Followers

Thursday, August 25, 2022

ලේබල් සාහිත්‍යයෙන් ඔබ්බට

සංස්කෘතිය අධ්‍යයනයේ දී වඩාත් වැදගත් කාරකයක් ලෙස හඳුනා ගනු ලබන සංස්කෘතික අගනාකම් එම සන්දර්භය තුළ දී සාපේක්ෂ වීම හඳුනාගත හැකිය. එනම් බොහෝ සංස්කෘති සහ උපසංස්කෘතික අගයන් තුළින් කාන්තා විමුක්ති පිළිබඳව විවාදාපන්න නිගමනවලට එළැඹේ. සමහර සංස්කෘතීන් ඇය සුවිශේෂ වරප්‍රසාදලාභිනියක කරන අතර බොහෝ අප්‍රිකානු හා මැදපෙරදිග සංස්කෘතිය තුළින් ස්ත්‍රීය පටු කෝණයකට ලඝු කරයි. එහෙත් එකී සංස්කෘතික දෘෂ්ටියෙන් පෙනෙන මතුපිටින් පමණක් බැලුවද ඇය අප්‍රධාන වි නැති බව මොහෙන්ති වැනි අයගේ තර්කයයි. එයට හේතුව කාන්තාව යන ක්ෂේත්‍රය ගෝලීයව (universal) ගෙන ස්ථානගත කර ගැනීමට දුශ්කර ස්ත්‍රීපුරුෂභාව පිළිබඳ ගැටලු (gender(s)) පැවතීමයි. “මනුෂ්‍ය” යන ගෝලීයත්වය තුළින් නිර්මිතය මනුෂ්‍ය වර්ගයාට පොදුය. එහෙත් ස්ත්‍රීවාදය ගෝලීය වශයෙන් ස්ත්‍රීය යන හැඟවුම්කාරකය මිස, භාවිතයේ දී එකිනෙකට වෙනස් මානයන් ගනී. ස්ත්‍රී විමුක්තිය පිළිබඳ ලිබරල්වාදී ස්ථාවරය දක්වන සහයෝගය හා සමානාත්මතාවය වෙනුවට පුරුෂභාවය (අව)ප්‍රමාණය කරමින් විශේෂිතත්වයක් රැඩිකල්වාදීන් විසින් ගෙනෙයි. එහෙත් බටහිර ස්ත්‍රීවාදී ආකල්පහි තීව්‍රතාවය ධනය බෙදීයාමේ ස්වභාවය අනුව උච්ඡාවචනය වේ. යුරෝපීය මධ්‍යම පාන්තික ස්ත්‍රියගේ අත්දැකීම අප්‍රිකානු කළු ජාතික ස්ත්‍රියගේ අත්දැකීමෙන් වෙනස් විය හැකිය. එසේ හෙයින් ස්ත්‍රීයගේ විමුක්තිය, පීඩනය හා අත්දැකීම් විමර්ශනය කළ යුත්තේ එකී විවිධ සාධක සැලකිල්ලට ගනිමිනි. පීතෘමුලිකත්වයට හෝ ධනවාදයේ ස්ත්‍රී පීඩනයට එරෙහිව සියලුම ස්ත්‍රීන් ‘එක් අරගලයක් කරනවාට වඩා’ ඒ පසුබිමට මුල් වූ හේතු සාධකවලට අරගලයක් කිරීම වඩා ඵලදායී වේ. මන්ද සන්නිවේදනයක් නොවන ගෝලීය අරගලයකට වඩා එකී සංස්කෘතික සන්දර්භය මත කරන අරගලය විසින් වඩාත් ප්‍රතිඵලදායී අනාගතයකට උරුමකම් කිව හැකිය. සංස්කෘතික සාපේක්ෂතාවාදයට අනුව ස්ත්‍රීවාදයේ වඩාත් යහපැවැත්ම රැදී ඇත්තේ අදාළ සංස්කෘතික සන්දර්භය වටහා ගෙන ප්‍රතිචාර දැක්වීම මතය. දැනුම් පද්ධතියක් වඩාත් බලපෑම් සහගත වන්නේ එය සංස්කෘතික ව්‍යාප්තිය කෙරෙහි කොතරම් සංවේදී වනවාද යන්න මතයි. යහපත් හෝ අයහපත් දැනුමක් සංස්කෘතියට ගැඹුරින් කා වැදී ඇත්නම් එකී විඥානය ඉවත් කිරීම ලේසි කටයුත්තක් නොවේ. යටත්විජිත අගයන් යටත්විජිත නොවන අගයන් ලෙස එකී යටත්විජිත රාජ්‍යවල සංස්කෘතියට කා වැදී ඇත.

No comments: