නූතන කවියට ගිරි මුදුනක් වූ 2018 රාජ්‍ය සාහිත්‍යය සම්මාන උළෙලේ සම්මාන දිනූ සුනිල් විජේසිරිවර්ධනගේ “ගිරි මුදුන මගේ නිවහන” පද්‍ය සංග්‍රහය පිළිබඳ සාහිත්‍යය ගවේෂණය.
“රසය ආත්මය කොටගත් වාක්‍ය” කවිය ලෙස විශ්වනාථ විග්‍රහයට ලක්කොට නිගමනයක් ලබාදෙන්නේ පුද්ගලයන්ගේ අභ්‍යන්තර මනසට කතා කරමිනි. කාව්‍ය නිර්මාණකරුවෙකු තම අත්දැකීමක් නිර්මාණශීලී මුහුණුවරකින් සහෘදයා වෙත කැදවීමට උත්සාහ දරන්නේ වචන ඉතා අරපිරිමැස්මකින් යුතුව ප්‍රයෝඡනයට ගනිමිනි. සාහිත්‍ය විචාරයක් තුළ දර්ශනය, සමාජ සංස්කෘතිය, අත්දැකීම්, න්‍යායාත්මක පරිචය තිබීම වැදගත් වේ. විශේෂයෙන් ම සාහිත්‍ය විචාරය “ජැක් වීස් ඩෙරීඩා”ගේ දාර්ශනික සංකල්ප සමඟ පසුගිය දශක කිහිපයේදී වෙනස්කම්වලට භාජනය වන ලදී.
කාව්‍ය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී එය ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩනය කිරීමට පුළුවන. ඉන් එක් කොටසක් සඳැස් නම් වන අතරම අනෙක් කොටස නිසඳැස් නම් වේ. එළිසමය, විරිත, තාලය, රිද්මය ඇති කාව්‍ය සඳැස් නම් වන අතරම එළිසමයක් නොමැති කාව්‍ය නිසඳැස් වේ. සුනිල් විජේසිරිවර්ධනයන්ගේ “ගිරිමුදුන මගේ නිවහන” නම් පද්‍ය සංග්‍රහය විමසා බලන විටදී, ජී.බී සේනානායකගේ ආරම්භයෙන් ව්‍යාප්ත වූ නිසඳැස් කාව්‍යයේ නූතන මුහුණුවරේ නව්‍ය වෙනසක් ලෙස දැක්වීමට පුළුවන. නව පද්‍ය සිංහලයේ වික්‍රමසිංහයෝ පෙන්වා දෙන්නේ නිසඳැස් යනු මහා වෘක්ෂයක් පාමුල ගෙනවිත් තැබූ පොරවක් ලෙසයි. විජේසිරිවර්ධනයන් කාව්‍ය සංග්‍රහයේ ඇරඹුමේ පෙරවදනේ දක්වන්නේ රුසියන් සාහිත්‍යය හා එහි පොහොසත්කම පිළිබඳවයි. විටෙක එහි අර්ථය ඔහු ඇන්ටන් චෙකොෆ් වැනි කලාකරුවන්ගේ සෙවනැල්ලට මුවා වී තම නිර්මාණකරණයේ නිතර වීම විය හැකිය. ඔහුගේ නිර්මාණ තුළ සමහර නිර්මාණයන්යන් ඉතා ඉහළ මට්ටමක පවතින බව එහි මුල්පද දෙක තුන අධ්‍යයයේදී පාඨකයාට වටහා ගැනීමට පුළුවන. කතුවරයා පවසන පරිදි සංස්කෘතීක කාන්තාරයට ගොඩ බස අප ඒ හේතුව නිසාවෙන් ම ජීවන අරගලයකට මැදි වී ඇති බවක් පෙන්වයි. (පෙරවදන XII පිටුව) කවියා 2014 – 2016 කාල වකවානුව තුළ නිර්මාණයට යොදාගත් කාව්‍යයන්, ආකෘතීන් හා තේමා අටක් ඔස්සේ කණ්ඩනය කර තිබේ. එසේ කණ්ඩණය කිරීම තුළින් කතුවරයා විටෙක බලාපොරොත්තු වන්නේ විවිධ චින්තනයෙන් හෙබි පාඨකයාව බෙල්ලෙන් අල්ලා ගැනීම විය යුතුය. රුසියන් සාහිත්‍යයකරු ඇන්ටන් චෙකොෆ්ගේ කතා කලාව තුළද මේ ලක්ෂණය ප්‍රතීයමාන වන අතර ම විජේසිරිවර්ධනයන් ද ඒ මාර්ග ඔස්සේ තම නිර්මාකරණයේ නියැලුණු බවට මෙය එක් ප්‍රධාන සාධකයක් ලෙස සැලකීමට ගත හැකිය. කතුවරයාගේ ඉහළ ස්ථාවරයක පවතින කාව්‍යය තුළ ධ්වනිවාදී ලක්ෂණ, වක්‍රෝතිවාදී ලක්ෂණ, රසවාදයේ ලක්ෂණ අඩු වැඩි වශයෙන් පවතී.
