එරික් ඉලයප්ආරච්චිගේ 2020 ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ විශිෂ්ටම නවකතාව ‘පේත’ පිළිබඳ විචාරය සටහන් කිරීම මේ ලිපියේ අරමුණයි.

සාකච්ඡා, සමුළු, කටඋත්තර, ඡායාරූප, කෙටි නාට්‍ය, කෙටිකතා, දින සටහන් මතින් දිවෙන මේ කෙටි නවකතාව අඳුරු අගාදයක සිරවී එළියක් සොයමින් අන්ධකාරයේ භයභිරාන්විතව සිටිනා සමාජ කොටසක ප්‍රතිබිම්භයයි. පේත නවකතාව , රතු පළස නවකතාවේ දිගුවක් ලෙස විමසිය හැකි කෘතියකි. රතු පළස යනු 70 දශකයේ මැද භාගයේ සිට ‘ජනතා විමුක්ති දේශපාලනයේ’ ඓතිහාසික ගමන් මඟ, තියුණු කලාත්මක සංකල්ප රූප පද්ධතියකට හසු කර ගන්නා, හුදු ඓතිහාසිකකරණයේ සීමා මායිම් සිඳුරු කරන නවකතාවකි. එය කතුවරයා විසින් සිදු කරනුයේ හුදු ‘ඓතිහාසිකකරණය’ වෙනුවට, ඓතිහාසික භෞතිකවාදී මාවතකට පිවිසෙමිනි. ජීවමාන චරිතයන් පරයා ක්‍රියා කරන්නා වූ මහජන මත, හෘදසාක්ෂීය මෙයින් පණ ලබයි. ඒ අනුව අඛණ්ඩව ගලායන ඉතිහාසයක් වෙනුවට නවකතාව තුළ අපට හමු වනුයේ, ‘නවකතාව - සැබෑ ලෝකය - නවකතාව’ ලෙස යළි ඒ වෙතටම ගමන්ගත වන චක්‍රාකාර වලයක ඉතිහාසයකි.රතු පළස නවකතාව මඟින් කතුවරයා, උතුරේ පීඩිත ජාතීන්ගේ අරගලයේ පැවැත්ම ද, දකුණේ වාමාංශයේ පීඩිත දෙමළ ජනයාගේ නිදහස පිිළිබඳ ගැටලූව ද ස්ථානගත වී ඇති ආකාරය කලාත්මක අක්ෂියෙන් ග්‍රහණය කරගෙන ඇති බව නොරහසකි.
‘පේත’ නවකතාවට මූලික ජවනිකාව සපයන්නේ විප්ලවකාරී සමාජීය මොහොතක් මත, ‘මහිමගොඩැල්ල’ නම් වන නගරයක, පැරණි සෝල්දර කඩයට රැස්වෙන මානව හිමිකම් විමර්ශක කණ්ඩායමකගේ රැස්වීමකිනි. පිරිස රැස්වීමේ අරමුණ ‘තිස් අවුරුදු යුද්ධයෙන් පසු ජාතීන් අතර සංහිඳියාව’ අරබයා වාර්තාවක් සකස් කිරීමය. ඒ සඳහා මෙවැනි තේ කඩයක් තෝරාගෙන ඇත්තේ එම කඩය දෙමළ විමුක්ති කොටි සංවිධානයේ සන්නද්ධ නායිකාවකව සිටි ‘තේවානි’ නම් ගරිල්ලා සටන්කාරිනිය, පිළිකා රෝගයකින් ඔප්පළව, සිය අවසන් දවස් ගත කළ ස්ථානය එම කඩය වීමේ සමාජීය වැදගත්කමිනි. පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයේ ස්වරූපය විටෙක “පුංචි සුරංගනාවි” චිත්‍රපටයේ දර්ශන තලයන්ද රසික මනසට එන්නත් කරයි.
මේ මොහෙත මත විමුක්තිවාදීන් හා විමුක්ති සංවිධාන මිය ගොස්, දේශපාලනය වෙනුවට, ‘පශ්චාත් මරණ පරීක්ෂණ දේශපාලනය’ රට වසා ගනිමින් ක්‍රියාත්මක වන මොහොතයි. මුල් පිටපත වෙනුවට කොපි කෘතිකරණය නිෂ්පාදනය වන අවධියයි. නිෂ්පාදනය වෙනුවට ප්‍රතිනිෂ්පාදනය ආදේශ වූ අවධියයි. එය නවකතාව ඔස්සේ කලාත්මක චින්තාවක දවටමින් රසිකයා වෙත සම්ප්‍රේෂණය කරන සම්ප්‍රේෂනාගාරය වන්නේ පේත කතු ඉලයප්ආරච්චියි.
“ කාගෙදො විප්ලවයක් ජයගෙන ඇත. රජවරුන්, ජනාධිපතිවරුන්, අගමැතිවරුන් හා පියවරුන් බලයෙන් පහ වී ඇත. ඔවුන්ගේ හිස් ගසා දමන ඝෝෂාවත් ගිලටීනයේ මුවහත් තලය දඩස් ගා බිමට වැටෙන හඬත් ඇසේ ”
-පේත- 97 පිටුව-
සෝදා පාලුවට යන, ඛාදනයට ලක්වන පසු නූතන සමාජ මොහොතට කතුවරයා විසින් අභිමුඛ කරනුයේ ලංකාවේ මෙතෙක් පැවති බරපතළම විමුක්ති කතිකාවන් තුනකි. එනම් සමසමාජ, ජනතා විමුක්ති හා දෙමළ විමුක්ති කතිකාවන් තුනයි. නවකතාව මත මානව අයිතිවාසිකම් විමර්ශන කණ්ඩායම නවාතැන්ගෙන සිටින සොල්දර කඩය, මේ දේශපාලන සංදර්භ තුනටම අතීතයේ දී හා වර්තමානයේ දී රැකවරනය ලබාදුන් ස්ථානයකි. තේ කඩයේ අයිතිකරු වු ‘පියසිරි’ගේ පියා සමසමාජයට ද, පියසිරි 70 දශකයේ ජනතා විමුක්ති පෙරමුණටද, පුතා වන සාලිය අධ්‍යතන වාමාංශය දඇඳුනෝ වෙති.
“කුලසිරිගේ කට උත්තරය අනුව සාලිය අනෙක් මහල්ලාගේ එකම සොයුරියගේ එකම පුතාය. එනමුත් ජයසිරි නම් මහල්ලාට අනුව සාලිය ඔහුගේ ඥාති පුතා නොව, මුනුබුරා වන අතර ඒ තරුණයා විසින් ද ජයසිරි මහල්ලා අමතනු ලබන්නේ මාමා කියා නොව සීයා කියාය.”
-21 පිටුව -
නවකතාවේ සිදුවීම් ජාලාවට අනුව හිටපු නායිකාව ‘තේවානී’ පුත්තලමේ දි ‘සේගු ඉසදීන්’ නම් මුස්ලිම් ජාතිකයා සමඟ විවාහ වීමේ සිදුවීම, මේ නවකතාවේ පළමු අර්ධය වූ ‘රතු පළස’ කෘතියෙ දී අපට මුණ ගැසේ. තේවානී හා ඉසබීන්ගේ දියණිය වූ ‘ඇපලෝනියා’ නමින් චරිත පේත නවකතාවට ඈඳා ගන්නා කතුවරයා, ඇය සහ සාලිය අතර වන ‘ස්ත්‍රී- පුරුෂ සම්බන්ධය’ තුළ පසු නුතන වාමාංශයේ ‘ශූද්ධ වූ පවුල’ සොයා ගනී. කුටුම්භයකට එහා ගිය ආධ්‍යාත්මික පරාමිතීන් වෙනත් කෝදුවක් උපයෝගී කරගනිමින් ස්පර්ශ කිරීමට නවකතාව මත සංදර්භය දිග හැරෙයි. එය නිසැකවම සිංහල - බෞද්ධ පවුල නොව, ‘හින්දු - මුස්ලිම් - සිංහල- දෙමළ බෞද්ධ - යුදෙව් - ක්‍රිස්‍තියානි’ මිනිස් පවුලයි. එහි ඇත්තේ මුසු වීමයි. මුසුවීමෙන් නැගෙන නැවුම් කුටුම්භ සංස්කෘතියේ බදාමයයි. නවකතාව අවසානයට ‘ඇපලෝනියා’ සහ ‘සාලිය’ අතර එළිමහන් වෙරළේ සිදුවන සංසර්ගයක් නිර්මාණය කරන කතුවරයා විටෙක සිහියට පිටස්තරයා (THE OUTSIDER) කෘතියද කැදවයි. මෙකී සම්ප්‍රදායන් තුන එකිනෙක මත අනවරතයෙන් පිහිටයි.
“ඔහු තමා වෙත දිව එන කාමුක ගැහැනු අවතාරයට ඉඩ දුන්නේ, හුදකලා තෙත් බිමක රමණයෙහි යෙදෙන්නට ලත් අවස්ථාව පැහැර නොහරින උපන්ගෙයි සල්ලාලයෙකු ලෙසිනි.”
- 111 පිටුව-
මේ නව ‘හින්දු - මුස්ලිම් - සිංහල- දෙමළ බෞද්ධ - යුදෙව් - ක්‍රිස්තියානි’ සර්ව සම්පූර්ණ මිශ්‍ර පවුලේ ලිංගික ක්‍රමවේදය පැරණි ශූද්ධ වූ පවුලේ ලිංගික ක්‍රමවේදය උඩු යටිකුරු කර නව රැඩිකල් සමාජයීය පවුලක ලිංගිකක්‍රමවේදයක් නිරිමාණය කිරීමේ ගමනක මුල් පියවරයි. සර්ව සම්පූර්ණ මිශ්‍ර ලිංගික ක්‍රමවේදය නවකතාව තුළ මීට කලින් අපට හමුවනුයේ, මෙහි පළමු අර්ධය වන ‘රතු පළස’ නවකතාවේ කුලසිරි, තේවානි සොයා මන්නාරම් ගිය පසු දිගහැරෙන ජවනිකාවේය.
සිංහල ගරිල්ලා සටන්කරුවා වූ ‘කුලසිරි’ හා දමිළ විමුක්ති සටන්කාමිනිය වූ ‘තේවානි’ අතර එහිදී ඇතිවන ලිංගික සංසර්ගය ද මෙවැනිම ලෞකික, රැඩිකල්, සර්ව සම්පූර්ණ මිශ්‍ර ලිංගික ක්‍රිමවේදයක් බව මෙහිදී පාඨකයාට මතක් වනුයේ නිතැතිනි.
“ ඉර එළිය වැටී පිල්ලෑව රන් පාටට ආලෝකවත් වී අවතාර නොපෙනී ගිය පසු ජයසිරිට නැවතත් කල්පනාවක් පහළ විය. එය බොහෝ තියුණු කල්පනාවකි. අවතාර නොමැති ලෝකයක් තුළ ජීවත් වීමේ ගැටලූට ඔහු මුහුණ දී සිටියේය. ඔහු සෙමින් සෙමින් ගඟ දෙසට ඉක්මන් පියවර මැන්නේය. සැඩ පහරක් වී ගලායන ගං ඉවුරේ දවස ගත කළ ඔහු ? බෝ වූ විට නැවත පිල්ලෑවට පැමිණියේ පෙරදා දුටු අවතාර දෙක දකින වුවමනාවෙනි.”
