Followers

Saturday, June 19, 2021

පී.බී ට වැරදුනේ ඇයි

 පී.බී ට වැරදුනේ ඇයි



කොළඹ යුගයේ ප්‍රථම භාගය බිහිවූයේ ප්‍රධාන වශයෙන්ම යටත් විජිත යුගයට එරෙහිවය. යටත් විජිත යුගයේ අවසානයේ බිහිවූයේ කොළඹ ද්විතීය පරපුරයි. කොළඹ යුගයේ 40 – 50 දශක කවි සඟරා රැසක් බිහිවූ යුගයකි. දේදුන්න, මී වදය, සුවඳ, මහවැලි, කාන්තා, කවිසර සිරිමා ඉන් අතලොස්සකි. මේ යුගයේ කවියන්ගේ කාව්‍යය දැකිය හැකි ලක්ෂණ කිහිපයක් වෙයි. මොවුන් සොබා සෞන්දය වර්ණවත් ලෙස නිර්මාණය කරයි. එයට හේතුව බටහිර රොමෑන්ටික් කවීන්ගේ ආලෝකය ඔවුන්ට ලැබුණු නිසාවෙනි. ෂෙලී, ටෙනිසන්, ගෝල්ඩ්ස්මිත් වැනි බටහිර රොමෑන්ටික් කවීන් අනුගමනය කරමින් පද්‍ය නිර්මාණයේ යෙදුණු මේ කවීහු කාර්මීකරණය නිසා ඇතිවූ කාර්මීකරණයේ කනපිට ස්වාභාවය නිරූපණයට කවිය අවිය කරගත්තෝය. ඔවුන් කලබලකාරී පරිසරයෙන් මිදී ගැමි සුන්දරත්වය, ගංඟා ඇළදොළ, වනලැහැබ තුළ ලගිමින් නිර්මාණ බිහිකිරීමට සමත්විය. 

බටහිර සිදුවූ කාාර්මික විප්ලවයත් සමඟ මින්සාගේ හෘදයාංගම බව යාන්ත්‍රීකරණය වීම නිසා ටී.එස් එලියට් මුඩු බිම “The Waste Land” නම් කෘතිය නිර්මාණය කළේ එවකට බටහිර රටවල් තුළ කාර්මීකරණය අනිිිටු ප්‍රතිඵල රාශියක් විද්‍යමාන වූ නිසාමය. නමුත් බටහිර කැළඹූ තරමටම ලංකාව තුළ කාර්ólරණය හිස එසවූයේ නැත. එයට හේතුව ගැමිකමේ අක්මුල් සහිත පිරිස් ලාංකීය සමාජයේ ජීවත් වූ නිසාය. නමුත් බටහිර රෝමාන්තිකවාදය ආශක්ත කරගත් අපේ කවියෝද එයට අනුකූලව තම නිර්udKකරණයේ නියැලෙන්නට විය. ස්ත්‍රී පුරුෂ ප්‍රේමය කොතරම් සුන්දර ද නමුත් පී.බී අල්විස් පෙරේරාගේ පටන්ගත් මේ පරපුර එහි ඇති ශෘංගාරාත්මක බව භාව ප්‍රකෝපනයන් දක්වා ගෙන යන ආකාරය මීමනගේ කාව්‍යයකින් මෙසේ විමසමින් විචාරය පටන් ගැනීමට කැමැත්තෙමි.

දෙවටොර රඹ කඳන් වැනි මිරිකා තදිනි

තව එය විකා වරවර ආදර කමිනි

ලෙවකා නළල සිඹගෙන සිඹගෙන යමිනි

කවදා සිටින්නෙද ඔබ කිවමැන ඉතිනි

ආදරය - 

මීමනගේ කවියට දෙවනි නොවන කවියකි පී.බීගේ “උක්දඬු දුන්න” පැරණි සාහිත්‍යයකරුවන් රණ හංසයින්ට, මත් ඇත් යුවලකට උපමා කළ පියවුරු පී.බී උපමා කරන ආකාරයට මෙසේ දක්වනු කැමැත්තෙමි.

සමන්මලීගේ පියොයුරු දැක නැවත හැරී

තබන්නෙමි අළුත් උවනක් කොහොම හරී

පැළෙන්නට ඉතා ළංවුණු සුළං පිරී

ජපන් බැලුන් යුවලක් යනු නොවද සිරී


කවුද මේ පී.බී අල්විස් පෙරේරා. ඔහු පීඩිතයන් උදෙසා කවි ලියූ එම පරපුරේ නියෝජනයයි. රෝමාන්තික කවිය විෂයෙහි දැඩි අවධානයක් යොමු කළ එම යුගයේ රෝමාන්තික කවියායි.


“තාත්තාගේ ජීවිතය පුරාම ගලා ගියේ මේ සානුකම්පිත හැගීමයි. මොනතරම් මුදල් ලැබුනද මගේ පියා ඉතිරි කළ ධනය වූයේ ඔහු ලියූ කවි පමණයි. ඔහු සතු වටිනා වස්තූන් වූයේ අතැහි රැදි මුද්දත් ඔරලෝසුවත් පමණි.”

චිත්‍රා අයි.පෙරේරා (අපේ තාත්තලා)


පී.බීගේ කවීත්වයෙන් මතුවන ප්‍රධාන ලක්ෂණයක්නම් අධිරාජ්යවාදී වැඩවසම් සමාජ ක්‍රමයට එරෙහිව ගතානුගතික සිංහල කාව්‍ය සම්ප්‍රදායට එරෙහිවත් ඔහු තම කවි සිත යොමු කිරීමය. මෙම යුගයේ කවිය පොදු ජනතාව වෙත වඩාත්ම ළංව තිබූ මාධ්‍යයක් විය. මොහු තම අලුත් අත්හදා බැලීම සඳහා වැඩි වශයෙන් වස්තු විෂය කරගන්නේ ස්ත්‍රී ප්‍රේමය, සෞන්දර්යට, විරහව ආදී කරුණුයි. ටෙනිසන්, ගෝල්ඩ්ස්මිත්, කොල්රිජ් , ෂෙලි වැනි බටහිර රොමෑන්ටික් කවීන්ගේ ආභාෂය වැඩි වශයෙන් ලැබූ බව හාවා, මිනි ගිගිරි, කිරිදත්, උක්දඩු ගින්න කාව්‍ය කෘතිවලින් විද්‍යමාන වෙයි. පී.බී අල්විස් පෙරේරාගේ කාව්‍ය තුළ යම්තාක් දුරකට පොදු ජනයාගේ ජීවන අත්දැකීම් වස්තුවිෂය විය. එදිනෙදා ව්‍යවහාර භාෂාව බහුලව ලෙස කාව්‍ය විෂයෙහි යොදා ගැනීම මෙන්ම අර්:යෙන් නොගැඔුරු එහෙත් මතුපිටින් සුන්දර වූ වාග් මාලාවක් භාවිතයට ගත්තේ තාගෝර් තුමාගේ කවිවල මතුපිට අර්:ය දෙස බලා මිස යටිපෙළ අර්:ය දෙස බලා නොවන බව ඔහුගේ කාව්‍ය විමසීමෙන් පෙනීයයි. නව පද්‍ය සිංහලය තුළ වික්‍රමසිංහ තාගෝර් අනුකරණයට යාමෙන් පී.බීගේ ඇති දුර්වලතා රැසක් පෙන්වා දෙයි.

මොහුගේ ප්‍රථම කාව්‍ය සඟරාව “දේදුන්න” නම් විය. මොහු සමස්ථ ලංකා සිංහල කවි සම්මේලනය පිහිටු වීමටද පුරෝගාමියා විය. මොහු අතින් ලියැවුණු කාව්‍ය කෘති රැසක් 1942 බිහිවිය. ප්‍රථමයෙන් උක්දඩු දුන්න පසුව බුදුමැදුර, රන්තලිය, සොබාදහම, සංවාදය, ගොවි පෙරමුණ, අපේ හටන, වේදනාව, ළමයින්ගේ පරපුර, දෙව්ලොව ගිය කම්මැලියා, ජන්ම භූමි, ඉරුණ කොඩිය, අන්ධ කවියා, කේයස්, සුවඳ විලවුන්, අනුර සිහිනය, විමලරත්න කුමාරගම, වනමල, නාගස යටදී, මිණිපාන ආදී පද්‍ය රාශියක් රචනා කළේය. අල්විස් පෙරේරා හැකිතාක් සායම් එක්කොට ගෙන සිතට වඩා ඇස අනා සිත්තම් අදින්නෙකු වැනි යැයි වික්‍රමසිංහ නව පද්‍ය සිංහලයේ දක්වා ඇත්තේ සරල වාග්මාලාව තුළින් සමාජය ආමන්ත්‍රනය කරන නිසාවිය හැකිය.

තවත් මොහුගේ එක් ප්‍රධාන ලක්ෂණයක් නම් මොහු සම්භාව්‍ය යුගයෙන් මිදී තමාට ආවේනික වූ නව්‍ය උපමා තම නිර්මාණ තුළට කැටි කිරීමට උත්සාහ දරා තිබෙයි. සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිතයයේ ප්‍රබල ආභාෂයක් ලැබූවද එම තත්ත්වය ප්‍රතික්ෂේප කිරීමට මොහු පෙළඹිණි. මොහුගේ “රන්තලිය“ නම් කාව්‍යයේ තරුණිකගේ ඇගිලි උපමා කිරීමට යොදාගත් නව්‍ය උපමාව කෙතරම් උචිතද යන්න සැකයකි.


දිගු මකුළු අඩු          වැනි

රතැගිලි අතර           නවමිනි

කනක මුදු            පැළදිනි 

රදන පොහොසත් කම් අනුවමිනි


නිර්මාණයක පවතින ඖචිත්‍ය ගුණය කෙතරම් දුරට රැදී පවතින්නේ ද යන්න ගැටලු සහගත වන්නේ මෙවැනි නව්‍ය උපමා රසිකයාට සමීප කිරීමට ඔහුගත් වෑයමක් සමඟය. පැරණි සාහිතයය තුළ නළල අඩසඳට උපමා කළද මොහු එයට අත්හදා බැලීමක් සිදුකරයි. ගතානුගතික ආමන්ත්‍රණ පද පසෙකලා ඔහු නව්‍ය උපමා සහෘදයා වෙතට කැදවාලීමට වෙරදරයි. 

 

පටු නළල        පියකරු

දැක උමතුවෙති        කිවිවරු

රස දිය කළ           අයුරු

කැට පතක් මෙනි කසුන් ඔප දැමු

-මිණිපාන-


ව්‍යංගයෙන් තොර පරිභෝගික වස්තුවක් ලෙස නොගැඔුරු අරුත් උද්වීපනය කරමින් තම නිර්මාණයට නව්‍ය උපමා සෙවීම තුළ ඔහු යම්කිසි පසුබෑමකට ලක්විය. එම පරපුරේ විමලරත්න කුමාරගම, එච්.ඇම් කුඩලිගම, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ තුළ පැවති අව්‍යාජත්වය විනිවිද පෙනෙන ස්භාවය විටෙක පී.බීගේ නිර්මාණ තුළින් පළා යෑම ඔහුගේ පසුබෑමට එක් හේතුවකි. මිණිපාන තුළම ඔහු අතින් ලියවෙන මෙම කවියද අවදානයට ලක්කළ යුතුමය.


මිනි පෙම්ල බැඳ      ඉඟ

දිය සොරොව්වකි තුනු       ගඟ

උගුද ගමනින්                නැඟ

වැනෙයි පනිදෙකු පෙන ගොබය රඟ


ධ්වනිථාර්:වත් භාෂා විලාසයක් භාවිතයට නොගැනීම හා ව්‍යංග්‍යාර්: ජනනයවන එකඳු වචනයක් තම නිර්මාණය තුළ නොතිබීම ඔහු අන්කවීන් අතර විවේචනයට ලක්වීමට හේතුවක් විය. කුමාරගම, කේයස් වැනි සමකාලින කවියෝද තම නිර්මාණ තුළට සරල භාෂාව භාවිතා කළද එයින් ධ්වනිථාර්:වත් බවක් පිටපනී. කවියා තුළ පවතින පරිකල්පන ශක්තිය අත්දැකීම් හා මිශ්‍රකර යුගයේ අවශ්‍යතාව හා මුසුකිරීමට කවියාහට සියුම් පුහුනුවක් තිබිය යුතුය. එය පී.බී අතින් ඉටුනොවුනාම කිය නොහැකිය. ඔහු අතින්ද කාලීන අවශ්‍යතා ඉටුකිරීමට අවශ්‍යය කාව්‍ය රචනා විය. නිදසුන් ලෙස,


ගිය ජාතියේ නුඔ අප වැනි සඟුන් හට

සද්දා සිතින් කිසිවක් පුද නුදුන් කොට

මූසල හිඟන ජීවිතයක උපන්නට

පන්සල පළිද මා පළි දැයි කියනු   මට

හිඟන්නියට වූ දේ- 


නමුත් මොහු කොළඹ ද්වීතීය පරපුරේ කවීන්ට ප්‍රබල ලෙස එල්ල වුණු චෝදනාවට වගඋත්තරකරුවෙකි. එනම් තත්කාලීන සමාජය ගැඹුරින් අවලෝකනය නොකළේය යන චෝදනාවයි. අරගලකාරී ප්‍රශ්න කිරීම්, පංති විෂමතා, ශ්‍රම සූරාකෑම, ලිංගික අල්ලස් වැනි සමාජයේ පැවති රෝගාබාධවලට ඖෂධ සෙවීමට වඩා පී.බී උනන්දුවක් දැක්වූයේ රෝමාන්තිකවාදී කාව්‍ය ලක්ෂණ කරපුන්නා ගනිමින් නව්‍ය උපමා තුළින් රසිකයාගේ හදවත් තුළට රිංගා ගැනීමටයි. එය ධර්මසේන හිමි සද්ධර්මරත්නාවලිය කළ ආකාරයට ඔහුට සිදුකර ගැනීමට නොහැකි වූයේ ඖචිත්‍යය ගුණය රැක ගැනීමට ඔහුට නොහැකිවූ නිසාය. “ආලය රිදී නයි පැටියා අනුරාගී - විස දළ තද කළා හිස මුදුනට ඈගේ” මතුපිට අලංකාරය කොතෙක් වුවද එම වචන අතර කිමිදී බලන විට එහි අරුතක්නම් දැක ගැනීමට ඉතා අපහසුය. අවසාන වශයෙන් දුප්පත් දරුවාගේ උදර  මෙසේ සටහන් කිරීමට කැමැත්තෙමි. “බඩගෙඩි ඔවුන්ගේ උවනට වොලිබෝලයි” සැබෑ ලෙසම කවිය යන වචනයේ ඇත්තේ රසවත් වූත් වින්දනීයවූත් ශක්ති ප්‍රබවයකි. කාව්‍යයක් තුළින් නොයෙක් දෙනා විවිධ වූ දෑ බලාපොරොත්තු වෙති. ඇතැම් අය කවියෙක් උපදෙසක් පතති. පිරිසක් ජීවිතයේ මුහුණ දෙන අනේකවිද දුක්කම්කටොලු අමතක කිරීමට සමාජය ආමන්ත්‍රණය කිරීමට, සමාජ දුබලතාවයන්ට පහර දීමට කවිය භාවිත කරයි. කවිය සෘජුවම මිනිස් හැඟීම් හා සම්බන්ධ වේ. පී.බීගේ දුබලතා මෙන්ම ඔහුගේ කවීත්වය තුළ ගැබ්වූ මානව හිතවාදී බවත්, සාධනීය වූ කාව්‍යමය ගුණාංගත්, කැටිකරගත් තවත් නිර්මාණ රැසක් ඔහු අතින් ලියවී ඇත. විමලරත්න කුමාරගම කවියා පී.බී අල්විස් පෙරේරා පිළිබඳ ලියාතැබූ පදවැලක් අවසාන ලෙස ගෙන එන්නට කැමැත්තෙමි.

අනගි මුතු බිහිකරන්නට රිදුමකින්

කොතරම් කඳුළු සැලුවා ද?

දසත යුගයක් මැදින් කොතරම්

කඳුළු ඔබෙ පා යටත් ගැලුවා ද ?

දිමුතු මුතු ඌරන් තලන විට

අප උපන් රට ඉබේ ගොළු වේද?

රටට ඔබ දුන් දේ අනන්තයි

එහෙත් රට ඔබ දිහා බැලුවාද?


පී.බී අල්විස් පෙරේරා ළමා පරපුර වෙනුවෙන් ලියූ කවි බොහෝමයකි. මල් පාසල, සුදු නෙළුම එවන් කාව්‍ය කිහිපයකි. මාර්ටින් වික්‍රමසිංහට අනුව පී.බී අල්විස් පෙරේරා නොසිදෙන දිය ඇල්ලක් වැනි කල්පනා ශක්තිය ඇත්තෙකි. නමුත් ඔහුට වැරදුනේ නව්‍ය උපමා කාව්‍යයට ඈදෑගත් ස්වරූපයේ ඇති දුබලතාවකි


සෙව්වන්දි ප්‍රේමතිලක - 

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

No comments: