මිහිරි ලලිත - ළමා ගීය
ළමා ගී ස්වර
❤👱
සිංහල ගේය පදමාලා සාහිත්‍යය පෝෂණය කළ ළමා ගීත රාශියකි. එවැනි ගීත නිර්මාණය කිරීම වැඩිහිටියන් උදෙසා ගීත නිර්මාණය කරනවාට වඩා ඉතා අපහසු කටයුත්තකි. දරුවන්ට ගෝචරවන පරිදි දරුවන් ලවා හෝ වැඩිහිටි ගායක ගායිකාවන් මඟින් ගැයුණු ගීත රාශියක් නූතනයේ අපට අසන්නට දකින්නට පිළිවෙන. වැඩිහිටියන්ගේ ලෝකය පන්ති සමාජයේ බලලෝභීත්වය මුසු කර්කශ දුගඳ හමන ලෝකයකි. මේ ලෝකය පුරා පැවරී ඇත්තේ රාගය, ද්වේෂය, මෝහය පරයා යන තෘෂ්ණාවයි. මෙවැනි සමාජයක් මත රජයන්නේ ක්‍රෝධය, මාන්නය පමණයි. මීට සපුරාම වෙනස් ලෝකයක්, රමණීය ලෝකයක් නැවත අංශක එකසිය අසූවක් හැරී බැලුවොත් අපට ම දැක ගැනීමට අවස්ථාවක් පවතී. ඒ ළදරු හා ළමා ලෝකය යි. එහි රජයන්නේ අහිංසාව හා ප්‍රේමයේ සුවඳ පමණයි. ළදරුවාට තමා අන්අය හා අන්දේත් අතර වෙනසක් නැත. හිස් සුදු කඩදාසි වැනි හිත් තුළ සිත්තම් කරන්නේ කුමන හැඟීම්, අදහස් උදහස් ද යන්න තීරණය වනුයේ නිර්මාණකරුවාගේ ප්‍රතිභාව මතයි. එපමණක් නොවෙයි වැඩිහිටියන්ට ද කාල්පනික ළමා ලෝකයට පිවිසීමට මේ ළමා ගීත මගක් හෙළිකරයි.
හඳ පානේ වැලි තලා
සුර කුමරියො මල් සලා
මිහිරි ලලිත ගී ගයා
නටති මේ රැයේ...
බිළිඳු සිහිනයක් වාග් චිත්‍රනට යොදාගත් වචන මත ගැබ්වෙන ප්‍රාණය ළමා සිත පුබුදුවාලන්නේ ස්වභාව ධර්මය හා ළමා මනස ගැටගසමිනි. ධවල වර්ණයෙන් යුතු වැලිතලා මෙන්ම හඳපාන ද ඒ වර්ණයෙන් ම බබළයි. මුනින් නැමූ විසල් රන් පාත්‍රයෙන් කිරි දහර වැගිර දසත වසා පැතිර යන පරිද්දෙන් ලොව වසා ගලාගොස් සඳ පහන සුදු වැලිතලා මත පතිත වන කල්හි ඒ ලොව්තුරු දසුන් ළමා මනසට ආමන්ත්‍රණය කරන්නේ විචිත්‍රවත් සිතුවිලි සමුදායක් විකසිත කරමිනි. මේ දසුනෙන් කුල්මත් වන සුර කුමරියො මල් සලා වයමින්, මිහිරි ලලිත ගී ගයා නටන සුන්දරත්වය ළමා සිතක මැවෙන සිහිනයක විනා අන් කවර සිහිනයක හෝ තිබිය නොහේ.
කුමුදු සමන් පෙළ සැදී
සීතල සඳ රැස් වැදී
කොමළ සිනා පා ලෙළ දේ
සුවඳ විහිදුවා...
සඳ රැස් මැදට ගුලීවී තාලෙට සිනාසෙන කුමුදු සමන් මල් ළමා සිත චමත්කාරයට කැඳවන්නේ ආශ්චර්යයක් උද්වහනය කරමිනි. “සඳ කැළුමෙන් තෙමි තෙමී, සුර බිළිදෝ නැළැවෙති...” ලෙස යෙදීමෙන් සුර කුමාරියන්ගේ රැඟුම්, සඳරැස් නෑමෙන් හටගත් සිහිලසින් නිදිසුව විඳීම ළමා මනස කිති කවයි. මේ රාත්‍රිය නිසලය. සියලු හඬ නිහඬය. මෙබඳු රාත්‍රියක සියල් සිරිසර දිස්වන අන්දමට, ළමා ලොවට එබී බලා මෙන් පදබැඳි ගීයකි මෙය. කල්පනා යානාවක නැගී මෙබඳු ළමා ලෝකයකට මේ ගීය සමඟ වැඩිහිටියන්ට ද පියාසර කිරීමට නොමිලේ ගුවන් ටිකට් පතක් ලැබෙයි.
ළමා මනස නිසිපරිදි දැනහැඳිනගත් කුමාරතුංග මුනිදාස අතින් ලියැවුණු මේ ගීතය සංගීතවත් කොට ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේවයන්ය. ළමා ගීතයට වස්තු විෂය ලෙස දරුවාගේ මනසට කතා කළ හැකි වපසරියක පවතින වස්තු සංකලනය කරමින් පබැඳි මේ ගීය රිද්මය, ආකෘතිය මෙන්ම ධ්වනිය අතින්ද ළමා මනසට ප්‍රබල ලෙස ගෝචර වෙයි. තවද සරල භාෂා භාවිතය, අනුප්‍රාස රසය යොදා ගැනීම හා පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වින්දනාත්මක පාර්ශවයෙන් ඉහළ මෙම ගීතය ළමා මනසේ කුකුස බිඳ දැමීමට තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරන සුන්දර ප්‍රතිභාවක ආලෝක ධාරාවකි. මෙවැනි රසාස්වාදයකට නැඹුරුවන දරුවාගේ සිත දයානුකම්පිත වනවා නොඅනුමානයි.
යූ.ආර්.එස්.ඩී ප්‍රේමතිලක

No comments:
Post a Comment