Followers

Thursday, May 27, 2021

පුරා-ඇස

  කෝට්ටේ ඓතිහාසික නගරය

         ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වන මේ නගරයේ ජයවර්ධනපුර කෝට්ටේ ලෙසින් නම් කරනු ලැබුවේ නිශ්ශංක අලගක්කෝනාර විසිනි. ඔහුගේ පරමාර්ථය වූයේ ජය ලබන හෙවත් ජය වර්ධනය වන බලකොටුවක් තැනීමය. එය තැනුවේ  දාරුගම නමින් හැඳින්වූ පැරණි ගමක බව කියැවේ. තුන් පැත්තකින් ජලයෙන් වටවී තිබූ එය කදිම ආරක්ෂක ස්ථානයක් විය. ගම දෙපසින් කොලොන්නා ඔය ද දියවන්නා ඔය ද ගලා බැස ගම කෙළවර දී එකතුවිය. ප්‍රදේශය මඩ ගොහොරුවකින් ද ගහනය විය. ඒ හේතුව නිසා කවරෙකුට වුවද දාරුගම ගමට ළඟා වීම එතරම් ලෙහෙසි පහසු දෙයක් නොවීය.

      සතුරු බල බිඳීම සඳහා අලගක්කෝනාර මෙවන් බිම්කඩක් තෝරා ගැනීම ඉතාමත් කාලෝචිත දෙයක් විය. ඔහු රජ මාලිගයක සිරි සුළු මන්දිරයක් කරවා එහි වෙසෙමින් තම පාලන කටයුතු ගෙන ගියේය. කොළඹ වරායේ සිට කෝට්ටේ නගරයට දුර වූයේ සැතපුම් 6කි. එහි සිට පාරුවලින් ගනුදෙනු කර ගැනීම පහසු දෙයක් විය. මෙහි තිබූ තවත් වාසියක් වූයේ කඳුකරයේ සිට බටහිර වෙරළේ තිබූ තොටුපළවලට යන එන මාර්ග ද පාලනය කර ගැනීමට හැකි වීමය. අලගක්කෝනාරගේ උපන් ගම වූ රයිගම පිහිටියේද කොට්ටේ ආසන්නයේ ම ය. අලගක්කෝනාරගේ මූලික පරමාර්ථය වූයේ ආර්ය චක්‍රවර්තින්ගේ බලය බිඳීම ය.

   ඒ වන විට යාපනයේ පාලකයා පානදුර කොළඹ හා වත්තල යන තොටමුණුවලට බල සේනා සහිත නැව් එවා තිබිණි. එයට මුහුණ දීමට නම් බලගතු නැව් හමුදාවක් තනා ගත යුතුම විය. බලකොටුව අසළ වූ ජලාශය එය සඳහා මහෝපකාරී වූ බව කිව යුතු නැත. කෙසේ වුවද මෙම බලකොටුව ගොඩනැගීම සඳහා වසර විස්සක් තරම් වූ දීර්ඝ කාලයක් ගත වූ බවට තොරතුරු ඇත.

 අලගක්කෝනාර මේ සඳහා දේශීය මෙන්ම විදේශීය විශේෂඥයන්ගේ සහාය ලබාගත් බව නිකාය සංග්‍රහය හා සද්ධර්මරත්නාකරය සඳහන්ය. ඔහු පළමුකොට කොටු තාප්පයක් තැනුවේය. ඉන්පසු ඒ වටා දිය අගලක් ද ගැඹුරු මඩ අගලක් ද තැන වූයේය. දියඅගල තැනින් තැන පළලින් වෙනස් වුවද අඩුම තැන දී ද බඹ පහක් විය.

 ආරක්ෂාව පතා ඒ තුළ කිඹුලන් වාසය කරවා ඇත. සංදේශ කාව්‍යයන්ට අනුව තාප්පය සුදු පැහැ ගන්වා තිබිණි. දියඅගල ඉතා ගැඹුරු වීය. ඒ හේතුවෙන් දියෙන් පැමිණ තාප්පයට නැගීම නොකළ හැක්කක් විය. එසේම තාප්පය මත දියඅගල දෙසට මුහුණලා ඊතල සවිකොට තිබිණි. එයට අමතරව තාප්පය මත උගුල් විශේෂයක් ද තනා තිබිණි. ඒවා හැඳින්වූයේ "පුළිමුඛම්" නමිනි. ඒවා ගැඹුරු වලවල් විශේෂයක් වූ අතර නොදැන ගමන් ගත්තෝ විපත් ළඟා කර ගත්හ.

 තාප්පය මත තනා තිබූ අට්ටාල ආරක්ෂක භටයින් සඳහා වෙන් කෙරිණි. ඒවා තුළ සිටියදී පිටස්තර ඉන්ට ඔවුන් දැකගත නොහැකි වීම ද විශේෂයකි. නිශ්ශංක අලගක්කෝනාරගේ තවත් උපක්‍රමයක් වූයේ ගල් විදින යන්ත්‍ර විශේෂයක් පවුරු මතුපිට තැබීමය. ඒවා "ඉඩංගනී" ගණයේ ලෙසින් හැඳින්වීය. ඒවායින් බොහෝ දුර සිටින සතුරන්ට ගල් විධ විපත් පැමිණවීමට හැකිවිය.

 පවුර සතර කොනේ සතරවරම් දෙවිවරුන්ට දේවාල සතරකි. බටහිර කෙළවරෙහි වූ දේවාලය උපුල්වන් දෙවියන්ට ය. උතුරින් වූයේ සමන් දේවාලයයි. බටහිරින් විභීෂණ දේවාලය ද දකුණේ ස්කන්ධ දේවාලය ද තනා තිබිණි. මේ දේවාලවල ආවතේවකරුවන් සඳහා අවශ්‍ය ගොඩනැගිලිද පවුර අසලම ඉදිකොට තිබිණි.


 මතු සම්බන්දයි

Tuesday, May 4, 2021

පුරා - ඇස 3

  ගම්පොළ පාලනයේ නිමාව 



දෙවන වීරබාහු රජ වන විට දේවරක්ෂිත ජයබාහු ධම්මරක්ඛිත හිමිපාණෝ මාහිමි තනතුරට පත්ව සිටියහ. රජු මාහිමිපාණන්ගේ මූලිකත්වයෙන් ශාසන ශෝධකයා කරවා තමාගේ පුතණුවන් ද සසුන්ගත කරවීය. නිකාය සංග්‍රහය එසේ වුව ඔහුගේ සහෝදරයා වන අලකේශ්වර හෙවත් අලගක්කෝනාර එම පාලනය  නොපිළිගෙන රයිගම සිට පහතරට ප්‍රදේශයේ පාලනය කරන්නට විය.

      රජු අලකේශ්වර අල්ලා ගැනීමට ජයවර්ධනපුර කෝට්ටේට ගිය අතර අලකේශ්වර  දඹදිවට පලා ගියේය. (අස්ගිරි තල්පත, සද්ධර්මරතනාකරය) විජයබාහු රජු දළදා වහන්සේ ද, සාර වස්තුව ද ගම්පොලින් ගෙන්වා ජයවර්ධනපුරය අගනුවර කොට එහිම වාසය කරන්නට වීය.

 වීරබාහු රජුගේ අභාවයෙන් පසුව දඹදිවට පලා ගොස් සිටි වීර අලකේශ්වර නැවතත් සිය රට පැමිණ හයවන විජයබාහු නමින් රජ විය. එකල චීන අධිරාජ්‍යයක් වූයේ ඉයුංලෝ නැමැත්තාය.

   ඔහුගේ සමයේ දී ක්‍රිස්තු වර්ෂ 1405 දී චීං හෝ නම් චීන සේනාධිපතියෙක් සුවඳ විලවුන් වැනි දේ ද පූජා භාණ්ඩ ආදිය ද ගෙන ලක්දිවට පැමිණියේ ය. වීර අලකේශ්වර ඔහුට දැක්වූයේ සතුරු ආකල්පයකි. දකුණ බලා යාත්‍රා කළ හෙතෙම දෙවුන්දර උපුල්වන් දේවාලයට පුද පඬුරු පූජා කොට චීන, පර්සියානු හා දමිළ යන භාෂා තුනෙන් සෙල් ලිපියක් ද පිහිටුවා ආපසු ගියේය.( ගාල්ලේ ඇති ත්‍රෛභාෂා සෙල්ලිපිය )

ඔවුහු ක්‍රිස්තු වර්ෂ 1408 දී විශාල නැව් හමුදාවක් ද ගෙන නැවතත් මේ රට බලා යාත්‍රා කළේය. වීර අලකේශ්වර එවර ද ඔහු කෙරෙහි සතුරු ආකල්පයක් දැක්විය. චීන මූලාශ්‍රයන්ට අනුව 50,000ක පමණ බලෑණියක් සූදානම් කළ හෙතෙම ගස් කපා හෙළා චීං හෝ එන මාර්ගය අවහිර කොට, ඔහුගේ නැව් විනාශ කිරීමට ද තැත් කළේය.

 අවාසනාවකට මෙන් චීං හෝ වෙත එම ආරංචිය ලැබුණේ අලකේශ්වර ගේ හමුදාව තුළින්මය.වහා  ක්‍රියාත්මක වූ චිං හෝ 3000  බලඇණියක් ද ගෙන එක් රාත්‍රියක වෙනත් මගකින් නගරයට ප්‍රවිෂ්ඨ වූයේ ය.

 සිංහල සේනා හා දින හයක් පුරා සටන් වැදුණු හෙතෙම, අලකේශ්වර ද ඔහුගේ නෑසියන්ද,  සිය භාරයට ගෙන නුවර දොරටුවෙන් පිටව අතරමග බාධක ඉවත් කරමින් ද, සටනෙහි නියැලෙමින් ද තම නැව් කරා ළඟා වූයේය. නගරයේ සිට නැව් තොට දක්වා දුර සැතපුම් පහකි. ඒ අනුව සටන සිදු වූයේ කෝට්ටේ බලකොටුව තුළ බව විශ්වාස කළ හැකිය.

 චීන රාජ සභාව හමුවට පමුණුවන ලද සිරකරුවන් මරණයට පත් කරන ලෙසට එරට ඇමති මණ්ඩලයේ උපදෙස් ලැබුණ ද, ඔවුන් නොමැරූ චීන අධිරාජයා සිරකරුවන් පිරිස නැවතත් ආපසු එවා ඇත. චීනයට ගෙන ගිය රජ පවුලේ සිටි පරාක්‍රමබාහු නම් කුමාරයා රජ බවට තෝරා ගන්නා ලදී. ඔහු ක්‍රිස්තු වර්ෂ 1412 දී පමණ ලංකාවට පැමිණ "ජාති ගාමපුර" හෙවත් දෙදිගම සිය රාජධානිය කොටගෙන ප්‍රාදේශීය රජෙකු වශයෙන් රජකම් කරන්නට විය.

 එහෙත් ඒ වනවිට හයවන පරාක්‍රමබාහු නම් කුමාරයෙක් කෝට්ටේ රාජධානියේ රජ බවට පැමිණ සිටියේය. දැදිගම රජු සමඟ කිහිප වරක් සටන් කළ හෙතෙම ඔහු මරවා තමාගේ රජකම ස්ථිර කර ගත්තේය.


සෙව්වන්දි ප්‍රේමතිලක 

මතුසම්බන්ධයි