Followers

Thursday, August 25, 2022

රවීන්ද්‍රනාත් තාගෝර්

‍ රබීන්ද්රනාත් තාගෝර් මේ මහා කවියා තමාගේ ජීවිත කාලය වූ අවුරුදු අසූවෙන් අවුරුදු හැත්තෑවක් පමණම ගත කර ඇත්තේ තම ලේඛන කටයුතුවල නිරතවීමෙන් බැව් කියවේ. මේ කාලය තුළ එතුමා අතින් ලියවුණු පොත්පත් කතා ප්‍රමාණය තුන්සියයකට අධිකය. නව කථා, කෙටි කථා, නාට්‍ය රචනා, විචාර ග්‍රන්ථ, ආගම, අධ්‍යාපනය, දේශපාලනය සහ සංචාරක සටහන් (එතුමා තම ජීවිත කාලය තුළදී නොයෙකුත් රටවල සංචාරය කර ඇත.) ආදි නොයෙකුත් විෂයයන් අළලා ලියවුණු පොත්පත් ඒ අතර වේ. ඒ හැරුණු විට ගීත නාටක ‘ගී’ දහසකට අධික ප්‍රමාණයක් එතුමා අතින් ලියැවී තිබේ. මුළු මහත් භාරතයේම කවියා වූ මෙතුමා ‘චිත්‍ර ශිල්පය’ කෙරෙහි දැක්වූ ප්‍රතිභාව ද සුළු පටු නොවේ. එතුමා චිත්‍ර ඇඳීමට පටන් ගත්තේ 1927 දී පමණය. අඳින ලද චිත්‍ර ප්‍රමාණය දෙදහසකට අධිකයි. එතුමා සංගීතඥයකු වශයෙන් ද ප්‍රසිද්ධියක් උසුලනු ලැබූ ප්‍රාඥයෙකි. ‘රබීන්ද්‍ර සංගීත්’ නමින් එතුමාටම ආවේණික වූ සංගීත ශෛලයක් ගොඩ නඟා ගත් අතර එය මුළුමහත් භාරතය පුරාම පැතිර ගියේය. 1912 දී එතුමා එංගලන්තය බලා ගිය ගමනේදී, එතුමාට සුප්‍රකට ඉංග්‍රීසි කවියන්, ලේඛකයින් සහ චිත්‍ර ශිල්පීන් කීප දෙනෙකුම මුණ ගැසීමේ භාග්‍යය උදා විය. ඉංග්‍රීසි ජාතික මහ කවි ‘ඩබ්ලිව්. බී. යේට්ස්’ ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පි ‘සර් විලියම් රොත්ස්ටීන්’ යන කලාකරුවන් දෙදෙනා එතුමාට මුණ ගැසුනේ මෙහිදීය. මේ දෙදෙනා තාගෝරයන්ට බෙහෙවින්ම ඇලුම් කළ හිතවතුන් දෙදෙනෙකි. මේ ගමනේදී සිදු වූ වැදගත්ම සිදුවීම වූයේ තම විශිෂ්ට කාව්‍ය නිර්මාණය වූ ‘ගීතාංජලි’ කාව්‍ය සංග්‍රහයට නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීමයි. රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ ‘ගීතාංජලීය’ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ප්‍රථම ආසියාතික සාහිත්‍ය කෘතියයි. බෙංගාලි බසින් ලියැවුණු එය 1913 ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලද්දේ ද කවියා විසින්මය. ගීතාංජලිය ප්‍රමුඛ තාගෝර් කාව්‍ය ලෝකයා ඉදිරියේ අස්සක් මුල්ලක් නෑරම පැතිර ගියේය. භාරත දේශයට උගතුන්, කලාකරුවන්, සංගීතඥයින්, සිත්තරුවන් ආදි කලාකරුවන් රැසක් බිහිකිරීමෙහිලා පුරෝගාමී වූ ශාන්ති නිකේතන ආශ්‍රමයේ නිර්මාතෘවරයා වූයේ රබීන්ද්‍රනාත් තාගෝර්තුමාය. 1901 දී ආරම්භ කරන ලද නිකේතනය වෙනුවෙන් නොබෙල් ත්‍යාගයෙන් ලද මුළු මුදලම කැප කළේය. අනෙකුත් අධ්‍යාපන ආයතනයකට වඩා ශාන්ති නිකේතනය හාත්පසින්ම වෙනස් විය. විනයානුකූල භාවය සහ පැරණි අධ්‍යාපන ක්‍රමයේ මූලිකාංගයක් වූ ‘ ගුරුගෝල සබඳතාව’ අකුරටම පිළිපැදීම සිදු කළ මෙහි සියල්ලක්ම කෙරුණේ තාගෝර් තුමාගේ මූලිකත්වය සහ මඟපෙන්වීම යටතේය. තම දර්ශනය සහ දැන උගත්කම පොදුවේ ලෝකයා සමඟ ද බෙදා හදා ගැනීමේ අරමුණින් 1921 දී ශාන්ති නිකේතනය ආශ්‍රිතව ‘විශ්වභාරතිය’ නම් වූ ජාත්‍යන්තර අධ්‍යාපනික ආයතනය පිහිටුවනු ලැබීය. සෙසු ලෝකයා සමඟ සහජීවනයෙන් කටයුතු කිරීමේ එතුමා සතු උදාර ගතිගුණය මින් මොනවට පැහැදිලි වන්නේය. මේ මහා කලාකරුවාගේ අනුහස ශ්‍රී ලාංකික අපට ද දායාද වශයෙන් නොමඳවම ලැබුණි. හොරණ ශ්‍රීපාලිය එහි ප්‍රතිඵලයකි. අද එය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යාපන අංශයේ ශාඛාවක් ලෙස පවත්වා ගෙන යනු ලැබේ. 1934 මැයි මස 09 වන දින හතළිස් දෙනෙකුගෙන් සමන්විත වූ දූත පිරිසක් සමඟින් හොරණ ශ්‍රීපාලිය පිහිටුවීම සඳහා එතුමා අප රටට පැමිණි අවස්ථාවේ, එවකට නොසලකා හැර තිබූ, එමෙන්ම පිරිහෙමින් පැවති අපගේ පාරම්පරික නැටුම්, චිත්‍ර හා මූර්ති ආදී කලාවන්ගේ ඇති වටිනාකම පෙන්වා දෙමින් ද, ඒවා රැකගන්නා ලෙසට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මේවා යයි පෙන්වා දෙමින් ද, නැටුම් කලාව උගැන්මට භාරතයට යාම නිශ්ඵල ක්‍රියාවක් බවත්, එය කළ යුත්තේ අප රටේම පාසැල්වල නැටුම් කලාව ඉගැන්වීම තුළින් බවත් පෙන්වා දුන්නේය. අදත් අප රටේ පාසැල්වල උඩරට සහ පහතරට නැටුම් කලාව උගන්වනු ලබන්නේ ඒ ආභාෂයේ ප්‍රතිඵලයක් වශයෙනි. එතුමා අප රටේ කලා උන්නතිය සඳහා කළ මහඟු සේවය සදා සිහිපත් කරනු වස් ‘ ශ්‍රී ලංකා තාගෝර් සංගමය’ නමින් වූ කාලායතනයක් ද පිහිටුවා ඇත. තාගෝර් දර්ශනය අගයන කලා ලැදි කාහට වුවද මෙවැනි ආයතනයකින් ලැබෙන විපුල ප්‍රයෝජනයේ ඇති වැදගත්කම මොනවට පැහැදිලි වේ. තාගෝර්තුමාගේ කවීත්වයේ ආභාෂය අප රටේ කොළඹ යුගයේ කවීන් වන ශාන්ති නිකේතනයේම සිසුවකු වූ ‘කේයස්’ කවියා, ‘අල්විස් පෙරේරා’, ‘ විමලරත්න කුමාරගම’ යන කවීන් ලබා ඇති බව ඔවුන්ගේ නිර්මාණ පරිශීලනය කිරීමෙන් පෙනී යයි. මහගම සේකරයන්ගේ ගීත රචනා කීපයකම පාහේත්, තාගෝරයන්ගේ කවි ආභාෂය ගුරු කොට ගෙන ඇති බැව් පෙනේ. ‘ පටු අදහස්කම් පව්රින් ලෝකය කැබලිවලට නොබෙදි ඥාණය ඉවහල් වී’ නම් වූ ගීතය ඊට හොඳම නිදසුනකි. විශ්ව කීර්තියට පත් කලාකරුවකු තමා ලද එම කීර්තිය හා ප්‍රශංසාව සිහියට නඟන මොහොතක් පාසා, තමා උපන් මාතෘ භූමිය කෙරෙහි ඉමහත් භක්ත්‍යාදරයක් දක්වනු නො අනුමානය. රබීන්ද්‍රනාත් තාගෝර් තුමා ද ඒ බව සනාථ කළ ශ්‍රේෂ්ඨ කලාකරුවෙකි. එතුමාගේ මව් භාෂාවෙන්ම පවසන පරිදි ‘අමාර් සොනාර් බංග්ලාදේශ් අමි කොමායි බලො බෂි’ (මාගේ රත්තරන් වංග දේශය මම ඔබට ප්‍රේම කරමි.) යන වදන්වලින් ඒ බව සනාථ වේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එතුමා තම මාතෘ භූමිය කෙරෙහි එකසේ ආදරය දැක් වූ කලාකරුවෙකි. එතුමා එඩිතර ජාතික විමුක්තිවාදි දේශපාලනඥයකු වශයෙන්ද ප්‍රසිද්ධියක් ලැබූ තැනැත්තෙකි. දේශීය අනන්‍යතාවය රැක ගනිමින් ඒ තුළ සාම්ප්‍රදායික චින්තනය පතුරුවාලන්නට මහත් කැපවීමකින් යුතුව කටයුතු කළේය. 1905 ඔක්තෝබර් 16 වන දා ඉංග්‍රීසින් විසින් බෙංගාලය බෙදා වෙන් කළ දිනයයි. තම දේශය යටත් විජිතවාදීන් විසින් දෙකඩ කළ අවස්ථාවේ එතුමා දැඩි ලෙස කම්පා වුවද, කිසිවිටෙකත් තම රටේ ජාතික නිදහස පතා කළ සටන අත්හැරියේ නැත. රට ඒකාබද්ධ කිරීමේ කාර්යයේ පෙරමුණේම සිටියේය. තාගෝර්තුමාගේ සිත දැඩි ලෙස කම්පා වූ තවත් දිනයක් නම් 1931 දී ඉංග්‍රීසින් විසින් මහත්මා ගාන්ධි’ තුමා සිරභාරයට ගත් දිනයයි. නායකයකු සතුව තිබිය යුතු එඩිතර භාවයත්, ආත්ම ධෛර්යයත් පිළිබඳව කරුණු පෙන්වා දෙමින්, ගාන්ධි තුමාගේ සිත ධෛර්යමත් කළේය. නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව භාරත දේශයේ නිදහස පතා සටන් කළ මහත්මා ගාන්ධි වැනි ශ්‍රේෂ්ඨ ජන නායකයන් සැමවිටම දිරිමත් කළේය. මේ ආදි වශයෙන් තාගෝර්තුමා තම මාතෘ භූමිය වන භාරත දේශයේ විමුක්තිය පතා කළ උදාර සේවය ද ඉතිහාසගත වූවක් විය.

1 comment:

සෙව්වන්දි ප්‍රේමතිලක said...

ලංකාව කියවා ගත යුතුම චරිතය...