Followers

Sunday, July 4, 2021

කොට ඉඹුලේ - කොටඹුලේ

 කොට ඉඹුලේ - කොටඹුලේ



වයඹ පළාතේ, පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක් නවාතැනකි මෙය...

ගත කුල්වන්වන සීත සුළඟය. දිය කඳුරු මෙන් වටපිටාව දැවෙන මනසට වත්කරන ක්ෂීර දියරයකි. ගැහැණියකගේ මදහස බැලුමන් මෙන් කෝමළ පිරි මුකුලිත පරිසරය. මුකුළු සිනාවය. එකිනෙකට උස් ව නගින ගස් කොළන්ය. නොමැළවුණ තිර ඇතිරිලි මෙන් ලියවැල්ය. සුමිහිරි ගී ගයන පක්ෂීන්ය. ගැමි තරුණියෙකුගේ මුව පියුම සරසන මදහස මැද අපේ ගමට පැමිණෙන අමුත්තන් පිළිගන්නා සිංහලකම සැඟව තිබෙන අපූරුව! ජීවිතවල යථාර්ථය, සතුට සහ ප්‍රීතියෙන් ගම සන්නද්ධ කරවයි. 

ගමේ බලය සුන්දර ළදුන් අත හිමි ය. ළදුන්ගේ අත් සවි ශක්තියෙන් හෙබි පුරුෂයන් අත හිමි ය. ගම්මානය මිනිසුන්ට ජීවත්වීම සඳහා පහසුකම්වලින් සමෘද්ධිමත් වෙමින් පවතී. පෙරද එහි තිබූ අඩුවක් නොවෙයි. ඉසුරුබර දිවියක සැමට උරුම නිවසකි මා උපන් ගම්පියස වූ  කොටඹුලේ. උරුමය ජීවිතය බවට පත්කරමින් පැරණි ඉතිහාසයට රසපිරි මාවතක් ගම්මානයෙන් එළිය දකී. ගම බත බුලතින් පමණක් නොව ගැමියන්ගේ අත මිටින් ද සරුය. මේ අපේ ගමය.

කෘෂිකර්මාන්තයෙන් තම බත සරිකර ගන්නා අහිංසක මිනිසුන්ගේ දාඩිය කඳුළු මඟින් කොටඹුලේ වැව් රැජිණිය පිරී ඉතිරී පවතී. ග්‍රාමනාමකරණයේ මුල් බිජු වපුරන්නේ ද ගම්මානයේ වැව් රැජිණිය යි. එය මෙසේයි,


පුරාණ අත්තා මුත්තා කථා අසන මනසට කාවැදුණු කතාන්දරයකි මෙය. ගම්මානයට වැවක් ඉදිකිරීමේ අවශ්‍යයතාව ඇති වෙත්ම එයට සුදුසු බිම් කොටසක් තෝරාගත් ගම්පියැස්සේ පිරිස් එයට තම ශ්‍රමය වැපිරූවේ සහයෝගීත්වය මුසුකරමිනි. එම පිරිසට ආහාර පාන ගෙනආවේ ඉහත කී සුන්දර ළදුන් ය. ආහාරය සඳහා සැකසූවේ ඉඹුල් කිරිබත් ය. ඒවා දිගින් අඩු වූ ආකාරය දුටු පමණින් එක් අයෙක් මෙය කොට ඉඹුලයක් නොවැ යැයි කියූ අසුරු සැනින් මේ වාක්‍ය කණ්ඩය ග්‍රාමනාමය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කළේය. කොට ඉඹූලේ ව්‍යවහාරය අවසානයේ කොටඹුලේ යන නාමයට පන දුන්බව පවතින කතාන්දරයයි. 


මේවන විට ගොවිතැන් කටයුුතු සියල්ලට ම පාහේ ජලය සපයන්නේ වැව් රැජිණිය යි. වැවට ඉහළින් ඇති රබර් යායත් වැවට පහළින් නිලට නිලේ එක යායට පැතිරෙන කෙත්වතු යායත් පෝෂණය ලබන්නේ කොටඹුලේ වැව් ජලයෙනි.


දශක ගණනාවක් තුළ නාගරීකරණයෙන් ජීවත්වන ජනතාවට යළි ගම පිළිබඳ අතීත ආවර්ජනයක යෙදීමේ කදිම තෝතැන්න මෙය වේ. නව පරපුරේ දරු දැරියන්ට ගම පිළිබඳ ව හැදෑරිය හැකිය. සරසවිය ද මෙය වනු ඇත. විදේශිකයන්ට චිරාත් කාලයක සිට පැවති ශ්‍රී ලාංකීය ගම පිළිබඳ ව අත්පොත ද මෙය වනු ඇත. මේ අපේ ගමයි. එපමණක් නොව  ලංකාවට පැමිණෙන ඕනෑම විදේශිකයින්ට එය නරඹා සතුටු විය හැකිය. ගම තුළ සියලු පහසුකම් ඇතුළත් ය. වසරේ දින 365ම ගම අප සමඟ අතුල් වන්නේ ඇගේ සාම්ප්‍රදායිකත්වය රැකගනිමිනි. එසේම මෙවන් කාලයක එක් ජන පවුලක් හෝ කුස ගින්නේ නොතබා කොස්, දෙල්, පොළොස් පිළිගැන්වූ ඇය කිසිදිනක ඔබව අමතක නොකරන බව මාගේ අදහසයි. ඇය ඔබව පිළිගැනීමට සැදී පැහැදී සිටි.


සඳ එළිය පමණක් නොව වැසි වතුර වැටෙන ශබ්දය ද විඳීමට අවැසි සොදුරු තෝතැන්න මේ ගම්පියසයි. එපමණක් නොවේ ගල් මුල් මැද නග්න දෙපා සමගින් පියවර මැනිය හැකිය. සුන්දරත්වය සහ සෞන්දර්ත්වයද එහි ඇත. රස වින්දනය ඇරඹීම සඳහා එය කදිම තෝතැන්නකි. 


No comments: