බව පෙනෙන්නට ඇති දෙයකි. ආර්යචක්‍රවර්ති තමාගේ බලය හලාවතට එපිටින් පිහිටි මුන්ඩල් දක්වා පතුරවා හැරීමට සමත්ව සිටියේය.


      සිව්වන බුවනෙකබාහු මියගිය පසු දැදිගම පාලකයාව සිටි පස්වන පරාක්‍රමබාහු ගම්පොළ රජ විය. මෙහිදී සේනාධිලංකාර සෙනවියා මෙම රජුට දකුණේ සහාය ලබාදීම වැදගත් කොට සැලකිය යුත්තකි.
 ගම්පොළ රාජ්‍ය පාලනයේ පෙරළියක් සිදුකරමින් පේරාදෙණිය පෙදෙස පාලනය කළ තුන්වන වික්‍රමබාහු පස්වන පරාක්‍රමබාහු රජු නෙරපා හැර සිහසුන අත්පත් කර ගත්තේය. මෙහිදී වික්‍රමබාහු රජු උතුරේ ආර්ය චක්‍රවර්තිගේ සහාය ලබා ගත් බවටද මතයක් ඇත. ඒ අනුව බලන විට ඔහු මාතලේ, සිදුරුවාන, දුම්බර ආදී උඩරට පෙදෙස්හි බදු අය කර ගැනීමේ අයිතිය උතුරේ ආර්ය චක්‍රවර්ති ට හිමිකර දී තිබේ. (සමහර තැනක ආර්ය චක්‍රවර්ති නොව මා දණ්ඩ පෙරුමාල් ලෙසින් සඳහන් ව තිබේ)

-මතුසම්බ
න්ධයි-

සෙව්වන්දි රේමතිලක

Thursday, April 22, 2021



ඔහොරියේ පොට...

තුන් මාසයකට කලින් 

පිරූ පෙරුමන් තුළින් 

ජීවිතයේ වෙන්දේසිය මතින් 

තුන් ඈවරයෙන් ලැබූ අයිතියෙන් 


මාසේ පඩියම ඇපය කරලා 

ලෝන් ගත්තා සාද කරලා 

නිළමේ ඇඳුමට රෙදි ඔබාලා 

වටේ ඔතලා ඇන්දුවා


මැණිකේ උඩරට විලාසෙන් 

ඔහොරියෙ රැලි විලාසෙන් 

නළල් තලයේ රැන්දු තැල්ලේ

 පාට වියැකී ගියාදෙන් 


මගුලදා හත් මාළු කෑවා 

පහුවදා බුරියානි හැදුවා

හත් දිනක් ගිය දා සිටන් අපි 

ලුණුත් එක්ක ම බතුයි කෑවා 


ඔහොරියේ පොට ඉණට තදකර 

ගැටගසාගෙන රෙද්ද කැටිකර

පොරණේ දර ලිපට මැදිකර 

තැම්බුවා කොළ බෙහෙත් ඖෂධ 


තවත් අක්කෙක් ගෙදර මුල්ලේ 

ලෙඩ ඇඳේ මව් දපා ඉන්නේ 

ඇඟිලි මැදි කර දැමූ මුද්දේ 

රස්නෙ යන්නට පෙරාතුව ඇයි 

අතත් මිරිකා 

හිතත් තළලා

 මුද්ද අරගෙන පියමනින්නේ...

Tuesday, April 20, 2021

පද වැල්

 


 සිටින් එතනෝ වහන් වී

සඳට තරු එළි මුකුළු කරමින් 
හිරුගේ කිරණට මුවා වී 
පිපෙන්න නාඹර තඹරු විකසිත
සුවඳ දී ගමපුරා ගී

 විහඟ නද මුසු ගංදෑල සුදු 
සේද ඉනවට ඔතාවී 
එතන එන්න විට අඳුර පරදා 
එළිය එහි රජ කරාවී

පැලේ හේනේ තනිව උන්නා
රටාවට සී පද ගොතන් 
මොනරු පිල් විහිදා රඟද්දී 
සැලුණු හදවත තෙත් කරන්න

 ගව මහිස කැළ කඩුළු බිඳලා 
දොරකඩට විත් නෙත්   බැලුම්ලා 
පාළු කැපුමට එන්න අහවි ද 
එපා එතනෝ දොර අරින්නට

 බැද්ද නපුරක් කරාවි 
නිහඬ වී නුඹ සිටිද්දි 
උන් හැරී ගොස් බලාවි 
නුඹ බලාවි සිතාවි

තදකරන් හිත පැලට රිංගා 
සිටින් එතනෝ වහන්වී...

                                                - සෙව්වන්දිප්‍රේමතිලක -