අලකේශ්වර හෙවත් අලගක්කෝනාර තුන්වන වික්‍රමබාහු රජු බවට පැමිණීම නිසා සිදු වූ තවත් දෙයක් නම් ඉහත කී රජවරුන් දෙදෙනාටම අගමැතිකම් කළ සේනාධිලංකාර අප්‍රධාන තත්ත්වයට පත්වීමය. ඒ තැන හිමි වූයේ ප්‍රභූරාජ නමින් හැඳින්වූ නිශ්ශංක අලගක්කෝනාරටය. වැඩිකල් නොයා ඔහු රටේ පාලන තන්ත්‍රය මෙහෙයවූ ප්‍රබලම පුද්ගලයා බවට පත්විය.
මේ අතරේ ආර්යචක්‍රවර්ති තමාගේ බලය කඩිනමින් ව්‍යාප්ත කර ගනිමින් සිටියේය. යුද්ධ ගිවිසුමට අනුව ඉහත කී උඩරට සමහර ප්‍රදේශයන්හි ද හලාවත, මීගමුව, කොළඹ යන තොටුපොළවල්හිද බලය ඔහු තමා සතු කර ගත්තේය. නිශ්ශංක අලගක්කෝනාර වණික් වංශයට (වෙළෙඳ කුළයට) අයත් වූවෙකි. තොටුපළවල් ආශ්‍රිතව ඉපැරණ විශාල ධනස්කන්ධය ආර්යචක්‍රවර්තිට හිමි වීම ඔහුට රුස්සන්නක් නොවීය. ආර්ය චක්‍රවර්තිගේ බලය මෙල්ල කිරීම සඳහා බලකොටුවක් ඉදි කිරීමට අදහස් කළේ ය. ඒ සදහා සුදුසුම ස්ථානය වූයේ කෝට්ටේ භූමිභාගය.
තුන් පැත්තෙන්ම දියවන්නා ඔයෙන් ද අනෙක් පැත්ත ස්වභාවික මඩ වගුරුවලින්ද වටවූ භූමි භාගයක් තෝරා ගත් හෙතෙම එය කබොක් ගලින් බැඳි ප්‍රාකාරයකින් වට කර ගත්තේය. එහි තැනින් තැන මුර කපොලු පනවා මුර භටයින් රැඳවූ අලගක්කෝනාර තැනින් තැන දේවාල ඉදි කරවා උපුල්වන්, සමන්, විභීෂණ, කතරගම යන දෙවිවරුන් සඳහා වෙන්කර වූයේය. ඔහු එයින් අදහස් කළේ සෙබළුන්ගේ මානසික ශක්තිය දියුණු කොට ධෛර්යසම්පන්න කරවීමය. ඉතා නුවණැතිව ක්‍රියා කළ හෙතෙම සෑහෙන කාලයකට අවශ්‍ය ආහාරපාන ද රැස් කොට, කල්යල් බලා පහරදී තොටුපොළවල්වල බදු අය කරමින් සිටි ආර්යචක්‍රවර්තිගේ මිනිසුන් එළවා දැමුවේය.
ආර්ය චක්‍රවර්ති බළසේනා එළවා හලාවත, මීගමුව සහ කොළඹ තොටුපළවල් අල්ලා ගත්තද අලගක්කෝනාරගේ සේනා විසින් පලවා හරින ලදී. මෙසේ ආර්ය චක්‍රවර්තිගේ බලයෙන් හීන කළ අලගක්කෝනාර තවත් වැදගත් දෙයක නිරත විය. දෙවනගල වනරතන මාහිමි ඇවෑමෙන් සීලවංශ ධම්මකිත්ති නාහිමියන් එම පදවියෙන් පිදුම් ලබන අතර අලගක්කෝනාර එතුමන්ගේ සහභාගිත්වයෙන් මහා සංඝයා රැස් කරවා ක්‍රිස්තු වර්ෂ 1360 දී දුසිල් මහණුන් සිවුරු හරවා ශාසන ශෝධනයක් සිදු කර වූයේය.
මෙම අලගක්කෝනාර "රාජා ලංකා මහීතලේ" ලෙසින් වික්‍රමබාහු රජු සිටියදීම ලංකාධිපති රජු ලෙසින් හඳුන්වා තිබේම ද විශේෂයෙන් සලකා බැලිය යුත්තකි.
ඒ සමයෙහි ජයමහලෑණ නමින් තවත් බල සම්පන්නයකු වික්‍රමබාහු රාජ සභාවේ සිටි බව සඳහන්ය මේ. ජයමහලෑණ නියගම්පායේ විහාර ප්‍රතිසංස්කරණය කළ අතර අලගක්කෝනාර කැලණි විහාරය ප්‍රතිසංස්කරණය කළේය. එසේම ඔහු කෝට්ටේ නතර වී හිදිමින් තම ජන්ම භූමිය වූ රයිගම ප්‍රදේශයේ ද ශාසනික කටයුතුවල නිරත විය.
ක්‍රිස්තු වර්ෂ 1377 වික්‍රමබාහු රජු ඇවෑමෙන් පස්වන බුවනෙකබාහු ලෙසින් රජ වූයේ මෙම අලගක්කෝනාරට දාව ඔහුගේ බිරිඳ වූ වික්‍රමබාහු රජුගේ සහෝදරිය බිහිකල පුතුය. මින් ටික කලකට පසු එනම් ක්‍රිස්තු වර්ෂ 1381 දී පමණ ආර්යචක්‍රවර්ති තමන්ට වූ පරාජය මකා ගැනීම සඳහා එකවර ගොඩින් හා මුහුදින් විශාල හමුදා දෙකක් ඒවා එකවර කෝට්ටේට හා ගම්පොළට පහරදීමට තැත් කළේය. ගම්පොල සිටි පස්වන බුවනෙකබාහු කෝට්ටේට පළාගිය අතර උඩරට සේනාවෝ ආර්ය චක්‍රවර්තීන්ගේ හමුදාව පලවා ජයග්‍රහණය ලැබීය. මුහුදින් නැව්වලින් පැමිණි හමුදාව දෙමටගොඩ පානදුර ආදී තැන්වල කඳවුරු බැඳ ගත්හ. අලගක්කෝනාර එම නැව් විනාශ කොට හමුදාවද එළවා දැමීය. බුවනෙකබාහු නැවතත් ගම්පොළට ගියේය. පස්වන බුවනෙකබාහු රජුගේ අවසාන සමයේදී ඈපා තනතුරද දැරූ අර්ථනායක නැමැත්තා මිය ගිය අතර එම තනතුර හිමි වූයේ දේව මන්ත්‍රී නැමැත්තාට ය. මේ දේව මන්ත්‍රී අලගක්කෝනාර ගේ සහෝදරයෙකි. පස්වන බුවනෙකබාහු රජු තම අවසාන කාලයෙහි කෝට්ටේට ගිය පසු රාජ සභාවේ උසස් නිලධාරීහු එක්ව දේව මන්ත්‍රී යුවරජු වීරබාහු විසින් නම් තබා ගම්පොළ සිංහාසනාරූඪ කළහ.
නමුත් නිකාය සංග්‍රහය එය එලෙසින්ම සනාථ කරන්නේ නැත. සමහර මූලාශ්‍රයන්හි ඉහත සඳහන් අර්ථනායක ද අලගක්කෝනාර ගේ සහෝදරයෙකු ලෙසින් දක්වා ඇත. එසේම ගම්පොළ බුවනෙකබාහු රජුගේ අගමැති හා ප්‍රභූ රාජ වශයෙන් සිටි අලගක්කෝනාර හා ගම්පොළ වික්‍රමබාහු රජුගේ අගමැති හා ප්‍රභූ රාජ වශයෙන් සිටි නිශ්ශංක අලගක්කෝනාර යනු දෙදෙනෙකු බව ද සඳහන් කළ තැනැත්තා නිශ්ශංක අලගක්කෝනාර ගේ බෑනා හෙවත් සහෝදරයාගේ පුතෙකු බව ද සඳහන්ව ඇත. ඒ අනුව ජයවර්ධනපුර කෝට්ටේ බලකොටුව ගොඩ නැංවූයේ වික්‍රමබාහු රජුගේ අගමැති වශයෙන් සිටි නිශ්ශංක අලගක්කෝනාර හෙවත් අලගක්කෝනාර යි.
මෙම අලගක්කෝනාර පරපුරේ තොරතුරු දඹදෙණි අවධියේ සිට දැක ගත හැකිය. කෑරගල පද්මාවතී පිරිවෙන කරවා ඇත්තේ පද්මාවතී නමින් සිටි අලගක්කෝනාරගේ සහෝදරියකට වැඳපුදා ගැනීමටය. (කෑරගල සෙල්ලිපිය)
ඉබන් බතූතා ක්‍රිස්තු වර්ෂ 1344 දී පමණ ශ්‍රී පාද වන්දනාවේ යද්දී අලගක්කෝනාර නැමැත්තෙකු විශාල ප්‍රදේශයක පාලකයා වශයෙන් සිටියදී හමුවූ බවද ඔහුට සුදු ඇතෙකු සිටි බවද ජනතාව කැරලි ගසා ඔහු බලයෙන් පහකොට ඇස් අන්ධ කොට ඔහුගේ පුතකුට බලය ලබාදුන් බව ද සඳහන් කොට ඇත.
මතුසම්බන්ධයි
සෙව්වන්දි ප්‍රේමතිලක

No comments:
Post a Comment