- 112 පිටුව-
මළවුන් නිසි ගෞරවාර්ථයෙන් භූමදානය නොකළ විට ජීවත් වන වුන් මත අවතාර වේශයෙන් බලපවත්වන්නේ යැයි පුරාමතයක්, රූපකයක් වෙයි. ඇන්ටිගනී ග්‍රීක නාට්‍යයේ ද ඒ අවස්ථාව ඉස්මතු කර පෙන්වන්නේ තම සොයුරාගේ අවසන් කටයුතු නිසි ආකාරයෙන් ඉටුකිරීමට ඇන්ටිගනී දරන ප්‍රයත්නයෙනි. මෙහිදී ද ජයසිරි දකින අවතාරය සමසමාජ පක්ෂය 1964 දී ඉල්ලීම් 21 පාවාදී සභාගයට ගිය තැන ෆැක්ටරිය අතහැර යාපනයේ ගිය දෙමළ කම්කරු නායකයා රාජුගේය. මෙසේ අදෘශ්‍යමාන අවස්ථා ප්‍රතිනිර්මාණය කිරීම නිසා කතා සංදර්භය විටෙක තද ස්වරූපයක් උසුලයි. ගර්ෂියා මාර්ගේස්ගේ සියක්වසක හුදකලාව කෘතිය මඟින්ද මෙවැනි ම අවස්ථාවක් ස්පුථ වෙයි. මේ සිද්ධිය කියවන් යන රසියකාට සියක්වසක හුදකලාව කෘතියේ මේ හා සමාන අවස්ථාව සිහියට නැගෙන්නේ නිරුත්සාහිකවමය.
ලාංකේය ‘සිංහල වාමාංශය’ නිදහස් විය යුතු, වරදසහගත හෘද සාක්ෂ්‍යයන් දෙකක් වෙයි. එනම් පීඩිත ජාතීන්ගේ අරගලය මත හරියට හිට නොගැනීමෙන් උපන්වරද සහගත භාවය හා තීරණාත්මක අවස්ථාවේ දී කම්කරු අභිලාශයන් පාවා දීමෙන් උපන් වරද සහගත හෘද සාක්ෂියයි. ජයසිරි දකින අවතාරය මේ වරදසහගත හෘද සාක්ෂියේ නාටකීය ප්‍රාදුර්භූතයයි.
“ඒ ගැහැනු අවතාරය හමුවන්නට තවත් අවතාරයක් පිල්ලෑවට පැමිණ සිටියේය. එය තරුණ පිරිමි අවතාරයක් විය. ඔවුන්ගේ හමුවීම දෙස ඊර්ෂියාවෙන් බලා සිටි ජයසිරි දෙඩවිල්ල පටන් ගත්තේය.
‘ඒ අවතාරය මගේ මැරිච්ච අක්කගේ, අනෙක් අවතාරය රබර් ෆැක්ටරියේ දෙමළ යුනියන් ලීඩර්ගේ”
- 112 පිටුව
නවකතාවේ පසුබිම් අර්ථ, පාඨකයා හා කෘතිය මුහුණට මුහුණ ලෑමෙන් ගොඩනැගෙන චිත්ත රූප සමුදායක් අතර පාඨකයෙකු විසින් සොයාගත යුත්තකි.
නවකතාව පුරාවටස එක සේ ඇසෙන්නේ ‘නාදයක් නොව අනුනාදයක් පමණි.’ ‘සැමුවෙල් බෙකට්ගේ’ ‘ගොඩෝ එනකම්’ නාට්‍යය අරඹයා එක් විචාරකයෙකු කී පරදි ‘එහි ඇත්තේ චලනයක් නොව, පුනර්වාචකයක් පමණි.’ අපේ යුගයේ කලාවේ නව රූපය විය හැක්කේ එයයි. කතුවරයාගේ ‘රතු පළස’ නවකතාව ‘ජනතා විමුක්ති කතිකාව’ සංස්ථාපිතව පැවැති 70 දශකයේ අත්දැකීමේ කලාත්මක ඉදිරිපත් කරන අතරම ‘පේත’ එම විමුක්ති කකාවතේ නිශේධය වීම සටහන වූ අපගේ යුගය පිළිබඳ කලාත්මක කතිකාවකි. නවකතාව මතින් ඇදී යන චරිතවලට පණ පොවන්නේ නූතන සමාජ සංදර්භයේ රූපඩ වූ අපමය. එය කලාත්මක අක්ෂියෙන් ග්‍රහණය කරගන්නේ සුළු තරයක් වීමම අභාග්‍යයකි.
නවකතාවේ කථන කෝණය උත්තම පුරුෂ හා ප්‍රථම පුරුෂ ලෙස මාරු කරමින්, පෙර සඳහන් කළ පරිදි සාක්ෂි සටහන්, පුවත්පත් තීරු ලිපිවලින් නවකතාව ස්වකීය ආකෘතිය ගෙඩනඟා ගනියිි. නවකතාවේ ආකෘතිය ක්‍රමානුකූලව ගොඩනැංවීමට කතාකරු යොදාගත් ප්‍රයෝගය සාර්ථකය. නවකතාව ලෙස අපට ඉදිරිපත් වනුයේ පුද්ගල දෘෂ්ටිකෝණ, සාක්ෂි සටහන් හා ස්වයං ලේඛන සමූහයකි. එවිට නව කතාවේ ‘වෛෂයිකත්වය’ යනු පූර්වයෙන් පැවති දෙයක් නොව, අප විසින් ගොඩනඟාගත යුත්තක් ලෙස ඉතිරි වේ.
සරුව පිත්තල නවකතා රැල්ලෙන් වෙන්වී විශාල ජල කදක් උසුලමින් ගොඩ ගැසූ කෘතියකි පේත. එහි යටි පෙළ කලාත්මකව මතු කරන්නේ බිහිසුණු ව්‍යාකූල තත්වයේ ගිලුණු සමාජයක සමාජ-දේශපාලනික ගූඪත්වයයි. මෙරට වාමාංශයේ විවිධ මුහුණුවර හැටියට අපේ සමාජ-දේශපාලනික ඉතිහාසය තුළ බරපතළ වෙනස්කම් රාශියක් සිදුවීම හා එහි ප්‍රතිඵල වශයෙන් ලද් යම් යම් දෑ නූතන මිනිසා ද අත්විදී. ඓතිහාසික ජීවිතයට පසු එම ඉතිහාසයේ අග්ගිස්සේ පේත ස්වරූපයකින් එල්ලී සිටින චරිත සහිත සමාජයක් පිළිඹිඹු කිරීමෙන් නූතනයට ප්‍රථම අතීතයේ කල්කිරියාව පෙරා වෙන්කර ගැනීමට රසිකයාට අවකාශයක් සෑදෙයි. නූතන මිනිසා විදින සරල සැහැල්ලු ලිබරල් ජීවිතයට දරා ගන්න බැරි තරමේ විශාල මිනිස් පරිමාවක් ඇති චරිත පේත නවකතාවේ සංදර්භය පෝෂණය කරයි. එපමණක් නොව සමාජය දේශපාලන පුපුරා යාම්වලින් තැතිගත් විසම සමාජයක පරාමිතීන් එල්ල කර ගනිමින් සිද්ධී හා අවස්ථා නිරූපණය කිරීම පේත නවකතාවේ විශිෂ්ටත්වයට එක් හේතු කාරණයකි.
පිළිකා රෝගයෙන් බරපතළ ලෙස ගිලන් වී සිටි තේවානි නම් ත්‍රස්තවාදී සාමාජිකාවකට යුද්ධය නිමා වීමෙන් පසුව සිංහල තේ කඩයක සොල්දරයේ ඇගේ මරණය දක්වා රැකවරණය ලබාදීම නවකතාව පුපුරා හැරීමේ ගිණි පුළිඟුවයි. සතුරා සතුරෙකු ලෙසම තුන්කල් දැකීමේ කෝණයෙන් දුරස් වී ඉන් වෙනත් පරාමිතියක් ස්පර්ශ කිරීමට නවකතාකරු මඟ සකසා ගනී. මෙම සිද්ධියට සම්බන්ද දස දෙනෙකුගේ කටඋත්තර ලබා ගැනීමට පැමිණීම මුල්ම සිදුවීමයි. කුකුස දනවමින් නවකතාව මතින් තේවානිගේ චරිතය මතු කරයි. ඇය මියගියේ පිළිකා රෝගයෙනි. නමුදු ඇය ස්වාභාවික මරණයකට අකැමැතිබව කතාව පුරා මතු වීමට නිර්මාණකරු වගබලා ගනී.
ඇය සයිනයිඩ් කා ගෞරවණීය දේශපාලන මරණයක් ලබා ගත්තාද යන උභතෝකෝටික ප්‍රශ්නය මතු වීමට ඉඩහැර රසිකයාට එය භාරකර කතුවරයා ඉවත්වී යයි. ඇයගේ බලාපොරොත්තුව සපල කර ගත්තා නම් ඇයට සයිනයිඩ් ලබා දුන්නේ කවරෙක්ද? මෙම තත්ත්වය තවත් සංකීර්ණ වෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වරදක් වෙනුවෙන් පොලිසිය ලබාගත් ඒ කටඋත්තර විශේෂ අවසරයක් පිට කියවමින් ඒවා ඇසුරෙන් නිගමන මතට එළඹෙන විශේෂ පිරිසක් සිටි නිසාය. තවත් උපක්‍රමයක් ලෙස ඔවුන් ඒ සිද්ධිය නිරූපණය වන කෙටි නාට්‍යය කිහිපයක් රඟදක්ව බැලිමට යොමුවෙයි. සැබෑ සිද්ධියේ විවිධ විවිධ මානයක් මතුකරන්නේ මෙම නාට්‍යය යි. පේත නවකතාවේ නිරූපණය වන්නේ බරපතළ හායනයකට ලක්වුණු සමාජයක නිරුවතයි.
අජිත් තිලකසේන වැනි ලේඛකයන් ලෙස තමාගේ සාහිත්‍යය අන්තර්ගතයට විශේෂ භාෂාමය හැඩයක් ලබාදීම පේත නවකතාවෙන්ද මතුවෙන වැදගත් සලකුණකි. තේමාත්මක හා නිරූපණාත්මක සිතුවම් ප්‍රතිනිර්මාණය කිරීමට එමඟින් ඉඩ හසර මතුවීම තවත් විශේෂත්වයකි. ‘පේත’ වියමනේ ආකෘතිය කතුවරයා ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්නේ කතා කිහිපයක් සමාන්තර ලෙස කියාපෑමටය. ෆෙඩ්‍රික් ජේම්සන්ස් නිවැරදිව පෙන්වා දෙන පරිදි ප්‍රබන්ධය ඥාන විභාගාත්මක ප්‍රභේදයක් වේ. ඒ ඇසුරින් පේත විමසීමේදී මෙහි අන්තර්ගතයත් මේ හා සමගාමීව දිවයයි.
ගොගොල්ගේ ‘මළ මිනිස්සු’ නවකතාවේ එන විචිකොප්ගේ චරිතයේ අරමුණ දොස්ටොයෙව්ස්කිගේ ‘අපරාධය හා දඬුවම’ නවකතාවේ එන රස්කොල්නිකොව්ගේ චරිතයේ අරමුණ පේත නවකතාවේ ප්‍රධාන චරිතයේ අරමුණු හා සහසම්බන්ධයක් දක්වයි. පේත මත ඇත්තේ නව ප්‍රබන්ධයේ ඇති සංකීර්ණ ඥන විභාගාත්මක රූපයයි. ඇන්ටන් චෙකොව්ගේ කෙටිකතාවේදී ද මෙම අලුත් වෙනස ඇතුළත්ව ඇති ආකාර විමර්ශනය කිරීමට පිළිවෙන. රූපකාර්ථවත් බසක් ද, නව සිංහලයේ පෝෂණයක් ද සිදු කරමින් රචිත ‘‘පේත” නවකතාව ලාංකේය ජන ජීවිතයේ වර්තමාන රූපය පිළිබඳ සංස්කෘතික කැඩපතක් ලෙස පාඨකයා ඉදිරියේ තබන්නේ මායායථාර්ථවාදී ලක්ෂණයන්ද මුසුකරමිනි.
පේත යනු තිලෝකුඞ්ඪ සූත්‍ර අනුව මියගිය සියලූ දෙනා ය. පේතවත්ථු යනුවෙන් බුද්දක නිකායට අයත් කෘතියෙහි සඳහන් වන්නේ මරණෙන් මතු පේත හෙවත් පහත් ආත්මයන් ලැබූවන්ගේ කතා පුවත් ය. පේත නවකතාව ඒ එක්තරා පේත කොට්ඨාශයක් පිළිබඳ රූපකයකි. වෙනස නම් මේ පේත කොට්ඨාශය නොමළවුන් වීමය. මායා යථාර්ථවාදයත් සමඟ මුසුකරමින් නිර්මාණය කරන ලද පේත කෘතිය මඟින් රසිකයා තුළ ඇතිකරන්නේ වින්දනාත්මක ප්‍රහර්ශයකි. නවකතාවක තිබිය යුතු යැයි සලකන බොහෝ සාධනීය ලක්ෂණ සමන්විත පේත නවකතාව තුළ නිරූපිත සිද්ධි හා චරිත සැබෑ පේත ලෝකය තුළ සිදු වන නිශ්චිත භව දඩුවමකට වඩා ම්ලේච්ඡු වන්නේ කෙසේ ද යන්න සිද්ධියෙන් සිද්ධිය නිරූපණය කරන්නේ නවතම පේත ලෝකයක් ඇත්තේ ය යන්න ප්‍රත්‍යක්ෂ කරන්නාක් මෙනි.
වස්තු, බල, අතීත, ජාති ආදී කාමයන්ගෙන් විකෘති වූ නූතන ජන විඥානය සැබෑ ලෙසම අත වනන්නේ පේත අපාය අනාගත සමාජ භවයට පළමුව වර්තමාන සමාජ භවය තුළ ස්ථාපිත කර තැබීමට ය. කතාවේ සාරය මිනීමැරුමක් පිළිබඳ පර්යේෂණයක් වූවද එහි නිරූපණය වන්නේ මනුෂත්වය හා ජීවත්වීම පිළිබඳ පශ්චාත් යුද පරීක්ෂණයකි. වෙනත් ආකාරයකින් ගතහොත් ජීවිත පර්යේෂණයකි. යුද්ධයේදී නොතිබුණු ජාතිවාදය යුද්ධයෙන් පසු නඩත්තු කෙරෙන ආකාරය සහ එය තවදුරටත් පේතකත්වයෙන් කුම්භාණ්ඩකරණය දක්වා පරිනාමය කරන ආකාරය එරික් ඉලයප්ආරච්චි තම කතා සන්දර්භය තුළ රූපණය කරයි. දෙමළ මිනිසුන් තේරුම් නොගත් යථාර්ථයක් ද ලංකා සමාජය තුළ පැවති බව පේත කතාව ඉඟි කරයි. සාලිය සහ ඇපලෝනියා නම් දෙමළ හෙදිය සමග ඇති වන අලූත් සම්බන්ධය ද ඊට සාක්ෂියක් වේ.
