මායා යථාර්ථවාදී රීතිය සියක් වසක හුදකලාව කෘතියෙන්...,
මායා යථාර්ථවාදය යනු, යථාර්ථයත් ෆැන්ටසියත් අතරමැදි වූ ස්වරූපයකි. මිනිස් දිවියේ ලෞකික දෛනික සිදුවීම් සමඟ අනපේක්ෂිත මොහොතක ඇදහිය නොහැකි ආශ්චර්යාත්මක සිද්ධි එකතු වීමෙන් මෙම සංකල්පය නිර්මාණය වෙයි. අධි යථාර්ථවාදයෙන් පැනනැගුණු සීමා ඛණ්ඩනය කොට යථාර්ථය වඩාත් විශද කිරීම මත ගොඩනගා ගන්නා ලද යථාර්ථ රීතියක් ලෙස මායා යථාර්ථවාදය බිහිවිය. සාහිත්‍යය කෘතියක් වඩාත් උත්කර්ෂවත් ලෙස පාඨකයාට සමීප කිරීමට මෙම මාර්ගය වඩාත් ප්‍රචලිත විය. සාහිත්‍යය උපක්‍රමයක් ලෙස භාවිතයට ගන්නා මෙම මායා යථාර්ථවාදය දේවවාදී යුගයේ පවතියා වූ සංකල්ප පිළිගැනීමකට ලක් කරන ආකාරයෙන් නිර්මාණය වූ රීතියකි. සිහින, දෙවියන්, හොල්මන් වැනි අදෘශ්‍යමාන ලෝකයේ පවතින්නා වූ යම් යම් සංකල්ප ප්‍රතිනිර්මාණය කිරීම මඟින් පාඨකයාට වින්දනාත්මක ප්‍රහර්ශයක් ඇති කිරීම මෙම කෘතියේ පදනමයි.
පවත්නා වූ සත්‍යය සන්දර්භයක් මතට වෙනත් ආකාරයකින් මායාවන් ඇතුළත්කොට විශ්ලේෂණය කිරීම හෙවත් මිනිසාගේ භෞතික ක්‍රියාවලියට උපකාරී වන මානසික ක්‍රියාවලියේ ස්වරූපය මේ කෙරෙන් අවධාරණය කරයි. සියක් වසක හුදකලාව ග්‍රන්ථ මෙවැනි අවස්ථා රාශියකට හිමිකම් කියයි. විඥානය හා අවිඥානය අතර චින්තනයේ පවතින චෛතසික යාන්ත්‍රණය මේ මායා යථාර්ථවාදී කෘතිය මතින් ප්‍රතිනිර්මාණය කරයි. චරිත රාශියකගේ පැතිර යාමක් ඔස්සේ මෙම රීතියෙන් පාඨකයාට වින්දනාත්මක තිගැස්මක් ඇති කිරීමේ අදහස පෙරදැරිව යථාර්ථය දිගුවක් ලෙසින් රචනා කර ඇති මෙම ග්‍රන්ථය භෞතිකත්වය හා අභෞතිකත්වය මෙන්ම විශ්වාසනීයත්වය හා අවිශ්වසනීයත්වය අතර නව සම්බන්ධතාවයක් ඇති කරමින් යථාර්ථවාදයේ විෂය පුළුල් කරන්නට විය.
“මෙම ප්‍රශස්ත නවකතාව මායාවී ය, දයාන්විත ය, උපහාසාත්මක ය ප්‍රබන්ධයක ලක්ෂණ භාවිත කෙට නව මෙවලම් රීති යොදා ගනිමින් රචිතය. මෙහි ගාර්ෂියා මාර්කේස්ගේ තියුණු උපහාසයෙන් සහ ඔහුගේ චරිතවල
පෞද්ගලික රහාස්‍යභාවය සමඟ ඔහුගේ හාස්‍යය මේ නැඹුරුවෙන් යටපත්වේ.”
John Sherlock in the new stateman and society
ගාර්ෂියා මාර්කේස් සහ මායා යථාර්ථවාදය යන නාමයන් ද්විත්වය එකට ගැටගැසී පවතී. 1530 වර්ෂයෙන් පසු කාලීනව බිහිවෙන ලතින් ඇමරිකානු සාහිත්‍ය මත ප්‍රධාන තැනක් හිමිවෙන රචකයෙකි ගබ්‍රියෙල් ගාර්ෂියා මාකේස්. ප්‍රකට කොලොම්බියානු ජාතික ලේඛකයෙක් , මාධ්‍යවේදියෙක් , කෙටිකතාකරුවෙක් , නවකතාකරුවෙක් වෙන මොහු තම සලකුණ තැබූ කතාකරුවෙකි. “One Hundred Years of Solitude — සියක් වසක හුදකලාව (1967) “ ලියා ලෝකය උඩු-යටිකුරු කළ ,
ලෝකෙම ආක්‍රමණය කළ පළමුවන ලතින් ඇමරිකානු නවකතාව රචනා වූයේ මොහු අතිනි. මේ කෘතිය හරහා “ මායා යථාර්ථවාදය “ නැතිනං ඉන්ද්‍රජාලික යථාර්ථවාදය යන සංකල්පය විශ්ව සාහිත්‍යය පුරා ප්‍රචලිත විය. ඔහුගේ නවකතාව පළ උනේ ප්‍රධානම සාහිත්‍යය ශානරයක් වූ නවකතාවට අලුත් කලාත්මක අසිරියක් එක්කාසු කරමිනි. ඔහුගෙ මේ කෘතියෙන්, ඕනෑම පිටුවකින් magic realism ශෛලියට උදාහරණ එක්කාසු කරගැනීමට හැකියාවක් පවතී. එදිනෙදා ජීවිතය ඇසුරු කරගනිමින් ඔහු ලියන හැම වැකියකම ඔහුට ම ආවේණික වූ ආකර්ෂණීය ලෝකයක් විය. මිනිස් දිවියේ ලෞකික දෛනික සිදුවීම් සමඟින් අනපේක්ෂිත මොහොතක ඇදහිය නොහැකි ආශ්චර්‍යමත් සිද්ධි එකතු වීම මේ ශෛලියේ සිත්ගන්නා වූ ලක්ෂණයයි.
සියක්වසක හුදකලාව මෙන්ම මොහුගේ “ කොලරා කාලේ ආලේ “ යන ග්‍රන්ථයත් magic realism ශෛලියේ පර්යේෂණකාමී සාහිත්‍යය කෘති සාමාන්‍යය පාඨකයා අපහසුවට පත් කරන නවකතා කලාවක් නොවෙයි. නමුත් සැබෑ ලෙසම ඔහුගේ කෘතියේ තේමාත්මක අර්ථය කාටත් තේරුම්ගත හැකි, කතාවෙ කේන්ද්‍රීය ගැඹුර එකවරම වටහා ගැනීමට පිළිවෙන. කෘතිය මත ගාර්ෂියා මාර්කේස් ඇමරිකානු මහද්වීපයට ආවේණික ස්භාවිකත්වය , ජනකතා , ගමකතා , විහිලු , යාන්හෑලි , පුරාණෝක්ති සියල්ල එකට කැටි කරගත් දැවැන්ත රූපකමය ගොඩනැංවීමක් මතින් මායාවේ දැවටූ යථාර්ථය රසිකයාට මුණ ගැසීමට ඉඩසලස්වයි. කෘතිය මදක් විමසිලිමත්ව පරිශීලනය කළ පසු අපි ජීවත් වෙන ලෝකෙට වඩා වෙනස් හේතු ඵල තර්කනයකින් යුක්ත ලෝකෙකට ඇතුල් වීමට රසාකයාට අවසරයක් ලැබෙයි. ඒහෙත් සත්‍යය ලෙසම ප්‍රබන්ධය ගොඩනැගෙන්නෙ කොලොම්බියාවේ ඉතිහාසය පාදම කොට ගෙනයි.
“මගෙ ජීවිතේ පැහැදිලි බෙදුමක් තිබුනා. එකක් තමයි මගේ සීයගෙ දැඩො යථාර්ථවත් ලෝකය. ඒකෙ තිබුනේ ඔහු කර්නල් කෙනෙක් හැටියට සහභාගි වූ සිවිල් යුද්ධ වල ඉතිහාසය. ඊළඟට මගේ ආච්චිගෙ ලෝකේ. ඒක සම්පූර්ණයෙන්ම යථාර්ථයෙන් පිට තිබුන ෆැන්ටසිමය ලෝකයක්….”
-ගාර්ෂියා මාර්කේස් ( NRP Radio interview ) -
පරම්පරා ත්‍රිත්වයක කතාවක් වශයෙන් විකාශනය වන්නා වූ මෙම ප්‍රබන්ධය මඟින් හුවා දක්‌වන්නේ සිය දේශයේ වැසියන්ගේ සෝබර ඉතිහාසය පමණක් නොව කුටුම්භගත ගෝත්‍රික පවුල් ඒකකයක් මධ්‍යයෙහි ස්‌වප්නයක විලසින් පෙනී යන්නා වූ සිතුවිලි සමුදායක් මෙන්ම නවකතාව අවසාන වන විට එකී ප්‍රාථමික ජනයා දියුණුවේ මුදුන් පෙත්තටම ළංව සිටින ආකාරයකි. 'මැකොන්දෝව' නම් කාල්පනික දේශයෙන් සංකේතවත් වන්නා වූ ලතින් ඇමරිකානු මහද්වීපය කෙරෙහි යුරෝපය නම් ධනවාදී බලවතා හෙළු බැල්ම මෙමඟින් මනාව නිරූපණය කර ඇත. එසේම මෙය සංකීර්ණ සමාජ, දේශපාලනික සන්දර්භයක පිහිටි භූ දේශපාලන කලාපයට අයිති යථාර්ථයක කාව්‍යමය ප්‍රකාශයකි. අධිරාජ්‍යවාදී ධනේශ්වර පාලනය ලතින් ඇමරිකාවේ ස්‌වාභාවික පරිසරය හා වස්‌තූන් කෙරෙහි බැලු කළු ඇස පිළිබඳව මෙමඟින් නිරූපිතය.
ඒ අනුව මාර්කේස්‌ගේ කෘතිය තුළ ආශ්චාර්යාත්මක, මායාවී ස්‌වරූපයක් අන්තර්ගත වුවද එ තුළින් යථාර්ථයෙන් ඔබ්බට ගොස් අධියථාර්ථයක් ප්‍රතිනිර්මාණය කරන බව පෙනේ. ආශ්චර්යාත්මක සිද්ධීන් උපයුක්‌ත කර ගත්තද 'සල්මන් රුෂ්ඩිගේ' 'රෑ මැදියමේ දරුවෝ' ප්‍රබන්ධ ආඛ්‍යානය මතින් පවතින යථාර්ථයෙන් ඔබ්බට ගොස් අධියථාර්වාදයට කිඳා බසිමින් සමාජ සත්තාවේ යථාර්ථය පිළිබිඹු කරන ආකාරයක් පෙනේ.
“ඔහුට තිරසන් රූප ලක්ෂණ නොතිබීම ගැන දෙමාපියෝ අහසට ස්තුති කළහ. මැකොන්ඩාවේ උපන් පළමු මනුෂ්‍යය පැවැත්ම අව්රෙලියානෝට අවුරුදු හයක් සම්පූර්ණ වීමට තිබුණේ මාර්තුවේ දී ය. ඔවුහු නිහඬ සහ කුලෑටි දරුවෙකු විය. සිය මවගේ ගර්භාෂයේ දී හැඩු අතර උපදින විට ඇස් ඇරී තිබිණ”
දෙකාර්ට්ස් නම් මනෝ විද්‍යාඥයා දක්වන ලෙස මනස හා කය අතර ඇති සම්බන්ධයෙන් මිනිස් චර්යාව අධ්‍යනය කරන බව ප්‍රකාශ කරයි. මෙය අන්තර් ක්‍රියා ද්විත්ව වාදය ලෙස ද මනෝවිද්‍යාව මඟින් දක්වයි. නවකතාකරු ද තම නවකතාව මත මෙම මනස හා කය අතර පවත්නා සම්බන්ධතාවයට නව මුහුණුවරක් දෙමින් අලුත් කතාවක් නිර්මාණය කරයි. එයින් වෙනම රසයක් පාඨකයාට ආග්‍රහනය කරගැනීමට අවස්ථාවක් මතුකරයි.
මනෝ දෘෂ්ටිමය දර්ශනයට කේන්ද්‍රගත වෙමින් තම කතාවේ චරිත හා සිද්ධි නිර්මාණය කිරීම නිසාම මායා යථාර්ථවාදී රීතියෙන් යථාර්ථය ප්‍රතිබිම්භනය කිරීමට නවකතාකරු වක්‍රව උත්සාහ දරා ඇති බව කතාව කියවාගෙන යෑමේදී පාඨකයාගේ සිතට නැගෙන තවත් කරුණකි. ආලෝකය ඇති විටදී අඳුරෙහි සැඟවෙන්නා වූ යම් යම් දෑ පිළිබඳව අප එතරම්ම ඇල්මක් නොදක්වයි. නමුදු අඳුරේ සිටිනා විට අඳුරේ දීම පෙනෙන්නා වූ යම් යම් දෑ අපගේ සිත මත ගැඹුරු තිගැස්මක් ඇති කිරීමට උත්සුක වෙයි. කතාකරුද නවකතාව කෙරෙන් උත්සාහ දරන්නේ අපගේ ඇසට ගොදුරු වන දෙයින් පරිබාහිරව ඇති යම් යම් සිද්ධි යථාර්ථය සමඟ දවටා එය අමුතු රසයකින් පාඨකයා වෙත සමීප කිරීමයි. මක්නිසාද යත් ඒ ඔස්සේ මෙතෙක් නොවූ විරූ රසයක් පාඨකයාට විද ගැනීමට අවස්ථාවක් හිමි වීමයි.
“ඇයට නින්ද නොගිය එක් රාත්‍රියක දී වතුර ටිකක් ගෙන ඒමට උර්සුලා මිදුලට ගිය විට ප්රුඩෙන්සියෝ අගුයිලාර් වතුර බිම අසල සිටිනු ඇය දුටුවා ය. මුහුණේ ශෝකී පෙනුමක් සමග සුදුමැලිව ගිය ඔහු ඒස්පාටෝ තණකොළ වලින් උගුරු දණ්ඩේ සිදුර වසා ගැනීමට උත්සාහ කරමින් සිටියේය”
මායා යථාර්ථවාදී රීතිය උපයෝගී කරගනිමින් මිනිසාගේ මානසික පීඩනය කෙතරම් ප්‍රචණ්ඩත්වයට පත් වන්නේ ද, මානසික පීඩනය තමන් මෙහෙය වන්නේ කුමන ආකාරයකින්ද යන්න නිර්මාණය කිරීමට නවකතාකරු මෙම සිද්ධිය නව කතාවට ඈඳා තිබේ. තම බිරිද තවමත් කන්‍යාවියක් බව පවසමින් උසුළු විසුළු කිරීම නිසාම ඇති වෙන්නා වූ මානසික වික්ෂිප්ත භාවය නිසාම මෙම ඝාතනය කළ මෙහි කතානායකයාගේ මනස නවකතාවෙන් නිර්මාණය කරයි. නමුදු එම වරදකාරී හැඟීමෙන් ගැලවී යාමට නොහැකි බව නැවත වටයකින් නවකතාකරු නවකතාව තුළ ගැබ් කිරීමට උත්සුක වෙයි. මායාව මත දැවටූ යථාර්ථයේ ලොසින්ජරය රසිකයාට කතාකරු දිගුකරයි.
“කමක් නැහැ ප්රුඩෙන්සියෝ ඔහු කීවේය අපි මේ නගරය අතහැරලා දාලා අපට යන්න පුළුවන් තරම් ඈතකට යන්න ඉන්නේ අපි කවදාවත් ආපහු එන්නේ නෑ ඉතිං උඹ සමාදානේ සැතපියන්”
මනෝවිද්‍යාව ඔස්සේ ප්‍රකාශයට පත් කරන වරදකාරී හැඟීමෙන් ගැලවීමට නොහැකි කතා නායකයාගේ ක්‍රියා කලාපය සමග දවටමින්, ඈදමින් මායා යථාර්ථවාදී රීතිය උපයෝගී කරගනිමින් පුද්ගල මනසේ ගැඹුරු ම ස්ථානය ස්පර්ශ කිරීමට මෙන්ම යථාර්ථයේ ම දිගුවක් ලෙස කතාව ඉදිරිපත් කිරීම නිසා මෙම මායා යථාර්ථවාදී රීතිය කෙතෙක් දුරට සාර්ථක ද යන්න පිළිබඳව රසිකයාට අදහසක් ලබා ගැනීම අපහසු කටයුත්තක් නොවේ.
මෙම කතාවේ තවත් වඩාත් සිත් ගන්නා අවස්ථාවක් ලෙස නින්ද නොයෑමේ රෝගය දැක්වීමට පුළුවන. නින්ද යනු විරහිත සංවිඥාන සාපේක්ෂව අත්හිටුවන සංවේදී ක්‍රියාකාරිත්වයයි. සියලුම ඉච්ඡානුගත පේශීන්ගේ නිෂ්ක්‍රීය බව ඇති වේ. මෙම ක්‍රියාවලිය සිදු වීමටනම් කායික හා මානසික යන ද්විත්වයෙහි ම සමබරතාවයක් පැවතිය යුතුය. නින්ද යන කාරණය නොමැතිවීමට විද්‍යාත්මකව බලපාන හේතු කිහිපයකි. එනම් අමතක කිරීමට අසීරු මතකයන් තිබීම, රෑ ආහාර හා එහි ප්‍රමාණ, ඇඳුම්- ආලෝකය සහ ස්ථානය, ශාරීරික සුවතාවය සහ මානසික සුවතාවය නොමැතිවීම වැනි කාරණා මෙම නින්ද කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරයි. කතාකරු මෙම නින්ද නොයෑම නවකතාව මත ප්‍රතිනිර්මාණය කරන්නේ මායා යථාර්ථවාදී රීතියට කිදා බසිමිනි. නමුත් මෙහි විද්‍යාත්මක පාර්ශවයට අවධානය යොමු කරමින් මෙය විශ්ලේෂණය කොට බලන විට මානසික පීඩනය එනම් සිතේ අතෘප්තිකර ස්වභාවයන් නිසා මෙය ඇති වන බව බුද්ධිමත් රසිකයාට වටහා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ.
“ළමයින්ට නින්ද යන්නෙ නෑ ඒක ගෙදරට ආවා කියන්නේ කාටවත් වසංගතයෙන් බේරිල්ලක් නැහැ ඇත්ත වශයෙන් ම ඔවුනට අනිද්දා රෝගය වැළඳී තිබිණ සිය මව ගෙන් පැළෑටි වල ඖෂධීය ගුණය දැනසිටි උර්සුලා මංක්ෂුඩ් කොළ තම්බා සාරයක් පිළියෙල කොට සියලු දෙනාටම බීමට දුන්නා ය එහෙත් ඔවුනට නිදා ගත නොහැකි වූ අතර ඔව්හු හිටගෙන සිහින දකිමින් මුළු දවසම ගෙවූහ එය මායාව පෙනී සහිත විශද බව තුළ තමන්ගේ සිහිනවල රූප පමණක් නොව සමහරු අනෙක් අයගේ සිහින මල රූපද දුටුවහ”
යථාර්ථයෙහි දිගුවක් ලෙස දවටා ගැනීමට තුඩුදෙන සේ සිදුවීම් හා පසුබිම ගොඩ නංවමින් අද්භූතාත්මක ලෝකයක් චිත්‍රණය කිරීමට කතාකරු උත්සාහ කරයි. මතුපිටින් දක්නට ලැබෙන මනඃකල්පිත ස්වරූපයට යටින් ගැඹුරු සමාජ සත්තාවක් හා ඓතිහාසික සිද්ධීන් විවරණය කිරීම මෙම මායා යථාර්ථවාදී රීතිය ලක්ෂණයකි. මතුපිටින් දක්නට ඇත්තේ නිදි වර්ජිතව ජීවත්වන මනුෂ්‍යය පිරිසකි. එසේම තමන් අත්විඳින්නා වූ ස්වප්නය අනෙකාට දැකීමට හැකිවීමේ ස්වරූපයකි. මායාව උපයෝගී කරගනිමින් කළ සිද්ධී නිර්මාණය යථාර්ථයේ මානයට රැගෙන සමාජ සත්තාවක් හා ඓතිහාසික සිද්ධීන් රාශියක් විවරණය කරන බව පාඨකයාට තවත් පිටු කිහිපයක් ඉදිරියට කියවාගෙන යෑමේදී වටහා ගැනීමට අවස්ථාවක් උදාවෙයි.
“කුස්සිය මුල්ලේ තමාගේ පැද්දෙන පුටුවේ හිඳ සිටි රෙබෙකා ඇය වැනිම වූ පෙනුමකින් යුක්ත සුදු ලිනන් රෙදි ඇදුම් කට්ටලයකින් සැරසී රත්තරම් බොත්තම කින් කමිස කොලරය ගෙලට තදව හා වී තිබූ තැනැත්තෙක් රෝස මල් කළඹක් රැගෙන එනු සිහිනෙන් දුටුවාය එම තැනැත්තා සහ කාන්තාව රෙබෙකාගේ මව්පියන් බව උර්සුලා වටහා ගත්තාය”
නින්ද නොයෑම මායා යථාර්ථවාදී රීතියේ අන්දමින් විශ්මයජනක මෙන්ම ආශ්චර්යජනක අද්භූත සිදුවීමක් ලෙස නිර්මාණය කොට ඇත. කතාව යතාර්ථ ලෝකයට මුසු කරමින් විමසීමේදී එහි ඇති මායාවක් නැත. අද්භූත කතා ආඛ්‍යානයකින් යටිපෙළ ගැඹුර නිර්මාණය කිරීමට හැකි වීම මායා යථාර්ථවාදී රීතියෙන් ලැබෙන්නා වූ මහඟු පිටුබලයකි. ආශ්චර්යාත්මක යථාර්ථවාදී නවකතාවෙන් විස්තර වර්ණනා කරන්නා වූ සියල්ල අප වසන එදිනෙදා ජීවිතයට ඉතා සමීප බවක් ඇති කරන්නා වූ ආකාරය මෙම කතාව ඉතා සමීපව විග්‍රහ කිරීමේදී පාඨකයාගේ සිතට දැනී යයි.
16SSL 4784
SNH315
යූ.ආර්.එස්.ඩී ප්‍රේමතිලක

No comments:
Post a Comment