මග හිටියොත් තෝ නසී...
ලෝකයම වෙලාගත් කොරෝනා රකුසා මර්දනය කිරීමට රජය වැය කරන්නේ අති විශාල මුදලකි. එමෙන් ම සංචාරණ සීමා, රට වසාදැමීම ආදියෙන් දේශීය ආර්ථිකයට එල්ලවන බලපෑම ද අති විශාලය නමුත් මහජන සුභසිද්ධිය උදෙසා රජය බරපතළ අරගලයක නිරත වෙයි. සංචරණ සීමා පැන වූ විගස ආර්ථිකයේ කඩා වැටීම ගැන සාකච්ඡා පවත්වන පිරිස් ම නැවත එම සංචරණ සීමා ලිහිල් කළ සැණින් අත්තටු ලබයි. රජයේ අභිලාසය කෝවිඩ් මරණ ප්‍රතිශතය අවම කිරීමයි. එයට සාධාරණීය හෝ යම් විටෙක අසාධාරණ තීරණය ඒකමතිකව ගැනීමට රජයට සිදුවී තිබේ. රට වසා දැමූ පමණින් ජීවත්වීම පිළිබඳව හඬ නගති. එන්නත පමා වූ සැනින් ආණ්ඩුව විවේචනය කරති. මෙරට කොවිඩ් පාලනය සඳහා මේ වන විටත් රුපියල් කෝටි 28,000 ක අධික මුදලක් රජය වියදම් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යය හා කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියාසිටී.
ශ්‍රී ලංකා වැනි රටකට ඔරොත්තු නොදෙන තරමේ මුදලක් කෝවිඩ් රකුසා පැරදවීමේ ක්‍රියාවලියට රජය ආයෝජනය කරන්නේ ලංකාව තවත් විශාලා මහනුවරක් වීම වැළැක්වීම සඳහායි. රජයේ මුළු මහත් පොදු ජනයාගේ සුභ සිද්ධිය උදෙසා ජාතික ආර්ථික කළමනාකරණය සිදු කරමින් ක්‍රියාත්මක වූවානම් රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇති නොවන්නට ද ඉඩ තිබිණි. නමුත් රජ්‍ය ආදායම් බොහෝ සේ පහළ වැටී තිබුණ ද ජනතා සහන කපා හැරීමට රජය කිසිසේත් තීරණය කර නැත. සමෘද්ධිලාභීන්, වකුගඩු රෝගීන් එමෙන්ම ස්ථිර ආදායම් මාර්ගයක් නොලබන සියලු දෙනාට රුපියල් 5000 දීමනාව ලබා දීමට රජය කටයුතු කරන්නේ කොවිඩ් මර්දන ව්‍යාපාරයේ තවත් එක් පියවරක් ලෙසයි. රජයේ ප්‍රමුඛ තීරණය වන්නේ මේ වසර අවසන් වීමට ප්‍රථම අවශ්‍යය සියලු දෙනාට එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමයි. ඒ සඳහා සෞඛ්‍ය අංශ දැඩි අවධානයක් යොමු කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කලාපීය වශයෙන් එකිනෙකාට සහයෝගය දක්වමින් සාමූහික කොවිඩ් අර්බුදයට මුහුණ දීමට වගවිය යුතු බව ඉස්මතු කර පෙන්වයි. වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හා නව ප්‍රභේද හමුවීම කබලෙන් ලිපට වැටෙන මනුස්ස සංහතියට තවත් පහර ගැසීමකි. මෙයින් අත් මිදීමට තමාට තමා වගවීම හැර කළ යුතු අන් කිසිවක් නොවේ.
මේ වනවිට එංගලන්තය, ඉන්දියාව, මැලේසියාව, වියට්නාමය යන රටවලින් නව ප්‍රභේද සොයාගෙන ඇත. නව ප්‍රභේද නාමකරණය ද වෙනස් වූ දිශානතියකට පිවිසීම දක්නට ලබෙයි. රජයේ ප්‍රධානියා මහජනයාගේ යහපත උදෙසා තීන්දු තීරණ ගත යුත්තේ ජනප්‍රියත්වයට පත්වීමට නොවේ. රජය කුමනාකාරයේ පියවර ගත්තද එයට අනුව ජන ජීවිතය වෙනස් නොකර ගන්නා පිරිස් බොහෝ වෙති. තැන තැන ආණ්ඩුව විවේචනය
කරමින් ගම්මැදි හෑලි දොඩන පිරිස්ගේ ශික්ෂණය හැදීමට ද සිදුවී ඇත්තේ රජයටයි. එයට වෙනම ආරක්ෂක අංශයේ නිලධාරීන් යෙදවීමට ද සිදුවී ඇත්තේ ස්වයං විනයෙන් පිරිහුණු ජාතියක ලක්ෂණ නිසාවෙනි.
