ගම්පොළ පාලනයේ නිමාව හා
කෝට්ටේ රාජධානිය පිහිටුවීම 01
.
කෝට්ටේ රාජධානිය පිහිටුවන ලද්දේ 14වන සියවසේදී ය. ඒ වන විට ලාංකීය රාජස්ථානයේ මූලික ස්ථානය වූයේ ගම්පොළය. පස්වන විජයබාහු හෙවත් සවුළු විජයබාහු රජුගේ අවසාන සමයේදී ඔහුගේ වැඩිමහල් පුත් සිව්වන බුවනෙකබාහු ගම්පොළ රාජධානිය පිහිටුවා ගත්තේය. ඔහුගේ සහෝදර පස්වන පරාක්‍රමබාහු දැදිගම ඈපාවරයකු සේ පාලනය ගෙනගිය අතර අලගක්කෝනාර නම් අයෙක් රයිගම පෙදෙසේ පාලන කටයුතුවල නිරත වී ඇත. සවුළු විජයබාහු රජු අභාවයට පත් වූ කල්හි සිව්වන බුවනකබාහු අභිෂේක රජු වශයෙන් පිළිගැනුණි. ඔහුගේ ඇමති ලෙස කටයුතු කරන ලද්දේ සේනාධිලංකාර සෙනෙවිරත් නැමැත්තාය.
සිව්වන බුවනෙකබාහු රජු අයත් වන සවුළු පරම්පරාව පැරණි රාජ වංශයන් ට පැහැදිලි සබඳතාවයක් නොපෙන්වයි. කල් යාමේදී මෙම පාලකයෝ ගණවැසි, වණික්වංශ, ගිරි වංශ ආදී පරම්පරාවල යම් යම් ප්‍රභූවරුන්ගේ ග්‍රහණයට නතු වූ බව පැහැදිලිව දක්නට ඇති දෙයකි. එම ප්‍රභූවරු රාජකීයයන් හා සබඳතා ගොඩනඟා ගැනීමට සමත් වූයේ ඉහළ ආර්ථික තලයකට පිවිසීමට තරම් හැකියාවක් තිබූ හෙයිනි. පසුකාලීනව ඔවුන්ගේ දරු මුණුපුරන් ඔටුන්න හිමි කරගත් ආකාරය දැකගත හැකිය.
මෙම කාලයේදී දැකිය හැකි තවත් විශේෂත්වයක් වනුයේ සමකාලීන රජවරුන් විසින් ඒ ඒ ප්‍රදේශ පාලනය කිරීමය.
ආර්යචක්‍රවර්ති නැමැත්තෙක් උතුරු පාලකයා වශයෙන් සිට දකුණේ සිංහල රාජ්‍ය විවිධ අතවර, බලපෑම් පමුණුවාලූයේය. කෙසේ වුවද මෙම ගම්පොළ රාජධානියේ එතරම් සුවිශාල වූවක් බව නොපෙනේ. බුවනකබාහු රජුගේ පාලනය වැඩි වශයෙන් පැවතියේ මහනුවර හා ඒ ආසන්න කොත්මලේ හා උලපනේ යන ප්‍රදේශයන්හිය. එසේම ඔහුගේ පාලනය දකුණු ප්‍රදේශයද තිබූ බව පිළිගත හැකි සාධකයක් වූයේ ඔහුගේ සේනාධිලංකාර නම් ඔව් ඇමතිවරයා වැලිගම අග්බෝ විහාරයේ පිළිම ගෙයක් කරවා යම් යම් ශාසනික සේවාවන්හි නිරත වූ බව නිකාය සංග්‍රහය හා තිසර සන්දේශය ආදියෙහි සඳහන් ව තිබීම ය.
සිව්වන බුවනෙකබාහු රජුගේ අවසාන රාජ්‍ය සමයේ දී ඔහු වික්‍රමබාහු නම් වූ පෙදෙස් පාලකයකු හා සිවිල් යුද්ධයක පැටලී තිබේ. (මෙම වික්‍රමබාහු පේරාදෙණිය පාලනය කළ අයෙකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගම්පොළ රාජධානියේ එක්තරා කොටසක් වික්‍රමබාහුගේ පාලනයට නතුවිය. පසුකාලීනව තුන්වන වික්‍රමබාහු ලෙසින් ගම්පොල රාජ්‍යත්වයට පත් වන්නේ මොහුය.)
වසර 1351 දී සිව්වන බුවනෙකබාහු මියගිය අතර මේ වන විට දිවයිනේ යම් යම් පෙදෙස් පාලනය කළ තවත් පෙදෙස් නායකයින් කිහිප දෙනකුම සිටි බව කියැවේ. ඒ අතරේ කොළඹ පාලනය කළ ඇබිසීනියන්වරුන් පිරිසකගේ සහාය ඇතිව ජලස්ථි නම් නාවිකයා ද, රයිගම පෙදෙස පාලනය කළ යි පිළිගත හැකි නිශ්ශංක අලකේශ්වර ද මූලික ස්ථානයක් ගනී. (එකල සිරි පාද වන්දනාවේ ගිය ඉබන් බතූතාගේ සටහන් වලින් ද මෙය සනාථ වී ඇත. )
මෙම අලකේශ්වර ඉහළ පවුල් සමග විවාහ සබඳතා ගොඩ නගා ගනිමින් බලය තහවුරු කරගත් අය ය. තවද බේරුවල පෙදෙස ''ක්වජා ජහාන්'' නම් වූ මුස්ලිම් ජාතිකයෙකු විසින් පාලනය කල බව ''කොඩ්රිටන්'' සඳහන් කොට ඇත. ඉහත සඳහන් පරිදි සිව්වන බුවනකබාහු හා වික්‍රමබාහු අතර ගැටුම පැවති සමයේ දී මොවුන් තම බලය තහවුරු කරගත් බවට සාධක තිබේ.
මේ අතරේ තවත් පාලක පෙදෙසක් වූයේ විශේෂයෙන් උතුරු මැද පෙදෙස මූලික කොටගත් වන්නියාර්වරුන් ය. මෙම වන්නියාර්වරු උතුරු පාලකයා වූ ආර්ය චක්‍රවර්තිගේ බලය පිළිගත් බව පෙනෙන්නට ඇති දෙයකි. ආර්යචක්‍රවර්ති තමාගේ බලය හලාවතට එපිටින් පිහිටි මුන්ඩල් දක්වා පතුරවා හැරීමට සමත්ව සිටියේය.
සිව්වන බුවනෙකබාහු මියගිය පසු දැදිගම පාලකයාව සිටි පස්වන පරාක්‍රමබාහු ගම්පොළ රජ විය. මෙහිදී සේනාධිලංකාර සෙනවියා මෙම රජුට දකුණේ සහාය ලබාදීම වැදගත් කොට සැලකිය යුත්තකි.
ගම්පොළ රාජ්‍ය පාලනයේ පෙරළියක් සිදුකරමින් පේරාදෙණිය පෙදෙස පාලනය කළ තුන්වන වික්‍රමබාහු පස්වන පරාක්‍රමබාහු රජු නෙරපා හැර සිහසුන අත්පත් කර ගත්තේය. මෙහිදී වික්‍රමබාහු රජු උතුරේ ආර්ය චක්‍රවර්තිගේ සහාය ලබා ගත් බවටද මතයක් ඇත. ඒ අනුව බලන විට ඔහු මාතලේ, සිදුරුවාන, දුම්බර ආදී උඩරට පෙදෙස්හි බදු අය කර ගැනීමේ අයිතිය උතුරේ ආර්ය චක්‍රවර්ති ට හිමිකර දී තිබේ. (සමහර තැනක ආර්ය චක්‍රවර්ති නොව මා දණ්ඩ පෙරුමාල් ලෙසින් සඳහන් ව තිබේ)
-මතුසම්බන්ධයි-
සෙව්වන්දි රේමතිලක

No comments:
Post a Comment