Followers

Wednesday, June 30, 2021

නිලාර් එන්. කාසිම්

  නිලාර් එන්. කාසිම්



 රසික හදවත් සනසාලන්නට ගීත පන්සීයකට අධික ප්‍රමාණයක් රචනා කරන මොහු නමින් නිලාර් එන්. කාසිම්. ලතා වල්පොල, මාලනී බුලත්සිංහල, සුනිල් එදිරිසිංහ, මිල්ටන් මල්ලවආරච්චි, අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජනි, එඩ්වඩ් ජයකොඩි, භාතිය-සන්තුෂ්, චාමික සිරිමාන්න, අජිත් බණ්ඩාර වැනි ගායක ගායිකාවන් නිලාර් එන්. කාසිම් ගේ වචනවලට ඔවුන්ගේ හඬින් පණ දුන්හ.

 නූතනයේ මෙතරම් ජනප්‍රිය මොහු, මෙවැනි ස්ථරයකට පැමිණීමට පද රචනා ලියමින් ගායක ගායිකාවන්ට තැපැල් කළත් කවුරුන් හෝ ඒ පද රචනා සින්දු විදිහට බාර ගත්තේ නැත. 

මේ අතර ඛේමසිරි මාස්ටර්ගේ නිවසට පැමිණි මාලනි බුලත්සිංහල දැක්වූ පරිදි නිලාර් එන්. කාසිම් ගේ ගීතයක් රඹුකන හිමි කැසට් පටයකට තෝරාගෙන තිබුණි. මේ ඔහුගේ හැරවුම් ලක්ෂයයි. ගංගාරාමයට ගොස් උන්වහන්සේ මුණගැසුනු නිලාර් එන්. කාසිම් මේ පිළිබඳ අදහස් දැනගැනීමට උත්සුක විය. සුසුමක රාවය යන මාලනීගේ කැසට් පටයට සමනලයින් රොදක් නිල් ගොයමට යන නිලාර්ගේ ගීතය තෝරා ගෙන තිබුණි. 

ඔහුගේ සම්පූර්ණ නම මොහොමඩ් කාසිම් නිල් රුල් නිලාර් විය. රසික හදවතට ආමන්ත්‍රණය කළ හැකි ආකාරයට ඔහුගේ නම රඹුකන හිමියන් විසින් නිලාර් එන්. කාසිම් ලෙස සකස් කරනු ලැබුවේ උන්වහන්සේ විසිනි. මේ කාල වකවානුව ඇතුළත ජැක්ෂන් ඇන්තනී, ලූෂන්, මාලනි වැනි ප්‍රභූන්ගේ ඇසුර නිසාම දඬුබස්නාමානය ආදී සංගීත වැඩසටහන්වලට සම්බන්ධ වීමට මොහුට අවස්ථාවක් හිමි විය. සිරි සගබොදි මලිගවෙ දි වැනි ගීත කෙරෙන් රැප් සංගීතය ලාංකේය සමාජයට ඔබින ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට නිලාර් එන් කාසිම්ට හැකියාවක් ලැබිණි.

 මොහුව සිංහල සංගීත අල්තාරයට පෑයූ සඳක් ලෙස හඳුන්වා දීමට මැලිවිය යුතු නොහේ. මහාචාර්ය සුනිල් ආරියරත්න, ඔහු ගීත ගෝවින්දය සුඛනම්‍ය ලෙස හැසිරවූ ගීත රචකයෙකු ලෙස හඳුන්වා දී තිබෙන්නේ පද රචනා මතින් පෙන්නුම් කරන හැකියාවන් නිසා ම විය යුතුය. චිත්‍රපට ගීත පනහකට(50) ආසන්න සංඛ්‍යාවක් රචනා කරන මොහු ආසයි මං පියාඹන්න, සුවඳ දැනුණා ජීවිතේ, රෝස කැලේ, ආදරණීය කතාවක් වැනි ජනප්‍රිය චිත්‍රපටවලට තම හැකියාව පදවැල් මගින් මුසුකරන්නට විය. එපමණක් නොවේ නූතනයේ පවා ප්‍රේක්ෂකයා ආදරෙන් වැළඳ ගන්නා හිත මනමාලකම් කරයි, ඔබ ගියාම දුක මට දී, කිරි කෝඩු හිතට, උන්මාදනී හැංගුනා, මීඳුම උතුරන සදපානේ, රන් කුරහන් මල සේ වැනි ගීත රාශියක් රසිකයා වෙත සමීප කිරීමට ඔහු සමතෙක් විය. ප්‍රේමයෙන් ආතුර වීම පමණක් නොවේ, එයින් එපිට වස්තු විෂය ලෙසින් තෝරා ගනිමින් ගී පදවලට පියාඹන්නට ඉඩදීම නිලාර් එන් කාසිම් ගෙන් ප්‍රතීයමාන වූ තවත් විශේෂ හැකියාවකි.

 සාම්ප්‍රදායේ සිපිරිගෙය නමින් නම් කළ සලාම් කියාගෙන ගෙට එන ගීතය එවැනි අවස්ථාවක් මනාව නිර්මාණය කිරීමකි.

වලාකුළු වලින් සළු ඇඳ

සදා තනි රකී අඩ සඳ

ස්වර්ණ ද්වාරයේ පැතුමිණ තාරකාවියේ

සිනා වෙන්න මතක නැති ද තාරකාවියේ

(සලාම් කියාගෙන ගෙට එන)


 ඉරණවිල ධීවරයන් හා ඇමරිකන් හඬ ගුවන් විදුලි සමප්‍රේෂණාගාරය අතර ගැටුම සියැසින් දුටු නිලාර්  ධීවර ප්‍රජවගේ බසින් ම එය නිර්මාණය කළේ ඉරණවිල වේදනාව නමිනි. නමුත් ගුවන් විදුලිය විසින්ම එම ගීතය නොනිළ ලෙස වාරනයට ලක්  කරයි.

බලන් අවරග පිපී හැනැහෙන

මහළු ඉරමල හිදී ව්‍යාධිව

සෙත්කලේ යන තෙප්පමේ අග

පුංචි කඳුළක් නැගෙයි අවදිව


කළු වලා මැද පියාපත් හැර

ඈත සමුදුර ගෙවාගෙන එන

මිනී කන ගිජු ලිහිණියන්ගේ

විදුලි නාදය

ඇසී ගහකොළ සැලෙයි තැති ගෙන

ගායනය - ප්‍රදීපා ධර්මදාස සහ අමරසිරි පීරිස්

පද රචනය - නිලාර් එන්. කාසිම්

සංගීතය - ආචාර්ය ඛේමසිරි


 නිර්මාණශීලිත්වයේ පිළුණු වූ මාතෘකාවක් වන යුද්ධය හා සොල්දාදුවාගේ පාර්ශවය දැකීමේ කෝණය නිලාර් අතින් වෙනස් වන්නට යෙදුණි. සොල්දාදුවා කෙරේ සංවේදීව නමුත් හැඟීම්බර නොවී සංයමයෙන් දැකීමේ ගුල විවර වූයේ නිලාර් එන්. කාසිම් අතිනි. නිදිමත ඉසිලූ දෑසට කඳුලැලි බර වැඩිදෝ (කරදිය සුළඟට) ගීතය මතින් ඒ දෘෂ්ටිය මවා පෑ නිලාර් රසික හදවත් පැහැර ගත්තේය. චිත්‍රපටි ගීත පමණක් නොව ටෙලිනාට්‍යය ගීත ද තිහකට ආසන්න ප්‍රමාණයක් රචනා කරන මොහු සෙනුරී, කිරිල්ලියෝ වැනි ටෙලි නාට්‍යය තුළද ඉතා ජනප්‍රිය පදවැල් මුසු කරන්නට දක්ෂතාවයක් දක්වා තිබෙන නිලාර් ක්ෂේත්‍ර රාශියකම තම පදවැල් හැසිර වූ දක්ෂයෙකි. 

අහස සිඹිනා තුඟු මහල් කවුළු හැර 

අලුත් සුළං රොද බදා වැළඳ ගමු 

හතර වටින් වට කෙරුණු පවුරු බිඳ 

සතුට සොයා ගෙන එන්න ඉගිල යමු 

Ode-To-Toy 2015 වර්ෂයේ චීනය විකාශනය වූ ටෙලිනාට්‍යය කිරිල්ලියෝ ලෙසින් ජාතික රූපවාහිනියෙන් විකාශනය වීමේ දී එහි පද බැඳීමට නිලාර්ට අවස්ථාවක් හිමි විය. මොහුගේ ප්‍රතිභාවට අවධානය යොමු කිරීමේ දී ස්වාධීන සාහිත්‍යය උළෙලේ හොඳම ගීත රචකයා ලෙසත්, සිග්නිස් සම්මාන උළෙලේ හොඳම ටෙලිනාට්‍යය ගීත රචකයා ලෙසත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් පිරිනැමු හොඳම ජන මාධ්‍ය සන්නිවේදකයාට හිමි සම්මානයෙනුත්, Bunka  අන්තර්ජාතික සම්මානයෙනුත් පිදුම් ලැබීම වෙසෙසින් දැක්විය යුතුය.

 සාමය හා සංහිදියාව වෙනුවෙන් නිර්මාණයේ යෙදීම වගේම රයිගම්, සරසවිය, රජ්‍ය සාහිත්‍යය උළෙල ආදී අවස්ථා කිහිපයකටම හොඳම තේමා ගීත රචකයාට නිර්දේශ වීම නිලාර් එන්. කාසිම් ගේ ප්‍රතිභාව අගය කරන්නා වූ තවත් අවස්ථා කිහිපකි. පැහැසර අරණක ඉර මල පිපුනාවේ ලෙසින් නිලාර් එන්. කාසිම් පද ගෙතීය. සැබැවින්ම පැහැසර අරණක මල් පිපෙන්නට ඉඩදුන් මේ රචකයා අසල්වැසියාගේ සාහිත්‍යය ද අපට සමීප කළ සංවේදී කලාකරුවෙක් බව නොරහසකි.

“තරුණ ලේඛක නිලාර් එන්. කාසිම් විශේෂ සමාජ හෝරාවේ දී ලියන අසල්වැසියාගේ සාහිත්‍යය අපට වඩාත් වැදගත් වන්නේ අපේ සෞන්දර්යය සමාජ හා විචාර මණ්ඩලය අල්ලපු ගෙදර මිනිසුන් ගැන - අනිත් ඈයින් ගැන වැඩියමක් නොදන්න නිසායි..”

පෙරවදනේ පරාක්‍රමගේ අදහසකින්...

සෙව්වන්දි ප්‍රේමතිලක  


Sunday, June 27, 2021

 කළුවරට හිමි උසාවිය...



තිත්ත කළුවර දිවග දැවටී

යාන්තම් හඳ නැගෙනකන්...

තරුත් අතරින් කදෝපැණියන්

රඟන රැඟුමන් නරඹමින්...


වළාකුළු නැති හිස් වූ අහසේ

මලානික මල් කඩා හැලුණේ

කඳුළු කැට සිය දහස් ගාණේ

ඇපය කොට රැය වෙතට දුන්නේ


මමයි විනිසුරු

කළුවරට හිමි උසාවියෙ නඩු විමසමින්...


කූඩු අතරට සිරකරන්නට නොහැකි වූ

හදවත තුළින්

මහා රෑ මැද නඩුව අසනා මමයි විනිසුරු

හදවතින්


ගව් ගනන් දුර යන්න පියමැන

සරා සඳ නුඹ නැගීයන්

කූඩු කර හිත

වරද පවරා

ඈත දුරකින් රැදීයන්...


මමයි විනිසුරු

කළුවරට හිමි උසාවියෙ නඩු විමසමින්..


Saturday, June 26, 2021

පේත

 


එරික් ඉලයප්ආරච්චිගේ 2020 ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ විශිෂ්ටම නවකතාව ‘පේත’ පිළිබඳ විචාරය සටහන් කිරීම මේ ලිපියේ අරමුණයි. 




සාකච්ඡා, සමුළු, කටඋත්තර, ඡායාරූප, කෙටි නාට්‍ය, කෙටිකතා, දින සටහන් මතින් දිවෙන මේ කෙටි නවකතාව අඳුරු අගාදයක සිරවී එළියක් සොයමින් අන්ධකාරයේ භයභිරාන්විතව සිටිනා සමාජ කොටසක ප්‍රතිබිම්භයයි. පේත නවකතාව , රතු පළස නවකතාවේ දිගුවක් ලෙස විමසිය හැකි කෘතියකි. රතු පළස යනු 70 දශකයේ මැද භාගයේ සිට ‘ජනතා විමුක්ති දේශපාලනයේ’ ඓතිහාසික ගමන් මඟ, තියුණු කලාත්මක සංකල්ප රූප පද්ධතියකට හසු කර ගන්නා, හුදු ඓතිහාසිකකරණයේ සීමා මායිම් සිඳුරු කරන නවකතාවකි. එය කතුවරයා විසින් සිදු කරනුයේ හුදු ‘ඓතිහාසිකකරණය’ වෙනුවට, ඓතිහාසික භෞතිකවාදී මාවතකට පිවිසෙමිනි. ජීවමාන චරිතයන් පරයා ක්‍රියා කරන්නා වූ මහජන මත, හෘදසාක්ෂීය මෙයින් පණ ලබයි. ඒ අනුව අඛණ්ඩව ගලායන ඉතිහාසයක් වෙනුවට නවකතාව තුළ අපට හමු වනුයේ, ‘නවකතාව - සැබෑ ලෝකය -   නවකතාව’ ලෙස යළි ඒ වෙතටම ගමන්ගත වන චක්‍රාකාර වලයක ඉතිහාසයකි.රතු පළස නවකතාව මඟින් කතුවරයා, උතුරේ පීඩිත ජාතීන්ගේ අරගලයේ පැවැත්ම ද, දකුණේ වාමාංශයේ පීඩිත දෙමළ ජනයාගේ නිදහස පිිළිබඳ ගැටලූව ද ස්ථානගත වී ඇති ආකාරය කලාත්මක අක්ෂියෙන් ග්‍රහණය කරගෙන ඇති බව නොරහසකි.

  ‘පේත’ නවකතාවට මූලික ජවනිකාව සපයන්නේ විප්ලවකාරී සමාජීය මොහොතක් මත, ‘මහිමගොඩැල්ල’ නම් වන නගරයක, පැරණි සෝල්දර කඩයට රැස්වෙන මානව හිමිකම් විමර්ශක කණ්ඩායමකගේ රැස්වීමකිනි. පිරිස රැස්වීමේ අරමුණ ‘තිස් අවුරුදු යුද්ධයෙන් පසු ජාතීන් අතර සංහිඳියාව’ අරබයා වාර්තාවක් සකස් කිරීමය. ඒ සඳහා මෙවැනි තේ කඩයක් තෝරාගෙන ඇත්තේ එම කඩය දෙමළ විමුක්ති කොටි සංවිධානයේ සන්නද්ධ නායිකාවකව සිටි ‘තේවානි’ නම් ගරිල්ලා සටන්කාරිනිය, පිළිකා රෝගයකින් ඔප්පළව, සිය අවසන් දවස් ගත කළ ස්ථානය එම කඩය වීමේ සමාජීය වැදගත්කමිනි.  පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයේ ස්වරූපය විටෙක “පුංචි සුරංගනාවි” චිත්‍රපටයේ දර්ශන තලයන්ද රසික මනසට එන්නත් කරයි. 

මේ මොහෙත මත විමුක්තිවාදීන් හා විමුක්ති සංවිධාන මිය ගොස්, දේශපාලනය වෙනුවට, ‘පශ්චාත් මරණ පරීක්ෂණ දේශපාලනය’ රට වසා ගනිමින් ක්‍රියාත්මක වන මොහොතයි. මුල් පිටපත වෙනුවට කොපි කෘතිකරණය නිෂ්පාදනය වන අවධියයි. නිෂ්පාදනය වෙනුවට ප්‍රතිනිෂ්පාදනය ආදේශ වූ අවධියයි. එය නවකතාව ඔස්සේ කලාත්මක චින්තාවක දවටමින් රසිකයා වෙත සම්ප්‍රේෂණය කරන සම්ප්‍රේෂනාගාරය වන්නේ පේත කතු ඉලයප්ආරච්චියි.

“ කාගෙදො විප්ලවයක් ජයගෙන ඇත. රජවරුන්, ජනාධිපතිවරුන්, අගමැතිවරුන් හා පියවරුන් බලයෙන් පහ වී ඇත. ඔවුන්ගේ හිස් ගසා දමන ඝෝෂාවත් ගිලටීනයේ මුවහත් තලය දඩස් ගා බිමට වැටෙන හඬත් ඇසේ ” 

              -පේත- 97 පිටුව-

  

සෝදා පාලුවට යන, ඛාදනයට ලක්වන පසු නූතන සමාජ මොහොතට කතුවරයා විසින් අභිමුඛ කරනුයේ ලංකාවේ මෙතෙක් පැවති බරපතළම විමුක්ති කතිකාවන් තුනකි. එනම් සමසමාජ, ජනතා විමුක්ති හා දෙමළ විමුක්ති කතිකාවන් තුනයි. නවකතාව මත මානව අයිතිවාසිකම් විමර්ශන කණ්ඩායම නවාතැන්ගෙන  සිටින සොල්දර කඩය, මේ දේශපාලන සංදර්භ තුනටම අතීතයේ දී හා වර්තමානයේ දී රැකවරනය ලබාදුන් ස්ථානයකි. තේ කඩයේ අයිතිකරු වු ‘පියසිරි’ගේ පියා සමසමාජයට ද, පියසිරි 70 දශකයේ ජනතා විමුක්ති පෙරමුණටද, පුතා වන සාලිය අධ්‍යතන වාමාංශය දඇඳුනෝ වෙති. 

“කුලසිරිගේ කට උත්තරය අනුව සාලිය අනෙක් මහල්ලාගේ එකම සොයුරියගේ එකම පුතාය. එනමුත් ජයසිරි නම් මහල්ලාට අනුව සාලිය ඔහුගේ ඥාති පුතා නොව, මුනුබුරා වන අතර ඒ තරුණයා විසින් ද ජයසිරි මහල්ලා අමතනු ලබන්නේ මාමා කියා නොව සීයා කියාය.”

              -21 පිටුව - 

 නවකතාවේ සිදුවීම් ජාලාවට අනුව හිටපු නායිකාව ‘තේවානී’ පුත්තලමේ දි ‘සේගු ඉසදීන්’ නම් මුස්ලිම් ජාතිකයා සමඟ විවාහ වීමේ සිදුවීම, මේ නවකතාවේ පළමු අර්ධය වූ ‘රතු පළස’ කෘතියෙ දී අපට මුණ ගැසේ. තේවානී හා ඉසබීන්ගේ දියණිය වූ ‘ඇපලෝනියා’ නමින් චරිත පේත නවකතාවට ඈඳා ගන්නා කතුවරයා, ඇය සහ සාලිය අතර වන ‘ස්ත්‍රී- පුරුෂ සම්බන්ධය’ තුළ පසු නුතන වාමාංශයේ ‘ශූද්ධ වූ පවුල’ සොයා ගනී. කුටුම්භයකට එහා ගිය ආධ්‍යාත්මික පරාමිතීන් වෙනත් කෝදුවක් උපයෝගී කරගනිමින් ස්පර්ශ කිරීමට නවකතාව මත සංදර්භය දිග හැරෙයි. එය නිසැකවම සිංහල - බෞද්ධ පවුල නොව, ‘හින්දු - මුස්ලිම් - සිංහල- දෙමළ බෞද්ධ - යුදෙව් - ක්‍රිස්‍තියානි’  මිනිස් පවුලයි. එහි ඇත්තේ මුසු වීමයි. මුසුවීමෙන් නැගෙන නැවුම් කුටුම්භ සංස්කෘතියේ බදාමයයි. නවකතාව අවසානයට ‘ඇපලෝනියා’ සහ ‘සාලිය’ අතර එළිමහන් වෙරළේ සිදුවන සංසර්ගයක් නිර්මාණය කරන කතුවරයා විටෙක සිහියට පිටස්තරයා (THE OUTSIDER) කෘතියද කැදවයි. මෙකී සම්ප්‍රදායන් තුන එකිනෙක මත අනවරතයෙන් පිහිටයි.

“ඔහු තමා වෙත දිව එන කාමුක ගැහැනු අවතාරයට ඉඩ දුන්නේ, හුදකලා තෙත් බිමක රමණයෙහි යෙදෙන්නට ලත් අවස්ථාව පැහැර නොහරින උපන්ගෙයි සල්ලාලයෙකු ලෙසිනි.”

                  - 111 පිටුව-

 මේ නව ‘හින්දු - මුස්ලිම් - සිංහල- දෙමළ බෞද්ධ - යුදෙව් - ක්‍රිස්තියානි’ සර්ව සම්පූර්ණ මිශ්‍ර පවුලේ ලිංගික ක්‍රමවේදය පැරණි ශූද්ධ වූ පවුලේ ලිංගික ක්‍රමවේදය උඩු යටිකුරු කර නව රැඩිකල් සමාජයීය පවුලක ලිංගිකක්‍රමවේදයක් නිරිමාණය කිරීමේ ගමනක මුල් පියවරයි. සර්ව සම්පූර්ණ මිශ්‍ර ලිංගික ක්‍රමවේදය නවකතාව තුළ මීට කලින් අපට හමුවනුයේ, මෙහි පළමු අර්ධය වන ‘රතු පළස’ නවකතාවේ කුලසිරි, තේවානි සොයා මන්නාරම් ගිය පසු දිගහැරෙන ජවනිකාවේය.




 සිංහල ගරිල්ලා සටන්කරුවා වූ ‘කුලසිරි’ හා දමිළ විමුක්ති සටන්කාමිනිය වූ ‘තේවානි’ අතර එහිදී ඇතිවන ලිංගික සංසර්ගය ද මෙවැනිම ලෞකික, රැඩිකල්, සර්ව සම්පූර්ණ මිශ්‍ර ලිංගික ක්‍රිමවේදයක් බව මෙහිදී පාඨකයාට මතක් වනුයේ නිතැතිනි.

“ ඉර එළිය වැටී පිල්ලෑව රන් පාටට ආලෝකවත් වී අවතාර නොපෙනී ගිය පසු ජයසිරිට නැවතත් කල්පනාවක් පහළ විය. එය බොහෝ තියුණු කල්පනාවකි. අවතාර නොමැති ලෝකයක් තුළ ජීවත් වීමේ ගැටලූට ඔහු මුහුණ දී සිටියේය. ඔහු සෙමින් සෙමින් ගඟ දෙසට ඉක්මන් පියවර මැන්නේය. සැඩ පහරක් වී ගලායන ගං ඉවුරේ දවස ගත කළ ඔහු ? බෝ වූ විට නැවත පිල්ලෑවට පැමිණියේ පෙරදා දුටු අවතාර දෙක දකින වුවමනාවෙනි.”   

                 - 112 පිටුව-

 මළවුන් නිසි ගෞරවාර්ථයෙන් භූමදානය නොකළ විට ජීවත් වන වුන් මත අවතාර වේශයෙන් බලපවත්වන්නේ යැයි පුරාමතයක්, රූපකයක් වෙයි. ඇන්ටිගනී ග්‍රීක නාට්‍යයේ ද ඒ අවස්ථාව ඉස්මතු කර පෙන්වන්නේ තම සොයුරාගේ අවසන් කටයුතු නිසි ආකාරයෙන් ඉටුකිරීමට ඇන්ටිගනී දරන ප්‍රයත්නයෙනි. මෙහිදී ද ජයසිරි දකින අවතාරය සමසමාජ පක්ෂය 1964 දී ඉල්ලීම් 21 පාවාදී සභාගයට ගිය තැන ෆැක්ටරිය අතහැර යාපනයේ ගිය දෙමළ කම්කරු නායකයා රාජුගේය. මෙසේ අදෘශ්‍යමාන අවස්ථා ප්‍රතිනිර්මාණය කිරීම නිසා කතා සංදර්භය විටෙක තද ස්වරූපයක් උසුලයි. ගර්ෂියා මාර්ගේස්ගේ සියක්වසක හුදකලාව කෘතිය මඟින්ද මෙවැනි ම අවස්ථාවක් ස්පුථ වෙයි. මේ සිද්ධිය කියවන් යන රසියකාට සියක්වසක හුදකලාව කෘතියේ මේ හා සමාන අවස්ථාව සිහියට නැගෙන්නේ නිරුත්සාහිකවමය. 

ලාංකේය ‘සිංහල වාමාංශය’ නිදහස් විය යුතු, වරදසහගත හෘද සාක්ෂ්‍යයන්  දෙකක් වෙයි. එනම් පීඩිත ජාතීන්ගේ අරගලය මත හරියට හිට නොගැනීමෙන් උපන්වරද සහගත භාවය හා තීරණාත්මක අවස්ථාවේ දී කම්කරු අභිලාශයන් පාවා දීමෙන් උපන් වරද සහගත හෘද සාක්ෂියයි. ජයසිරි දකින අවතාරය මේ වරදසහගත හෘද සාක්ෂියේ නාටකීය ප්‍රාදුර්භූතයයි.

“ඒ ගැහැනු අවතාරය හමුවන්නට තවත් අවතාරයක් පිල්ලෑවට පැමිණ සිටියේය. එය තරුණ පිරිමි අවතාරයක් විය. ඔවුන්ගේ හමුවීම දෙස ඊර්ෂියාවෙන් බලා සිටි ජයසිරි දෙඩවිල්ල පටන් ගත්තේය. 

     ‘ඒ අවතාරය මගේ මැරිච්ච අක්කගේ, අනෙක් අවතාරය රබර් ෆැක්ටරියේ දෙමළ යුනියන් ලීඩර්ගේ” 

                 - 112 පිටුව 

නවකතාවේ පසුබිම් අර්ථ, පාඨකයා හා කෘතිය මුහුණට මුහුණ ලෑමෙන් ගොඩනැගෙන චිත්ත රූප සමුදායක් අතර පාඨකයෙකු විසින් සොයාගත යුත්තකි. 




නවකතාව පුරාවටස එක සේ ඇසෙන්නේ ‘නාදයක් නොව අනුනාදයක් පමණි.’ ‘සැමුවෙල් බෙකට්ගේ’ ‘ගොඩෝ එනකම්’ නාට්‍යය අරඹයා එක් විචාරකයෙකු කී පරදි ‘එහි ඇත්තේ චලනයක් නොව, පුනර්වාචකයක් පමණි.’ අපේ යුගයේ කලාවේ නව රූපය විය හැක්කේ එයයි. කතුවරයාගේ ‘රතු පළස’ නවකතාව ‘ජනතා විමුක්ති කතිකාව’ සංස්ථාපිතව පැවැති 70 දශකයේ අත්දැකීමේ කලාත්මක ඉදිරිපත් කරන අතරම ‘පේත’ එම විමුක්ති කකාවතේ නිශේධය වීම සටහන වූ අපගේ යුගය පිළිබඳ කලාත්මක කතිකාවකි. නවකතාව මතින් ඇදී යන චරිතවලට පණ පොවන්නේ නූතන සමාජ සංදර්භයේ රූපඩ වූ අපමය. එය කලාත්මක අක්ෂියෙන් ග්‍රහණය කරගන්නේ සුළු තරයක් වීමම අභාග්‍යයකි.

නවකතාවේ කථන කෝණය උත්තම පුරුෂ හා ප්‍රථම පුරුෂ ලෙස  මාරු කරමින්, පෙර සඳහන් කළ පරිදි සාක්ෂි සටහන්, පුවත්පත් තීරු ලිපිවලින් නවකතාව ස්වකීය ආකෘතිය ගෙඩනඟා ගනියිි. නවකතාවේ ආකෘතිය ක්‍රමානුකූලව ගොඩනැංවීමට කතාකරු යොදාගත් ප්‍රයෝගය සාර්ථකය. නවකතාව ලෙස අපට ඉදිරිපත් වනුයේ පුද්ගල දෘෂ්ටිකෝණ, සාක්ෂි සටහන් හා ස්වයං ලේඛන සමූහයකි. එවිට නව කතාවේ ‘වෛෂයිකත්වය’ යනු පූර්වයෙන් පැවති දෙයක් නොව, අප විසින් ගොඩනඟාගත යුත්තක් ලෙස ඉතිරි වේ.

සරුව පිත්තල නවකතා රැල්ලෙන් වෙන්වී විශාල ජල කදක් උසුලමින් ගොඩ ගැසූ කෘතියකි පේත. එහි යටි පෙළ කලාත්මකව මතු කරන්නේ බිහිසුණු ව්‍යාකූල තත්වයේ ගිලුණු සමාජයක සමාජ-දේශපාලනික ගූඪත්වයයි. මෙරට වාමාංශයේ විවිධ මුහුණුවර  හැටියට අපේ සමාජ-දේශපාලනික ඉතිහාසය තුළ බරපතළ වෙනස්කම් රාශියක් සිදුවීම හා එහි ප්‍රතිඵල වශයෙන් ලද් යම් යම් දෑ නූතන මිනිසා ද අත්විදී. ඓතිහාසික ජීවිතයට පසු එම ඉතිහාසයේ අග්ගිස්සේ පේත ස්වරූපයකින් එල්ලී සිටින චරිත සහිත සමාජයක් පිළිඹිඹු කිරීමෙන් නූතනයට ප්‍රථම අතීතයේ කල්කිරියාව පෙරා වෙන්කර ගැනීමට රසිකයාට අවකාශයක් සෑදෙයි. නූතන මිනිසා විදින සරල සැහැල්ලු ලිබරල් ජීවිතයට දරා ගන්න බැරි තරමේ  විශාල මිනිස් පරිමාවක් ඇති චරිත පේත නවකතාවේ සංදර්භය පෝෂණය කරයි. එපමණක් නොව සමාජය දේශපාලන පුපුරා යාම්වලින් තැතිගත් විසම සමාජයක පරාමිතීන් එල්ල කර ගනිමින් සිද්ධී හා අවස්ථා නිරූපණය කිරීම පේත නවකතාවේ විශිෂ්ටත්වයට එක් හේතු කාරණයකි.

පිළිකා රෝගයෙන් බරපතළ ලෙස ගිලන් වී සිටි තේවානි නම් ත්‍රස්තවාදී  සාමාජිකාවකට යුද්ධය නිමා වීමෙන් පසුව සිංහල තේ කඩයක සොල්දරයේ ඇගේ මරණය දක්වා රැකවරණය ලබාදීම නවකතාව පුපුරා හැරීමේ ගිණි පුළිඟුවයි. සතුරා සතුරෙකු ලෙසම තුන්කල් දැකීමේ කෝණයෙන් දුරස් වී ඉන් වෙනත් පරාමිතියක් ස්පර්ශ කිරීමට නවකතාකරු මඟ සකසා ගනී. මෙම සිද්ධියට සම්බන්ද  දස දෙනෙකුගේ කටඋත්තර ලබා ගැනීමට පැමිණීම මුල්ම සිදුවීමයි. කුකුස දනවමින් නවකතාව මතින් තේවානිගේ චරිතය මතු කරයි.  ඇය මියගියේ පිළිකා රෝගයෙනි. නමුදු ඇය ස්වාභාවික මරණයකට අකැමැතිබව කතාව පුරා මතු වීමට නිර්මාණකරු වගබලා ගනී. 




ඇය සයිනයිඩ් කා ගෞරවණීය දේශපාලන මරණයක් ලබා ගත්තාද යන උභතෝකෝටික ප්‍රශ්නය මතු වීමට ඉඩහැර රසිකයාට එය භාරකර කතුවරයා ඉවත්වී යයි. ඇයගේ බලාපොරොත්තුව සපල කර ගත්තා නම් ඇයට සයිනයිඩ් ලබා දුන්නේ කවරෙක්ද? මෙම තත්ත්වය  තවත් සංකීර්ණ වෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වරදක් වෙනුවෙන් පොලිසිය ලබාගත් ඒ කටඋත්තර විශේෂ අවසරයක් පිට කියවමින් ඒවා ඇසුරෙන් නිගමන මතට එළඹෙන විශේෂ පිරිසක් සිටි නිසාය. තවත් උපක්‍රමයක් ලෙස ඔවුන් ඒ  සිද්ධිය නිරූපණය වන කෙටි නාට්‍යය කිහිපයක් රඟදක්ව බැලිමට යොමුවෙයි. සැබෑ සිද්ධියේ විවිධ විවිධ මානයක් මතුකරන්නේ මෙම නාට්‍යය යි. පේත නවකතාවේ නිරූපණය වන්නේ බරපතළ හායනයකට ලක්වුණු සමාජයක නිරුවතයි. 

අජිත් තිලකසේන වැනි ලේඛකයන් ලෙස තමාගේ සාහිත්‍යය අන්තර්ගතයට විශේෂ භාෂාමය හැඩයක් ලබාදීම පේත නවකතාවෙන්ද මතුවෙන වැදගත් සලකුණකි. තේමාත්මක හා නිරූපණාත්මක සිතුවම් ප්‍රතිනිර්මාණය කිරීමට එමඟින් ඉඩ හසර මතුවීම තවත් විශේෂත්වයකි. ‘පේත’ වියමනේ ආකෘතිය කතුවරයා ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්නේ කතා කිහිපයක් සමාන්තර ලෙස කියාපෑමටය.  ෆෙඩ්‍රික් ජේම්සන්ස් නිවැරදිව පෙන්වා දෙන පරිදි ප්‍රබන්ධය ඥාන විභාගාත්මක ප්‍රභේදයක් වේ. ඒ ඇසුරින් පේත විමසීමේදී මෙහි අන්තර්ගතයත් මේ හා සමගාමීව දිවයයි.

ගොගොල්ගේ ‘මළ මිනිස්සු’ නවකතාවේ එන විචිකොප්ගේ චරිතයේ අරමුණ දොස්ටොයෙව්ස්කිගේ ‘අපරාධය හා දඬුවම’ නවකතාවේ එන  රස්කොල්නිකොව්ගේ චරිතයේ අරමුණ පේත නවකතාවේ ප්‍රධාන චරිතයේ අරමුණු හා සහසම්බන්ධයක් දක්වයි. පේත මත ඇත්තේ නව ප්‍රබන්ධයේ ඇති සංකීර්ණ ඥන විභාගාත්මක රූපයයි. ඇන්ටන් චෙකොව්ගේ කෙටිකතාවේදී ද  මෙම අලුත් වෙනස ඇතුළත්ව ඇති ආකාර විමර්ශනය කිරීමට පිළිවෙන. රූපකාර්ථවත් බසක් ද, නව සිංහලයේ පෝෂණයක් ද සිදු කරමින් රචිත ‘‘පේත” නවකතාව ලාංකේය ජන ජීවිතයේ වර්තමාන රූපය පිළිබඳ සංස්කෘතික කැඩපතක් ලෙස පාඨකයා ඉදිරියේ තබන්නේ මායායථාර්ථවාදී ලක්ෂණයන්ද මුසුකරමිනි. 

පේත යනු තිලෝකුඞ්ඪ සූත්‍ර අනුව මියගිය සියලූ දෙනා ය. පේතවත්ථු යනුවෙන් බුද්දක නිකායට අයත් කෘතියෙහි සඳහන් වන්නේ මරණෙන් මතු පේත හෙවත් පහත් ආත්මයන් ලැබූවන්ගේ කතා පුවත් ය. පේත නවකතාව ඒ එක්තරා පේත කොට්ඨාශයක් පිළිබඳ රූපකයකි. වෙනස නම් මේ පේත කොට්ඨාශය නොමළවුන් වීමය. මායා යථාර්ථවාදයත් සමඟ මුසුකරමින් නිර්මාණය කරන ලද පේත කෘතිය මඟින් රසිකයා තුළ ඇතිකරන්නේ වින්දනාත්මක ප්‍රහර්ශයකි. නවකතාවක තිබිය යුතු යැයි සලකන බොහෝ සාධනීය ලක්ෂණ සමන්විත පේත නවකතාව තුළ නිරූපිත සිද්ධි හා චරිත සැබෑ පේත ලෝකය තුළ සිදු වන නිශ්චිත භව දඩුවමකට වඩා ම්ලේච්ඡු වන්නේ කෙසේ ද යන්න සිද්ධියෙන් සිද්ධිය නිරූපණය කරන්නේ නවතම පේත ලෝකයක් ඇත්තේ ය යන්න ප්‍රත්‍යක්ෂ කරන්නාක් මෙනි. 




වස්තු, බල, අතීත, ජාති ආදී කාමයන්ගෙන් විකෘති වූ නූතන ජන විඥානය සැබෑ ලෙසම අත වනන්නේ පේත අපාය අනාගත සමාජ භවයට පළමුව වර්තමාන සමාජ භවය තුළ ස්ථාපිත කර තැබීමට ය. කතාවේ සාරය මිනීමැරුමක් පිළිබඳ පර්යේෂණයක් වූවද එහි නිරූපණය වන්නේ මනුෂත්වය හා ජීවත්වීම පිළිබඳ පශ්චාත් යුද පරීක්ෂණයකි. වෙනත් ආකාරයකින් ගතහොත් ජීවිත පර්යේෂණයකි. යුද්ධයේදී නොතිබුණු ජාතිවාදය යුද්ධයෙන් පසු නඩත්තු කෙරෙන ආකාරය සහ එය තවදුරටත් පේ‍තකත්වයෙන් කුම්භාණ්ඩකරණය දක්වා පරිනාමය කරන ආකාරය එරික් ඉලයප්ආරච්චි තම කතා සන්දර්භය තුළ රූපණය කරයි. දෙමළ මිනිසුන් තේරුම් නොගත් යථාර්ථයක් ද ලංකා සමාජය තුළ පැවති බව පේත කතාව ඉඟි කරයි. සාලිය සහ ඇපලෝනියා නම් දෙමළ හෙදිය සමග ඇති වන අලූත් සම්බන්ධය ද ඊට සාක්ෂියක් වේ.

පේත කතාව තුළ උපහාසයට ලක්වන කරුණක් වන්නේ වට මේසයට රැස්වුණු බුද්ධි මණ්ඩලය යි. මෙරට බොහෝ වට මේසවලට වටවන බුද්ධි මණ්ඩලවල ස්වභාවය කාටූන රූපයෙන් ගෙනෙන එරික් ඉලයප්ආරච්චි ඔවුන්ගේ බුද්ධිමය බංකොලොත්භාවය උත්ප්‍රාසාත්මකව නිරූපණය කරයි. සහරාන්ගේ පහරදීමට එරෙහිව නූතනය දක්වා ඇදෙන බුද්ධි මණ්ඩලද මේ අස්සෙන් එබී නූතනයට සිනාසෙයි.පේතයන් පිරිසක් වටවී තවත් පේතයන් රොත්තක් විමසන පේත මණ්ඩලයක සමුළුවකින් පේත බවෙන් ගොඩගැනීමේ මාර්ගයක් සෙවීම ඇත්තෙන්ම සදය උපහාසයකට ලක් කිරීම ප්‍රමාණවත් නොවෙයි. පේත නවකතාවෙන් ගෙනෙන යථාර්ථය එයමය. දේශපාලන නළුව, ජාතික නළුව, සංහිඳියා නළුව ආදී නාටක පෙළක් ද මෙම නවකතාව මඟින් රසිකයාට රඟ දක්වා පෙන්වයි. සැබෑ දේශපාලනය හඳුනන පිරිස් මෙය ඉස් මුදුනින් පිළිගැනීමට යොමුවෙයි.

රටක සංවර්ධනය මැනීමේ නව ලිබරල්වාදී දර්ශකයන්හි නැවතීම, මන්දගාමී ස්වරූපය මෙන්ම එහි අඩපණ වූ ස්වරූපය පේත කතාවේ ධ්වනි මඟින් ඉස්මතු කර පෙන්වයි. පේත කතාවේ අවසානය පාඨකයාගේ විදර්ශනාත්මක දෘෂ්ටිය ශක්තිමත් කිරීමට සමත් වෙයි. කුලසිරිගේ මරණය හෙට කවරෙකුගේ මරණය විය හැකිද යන ගැඹුරු සමාජ ප්‍රශ්නය මතු කිරීමට සමත්කම් දක්වයි. කුලසිරි දිනා ගත් දෙය කොතෙක් දුරට යහ පැවැත්මක් උදෙසා නූතනයට ආදේශ කරගනීද යන්න පිළිබඳව ඇත්තේ කුකුසකි. ඒ කුකුස රසිකයා මතට අත්හරී. අතීතයෙන් නූතනයට සම්ප්‍රේෂණය වන යම් යම් දෑ පිළිබඳ ඉඟනළු සපයන පේත 2020 වර්ෂයේ නූතන අවකාශය පුළුල් කරන අපූර්ව රචනයකි. මෙහි සාරය උකහා ගැනීමටනම් දේශපාලනේ දුර්ගන්ධිත අතීතයත් ඒ මතින්ම ජීවත් වන නූතන දේශපාලනයේ හැඩයත් පිළිබඳව යම් අවබෝධයක් තිබිය යුතුය. එවිට නවකතාකරු කතාවේ පිටු අතර ජීවත් කරන චරිත කියා පෑමට සූදානම් වන ගඳ ගහන අතීතයේ හා ඒ සාරයම උරා බොන අනාගත හුපු දේශපාලනයේ බෑගිරියාව වටහා ගැනීමට පිළිවෙන. අතීතයේ බැඳි රැහැන් පටවල් බුරුල් වී නූතනය ගැලවී යන ආකාරය වක්‍රව මතු කරමින් පේත පෙන්වීමට උත්සාහ දරන්නේ අපට අල්ලා ගැනීමට නොහැකි වූ පුහු සමාජ සංස්ථාවේ හිස් ස්වරූපයයි.

Thursday, June 24, 2021

ප්ලැටිනම් කැබැල්ල ටී.එස්. එලියට්

 ප්ලැටිනම් කැබැල්ල

ටී.එස්. එලියට්




කවියෙකු කරන්නේ විපර්යාසකාරයකුගේ කටයුත්තකි,

ඔක්සිජන් හා සල්ෆියුරික් ඩයොක්සයිඩ් වායුව සහිත නලයකට ප්ලැටිනම් කූරක් ඇතුල් කළ විට එහි සල්ෆියුරික් ඇසිඩ් සෑදේ. ඒ නව ස්වභාවය හට ගන්නේ ප්ලැටිනම් කැබැල්ලක් ඇත්නම් පමණි. එහෙත් එසේ සෑදුණු නව සාන්ද්‍රණයේ ප්ලැටිනම්වල අංශ්‍රවක්වත් අඩංගු නොවේ. ප්ලැටිනම් කැබැල්ල  තමාගේ ස්වාධීන ක්‍රියාකාරීත්වය නොපෙන්වා මධ්‍යස්ථව පවතී. කවියාගේ මනසද අර ප්ලැටිනම් කැබැල්ල සදිසිය...

-ටී.එස්.එලියට් හා නවකවිය -

(ආරියවංශ රණවීර)


විසිවන සියවසට අයත් ප්‍රසිද්ධ කවියෙකු ලෙස සැලකෙන තෝමස් ස්ටියර්න්ස් එලියට් ප්‍රසිද්ධ කවියෙකි. මොහුගේ උපත 1888.09.26 ඇමරිකාවේ මිසුරිහිදී සිදුවිය.මිල්ටන් ඇකඩමියේ මූලික අධ්‍යාපනය ලබා 1906 දී හාවර්ඩ් සරසවියට ඇතුළු වූ මොහු 25 වියේදී එංගලන්තයට සංක්‍රමණය වී 39 හැවිරිදි වියේදී ඇමරිකානු පුරවැසිකම අත්හැරියේය.

එලියට් ගුරුවරයෙකු, බැංකුකරුවෙකු, සංස්කාරකවරයෙකු ලෙස වරින්වර රැකියා කිහිපයක නිරත වූ චරිතයකි. එලියට් විශාල කවි සංඛ්‍යාවක් පබැඳි අයෙක් නෙවේ. නමුත් ඔහු අතින් ලියවුණු කවි ගැඹුර ස්පර්ශ කළ නිසාවෙන් ම විසිවන සියවස තුළ පමණක් නොව, විසි එක්වන සියවස තෙක් එළඹ, ඉංග්‍රීසි කාව්‍යය සාහිත්‍යයේ සදාකල් පවතින සම්ප්‍රදායක් සනිටුහන් කළේය. එලියට්ගේ සමතැනට සැලකිය හැක්කේ ඩබ්ලිව්.බී.යේට්ස් කවියා පමණි. එලියට්ගේ කවියේ සියුම් වින්දනයක් හා ඉතා සංකීර්ණත්වයක් ගැබ්වී පවතින බව පෙන්වා දීමට හැකිය. ඔහුගේ කවි විමසිය යුත්තේ ඔහු ජීවත් වූ යුගය පිළිබඳ අවධානය යොමුකිරීම සමඟයි. එවිට එහි අරටුවට කිදා බසිමින් කවියේ සමස්ථ වපසරිය ස්පර්ශ කිරීමට පඨකයාට ඉඩහසර සැලසෙයි. වෙසෙසින්ම ඔහුගේ කවි, අරුත් ලෙස ලඝුකොට විදීමට නොහැකිය. එනම් කවිය තුළ ගැබ්වෙන අර්ථය මෙයමයි කියා කාට හෝ විනිශ්චයක් දිය නොහැකිය. එලියට්ගේ කවිය සමාජය දෙසට විවර කළ දොරටුවක් ලෙස මම පෙන්වා දීමට කැමැත්තෙමි. ඔහුගේ කවියට පරිවර්තනයක් හෝ කිරීම සිතීමටත් අපහසු කාර්යයකි.

කවියට එළඹෙන අන් කවර කවියෙකු මෙන්ම, එලියට් ද ශිෂ්‍යය කාලය තුළ රචනා කළේ එවක භාවිතා වුණු රෝමාන්තික කවිය. විටියර්, ලෝන්ග්ෆෙලෝ වැනි අපර රෝමාන්තික කවීන් ඔහුට ඇසුරු කිරීමට ලැබිණි. නිරීක්ෂණය, කියවීම, හැදෑරීම ඔහුගේ කවි ජීවිතයේ ප්‍රම්ඛස්ථානය ගත් කාර්යය විය. මොහු ඉංග්‍රීසි කවියේ තම සුවිශේෂි ලකුණ තැබූ කවියෙක් ලෙස හඳුන්වාදීමට පුළුවන. 

ඔහුගේ කවියේ පොදු ධාරණා පිළිබඳ විමසීමක් කිරීමේදී, එලියට්ගේ කාව්‍යය පිරිහුණු ජෝජියානු කවියට ප්‍රතිඋත්තර සැපයීමක් වශයෙන් පබැඳි ඒවාය. එයට හේතුව ජෝජියානු කවිය වඩා සරල එකක් වීමයි. පොදුවේ ගතහොත් එම කවිය බුද්ධිමය හා සංවේදනා තලයේ ගැඹුරට ගමන් කළ කවි නොවේ. එයට එරෙහිව අදහස් දැකිවීමට එලියට් එතෙක් කවීන් යොදා නොගත් කාව්‍ය උපක්‍රම තම කවියට නොබියව වැද්ද ගත්තේ පෙරළිකාර ලක්ෂණ ඉස්මතු කරමිනි. පවත්නා පාඨක රුචියට එරෙහිව එය උඩුගං බලා යෑමක් වූ නිසාවෙන් ආරම්භයේදී එය සුළුතරයකට ආමන්ත්‍රණය කළ කාව්‍යය ක්‍රමයක් විය. ඒ සුළුතරයක් අතර කවිය හොඳින් අතපත ගෑ පිරිස් විය.

එවැනි කවියක් සාමාන්‍යය රසිකයාට වටහා ගැනීම අසීරු බව යන ජන හඬ මතුවන බව එලියට් දැන සිටියේය. ඔහු ඒ පිළිබඳ මෙසේ අදහස් දක්වයි,

“අපගේ ශිෂ්ඨෘචාරය මේ වන විට මහත් විවිධතාවයන්ට හා සංකීර්ණතාවයන් අත්විඳියි. මේ විවිධ භාවය හා සංකීර්ණතාවය සුනිශිත සංවේදී මනසක් සමඟ ස්පර්ශ වූ විට, සංකීර්ණ ප්‍රතිඵල හට ගැනීම සිදුවෙයි. මෙහිදී කවියාට වඩාත් විශාල ප්‍රමාණයක් ආවරණය කිරීමට සිදුවෙයි. එහිදී ඔහුට ඉංගනයන් භාවිතා කිරීමට සිදුවෙයි. කවියාට මේ උපක්‍රමයන් අනුගමනය කිරීමෙන් වන්නේ අර්ථ සම්පාදනයේදී අවශ්‍යය වුවහොත් භාෂාව අවසන්ධි කිරීම වුවද කළ යුතුය.”

ටී.එස්.එලියට් හා නවකවිය -

(ආරියවංශ රණවීර)

තියුණු කරගත් බුද්ධියක් ඇති, භාවමය චින්තාවලියක් ඇති රසිකයාට එලියට්ගේ කවියේ රසවත් ස්ථාන ස්පර්ශ කිරීම අපහසු කටයුත්තක් නොවෙයි. ටී.එස් පියර්ස් නම් විචාරකයා පවසන්නේ එලියට් “ චින්තාවේ ඈතම කොනේ දැවටී ඇති සංකීර්ණ තේමා මතු කරන නිසා ඔහුගේ කවි විඳීම අසීරු” බවයි.

විටෙක එලියටිගේ කවිය වර්ජිනියා වුල්ෆ් අනුගමනය කළ විඥාන ධාරා රීතියට සමානකම් දක්වයි. එලියට්ගේ කාව්‍ය උපක්‍රම තුළ සංද්ධ්වනිය පවතින බව අයි.ඒ රිචර්ඩ්ස් නම් විචාරකයා වේස්ට්ලන්ඩ් කාව්‍ය ගැන විමසීමේදී අදහස් දක්වයි. එලියට් භාෂාව නව මගකට යෙදවීමට පෙළඹිණු කවියෙකි. ඔහුගේ කවීත්වයේ සංකීර්ණතා පැන නැගුනේද මේ හේතුව නිසාය.

ආචාර්ය ජා පෙන්වාදෙන්නේ එලියට් කාර්මික හා යාන්ත්‍රික ලොවකට ඔබින කවියක් නිර්මාණයට වෑයම් කළබවයි. එයට අවශ්‍යය කලහකාරී, දුර්ගන්ධිත, පීඩනකාරී භාෂාවක් එලියට් විසින් ම  නිර්මාණය කරගැනීම ඔස්සේ කවියේ අක්මුල් වලට ද ජලඅංශ්‍ර රැගෙන යාමට එලියට්ට හැකිවිය.

එලියට් කලහකාරී මුඩුක්කු, ශ්‍රම සූරාකන ධනපති කර්මාන්තශාලා බහුල, යන්ත්‍රසුත්‍ර ආදී බහුල රථ වාහන නලා ශබ්ද, දුර්ගන්ධිත සමාජ ක්‍රමය ගැහැණුන් මිනිසුන් රැස්ව බීම ශාලාවල ගැවසෙන සූදුව දුරාචාරය රජයන, අභිසාරිකාවන් පිරි පරිසරයක් බොහෝවිට කතා බව කළේය. එය කතාබහට ලක්කළේ ඒ ඒ පරිසරයට සමීප වීමට හැකි භාෂාවක් යොදා ගනිමිනි. ආලවන්තයින් දෙදෙනෙකුගේ ආලයේ මිහිර වර්ණනා කරන භාෂාවකින් දූෂිත සමාජය රසිකයාට සමීප කිරීමට නොහැකි බව හොදහැටි තේරුම්ගත් විප්ලවකාරී කවියා එලියට් ය. එලියට්ගේ කාව්‍ය රීති බොහෝවිට විචල්‍යය වෙයි. මෙයට එලියට් ආභාසය ලබා ගත්තේ මුල්කාලීන ප්‍රංශ සංකේතවාදී කවින්ගෙන්ය. ( ලෆෝර්ජ් කොර්බියරේ හා මැලාර්මේ යන කවීන් ප්‍රධාන වේ )

කවියෙන් යමක් වක් මඟින් කීම බොහෝ කවීන් යොදා ගත්ත ද  එලියට්ගේ මේ ප්‍රවණතාව සැලකිය යුතුලෙස බහුලව දක්නට ලැබේ.


 “නිසරු බිම” කාව්‍යෙයන් නූතන ජීවන පරිසරය තුළ මිනිස් ප්‍රේමය හා උතුම් චෙෂ්ටාව වියළී නිසරු වී හුදු කායික රාගය දක්වා ලඝු වී ඇතිබව පෙන්වන එක් නිදසුනකි FREE SERMON කාව්‍යය.

Hardly aware of her departed lover

her brain allows one half-formed thought to pass

Well now that is done I am glad that it is over

When lovely women stoops to folly and

Paces about her room again, alone.


අයි.ඒ රිචර්ඩ්ස්  මෙසේ පවසයි,

“ නිසරු බිම කාව්‍යයේ අන්තර්ගතය ගතහොත් එය එපික් කාව්‍යයකට සමානවෙයි. එලියට්ගේ මේ කාව්‍ය උපක්‍රමය නොවන්නට එහි ඇති අන්තර්ගතය කවියට නගන්නට පොත් දොළහක්වත් අවශ්‍යවෙයි. ”

එලියට්ගේ කවිවල එක් සිද්ධියක් අනෙක් සිද්ධියට එන ආකාරයේ අනුක්‍රමිකතාවක් දක්නට නොලැබෙයි. ඒ නිසා, එහෙයින්, ඉන්පසු, තවද වැනි අමුනන වචන එලියට්ගේ කවියේ නොමැත. එලියට්ගේ ප්‍රකට කාව්‍යොක්‍රමය නම්, කවියේ ප්‍රබල හඬ මතු කිරීමට පුරාණෝක්ති මාර්ග යොදා ගැනීමයි. පුරාණෝක්තිය වර්තමාන ජීවිතයේ දැක්වීමට මඟක් ලෙස මුලින් භාවිත කළේ ජේම්ස් ජොයිස් ය. එලියට් තමාගේ ප්‍රකට කෘතියක් වූ නිසරු බිම කෘතියේ පුරාණෝක්ති බහුලව යොදාගෙන තිබෙයි. මොහු සංකේත හා චිත්ත රූප යන මාර්ග ද්වයම නව කවියට අඩංගු කළේය.සංකේතාත්මක චිත්තරූප මඟින් සංකේතය තුළට ගැඹුරු අරුත් ගැබ් කිරීම එලියට්ගේ තවත් උපක්‍රමයකි. ප්‍රෙලූඩ්ස් ( Preludes) කාව්‍ය දේහය ඉහත කී ආකාරයේ චිත්ත රූප ඇමිණීමකි.

“The burnt out ends of smoky days

And now the gusty shower wraps the grimy scraps

of withered leaves about your feet

And news papers from vacant lots

The showers beat

on broken blinds and chimney pots

And at the corner if the street

A lowly cab-horse steams and stamps.”

“burnt out ends of smoky days” යනු චිත්ත රූපයකි. මෙහිදී උරා විසිකළ සිගරැට් කොට සමකර ඇත්තේ ගෙවෙන සැදෑවටය. සමස්ත කාව්‍යයේම එන චිත්ත රූප නාගරික පරිසරයේ අප්‍රියකර, නිසරු බව හඟවයි. එලියට් ඔහු යොදන පළමු චිත්ත රූපය බොහෝ උත්තම ස්වරූපයක් හගවා ඊළගට යොදන චිත්ත රූපය හා හාස්‍ය දනවන එකක් එකතු කරයි. බොහෝවිට මොහු කවියේ කිසියම් චරිතයක් හෝ චරිත දෙකක් යොදාගෙන එම චරිතවල මුවින් පිටවන ප්‍රකාශ ආකාරයට කවිය ගොඩනගයි. ඒ තුළින් කවියට නාට්‍යානුසාරී බවක් එකතු වෙයි. එලියට්ගේ කවියේ නිමිති බොහෝමයක් නාගරික පරිසරය හා සම්බන්ධය. මොහු කාව්‍යකරණයේදී දැඩි විරිත් අනුගමනය නොකළ අයෙකි. විරිතකට කොටු වී අදහස පලුදු නොකොට විරිත ද  තම අදහස උලුප්පන ආකාරයට එලියට් යොදා ගත්තේය. හොඳ කවිය හා හොඳ ගද්‍ය රචනා අතර සමානකමක් පවතී යන්න එලියට්ගේ අදහසයි.

ඔහු පැරණි ආකෘතිය තුළ කවිය සිර නොකරන අතර කවියට පැරණි ආකෘතිය බාධාවක් බව පෙන්වාදෙයි. එලියට් නිරූපණය කළ කාර්මීකරණයේ ගන්දස්කාරය වත්මන් සමාජයෙන් ද  වහනය වෙයි. ඔහුගේ කවිගේ සැගවුණු ධනවාදී රැල්ලේ ඉතිරි වුණු සුනුබුන් අනාගතයට අදටත් වඩා ගැටලු මතු කරනවා නොඅනුමානයි. ධනවාදී වසංගත, දුර්භීක්ෂ, නන්නාදුනන බෝම්බ පිපිරීම්, නාදුනන මළ සිරුරු, කහ රෙදි අතර කුණුකදුවල නොවිසදෙන එකී මෙකී නොකී පැටලැවිලි එලියට්ගේ කවිය තුළින් වහනය වෙයි. කාල්පනියත්වය මත දාර්ශනික චින්තාවක් මෙහෙයවන රසිකයාට එය වටහා ගැනීම අපහසු නොවෙයි.


- සෙව්වන්දි ප්‍රේමතිලක - 

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය


Tuesday, June 22, 2021

ජන සාහිත්‍යයෙන් පෝෂණය වූ සිංහල ගීතය

 ජන සාහිත්‍යයෙන් පෝෂණය වූ සිංහල ගීතය




ගීත සාහිත්‍යය මෑත වකවානුවේ ජනප්‍රියතම කලා මාධ්‍යය බවට පත්වීමට රූපරචනා ද  පිටුබලයක් වී ඇතිබව පෙන්වා දිය යුතුමය. මුල් කාලයේ ගුවන්විදුලිය ඔස්සේ ද අද රූපවාහිනිය තුළින් ද ජනප්‍රිය වී ඇති ගීතය මිනිත්තු තුනක් හතරක් වැනි කෙටි කාලයක් තුළ රසික විඥානයට ආමන්ත්‍රණය කරයි. ගීතය උසස් කලා මාධ්‍යයකි. ඒ තුළින් උසස් වින්දන ශක්තියක් රසිකයාට ලැබෙන අතර මෙහි මූලික ලක්ෂණය අර්ථ ධ්වනියෙන් හා ශබ්ද ධ්වනියෙන් පරිපූර්ණ පදමාලාවක් පැවතීමයි. අපේ බොහෝ ගීත රචනාවන් ජන සාහිත්‍යයේ සෙවනැල්ල මත හැදීවැඩී ඇති බව පැහැදිලි කරුණකි. සිංහල ගීතය කවියේ බොහෝ සාධනීය අංග උකහාගෙන හැදී වැඩුණු ආකාරය පසුගිය දශක කීපය තුළ ජනප්‍රිය වූ ගීත සලකා බලන විට පෙනීයයි. වර්තමාන සංකීර්ණ සමාජයේ වෙසෙන අපට ජනකවිය තුළින් ලද හැකි සාම්ප්‍රදායික ආලෝකය මතු දැක්වෙන අවස්ථාවලින් ධ්වනිත වෙයි. 

අර්ථ ධ්වනියෙන් හා ශබ්ද ධ්වනියෙන් පරිපූර්ණ වූ ඉතා ජනප්‍රිය වූ මතු දැක්වෙන ගීතය අමරදේවයන් ගායනා කරන්නකි. මඩවල එස් රත්නායකයන් පද රචනය කරන ලද මෙහි ජන සංස්කෘතියේ සුවඳ මුසු වූ මුදු ගුණයක් විද්‍යමාන කරයි.

රන්වන් කරල් සැලෙයි සන්සුන් කමින් බරව

සිල්ගත් සිතින් යුතු ව කත සේ

මඳ සුළඟ හා සමග බඳ සල විට ගමද

පෙම්මල් උදා කරති සතොසේ


ගං හෝ ජලෙන් පිරෙන ගොවි බිම්වලින් සුසැදි

දුක් දොම්නසින් ඉවත ඇදුනි

වන ගතෙහි සියොතුන්ගෙ මිහිරි ගී රස වැළඳ

ගහ වැලද පිපුණා - මල් පලින් සැදුණා

රස බරින් සැලුණා - ගමට නව සඳ එළිය වැටුණා

හද කුමුදු පිපුණා හැම දනන් සිත් සතන් නිවුණා


ජන කාව්‍ය සම්ප්‍රදායේ එන තුරඟ වන්නමේ සාම්ප්‍රදායික තනුව වැඩි වර්ධනය කරමින් නිර්මාණය කරන ලද මෙම ගීතය තුරඟකුගේ ගමන් විලාසය දක්වන රිද්මයට ගොඩනැගී ඇත. එහි ගැමි සාහිත්‍යයේ අර්ථ රසය හා ශබ්ද රසයේ පරාසය උපයුක්ත භාෂාව මඟින් මවා දක්වයි. ගම තුළ විසිරී පැතිරී හමන ගැමි සුන්දරත්වය පදමාලාව තුළින් මෙන්ම උපයුක්ත සංකල්ප රූප මඟින් ද ධ්වනිතවත් කරයි. සද්ධර්මරත්නාවලියේ දී ධර්මසේන හිමි භාවිතා කළ ශ්‍රෙැති ගෝචර භාෂා රටාව වර්තමාන ගීතයේද අංගයක් වී ඇති ආකාරය “වන ගතෙහි සියොතුන්ගෙ මිහිරි ගී රස වැළඳ” කොටසින් සනාථ කළ හැකිය. “රන්වන් කරල් සැලෙයි” යන යෙදුමෙන් මුළු වෙල්යායම එකම රන්වන් පාටකින් බැබලෙන අයුරු සිකට නංවන්නේ ගැමි පරිසරයේ සශ්‍රීකත්වය චිත්‍රනය කරමිනි. “සිල්ගත් සිතින් යුතු ව කත සේ” යන උපමාව රූපකාර්ථ නංවයි. සිත කය දෙදොරම සංවර කරගත් කතක් පාරිශ්‍රද්ධත්වයට පත් කතක් හිස පහත් කොට ගෙන සිමින් සිමින් පිය නගන අයුරු වාග් චිත්‍රනයක් කරන ආකාරයට “සන්සුන් කමින් බරව” යෙදුම තවත් ආලෝකයක් සපයයි. ගැමි කාන්තාවගෙන් වෑහෙන සන්සුන්කම මෙන්ම හික්මීම චිත්‍රනය කිරීමේදී වැටෙක රචකයා සැළලිහිණියේ එන මතු දැක්වෙන කවියේ පදමාලාව සිහියට නංවන්නට ඇති බව සිතීමට පිළිවෙන.

සන්නන් සිහින් සෙවනලු වැලි තෙලෙන

තැන්තැන්වලම සැතපී සියුමැලි     බැවින

රන්වන් කරල් ගෙන එන ගිරවුන්      අතින

යන්මන් තොසින් මඟ තොරතුරු නියම   දැන


සැළලිහිණියාගේ ගමන් විලාසය ධ්වනිත කරන ආකාරයට පද සංවිධානය කරඇති මෙම කවියේ ආභාසයක් මඩවල එස්.රත්නායක ලැබෙන්නට ඇත. ගොවි ජීවිතය ඇසුරින් උපන් ජනකවිය සරල තලා මාධ්‍යයක් වුවත් එයින් ද සංකීර්ණ ජීවන ගැටලු විවරණය කර තිබෙයි. සිංහල ජන ගීතය මනාව අවශෝෂණය කරගනිමින් තම නිර්මාණකරණයේ යෙදෙන වර්තමාන ගීත රචකයෙකි රත්න ශ්‍රී විජේසිංහ. 

පුන්සඳ රෑට ඇවිදින් වේලේ කළුව බිඳ 

රන් කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද

තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර    ඉඳ

රන්කඳ තාම පැල් රකිනවද නිදි     තැතිද

ජනකවියේ මූලික ලක්ෂණයක් වන සිව්පද ආකෘතියෙන් නිර්මාණය කර ඇති මෙයට යශෝධරාවතින් ආභාසයක් ලැබී ඇති බව  “රන්කඳ තාම පැල් රකිනවද නිදි     තැතිද” කොටසින් විද්‍යමාන වෙයි. “රන්කඳ ලෙසින් වැඩියා සුදවුන් ළඟට” පද්‍ය කොටස සිහිගන්වන මෙම ගීතය තුළින්ද වහනය වන්නේ ජන සාහිත්‍යයේ සුවඳයි.

මහගමසේකර, චන්ද්‍රරත්න මානවසිංහ, යමුනා මාලනී වැනි පිරිස්ගේ මැදිහත් වීමෙන්ද ගීතයේ ජන සාම්ප්‍රදායික ලක්ෂණ මතුවිය. මෙසේ ගලා ආ නූතන සිංහල ගීතය මුල් යුගයේ ගීතවලට වඩා සංකීර්ණ වස්තු විෂයන් වටා නිර්මාණය වී ඇත. විශේෂයෙන් ම 1970 දශකයේ සිට සිංහල ගීතයේ මුහුණුවර ප්‍රබල ලෙස වෙනස් විය. ගීතය සමාජ මෙහෙවරක යෙදිය හැකි මාධයයක් විය. නූතන ගීත රචකයෝ කාර්මික ශිෂ්ටාචාරය විසින් වෙනස් කළ වත්මන් මිනිසාගේ අධ්‍යාත්මික පුරන්වීම වැනි සංකීර්ණතා ගති ස්වභාවයන් පවා විෂය කොට ගත්හ. ජන සාහිත්‍යය ඇසුරු කොට රචිත එබඳු සාර්ථක නිර්මාණ රැසක් අප ගීත සාහිත්‍යය සතුවෙයි. මතු දැක්වෙ ගීතයද හටන් කාව්‍යය මාහිත්‍යයෙන් ආභාසය ලබා රචිත ගීතයකි.


වන්නි වන පෙතේ ගම් දනම් පුරා නිවහන

වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්

අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්


කන්ට බෑ කියා තනියම එන්ට යැයි කියා ගමටම

බත් බුලත් නිතර දන්දුන් පියවරැන් වෙතින්

ජාතවී ඇතත් පූරුවේ කරන ලද පවක් පලදී

බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන්

කල්ප කාලයක් පරපුර දුන්නු දේ ඇතත් සිත තුළ

මාසෙකට වරක් ලැබෙනුයේ සොච්චමක් බැවින්

කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බියවැද

දොර ජනෙල් වසා තනියම බුදිති බෝදුකින්


බණ්ඩාර ඇහැළියගොඩ රචනා කළ මෙම ගීතයට සුනිල් එදිරිසිංහ හඬ එක්කාසු කරයි. ගමෙන් නගරයට සංක්‍රමණය වී ගන්ධබ්බ ජීවිත ගෙවන බොහෝ පිරිස්හට ආමන්ත්‍රණය කරන මෙම ගීතය මහගමසේකරගේ 1962 රචිත සක්වාලිහිණි පද්‍ය සංග්‍රහයේ “ගමෙන් උරුම වූ වස්තුව පොදියක් බැද කර තියාන උඹේ බහට රැවටීලයි සිදාදායට ආවේ” පද්‍ය කොටසට සමාන කමක් දක්වයි. ගැමි හරපද්ධතියේ උත්කෘෂ්ඨ බව මවා පෑමට ජන සාහිත්‍යයම ආලෝකය කරගත් ගීත නිර්මාණකරුවන් රැසකි. ඒ අතර රෝහණ බැද්දගේ ටද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.


සත්සඳ සත්සඳ දිය පල්ලේ තිබෙයි අල ( දිය පල්ලේ තිබෙයි අල)

දෙයියන්ගේ පිහිටයි...

සත්සඳ සත්සඳ දිය මතුපිට තිබෙයි කොළ (දිය මතුපිට තිබෙයි කොළ)

ගාලේ ලිහන්ඤයි

වැස්සට පිණි බබා මෝරණ කැකුළු මල

මස්සටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල..//


සකිය සගව්වට රෝදය කැරකෙනවා

සත්සඳ සත්සඳ අපි මහ පාරේ යනවා//

....

ගැමි වාග් මාලාව අව්‍යාජ ලෙස පරිහරණය කරමින් රචිත මෙම ගීතයේ තනුව සසද කවි, ගමන් කවි හෙවත් කරත්ත කවියේ ආභාසයෙන් නිර්මාණය කරතිබෙයි. මීට අමතරව “මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොදුරණවා”ගීතය රබන් පද ආභාසයෙන් ද නිර්මාණය කරන මෙතුමා ජන සාහිත්‍යයේ රසය සියුම් ලෙස උකහා ගනිමින් එය නැවත ප්‍රතිනිර්මාණය කරයි. 

ගුවන් විදුලි ගීතය පමණක් නොව ජන සාහිත්‍යයේ පිටුබලය නාට්‍යයට ද බලපෑ අවස්ථා රැසකි. තාරාවෝ ඉගිලෙති, බෙරහඬ එයට සාක්ෂි සපයයි. 

මඩේ ලඟින තාරාවන් නාවන්නද මං

ඌරු දළෙන් මොන ගජමුතු අරගන්නද මං

චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං

එහෙම කළොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං

මෝඩ ගෑණි මං...


මදන ඇතුන් නෙලුම් හුයෙන්//

බැඳගන්නද මං

දුවන මුවන් දැක ලන්නද

නෙලූ පලා මං

එහෙම කළොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං

මෝඩ ගෑණි මං...


ලූෂන් බුලත්සිංහලගේ පද රචනයට මර්සි එදිරිසිංහ හඬ එක්කාසු කරන මෙම නාට්‍ය ගීතයද ජන සාහිත්‍යයට සම්බන්ද වන්නේ “අනුන් ලියන් දැක තම ලියට තලා, දුවන මුවන් දැක නොදමනු නෙලූ පලා” ආකාරයටයි. නාට්‍ය ගීතයට පමණක් නොව චිත්‍රපට ගීතය තුළද ජන සාහිත්‍යයේ මැදිහත් වීම “වෙසක් කැකුළු අතු අග ඉඳ නටන විලාසේ” “ඕලු නෙළුම් නෙරිය රඟාලා” වැනි ගීත විමර්ශණයෙන් පෙනීයයි. ලයලන් රන්වල, සහන් රන්වල, රෝහණ බැද්දගේ වැනි පිරිස් අතරට වත්මනයේ එක්කාසු කළ යුතු නාමයකි සමන් ලෙනින්. ජන සාහිත්‍යයේ රසය නූතන ගීතය හා බද්ධ කොට ඉදිරිපත් කිරීම හරහා ගීතයට නව මානයක් සමන් ලෙනින් අතින් එළිපෙහෙළි විය. එයට නිදසුනකි “අමුඩේ” ගීතය.වස්කවි ආරයෙන් රචිත එම ගීතය තුළද ජන සාහිත්‍යයේ ජීවය නොනැසී පවතී. දේශීයත්වය අපේකම තුළ සැගවී ඇති රසය මනාකොට ඉදිරිපත් කරඇති මෙවැනි තවත් බොහෝ ගීත අප ගීත සාහිත්‍යය සතු වෙයි. රසභාව උද්වීපනයටත්, මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමටත් කමටහන් මෙම ගීත නොඅඩුව සපයයි.  



සෙව්වන්දි ප්‍රේමතිලක-

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය


Sunday, June 20, 2021

රාධා

 රාධා 




නීල චන්දන හිමව් අභියස

සීත පවනකි මහඳ සනසන

ගීත අතරින් ලපලු හෙවණක

පුන්මදාරාවී


කෝමළී මා දේහිණී

භාෂිණී මන මෝහිණී

දේවිනී සඳ රාජිනී

පුන්මදාරාවී


බමර පිය රැව් තලාවේ

සුපුෂ්පිත වන වෙලාවේ

තාරුකා පෙළ සිනාවේ

සඳට ඔච්චම් කලාවේ

පුන්මදාරාවී


දෑස සනහයි නිදන සුරඹුන්

ඈත සිහිනේ වුණා සළුපිල්

සීත පවනේ සුවඳ තවරා

පුන්මදාරාවී


ගෝගුල් වන මැද

ගෝපි ලියන් සොඳ

කෝපි මලේ සුවඳයි රාධා


මා මුසපත් කළ

සෝබන පුන් සඳ

නුඹයි මගේ 

පෙම්බර රාධා

විමලා - මලා

 විමලා - මලා



විමලා - මලා

නිල්වන අතර මැද රතැතින් කැලුම් ලන

පියුම් වනය මැද දිලිසෙන කැකුළු මිණ

මත් මුව රජුන් නියපඳුරෙන්      සනහලන

මතැත් කුඹින් ගිලිහුණු රත් මැණික නුඹ


මතැත් යුද්හි දළ ගැටෙමින් ගිගුම් ලන

නවසඳ ලපොළ වැතිරී රඟ විදින මන

ගිනිදල සෙයින් රත් වූ රතු මුව          කමල

බමර පිය රැවින් සිපගනිමිද      කෙලෙස


බමන දවන රවන බඹර රැල මැද්දේ

ලියනගලා මල් සුවඳට හඳ බැන්දේ

රොනට අයිති වූ නුඹෙ පියොවුර මැද්දේ

සිහිල් උතුරු නල පහසක් මා වින්දේ


රතට රත පෙනී දිදුලන නෙතු සඟලේ

දෙබැම අත වනයි අනංග රඟ මැද්දේ

එකෙක් යන විටදි තවකෙකු නුඹ මත්තේ

වැටී දැවටෙමින් ගිජුකම් ඇයි සද්දේ


බාදුරාවියේ ගත සිත ගලක් වෙලා

නිසොල්මනේ ඇයි ඉන්නේ මුවා වෙලා

හඳත් යන්න සූදානම් පමා වෙලා

හිරුට කලින් ගෙට පලයන් මුවා වෙලා






කිරි දරුවට හිමි කිරිටික දං දීලා

දුහුල් සළුව කර වටලා තෙත් වීලා

බමරු විද්ද තොල් පෙති නුඹෙ       ඉදිමීලා

පිටිකිරි ටිකක් හදලා දීපන්        විමලා



විමලා  මලා  ලා විකසිත මුව කමල

පිඹලා  බලා  ලා දීපන් කිරි බඳුන

සිඹලා  බලා  ලා තොල් පෙති මුදු සුවඳ

ඉවසා  වසා  ලා ගේ දොර රෑ දෙමැද

Saturday, June 19, 2021

පී.බී ට වැරදුනේ ඇයි

 පී.බී ට වැරදුනේ ඇයි



කොළඹ යුගයේ ප්‍රථම භාගය බිහිවූයේ ප්‍රධාන වශයෙන්ම යටත් විජිත යුගයට එරෙහිවය. යටත් විජිත යුගයේ අවසානයේ බිහිවූයේ කොළඹ ද්විතීය පරපුරයි. කොළඹ යුගයේ 40 – 50 දශක කවි සඟරා රැසක් බිහිවූ යුගයකි. දේදුන්න, මී වදය, සුවඳ, මහවැලි, කාන්තා, කවිසර සිරිමා ඉන් අතලොස්සකි. මේ යුගයේ කවියන්ගේ කාව්‍යය දැකිය හැකි ලක්ෂණ කිහිපයක් වෙයි. මොවුන් සොබා සෞන්දය වර්ණවත් ලෙස නිර්මාණය කරයි. එයට හේතුව බටහිර රොමෑන්ටික් කවීන්ගේ ආලෝකය ඔවුන්ට ලැබුණු නිසාවෙනි. ෂෙලී, ටෙනිසන්, ගෝල්ඩ්ස්මිත් වැනි බටහිර රොමෑන්ටික් කවීන් අනුගමනය කරමින් පද්‍ය නිර්මාණයේ යෙදුණු මේ කවීහු කාර්මීකරණය නිසා ඇතිවූ කාර්මීකරණයේ කනපිට ස්වාභාවය නිරූපණයට කවිය අවිය කරගත්තෝය. ඔවුන් කලබලකාරී පරිසරයෙන් මිදී ගැමි සුන්දරත්වය, ගංඟා ඇළදොළ, වනලැහැබ තුළ ලගිමින් නිර්මාණ බිහිකිරීමට සමත්විය. 

බටහිර සිදුවූ කාාර්මික විප්ලවයත් සමඟ මින්සාගේ හෘදයාංගම බව යාන්ත්‍රීකරණය වීම නිසා ටී.එස් එලියට් මුඩු බිම “The Waste Land” නම් කෘතිය නිර්මාණය කළේ එවකට බටහිර රටවල් තුළ කාර්මීකරණය අනිිිටු ප්‍රතිඵල රාශියක් විද්‍යමාන වූ නිසාමය. නමුත් බටහිර කැළඹූ තරමටම ලංකාව තුළ කාර්ólරණය හිස එසවූයේ නැත. එයට හේතුව ගැමිකමේ අක්මුල් සහිත පිරිස් ලාංකීය සමාජයේ ජීවත් වූ නිසාය. නමුත් බටහිර රෝමාන්තිකවාදය ආශක්ත කරගත් අපේ කවියෝද එයට අනුකූලව තම නිර්udKකරණයේ නියැලෙන්නට විය. ස්ත්‍රී පුරුෂ ප්‍රේමය කොතරම් සුන්දර ද නමුත් පී.බී අල්විස් පෙරේරාගේ පටන්ගත් මේ පරපුර එහි ඇති ශෘංගාරාත්මක බව භාව ප්‍රකෝපනයන් දක්වා ගෙන යන ආකාරය මීමනගේ කාව්‍යයකින් මෙසේ විමසමින් විචාරය පටන් ගැනීමට කැමැත්තෙමි.

දෙවටොර රඹ කඳන් වැනි මිරිකා තදිනි

තව එය විකා වරවර ආදර කමිනි

ලෙවකා නළල සිඹගෙන සිඹගෙන යමිනි

කවදා සිටින්නෙද ඔබ කිවමැන ඉතිනි

ආදරය - 

මීමනගේ කවියට දෙවනි නොවන කවියකි පී.බීගේ “උක්දඬු දුන්න” පැරණි සාහිත්‍යයකරුවන් රණ හංසයින්ට, මත් ඇත් යුවලකට උපමා කළ පියවුරු පී.බී උපමා කරන ආකාරයට මෙසේ දක්වනු කැමැත්තෙමි.

සමන්මලීගේ පියොයුරු දැක නැවත හැරී

තබන්නෙමි අළුත් උවනක් කොහොම හරී

පැළෙන්නට ඉතා ළංවුණු සුළං පිරී

ජපන් බැලුන් යුවලක් යනු නොවද සිරී


කවුද මේ පී.බී අල්විස් පෙරේරා. ඔහු පීඩිතයන් උදෙසා කවි ලියූ එම පරපුරේ නියෝජනයයි. රෝමාන්තික කවිය විෂයෙහි දැඩි අවධානයක් යොමු කළ එම යුගයේ රෝමාන්තික කවියායි.


“තාත්තාගේ ජීවිතය පුරාම ගලා ගියේ මේ සානුකම්පිත හැගීමයි. මොනතරම් මුදල් ලැබුනද මගේ පියා ඉතිරි කළ ධනය වූයේ ඔහු ලියූ කවි පමණයි. ඔහු සතු වටිනා වස්තූන් වූයේ අතැහි රැදි මුද්දත් ඔරලෝසුවත් පමණි.”

චිත්‍රා අයි.පෙරේරා (අපේ තාත්තලා)


පී.බීගේ කවීත්වයෙන් මතුවන ප්‍රධාන ලක්ෂණයක්නම් අධිරාජ්යවාදී වැඩවසම් සමාජ ක්‍රමයට එරෙහිව ගතානුගතික සිංහල කාව්‍ය සම්ප්‍රදායට එරෙහිවත් ඔහු තම කවි සිත යොමු කිරීමය. මෙම යුගයේ කවිය පොදු ජනතාව වෙත වඩාත්ම ළංව තිබූ මාධ්‍යයක් විය. මොහු තම අලුත් අත්හදා බැලීම සඳහා වැඩි වශයෙන් වස්තු විෂය කරගන්නේ ස්ත්‍රී ප්‍රේමය, සෞන්දර්යට, විරහව ආදී කරුණුයි. ටෙනිසන්, ගෝල්ඩ්ස්මිත්, කොල්රිජ් , ෂෙලි වැනි බටහිර රොමෑන්ටික් කවීන්ගේ ආභාෂය වැඩි වශයෙන් ලැබූ බව හාවා, මිනි ගිගිරි, කිරිදත්, උක්දඩු ගින්න කාව්‍ය කෘතිවලින් විද්‍යමාන වෙයි. පී.බී අල්විස් පෙරේරාගේ කාව්‍ය තුළ යම්තාක් දුරකට පොදු ජනයාගේ ජීවන අත්දැකීම් වස්තුවිෂය විය. එදිනෙදා ව්‍යවහාර භාෂාව බහුලව ලෙස කාව්‍ය විෂයෙහි යොදා ගැනීම මෙන්ම අර්:යෙන් නොගැඔුරු එහෙත් මතුපිටින් සුන්දර වූ වාග් මාලාවක් භාවිතයට ගත්තේ තාගෝර් තුමාගේ කවිවල මතුපිට අර්:ය දෙස බලා මිස යටිපෙළ අර්:ය දෙස බලා නොවන බව ඔහුගේ කාව්‍ය විමසීමෙන් පෙනීයයි. නව පද්‍ය සිංහලය තුළ වික්‍රමසිංහ තාගෝර් අනුකරණයට යාමෙන් පී.බීගේ ඇති දුර්වලතා රැසක් පෙන්වා දෙයි.

මොහුගේ ප්‍රථම කාව්‍ය සඟරාව “දේදුන්න” නම් විය. මොහු සමස්ථ ලංකා සිංහල කවි සම්මේලනය පිහිටු වීමටද පුරෝගාමියා විය. මොහු අතින් ලියැවුණු කාව්‍ය කෘති රැසක් 1942 බිහිවිය. ප්‍රථමයෙන් උක්දඩු දුන්න පසුව බුදුමැදුර, රන්තලිය, සොබාදහම, සංවාදය, ගොවි පෙරමුණ, අපේ හටන, වේදනාව, ළමයින්ගේ පරපුර, දෙව්ලොව ගිය කම්මැලියා, ජන්ම භූමි, ඉරුණ කොඩිය, අන්ධ කවියා, කේයස්, සුවඳ විලවුන්, අනුර සිහිනය, විමලරත්න කුමාරගම, වනමල, නාගස යටදී, මිණිපාන ආදී පද්‍ය රාශියක් රචනා කළේය. අල්විස් පෙරේරා හැකිතාක් සායම් එක්කොට ගෙන සිතට වඩා ඇස අනා සිත්තම් අදින්නෙකු වැනි යැයි වික්‍රමසිංහ නව පද්‍ය සිංහලයේ දක්වා ඇත්තේ සරල වාග්මාලාව තුළින් සමාජය ආමන්ත්‍රනය කරන නිසාවිය හැකිය.

තවත් මොහුගේ එක් ප්‍රධාන ලක්ෂණයක් නම් මොහු සම්භාව්‍ය යුගයෙන් මිදී තමාට ආවේනික වූ නව්‍ය උපමා තම නිර්මාණ තුළට කැටි කිරීමට උත්සාහ දරා තිබෙයි. සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිතයයේ ප්‍රබල ආභාෂයක් ලැබූවද එම තත්ත්වය ප්‍රතික්ෂේප කිරීමට මොහු පෙළඹිණි. මොහුගේ “රන්තලිය“ නම් කාව්‍යයේ තරුණිකගේ ඇගිලි උපමා කිරීමට යොදාගත් නව්‍ය උපමාව කෙතරම් උචිතද යන්න සැකයකි.


දිගු මකුළු අඩු          වැනි

රතැගිලි අතර           නවමිනි

කනක මුදු            පැළදිනි 

රදන පොහොසත් කම් අනුවමිනි


නිර්මාණයක පවතින ඖචිත්‍ය ගුණය කෙතරම් දුරට රැදී පවතින්නේ ද යන්න ගැටලු සහගත වන්නේ මෙවැනි නව්‍ය උපමා රසිකයාට සමීප කිරීමට ඔහුගත් වෑයමක් සමඟය. පැරණි සාහිතයය තුළ නළල අඩසඳට උපමා කළද මොහු එයට අත්හදා බැලීමක් සිදුකරයි. ගතානුගතික ආමන්ත්‍රණ පද පසෙකලා ඔහු නව්‍ය උපමා සහෘදයා වෙතට කැදවාලීමට වෙරදරයි. 

 

පටු නළල        පියකරු

දැක උමතුවෙති        කිවිවරු

රස දිය කළ           අයුරු

කැට පතක් මෙනි කසුන් ඔප දැමු

-මිණිපාන-


ව්‍යංගයෙන් තොර පරිභෝගික වස්තුවක් ලෙස නොගැඔුරු අරුත් උද්වීපනය කරමින් තම නිර්මාණයට නව්‍ය උපමා සෙවීම තුළ ඔහු යම්කිසි පසුබෑමකට ලක්විය. එම පරපුරේ විමලරත්න කුමාරගම, එච්.ඇම් කුඩලිගම, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ තුළ පැවති අව්‍යාජත්වය විනිවිද පෙනෙන ස්භාවය විටෙක පී.බීගේ නිර්මාණ තුළින් පළා යෑම ඔහුගේ පසුබෑමට එක් හේතුවකි. මිණිපාන තුළම ඔහු අතින් ලියවෙන මෙම කවියද අවදානයට ලක්කළ යුතුමය.


මිනි පෙම්ල බැඳ      ඉඟ

දිය සොරොව්වකි තුනු       ගඟ

උගුද ගමනින්                නැඟ

වැනෙයි පනිදෙකු පෙන ගොබය රඟ


ධ්වනිථාර්:වත් භාෂා විලාසයක් භාවිතයට නොගැනීම හා ව්‍යංග්‍යාර්: ජනනයවන එකඳු වචනයක් තම නිර්මාණය තුළ නොතිබීම ඔහු අන්කවීන් අතර විවේචනයට ලක්වීමට හේතුවක් විය. කුමාරගම, කේයස් වැනි සමකාලින කවියෝද තම නිර්මාණ තුළට සරල භාෂාව භාවිතා කළද එයින් ධ්වනිථාර්:වත් බවක් පිටපනී. කවියා තුළ පවතින පරිකල්පන ශක්තිය අත්දැකීම් හා මිශ්‍රකර යුගයේ අවශ්‍යතාව හා මුසුකිරීමට කවියාහට සියුම් පුහුනුවක් තිබිය යුතුය. එය පී.බී අතින් ඉටුනොවුනාම කිය නොහැකිය. ඔහු අතින්ද කාලීන අවශ්‍යතා ඉටුකිරීමට අවශ්‍යය කාව්‍ය රචනා විය. නිදසුන් ලෙස,


ගිය ජාතියේ නුඔ අප වැනි සඟුන් හට

සද්දා සිතින් කිසිවක් පුද නුදුන් කොට

මූසල හිඟන ජීවිතයක උපන්නට

පන්සල පළිද මා පළි දැයි කියනු   මට

හිඟන්නියට වූ දේ- 


නමුත් මොහු කොළඹ ද්වීතීය පරපුරේ කවීන්ට ප්‍රබල ලෙස එල්ල වුණු චෝදනාවට වගඋත්තරකරුවෙකි. එනම් තත්කාලීන සමාජය ගැඹුරින් අවලෝකනය නොකළේය යන චෝදනාවයි. අරගලකාරී ප්‍රශ්න කිරීම්, පංති විෂමතා, ශ්‍රම සූරාකෑම, ලිංගික අල්ලස් වැනි සමාජයේ පැවති රෝගාබාධවලට ඖෂධ සෙවීමට වඩා පී.බී උනන්දුවක් දැක්වූයේ රෝමාන්තිකවාදී කාව්‍ය ලක්ෂණ කරපුන්නා ගනිමින් නව්‍ය උපමා තුළින් රසිකයාගේ හදවත් තුළට රිංගා ගැනීමටයි. එය ධර්මසේන හිමි සද්ධර්මරත්නාවලිය කළ ආකාරයට ඔහුට සිදුකර ගැනීමට නොහැකි වූයේ ඖචිත්‍යය ගුණය රැක ගැනීමට ඔහුට නොහැකිවූ නිසාය. “ආලය රිදී නයි පැටියා අනුරාගී - විස දළ තද කළා හිස මුදුනට ඈගේ” මතුපිට අලංකාරය කොතෙක් වුවද එම වචන අතර කිමිදී බලන විට එහි අරුතක්නම් දැක ගැනීමට ඉතා අපහසුය. අවසාන වශයෙන් දුප්පත් දරුවාගේ උදර  මෙසේ සටහන් කිරීමට කැමැත්තෙමි. “බඩගෙඩි ඔවුන්ගේ උවනට වොලිබෝලයි” සැබෑ ලෙසම කවිය යන වචනයේ ඇත්තේ රසවත් වූත් වින්දනීයවූත් ශක්ති ප්‍රබවයකි. කාව්‍යයක් තුළින් නොයෙක් දෙනා විවිධ වූ දෑ බලාපොරොත්තු වෙති. ඇතැම් අය කවියෙක් උපදෙසක් පතති. පිරිසක් ජීවිතයේ මුහුණ දෙන අනේකවිද දුක්කම්කටොලු අමතක කිරීමට සමාජය ආමන්ත්‍රණය කිරීමට, සමාජ දුබලතාවයන්ට පහර දීමට කවිය භාවිත කරයි. කවිය සෘජුවම මිනිස් හැඟීම් හා සම්බන්ධ වේ. පී.බීගේ දුබලතා මෙන්ම ඔහුගේ කවීත්වය තුළ ගැබ්වූ මානව හිතවාදී බවත්, සාධනීය වූ කාව්‍යමය ගුණාංගත්, කැටිකරගත් තවත් නිර්මාණ රැසක් ඔහු අතින් ලියවී ඇත. විමලරත්න කුමාරගම කවියා පී.බී අල්විස් පෙරේරා පිළිබඳ ලියාතැබූ පදවැලක් අවසාන ලෙස ගෙන එන්නට කැමැත්තෙමි.

අනගි මුතු බිහිකරන්නට රිදුමකින්

කොතරම් කඳුළු සැලුවා ද?

දසත යුගයක් මැදින් කොතරම්

කඳුළු ඔබෙ පා යටත් ගැලුවා ද ?

දිමුතු මුතු ඌරන් තලන විට

අප උපන් රට ඉබේ ගොළු වේද?

රටට ඔබ දුන් දේ අනන්තයි

එහෙත් රට ඔබ දිහා බැලුවාද?


පී.බී අල්විස් පෙරේරා ළමා පරපුර වෙනුවෙන් ලියූ කවි බොහෝමයකි. මල් පාසල, සුදු නෙළුම එවන් කාව්‍ය කිහිපයකි. මාර්ටින් වික්‍රමසිංහට අනුව පී.බී අල්විස් පෙරේරා නොසිදෙන දිය ඇල්ලක් වැනි කල්පනා ශක්තිය ඇත්තෙකි. නමුත් ඔහුට වැරදුනේ නව්‍ය උපමා කාව්‍යයට ඈදෑගත් ස්වරූපයේ ඇති දුබලතාවකි


සෙව්වන්දි ප්‍රේමතිලක - 

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

Friday, June 18, 2021

 ආදර - රාගය




රැළි නඟන වැව් ඉමේ සයනයක් වී ඉද

තෙපුල් නලනා පෙම් රසය විදගම්      මහද

සිහිල් සුළඟින් බැදි දිවිතෙක්ම ළඟට.      හිද

හිත් මඩලේ පායන්න එළිය දී සුපුන් සඳ


මුහුණු පොතෙන් එළිවෙනකන් මැසේජ්       කරාවි

රියැක්ට් එකක් සෙන්ඩ් කරලා පෙමක්            පුදාවි

නුඹට ආදරය බව “ එල් වයි ”                     පවසාවි

දැක්ක මූණ සැබෑවටම බලියක්                      වේවි


රැගෙන මා ඇස කෙනට සුවය විද            පසෙකලා

නුඹ ගැනම සිත සිතා සිහිනවල                   ඇවිදලා

ඇගිලි බිජු අල්ලන්න දහස්වර                   තෙරපලා

රාගයේ ගිනි දැල්ල නුඹ ළගදි                    සැගවිලා


හමුවන්නට කෝල් කරලා දිනක්         යොදාගෙන

යහළුවෙක්ගෙ මොටෝරියක් ණයට   හොයාගෙන

තිබුණු හොඳම ඇඳුම පුරා පුයර              හලාගෙන

රූම් එකක් බුක් කෙරුවේ සුවය             පතාගෙන

Thursday, June 17, 2021

සඳ පින්නෙන් පොළොව තෙතයි පය නොතබා හිටපන්නේ...

සඳ පින්නෙන් පොළොව තෙතයි පය නොතබා හිටපන්නේ...



අඬ අඳුරට තුරුලු වෙලා

සඳට කතා කියන වළා

පිපුණ නෙළුම් කැකුළු නෙලා

පිණි බිඳු වැල් බිමට සලා...


කලා මැදිරි එළි අවට දිලෙන්නේ

නුඹේ මුහුණ මට යසට පෙනෙන්නේ

සඳ එළියට නොව නිවුණු එළියෙනුයි

නුඹේ වතේ සිරි කදිමෙට වින්දේ...


යමන් "ලතෝ" සෝ ගිනි මැල නිවලා

අඳුරට ඉඩ දී පැදුර එලාළා

හාන්සි වී මගෙ උරයේ වෙලිලා

සඳට හොරෙන් මුව, මුවට තියාලා...


අසනිය  මල් පිපී සුවඳ දෙනවා ගේ දොර අයිනේ

පළඟටියෝ ගී කියනව නුඹේ හඬට කන් දෙන්නේ

ඉගේ නෙරය මගේ අතට මිරිකෙන කොට කොදුරන්නේ

සඳ පින්නෙන් පොළොව තෙතයි පය නොතබා හිටපන්නේ...

Wednesday, June 16, 2021

සාධු සාධු යැයි දොහොත් මුදුන් දී

 සාධු සාධු යැයි දොහොත් මුදුන් දී 




බෝ මළුවේ සුව හදට දැනෙනවා 

සෝ දුක් දුරු වී හද සැනසෙනවා 

දෝරෙ ගලන මෙත් සුව ඉපිලෙනවා 

කෝමළ සුළඟින් අතු සෙලවෙනවා 


වෙනදා සුළඟට ඉපිලෙන බෝපත් 

අද නෑ සතුටින් ඉපිලෙන පාටක් 

ජර බර සද්දෙන් ඉපිලෙන තානෙන් 

සිත චංචල වී යනවා සැනකින් 


දල්ලක්වත් එන්නට ඉඩ පෑදී 

දෙන්නේ නෑ අපේ උන්දැල පේවී 

සාධු සාධු යැයි දොහොත් මුදුන් දී 

කියනවා හයියෙන් අනෙකට යටවී 


බෝ අතු පස් කා බිම ඇද වැටිලා 

වැහි බිඳු බිම වැටිල අතු පෙඟිලා 

දූවිලි මාලා අතු අග රැඳිලා 

කොඩි වල පාටින් බෝ අතු පිරිලා

Tuesday, June 15, 2021

මග හිටියොත් තෝ නසී...


මග හිටියොත් තෝ නසී...


ලෝකයම වෙලාගත් කොරෝනා රකුසා මර්දනය කිරීමට රජය වැය කරන්නේ අති විශාල මුදලකි. එමෙන් ම සංචාරණ සීමා, රට වසාදැමීම ආදියෙන් දේශීය ආර්ථිකයට එල්ලවන බලපෑම ද අති විශාලය නමුත් මහජන සුභසිද්ධිය උදෙසා රජය බරපතළ අරගලයක නිරත වෙයි. සංචරණ සීමා පැන වූ විගස ආර්ථිකයේ කඩා වැටීම ගැන සාකච්ඡා පවත්වන පිරිස් ම නැවත එම සංචරණ සීමා ලිහිල් කළ සැණින් අත්තටු ලබයි. රජයේ අභිලාසය කෝවිඩ් මරණ ප්‍රතිශතය අවම කිරීමයි. එයට සාධාරණීය හෝ යම් විටෙක අසාධාරණ තීරණය ඒකමතිකව ගැනීමට රජයට සිදුවී තිබේ. රට වසා දැමූ පමණින් ජීවත්වීම පිළිබඳව හඬ නගති. එන්නත පමා වූ සැනින් ආණ්ඩුව විවේචනය කරති. මෙරට කොවිඩ් පාලනය සඳහා මේ වන විටත් රුපියල් කෝටි 28,000 ක අධික මුදලක් රජය වියදම් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යය හා කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියාසිටී.

  ශ්‍රී ලංකා වැනි රටකට ඔරොත්තු නොදෙන තරමේ මුදලක් කෝවිඩ් රකුසා පැරදවීමේ ක්‍රියාවලියට රජය ආයෝජනය කරන්නේ ලංකාව තවත් විශාලා මහනුවරක් වීම වැළැක්වීම සඳහායි. රජයේ මුළු මහත් පොදු ජනයාගේ සුභ සිද්ධිය උදෙසා ජාතික ආර්ථික කළමනාකරණය සිදු කරමින් ක්‍රියාත්මක වූවානම් රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇති නොවන්නට ද ඉඩ තිබිණි. නමුත් රජ්‍ය ආදායම් බොහෝ සේ පහළ වැටී තිබුණ ද ජනතා සහන කපා හැරීමට රජය කිසිසේත් තීරණය කර නැත. සමෘද්ධිලාභීන්, වකුගඩු රෝගීන් එමෙන්ම ස්ථිර ආදායම් මාර්ගයක් නොලබන සියලු දෙනාට රුපියල් 5000 දීමනාව ලබා දීමට රජය කටයුතු කරන්නේ කොවිඩ් මර්දන ව්‍යාපාරයේ තවත් එක් පියවරක් ලෙසයි. රජයේ ප්‍රමුඛ තීරණය වන්නේ මේ වසර අවසන් වීමට ප්‍රථම අවශ්‍යය සියලු දෙනාට එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමයි. ඒ සඳහා සෞඛ්‍ය අංශ දැඩි අවධානයක් යොමු කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කලාපීය වශයෙන් එකිනෙකාට සහයෝගය දක්වමින් සාමූහික කොවිඩ් අර්බුදයට මුහුණ දීමට වගවිය යුතු බව ඉස්මතු කර පෙන්වයි. වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හා නව ප්‍රභේද හමුවීම කබලෙන් ලිපට වැටෙන මනුස්ස සංහතියට තවත් පහර ගැසීමකි. මෙයින් අත් මිදීමට තමාට තමා වගවීම හැර කළ යුතු අන් කිසිවක් නොවේ.

 මේ වනවිට එංගලන්තය, ඉන්දියාව, මැලේසියාව, වියට්නාමය යන රටවලින් නව ප්‍රභේද සොයාගෙන ඇත. නව ප්‍රභේද නාමකරණය ද වෙනස් වූ දිශානතියකට පිවිසීම දක්නට ලබෙයි. රජයේ ප්‍රධානියා මහජනයාගේ යහපත උදෙසා තීන්දු තීරණ ගත යුත්තේ ජනප්‍රියත්වයට පත්වීමට නොවේ. රජය කුමනාකාරයේ පියවර ගත්තද එයට අනුව ජන ජීවිතය වෙනස් නොකර ගන්නා පිරිස් බොහෝ වෙති. තැන තැන ආණ්ඩුව විවේචනය 



කරමින් ගම්මැදි හෑලි දොඩන පිරිස්ගේ ශික්ෂණය හැදීමට ද සිදුවී ඇත්තේ රජයටයි. එයට වෙනම ආරක්ෂක අංශයේ නිලධාරීන් යෙදවීමට ද සිදුවී ඇත්තේ ස්වයං විනයෙන් පිරිහුණු ජාතියක ලක්ෂණ නිසාවෙනි.

 ජීවිත අවදානමේ ප්‍රමුඛ පෙළේ සිටිමින් තම රාජකාරිය දේවකාරිය ලෙස නොපිරිහෙළා ඉටු කරන සෞඛ්‍ය අංශ ද දැන් හැනිහැම්ම වී ඇත. ජනතාව රජයේ කිනම් තීරණයක් වුව ද විවේචනය කිරීමට රුසියෝය. සියලු දෙනාගේ හිත සුව පතා තීන්දු ගැනීම අපහසු කටයුත්තකි. එනිසා සුදුසු හා උචිතම ක්‍රියාමාර්ගය ගැනීමට රජය වග බලා ගත යුතුය. අප පැමිණ සිටින්නේ තීරණාත්මක අවස්ථාවකට බව කිවයුතු කරුණක් නොවේ. 

කොවිඩ් එන්නත්කරණය සාර්ථකව ඉදිරියට ගියද රජයේ සංචරණ සීමා යම්තාක් සාර්ථකව ක්‍රියාත්මක වුවද වාර්තාගත කොවිඩ් මරණ සංඛ්‍යාවෙහි පහළ බැස්මක් නම් දක්නට නැත. සංචරණය සීමා හා නිරෝධායන නීතිය උල්ලංඝනය කර වීරයන් වීමට යම් පිරිසක් උත්සාහ දරයි. එයින් ඔවුන් ජනප්‍රියත්වයක් ලැබීම් අපේක්ෂා කරයි. වසංගතයේ තත්ත්වයෙන් මෙන්ම රජය එය වළක්වා ගැනීම සඳහා දරන වෑයම ජනතාවගේ සැලකිල්ලට ලක්වන බවක් නම් පෙනෙන්නට නැත. හොර පාරෙන් සිදුවන සංචරණ කොවිඩ් මාරයා අතින් අල්ලා ගෙට වද්දා ගැනීමකි. නීතියේ රැහැනින් රිංගා ගොස් රටේ නීතියට වැලි ගැසීම මහා උජාරුවක් සේ ඔවුන් දකිති. කොවිඩ් මර්දනයේ දී සැලකිල්ලට ගතයුතු කරුණු අතර සෞඛ්‍ය උපදේශන අකුරට පිළිපැදීම, එන්නත්කරණය හා සංචරණයෙන් හා ඒකරාශී වීමෙන් වැළකීම ප්‍රධාන තැනක් ගනී. මේනිසා වර්ධනය නොවී කොවිඩ් මර්දනය කර ගැනීමට ජනතාවට ඉඩක් ලැබෙයි. 

මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් වැනසී යන කියමන කනට ඇසුනත් නොවඇසෙන්නාක් මෙන් ඉබාගතය ඇවිදින පිරිස් ද වෙයි. චීනය කොවිඩ් 19  වසංගතයේ මුල් ගොදුර වුව ද අද වන විට ස්වයං විනය නිසාවෙන් එම කොවිඩ් මාරයා පාලනය කළ රටක් වෙයි. තමා තුළ ස්වයං විනයක් ඇති කර ගනිමින් රජයේ නීතිරීතිවලට ගරු කරන්නේ නම් දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන් ප්‍රමාණය යම්තාක් දුරකට පාලනය කර ගැනීමට අපට හැකියාවක් පවතී. සති දෙකක් එනම් දින 14ක කාලයක් සෞඛ්‍ය නීති අකුරට ක්‍රියාත්මක කරන්නේ නම් කොවිඩ් මරණ මෙන්ම කොවිඩ් ආසාදිතයින්ගේ ප්‍රතිශතය බොහෝ සෙයින් අඩු කර ගැනීමට අපට හැකියාවක් ලැබෙයි. නමුදු ඉවසීමක් නොමැතිව නීතිරීති උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අංශ පීඩාකාරී තත්ත්වයන්ට ළඟා කරමින් වගකීම් විරහිතව හැසිරෙන පිරිස් නිසාවෙන් කොවිඩ් මර්දන ව්‍යාපෘතිය අසාර්ථකත්වයට පත් වෙන ලකුණු පෙනී යයි. රටෙහි වගකීම් සහගත පුරවැසියෙකු ලෙස පවත්නා කොවිඩ් නීතිරීතිවලට යටත්වී තම ආරක්ෂාව සහතික කර ගන්නේනම් පළවන, දෙවන රැල්ල මර්දනය කළ අපට තුන්වෙනි රැල්ල කජ්ජකි.

මිතුරු ඇරයුම..

  මිතුරු ඇරයුම...


ළයට තුරුළුව විහග ගී ඇසු 

කාලයේ සුව ඉපිලෙනා

 දෙහද අතරේ ආලයේ බිජු 

එමට වපුරා පැල වෙනා 

අහස මෙන් පිබිදෙනා හිරු රැස 

සමග දෙකුපුල් සිඹිමිනා 

උණුහුමේ රැඳි සිසිල විඳිනට 

දිවා රෑ සිත ඉපදුනා...


රැයට සඳ මෙන් ලොවට සිසිලස 

බෙදා දෙන්නට මතුදිනේ 

ඇඟිලි අතරේ මුදුව රඳවා 

කඩදාසි උඩ දිවුරුවේ 

කුතුහලෙන් පිරි දින ගෙවී දැන් 

දවස තිස්සේ කියවුණේ 

අහෝ දුක දැක, දැකම 

මා ඇයි මෙලෙස දිවියට කොටු වුණේ...


 ළයේ තුරුලක් විඳපු දවසක් 

මතකයේ නෑ රැදවිලා  

අතින් පිඬු කර බත් කටක් දුන් 

දිනක් නම් නෑ සිහිවෙලා 

දොරේ අගුලුවා අරින තෙක් ඉවසුමක් 

නැති වූ උන්දැලා 

නැවත අගුළුව දමන්නේ හිස් අතින් 

කුලගෙට ගිනිතියා...


 මිතුරු ඇරයුම පද බඳින්නට 

දොරගුලේ  යතුරින් කියා 

ලොවම අඳුරින් විවර දොරටුව 

අගුළුලා දැන් ඔහු ගියා 

වචන පබඳින විටෙක ගීයක 

අරුත මා සිත යාවෙලා 

මෙසේ කියනට කාලයක් මා 

හොරකමින් හොරකම් කළා...

රැජිණියයි නුඹ මාගේ ලෝකේ...

 රැජිණියයි නුඹ මාගේ ලෝකේ...


ඉණට ඉහලින් මහා ජල කඳ 

වටකරන් හැළ හොල්මනේ 

නුඹයි දරුගැබ එකට බැඳ ඇති 

යදම් පවුරයි මා වුණේ

ගලන ජල කඳ කූඩුවේ මැද 

වටකරන් ගෙට ගොඩ වුණේ 

නිහඬ දෙතොලින් කුමක්දෝ නුඹ 

කියන්නට මට සැරසුණේ...


 සීතලේ ගත රුහිරු ඝන වී 

දෙනෙත් කඳුලින් තෙත් වුණා

විශාඛාවෝ ඇවිද ගිය ලෙස 

කොහෙදෝ නුඹ තනි වුණා 

කුසේ දරුවා සීතලේ නුඹෙ

පෙකනි වැලට ම යා වුණා 

යමන් සොඳුරියෙ මගේ දෙඅතින් 

පෙම් සුවේ සුව  ඉපදුණා... 


වෙහෙස නොදැනේ නුඹේ තුරුලේ

කිරිසුවඳ මට යා වුණා 

මගේ හදවත නුඹේ හදවත සමඟ 

එක් වී මිමිනුණා

බේරෙනා දිය පීරි අතුරින් කඳුළු බිඳු 

බිම පාවුණා 

මගේ පතිනිය මවගෙ කිරුළේ

මගේ දෑතින් රජ වුණා...💕