“විභාවානුභාව ව්‍යාභිචාරී සංයෝගාද් රස නිෂ්පත්ති” යනු, විභාව, ආනුභාව, ව්‍යභිචාරය සංයෝග වී රසයක් උපදින බවයි. සුනිල් විජේසිරිවර්ධනගේ කාව්‍ය තුළද ඉහත භරතමුණිගේ රස සූත්‍රයට අනුව සසඳන විට පෙරදිග සාහිත්‍යයේ නැඹුරුව ද දක්නට පුළුවන. නව්‍ය අදහස්, නිර්මාණශීලී ආකාරයෙන් පරිකල්පනය කොට සමාජයට අවශ්‍යය මෙන්ම රසිකයාගේ භාව මණ්ඩලය ප්‍රසාරණය කිරීමට අවැසි පරිදි ගැලපීම කතුවරයාගේ පද සමඟ වූ ගණුදෙනුවේ ප්‍රතිඵලය විය.
සියබස්ලකර කෘතිය තුල කවියේ භාහිර ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කරයි. එනම් කාව්‍ය ශරීරය තුළ උපමා, රූපක, යමක, අනුභූතිය, පුනරුප්තිය, ධ්වනිය වැනි සංකල්පයි. විජේසිරිවර්Oනයන්ද තම පද්‍යය තුළට විශාල ආලෝකයක් ලබා ගැනීමට ඉහත භාහිර ලක්ෂණ යොදාගෙන ඇති බවක් සවිඥනික විශ්ලේෂණයකදී වටහා ගැනිමට හැකිය. කතුවරමාගේ “අදිසි මානය” නම් කාව්‍ය තුළ ලාල් හෑගොඩගේ “මා මිනිසෙක් - ඔබ ගඟක් නිසා” පද්‍ය පංතියේ ඇති සමානකම් රාශියක් දැක ගැනීමට පිළිවෙන.
“මා මිනිසෙක් - ඔබ ගඟක් නිසා
සුන්දර ම බිම් කඩක
මේ නදී ඉවුරේ
කුඔුක් වියනක් යට සදා දාහය නිවනා
නවාතැන් ගන්නවා මොහොතකට ජීවිතේ...”
මේ ලාල් හෑගොඩගේ පද්‍ය කෘතියේ එන එක් පද්‍ය කණ්ඩයකි. විජේසිරිවර්ධනයන්ගේ මෙයට හාත්පස සමාන යථෝප්ත නිදසුන විමසුමට ලක් කරමු.
“ළවල්ලේ තවම නොසිඳුණු
දිය කඩිත්තක් අසළ කුඩා මිනිසෙක් හැර
ඇසි දිසි මානයේ සිටින්නෝ... ”
ඉහත ලාල්ගේ පද්‍ය කණ්ඩයට ද වස්තු විෂය වූයේ අයෙක් වැවක් හෝ ගඟක් අසබඩ තනිවම හුදකලාව කල්ගෙවනා, තම හෘද සාක්ෂිය හා අවිඥානිකව කතාවක යෙදෙනා අවස්ථාවකි. තම ජීවිත භුක්තිය, නිදහස උපරිමයෙන් විදීමට තරම් ස්වාභාව සෞන්දර්යය ඉඩ හසර විවෘත කරදෙන ආකාරය ලාල්ගේ පද්‍ය පංතියේ මෙන්ම විජේසිරිවර්Oනයන්ගේ පද්‍ය කණ්ඩයෙන්ද ධ්වනිත වෙයි. “දිය කඩිත්තක් අසළ” යන වචන දෙකෙහි ගැබ්ව පවතින්නා වූ සිසිලස හා “ඇසිදිසි මානයේ සිටින්නේ,දිය හෙබ සරන මල් කොරලිය” යන කණ්ඩයේ හුදකලාව හා සිග්මන් ෆ්‍රෙයිඩ් දක්වන පරිදි මිනිසාගේ අවිඥානික සිත හෙවත් යටි සිත විස්තාරණය වන පරිසර පද්ධතියක් කතුවරයා තම භාෂාව උපයෝගී කරගනිමින් පාඨකයා තුළ රූපනය කිරීමට වෑයම් කරයි. විටෙක විජේසිරිවර්Oනයන් ලක්ෂාන්ත අතුකෝරලගේ “සමහර කමටහන්” කෘතියේ සමහර කාව්‍ය වලට සමානකම් දක්වන ආකාරයක් ද දැක්විය හැකිය.
“ දියහෙබ සරන මල් කොරලිය
ක්‍රී ක්‍රී හඩන පලා ගිරවුන්ය
ඉරටු පා මත වැනෙන කොරවක් පැටවුන්ය
ඈත දියඹේ සුදු රුවල් සරි පාවෙන
පෙලිකන් කුරුල්ලන්ය...”
දුර රූපයක් සමීප රූපයක් ලෙස කාචගත කොට ඒ තුලට නව්‍ය ප්‍රානයක් ආරූඪ කිරීමට කතුවරයා තුල පැවති ඒ මහා කුසලතාවය අගය කළ යුතුමය. පාඨකයාට ලොව දෙස බැලීමට අලුත් දොරටුවක් විජේසිරිවර්ධනයෝ විවර කරන්නේ ප්‍රභල චිත්තරූප රසික මනස වෙත චිත්‍රනය කරමිනි. “ ක්‍රී ක්‍රී හඩන පලා ගිරවුන්ය” නිහැඩියාව කෙමෙන් දුරුකරන පලා ගිරවුන්ගේ හඩ රසික දෙසවන සිසාරා කැදවා පැතිරවීමට කවියා යොදාගත් කාව්‍යාත්මක බස් වහර, රුවන් බන්දුජීවගේ කුණ්ඩලකේසී කව තුල එන “මන්න පාර හතක් දුන්න කුණ්ඩලකේසී” පද්‍ය කොටසින් ජනිතවන රසය පරයා නොදෙවෙනිව සහෘදයාට සමීප වෙයි. “ඉරටු පා මත වැනෙන කොරවක් පැටවුන්ය” රූපක යොදා ගනිමින් සත්ත්ව ලෝකයේ අසිරිය ඡායාරූපගත කරන්නාක් මෙන් වචනයෙන් චිත්‍රනය කිරීම පහසු කර්යයක් නොවේ. ඉරටු පා මත කියුු සැටියෙන් ග්‍රාමීය සුවඳ තවරාගෙන නාගරික උණුහුම නිවාසනහාලන සෞන්දර්යය හා කලා රසය රසික හඳවත් තුළට මුසුවෙයි. “ඈත දියඹේ සුදු රුවල් සරි පාවෙන පෙලිකන් කුරුල්ලන්ය...” යන කොටස තුළ කවියා උපමා යොදා ගන්නේ තම සෞන්දර්යාත්මක වෑයමේ ප්‍රතිඵලය තීව්‍ර කිරීමට නොවේ ද? ඈත දියඹේ සුදු රුවල් වැනි ඒ සෞන්දර්යාත්මක දර්ශනය රසිකයාගේ මනස තුළ රෝපණය කිරීමට කතුවරයා යොදාගත් නව්‍ය වූත් උචිත වූත් ඒ උපමාව තුළින් ඔහුගේ ප්‍රතිභාව විදහා දැක්වේ. වැව් කණ්ඩියක සිසිලසින් හා ඒ සුළඟින් පාඨකයාව මුසපත් කරයි. සිත සමාධි ගත කරවයි. යථෝප්ත නිදසුන ඇසුරින් කවියාගේ ප්‍රතිභා ශක්තිය විශ්ලේෂණයට භාජනය කළ හැකිය.
“හැල්මේ දුව එන මැරුත් කොලු
වාපි සුවඳ පතුරා පෙනහළු පුරා
සුසිනිදු අතින් පිරිමඳියි වත
පාවී යයි මතක සිත
කොහොදෝ අන් ලොවක මායිම් කරා...”
“හැල්මේ දුව එන මැරුත් කොලු” යන වාක්‍ය කොටසින් පසුපස හඔාගෙන යන හැගීම රසික හදවත තුළට කැදවයි. ඒ හඔා ඒමට වේගයක් ලබාදෙනු වස් කවියා “මැරුත් කොලු.” යන වචන ද්විත්වය යොදාගෙන තිබෙයි. “වාපි සුවඳ පතුරා පෙනහළු පුරා” යන කොටස තුළ ගමයි- පන්සලයි වැවයි-දාගැබයි යන සංකල්පය සුපෝෂණය කරන ආකාරය තුළින් පැහැදිලි වන්නේ කතුවරයාගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ තොරතුරක් විය හැකිය. එනම් කතුවරයා රුසියාවේ ජීවත් වී මෙරටට පැමිණි විටදී ඔහුට ග්‍රාමීයත්වයේ සුවඳ දැණුනු ආකාරය විය හැකිය. කතුවරයා රසිකයාගේ භාව විශෝධනය කිරීම පිණිස නිහැඩියාව, පරිසරයේ විචිත්‍රත්වය එය ආස්වාදය අල්පෙනෙති තුඩකින් බිඳින් බිඳ ස්පර්ශ කොට පාඨකයා වෙත කැදවයි. “වාපි සුවඳ පතුරා පෙනහළු පුරා සුසිනිදු අතින් පිරිමඳියි වත” වාපී හෙවත් වෙහෙර සිප පැමිණෙන සුළඟට ජීවයක් ආරෝපණය කරන කවියා එය ඇග ලේ මස් ඇට මිඳුළු සිඳ ගෙන ගොස් ශරීර අභ්‍යන්තරය සිපවැලඳ ගන්නා ආකාරය හා ඒ සුවය මුළු ශරීරය පුරාම විසිරී පැතිර ගොස් නව පණක් ලබා දෙන ආකාරය රසික මනසට කැදවන්නේ කවියාගේ පද සංඝටනයේ ඇති දැණුම උපයෝගී කරගෙනය. නිසඳැස් කාව්‍ය පුරාවටම සක්ක පද නොගසමින් අර්ථ රසයට හා එහි අභ්‍යන්තර භාෂණයට නව පණක් එන්නත් කිරීමට වෑයම් කරන කවියා කවිය තුළ අදහස් වඩා ඉස්මතු කරවන ආකාරයට පද සංඝටනයේ යෙදෙන්නේ සමහර කමටහන් කෘතියේ එන තව එක් කාව්‍ය කණ්ඩයක් සිහිගන්වමිණි.
“පවුල් දෙවොලේ - ජීවිත පෙරහැරේ
දළ ඇතා වූ නුඔ
කනේරු මලක් ළඟ
දණ නැමුවා පුදුමයි
කොහොමත් පුදුමයක් තමයි
ප්‍රේමය”
විජේසිරිවර්ධනයන් තම කවියේ ජීවත් වෙමින් එයට අරපිරිමැස්මකින් යුතුව භාෂාව යොදාගනී. වාපි සුවඳ මුසු වූ ඒ සුළං රැලි ආශ්වාස කිරීමෙන් කථකයාට ලැබෙන වින්දනය කතුවරයා රසිකයාට ද ලබාදෙයි. “පාවී යයි මතක සිත කොහොදෝ අන් ලොවක මායිම් කරා...” මෙවැනි පද්‍ය කොටසක් තුළින් ඉස්මතු වන්නේ යටි සිතේ අවදි වීමයි. එනම් අවිඥානික සිතේ ඇස් හැරීමයි. සිග්මන් හඳුන්වන පරිදි අවිඥානික මනස වතුර යට පවතින විශාල අයිස් කුට්ටියකට සමානය. ඒ සිත පිළිබඳ කාව්‍යමය දෘෂ්ටියකින් විමසීම විජේසිරිවර්ධනයන් අතින් සිදුවිය. “පාවී යයි මතක සිත.” යන කොටසින් රසික මනස වෙත කැදවන්නේ ආධ්‍යාත්මික සුවයක් විදින කථකයෙකුගේ රුවකි. සෞන්දර්යමය වටපිටාවක් හා නිස්කලංකභාවය තුළ පවතින අපූර්වත්වය හා මනසට දැනෙන්නා වූ සුවය කවියා වක්‍ර භාෂණයකින් පාඨකයා තුළට කැදවයි. “ධූරං ගමං ඒකචරං - අසරීරං ගුහාසයං”යන බුද්ධ වචනය පාඨකයාගේ මනසට කැදවමින් කතුවරයා ඔහුගේ නිර්මාණයට ද “කොහොදෝ අන් ලොවක මායිම් කරා...” ලෙස යොදා ගෙන ඇත.
“කාලය ගලන්නේ
ගණනයක් නිනව්වක් නැතිවයි.”
කවියා පෙන්වා දෙන ආකාරයට කාලය ගලා බසී. ගලායන්නේ ද්‍රාවනයන් පමණක් වුවත් කවියා රූපකයක් ආශ්‍රයෙන් ව්‍යංගයෙන් කාලය ද්‍රාවනයකට සමාන කරයි. මොහු ලෙසින්ම හෑගොඩ කලාකරුවන් ද හිරු එළිය උකු ද්‍රාවනයකට සමාන කරයි. මෙයට හේතුව තම නිර්මාණකරණ කටයුත්තේදී ඔවුන් දෙදෙනාම තාගෝර් ගේ ගීතාංජලිය හා හයිකු කවිවල ආභාෂය අඩුවැඩි වශයෙන් ලබා ගැනීම විය හැකිය.
“වෑ කන්දෙන් ඔබ ලොව පෑ කටු
මේ මානයේ නොදුවයි”
දිගු කාලසීමාවක් රුසියාවේ ජීවත් වූ කථකයා තිසාවැව් ඉස්මත්තට පැමිණිමත් සමඟම ඒ පරිසරයෙ ඔහු නොවිදි සුවය ඇග ලොම් කෙලින් සිටුවාලමින් ඇතුලු මනසට කතා කරනා ආකාරය සැබැවින්ම මෙහි ජීවී ගුණය හරිහැටි කැටි කිරීමට ඔහුට ලද පන්නරයක්ම විය යුතුය.
“වෑ කන්ද දෙදරෙවා
වාපි කලා රිද්මය පුපුරවන
මිලිටරි බූට් හඩ අතරින්”
සුළං රැල් සමඟ තාලයකට රිද්මයක් දිදී වැව් බැම්ම විටින් විට සිඔිනා ජල තරංග තුළ පවතින සෞන්දර්යයට මතු වීමට ඉඩක් නොදී “වාපි කලා රිද්මය පුපුරවන” යන පද්‍ය පාදයේ “පුපුරවන” යන වචනය කවියේ සමස්ථ දිශානතිය එක් ක්ෂණයකින් වෙනස් කිරීමට සමත්කම් දක්වයි. “මිලිටරි බූට් හඩ අතරින්” යන කොටසින් ධනවාදයේ හිස එසවීමත් සමඟ සමාජීය සංස්කෘතීමය දේශපාලන හා මිනිස් චින්තනයේ වෙනම් වීම මිලිටරි බූට් හඩට යට කිරීමට සිදුවී ඇති ආකාරය කවියා පෙන්වා දෙයි.
ජී.බී. සේනානායක, ආරියවංශ රණවීර, එරික් ඉලයප්පාරච්චි, රත්න ග්‍රී වැනි බොහෝ කවියන් තම නිර්මාණවලට වස්තු විෂය කරගන්නේ සමාජ පංති අරඟලය හෝ සමාජ විෂමතාවයන්ගේ ගැටීමයි. විජේසිරිවර්ධනයෝ ද ඒ මඟ තුළ යෑමට අමතක කරනොමැති බව ඔහුගේ නිර්මාණ විමසන විටදී මනාව පැහැදිලි වේ. බටහිර සංස්කෘතීන් ලංකාවට කාන්දු වීමට පටන් ගත් දා පටන් ලාංකීය අන්‍යයතා විසරණය වූ ආකාරය හා මිනිස් අභ්‍යන්තරික මනෝභාවයන් හා වටිනාකම් එකිනෙක විශාල වශයෙන් විනාශ මුඛයට ඇදීගිය ආකාරය කතුවරයාගේ නිර්මාණ තුලින් විද්‍යමාන වේ.
“ඉන් ඔබ ගිනියම්ව දැවෙන ලොව
මරු විකලෙන් දුවන පෑ කටු රැගත්
සිහියක් පතක් නැති නගරුන්...”
කාර්මික නාගරික සමාජය තුළ ඇති මානසික පීඩනය හා එහි කාර්යයබහුලත්වය “මරු විකලෙන් දුවන පෑ කටු” යන පද්‍ය පාදයෙන් මනාලෙස මවා පාන්නේ නව්‍ය සංකල්ප රූප හුරුපුරුදු ඇත්තෙක් මෙන් හසුරුවමිනි. වික්‍රමසිංහයෝ ගම්පෙරළිය තුළ පැවති සමාජ පංතීන් දෙක රසිකයා වෙත කැදවීමට දැඩි පරිශ්‍රමයක් දැරුවේ වචන සිය දහසක් විඩා කරමිණි. නමුත් කවියා ගම හා නගරය එහි සියළු අහුමුළු රසික මනස තුළ තැම්පත් කිරීමට භාවිතා කළේ සුළු වචන ප්‍රමාණයක් පමණි. එදිනෙදා ව්‍යවහාරයේ පවතින යුගල පද සිහියක් පතක් යොදාගනිමින් තමන් අපේක්ෂා කළ අදහස රසිකයා වෙත සම්ප්‍රේෂණය කරයි. “ඉන් ඔබ ගිනියම්ව දැවෙන ලොව“ මිල මුදලට හෝ නාගරීකරණයේ පුහු ආටෝපය පිටුපස කිසිදු හරයක් හෝ වටිනාකමක් නොමැති බව කවියා පෙන්වා දෙයි. මොහු විශේෂ වශයෙන් සංස්කෘතික අයිතීන් සහ සංස්කෘතික පරිවර්ථන පිළිබඳව කථිකාවක් බිහිකිරීමට උත්සාහ කළ අතරම සමාජ හා කලා සංස්කෘතික කරුණු අරභයා කෘති සම්පාදනයේ ද නියතු විය. මෙසේ ශාස්ත්‍රීය රචනා 200කට අධිකව රචනා කරමින් තම මතය ප්‍රතිනිර්මාණය කිරීමට වෑයම් දරා ඇති බව පෙනී යන්නේ මේ නිර්මාණ එකකට එකක් සාපේක්ෂ වශයෙන් විශාල වෙනස්කම් දරන නිසාවෙනි. අමරසේකරයෝ දක්වන පරිදි නිර්මාණකරුවෙකු තම නිර්මාණය අවසන් කළ පසු හැව ඇරීමක් සිදු කරයි. එනම් එය භාව විශෝධනයකට ලක් කරයි.
ගිරිමුදුන මගේ නිවහන පද්‍ය සංග්‍රහය පිළිබඳව අවධානය යොමුකරන විට එය විටෙක එය තාගෝර්ගේ කවිවලට සමානකමක් දක්වනවාද කියා සිතිය හැකිය. මෙහි අන්තර්ගත කාව්‍යයන් අද්‍යතන සිංහල කවියේ අනුභූතික පරාසයන් සියුම් හා ගැඔුරු කිරීමට මෙන්ම එහි නිර්මාණාත්මක වපසරිය පුළුල් කිරීමට උපකාරී වන ආකාරයක් පෙනී යයි. කතුවරයා පෙරවදනේ දක්වන පරිදි මේ කවි “අද්‍යතන සිංහල කවිය අනුදත්කතිකා රාමු සමඟ යම් ආකාරයෙන් විසංවාදී විය හැකිය“ යන ප්‍රකාශනයත් සමඟම විටෙක මෙහි ඇති කාව්‍යයන් සම්මත කාව්‍ය අනුභූතික වපසරියට ආගන්තුක බවක් දක්වයි. මෙහි ඇතුලත් කාව්‍ය කවි සිරුරෙන් හා එහි සංරචන කිරීමේ ක්‍රම, ආඛ්‍යාවයේ විශේෂතා යන සමහරක් හේතූන් නිසා රසිකයාට අන් නිර්මාණවලින් දුරස්බවක් හැගේ. එවිට රසික වින්දන පුරුදු සමඟ ගැටීමක් ඇති වන්නට හෝ පුළුවන. විජේසිරිවර්ධනයෝ දක්වන ආකාරයට කවිය යනු මිනිස් විඥානය සියුම් පිළිවෙළකට සකස් කිරීමේ භාවිතයකි. ගිරි මුදුන කෘතියේ තවත් දැකිය හැකි විශේෂතාවක් නම්, කෘතියේ අඟට අත්වැල එක්කිරීම. කතුවරයා මෙලෙස කෘතියේ අඟට අත්වැලක් යෙදීමට හේතුවක් ලෙස විටෙක ඇතැම් රසිකයෙකුට කවියක් පරිශීලන අවකාශයට පිවිසීමට ඇති අපහසුතාවය මඟ හැරීමට විය යුතුය.
නිර්මාණණකරුගේ නිර්මාණණවලට අදාල මූලික සන්දරභ තුනක් පවතී. ඉන් පළමුවැන්න ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික ජීවන අනුභූතියයි. දෙවැන්න යුගය හා කාලය පිළිබඳ සමාජ දේශපාලන සන්දරභයයි. තෙවැන්න එකී නිර්මාණ සම්ප්‍රදායන් හා ශානර පිළිබඳ සන්දරභයයි. ගිරි මුදුන මගේ නිවහන කෘතිය විග්‍රහ කරන විටදී කතුවරයා තුළ ඉහත දැක්වූ තුන් ආකාරයේ සන්දරභයන් පවතින බව විශ්ලේෂණය කිරීමට හැකිය.
ලෝකයේ දක්නට ලැබෙන මුල් කෙටි පද්‍ය ඉන්ස් ක්‍රිප්ෂන් නමින් හඳුන්වන අතර විජේසිරිවර්ධනයන්ද තම නිර්මාණය තුළ උත්ප්‍රාසාත්මක අදහස් ඉතා කෙටියෙන් භාෂාවේ ශිල්පීය සම්පත් බුහුටි ලෙස භාවිත කොට ගොනු කිරීමට සමත්කම් දක්වා ඇත. කවියා කවියට ගෙනා අනුභූතිය සංසිද්ධීන්ගේ බලපෑම නිසා නැවත නැවත ආකෘතික ගවේෂණයකට ලක් කරන බව විටෙක ඔහුගේ කාව්‍ය නිර්මාණ අධ්‍යනයේ දී ධ්වනිත වේ.
“රිය ගොස පතුරමින්, දුම් කවුළු වගුරමින්
ප්ලාස්ටික් ඉටි වහන් වසුරු මෙන් හලමින්
නැගූ දල වියරු කම්පන ගිගිරුමෙන්
ක්ලාන්ත වූ වාපී ගැහැණිය
හුදකලා මේ යාමෙත් ගොම්මන්
තවම සිහි එළවා නොගත්තී”
තාක්ෂණයේ බියකරු පැතිකඩ කාව්‍ය ශරීරයට මැදි කොට රසිකයා වෙත කැදවන ආකාරය නම් රුසියන් සාහිත්‍යයේ ආභාෂයේ ප්‍රතිඵලයක් දෝ යැයි විටෙක මට සිතේ. “වාපී ගැහැණිය ”ලෙසින් ස්වාභාවික පරිසරයේ අප්‍රාණික වස්තූන්ට ප්‍රාණය පිඹීම නම් හයිකු කවියේ ආභාෂය විය යුතුය. සමාජ සංස්කෘතික වෙනස්කම් හමුවේ ක්ලාන්ත වූ වාපී ගැහැණිය “තවම සිහි එළවා නොගත්තී” කවදානම් ඇයට නැවත සිහි එළවා ගැනීමට හැකිවනු ඇද්දැයි නිච්චිත වශයෙන් ම කීමට කිසිවෙකුත් නොදනී. සමස්ථ සමාජයකම ඉරණම එක් කාව්‍ය පාදයකින් කවියා ඉස්මතුකර පෙන්වයි.
විජේසිරිවර්ධනයෝ “වසත් සමර“ නම් පද්‍ය කණ්ඩයෙන් සෝවියට් දේශයේ කවීන් හා එම කවීත්වයේ බිඳ වැටුම හුවා දක්වයි. “නොහමුවූ ඇය“ නම් පද්‍ය පංතියෙන් රසික හඳවත් ඇඳ බැඳ තබා ලැනීමට කවියා වෑයම් කරයි. පුද්ගල මනස හොර රහසේ පැහැර ගැනීමට හැකි කාලාන්තරයක් මතකයේ රැදෙනා ආරේ ලයාන්විත පද්‍ය පංතීන් වලින්ද මෙම කෘතිය සුපෝෂණය වී තිබේ.
මෙසේ මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ සම්මාන දිනූ සුනිල් විජේසිරිවර්ධන ප්‍රභලතා හා ඔහු අධ්‍යතන (නූතන) කවියට එළි කළ නව මඟ පිළබඳ පැසසුම් එක්කාසු කිරීමට පුළුවන. ලෝකය ගමන් ගන්නා වේගයට සාපේක්ෂව කලාව ද ගතානුගතික අඩි පාරෙන් ඹබ්බට පියවර මැනිය යුතුම වෙයි. එයට අවැසි පසුබිම සැකසීම නිර්මාණකරුවන්ගේ යුතුකම හා වගකීමයි. තම වගකීම හරිහැටි වටහා ගත් විජේසිරිවර්ධනයෝ නූතන කවියට සිරිගුණසිංහ, ජී.බී.සේනානායක නව මඟක් එළිකර නිසඳැස් කවිය හඳන්වා දුන් ආකාරයට කාව්‍ය ශරීරයේ වෙනස්කම් ආකෘතියේ වෙනස්කම් සිදුකරමින් යාත්‍රාවට ආලෝකයක් ලබා දීම අනාගතයේ කලාවේ පැවැත්මට යෙදූ මුරගලක් වනු නිසැකය.
සෙව්වන්දි ධනුෂිකා ප්‍රේමතිලක -
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය-

No comments:
Post a Comment