ජීවිත අවදානමේ ප්‍රමුඛ පෙළේ සිටිමින් තම රාජකාරිය දේවකාරිය ලෙස නොපිරිහෙළා ඉටු කරන සෞඛ්‍ය අංශ ද දැන් හැනිහැම්ම වී ඇත. ජනතාව රජයේ කිනම් තීරණයක් වුව ද විවේචනය කිරීමට රුසියෝය. සියලු දෙනාගේ හිත සුව පතා තීන්දු ගැනීම අපහසු කටයුත්තකි. එනිසා සුදුසු හා උචිතම ක්‍රියාමාර්ගය ගැනීමට රජය වග බලා ගත යුතුය. අප පැමිණ සිටින්නේ තීරණාත්මක අවස්ථාවකට බව කිවයුතු කරුණක් නොවේ.
කොවිඩ් එන්නත්කරණය සාර්ථකව ඉදිරියට ගියද රජයේ සංචරණ සීමා යම්තාක් සාර්ථකව ක්‍රියාත්මක වුවද වාර්තාගත කොවිඩ් මරණ සංඛ්‍යාවෙහි පහළ බැස්මක් නම් දක්නට නැත. සංචරණය සීමා හා නිරෝධායන නීතිය උල්ලංඝනය කර වීරයන් වීමට යම් පිරිසක් උත්සාහ දරයි. එයින් ඔවුන් ජනප්‍රියත්වයක් ලැබීම් අපේක්ෂා කරයි. වසංගතයේ තත්ත්වයෙන් මෙන්ම රජය එය වළක්වා ගැනීම සඳහා දරන වෑයම ජනතාවගේ සැලකිල්ලට ලක්වන බවක් නම් පෙනෙන්නට නැත. හොර පාරෙන් සිදුවන සංචරණ කොවිඩ් මාරයා අතින් අල්ලා ගෙට වද්දා ගැනීමකි. නීතියේ රැහැනින් රිංගා ගොස් රටේ නීතියට වැලි ගැසීම මහා උජාරුවක් සේ ඔවුන් දකිති. කොවිඩ් මර්දනයේ දී සැලකිල්ලට ගතයුතු කරුණු අතර සෞඛ්‍ය උපදේශන අකුරට පිළිපැදීම, එන්නත්කරණය හා සංචරණයෙන් හා ඒකරාශී වීමෙන් වැළකීම ප්‍රධාන තැනක් ගනී. මේනිසා වර්ධනය නොවී කොවිඩ් මර්දනය කර ගැනීමට ජනතාවට ඉඩක් ලැබෙයි.
මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් වැනසී යන කියමන කනට ඇසුනත් නොවඇසෙන්නාක් මෙන් ඉබාගතය ඇවිදින පිරිස් ද වෙයි. චීනය කොවිඩ් 19 වසංගතයේ මුල් ගොදුර වුව ද අද වන විට ස්වයං විනය නිසාවෙන් එම කොවිඩ් මාරයා පාලනය කළ රටක් වෙයි. තමා තුළ ස්වයං විනයක් ඇති කර ගනිමින් රජයේ නීතිරීතිවලට ගරු කරන්නේ නම් දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන් ප්‍රමාණය යම්තාක් දුරකට පාලනය කර ගැනීමට අපට හැකියාවක් පවතී. සති දෙකක් එනම් දින 14ක කාලයක් සෞඛ්‍ය නීති අකුරට ක්‍රියාත්මක කරන්නේ නම් කොවිඩ් මරණ මෙන්ම කොවිඩ් ආසාදිතයින්ගේ ප්‍රතිශතය බොහෝ සෙයින් අඩු කර ගැනීමට අපට හැකියාවක් ලැබෙයි. නමුදු ඉවසීමක් නොමැතිව නීතිරීති උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අංශ පීඩාකාරී තත්ත්වයන්ට ළඟා කරමින් වගකීම් විරහිතව හැසිරෙන පිරිස් නිසාවෙන් කොවිඩ් මර්දන ව්‍යාපෘතිය අසාර්ථකත්වයට පත් වෙන ලකුණු පෙනී යයි. රටෙහි වගකීම් සහගත පුරවැසියෙකු ලෙස පවත්නා කොවිඩ් නීතිරීතිවලට යටත්වී තම ආරක්ෂාව සහතික කර ගන්නේනම් පළවන, දෙවන රැල්ල මර්දනය කළ අපට තුන්වෙනි රැල්ල කජ්ජකි.

No comments:
Post a Comment