පේත කතාව තුළ උපහාසයට ලක්වන කරුණක් වන්නේ වට මේසයට රැස්වුණු බුද්ධි මණ්ඩලය යි. මෙරට බොහෝ වට මේසවලට වටවන බුද්ධි මණ්ඩලවල ස්වභාවය කාටූන රූපයෙන් ගෙනෙන එරික් ඉලයප්ආරච්චි ඔවුන්ගේ බුද්ධිමය බංකොලොත්භාවය උත්ප්‍රාසාත්මකව නිරූපණය කරයි. සහරාන්ගේ පහරදීමට එරෙහිව නූතනය දක්වා ඇදෙන බුද්ධි මණ්ඩලද මේ අස්සෙන් එබී නූතනයට සිනාසෙයි.පේතයන් පිරිසක් වටවී තවත් පේතයන් රොත්තක් විමසන පේත මණ්ඩලයක සමුළුවකින් පේත බවෙන් ගොඩගැනීමේ මාර්ගයක් සෙවීම ඇත්තෙන්ම සදය උපහාසයකට ලක් කිරීම ප්‍රමාණවත් නොවෙයි. පේත නවකතාවෙන් ගෙනෙන යථාර්ථය එයමය. දේශපාලන නළුව, ජාතික නළුව, සංහිඳියා නළුව ආදී නාටක පෙළක් ද මෙම නවකතාව මඟින් රසිකයාට රඟ දක්වා පෙන්වයි. සැබෑ දේශපාලනය හඳුනන පිරිස් මෙය ඉස් මුදුනින් පිළිගැනීමට යොමුවෙයි.
රටක සංවර්ධනය මැනීමේ නව ලිබරල්වාදී දර්ශකයන්හි නැවතීම, මන්දගාමී ස්වරූපය මෙන්ම එහි අඩපණ වූ ස්වරූපය පේත කතාවේ ධ්වනි මඟින් ඉස්මතු කර පෙන්වයි. පේත කතාවේ අවසානය පාඨකයාගේ විදර්ශනාත්මක දෘෂ්ටිය ශක්තිමත් කිරීමට සමත් වෙයි. කුලසිරිගේ මරණය හෙට කවරෙකුගේ මරණය විය හැකිද යන ගැඹුරු සමාජ ප්‍රශ්නය මතු කිරීමට සමත්කම් දක්වයි. කුලසිරි දිනා ගත් දෙය කොතෙක් දුරට යහ පැවැත්මක් උදෙසා නූතනයට ආදේශ කරගනීද යන්න පිළිබඳව ඇත්තේ කුකුසකි. ඒ කුකුස රසිකයා මතට අත්හරී. අතීතයෙන් නූතනයට සම්ප්‍රේෂණය වන යම් යම් දෑ පිළිබඳ ඉඟනළු සපයන පේත 2020 වර්ෂයේ නූතන අවකාශය පුළුල් කරන අපූර්ව රචනයකි. මෙහි සාරය උකහා ගැනීමටනම් දේශපාලනේ දුර්ගන්ධිත අතීතයත් ඒ මතින්ම ජීවත් වන නූතන දේශපාලනයේ හැඩයත් පිළිබඳව යම් අවබෝධයක් තිබිය යුතුය. එවිට නවකතාකරු කතාවේ පිටු අතර ජීවත් කරන චරිත කියා පෑමට සූදානම් වන ගඳ ගහන අතීතයේ හා ඒ සාරයම උරා බොන අනාගත හුපු දේශපාලනයේ බෑගිරියාව වටහා ගැනීමට පිළිවෙන. අතීතයේ බැඳි රැහැන් පටවල් බුරුල් වී නූතනය ගැලවී යන ආකාරය වක්‍රව මතු කරමින් පේත පෙන්වීමට උත්සාහ දරන්නේ අපට අල්ලා ගැනීමට නොහැකි වූ පුහු සමාජ සංස්ථාවේ හිස් ස්වරූපයයි.