කෝට්ටේ ඓතිහාසික නගරය
ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වන මේ නගරයේ ජයවර්ධනපුර කෝට්ටේ ලෙසින් නම් කරනු ලැබුවේ නිශ්ශංක අලගක්කෝනාර විසිනි. ඔහුගේ පරමාර්ථය වූයේ ජය ලබන හෙවත් ජය වර්ධනය වන බලකොටුවක් තැනීමය. එය තැනුවේ දාරුගම නමින් හැඳින්වූ පැරණි ගමක බව කියැවේ. තුන් පැත්තකින් ජලයෙන් වටවී තිබූ එය කදිම ආරක්ෂක ස්ථානයක් විය. ගම දෙපසින් කොලොන්නා ඔය ද දියවන්නා ඔය ද ගලා බැස ගම කෙළවර දී එකතුවිය. ප්‍රදේශය මඩ ගොහොරුවකින් ද ගහනය විය. ඒ හේතුව නිසා කවරෙකුට වුවද දාරුගම ගමට ළඟා වීම එතරම් ලෙහෙසි පහසු දෙයක් නොවීය.
සතුරු බල බිඳීම සඳහා අලගක්කෝනාර මෙවන් බිම්කඩක් තෝරා ගැනීම ඉතාමත් කාලෝචිත දෙයක් විය. ඔහු රජ මාලිගයක සිරි සුළු මන්දිරයක් කරවා එහි වෙසෙමින් තම පාලන කටයුතු ගෙන ගියේය. කොළඹ වරායේ සිට කෝට්ටේ නගරයට දුර වූයේ සැතපුම් 6කි. එහි සිට පාරුවලින් ගනුදෙනු කර ගැනීම පහසු දෙයක් විය. මෙහි තිබූ තවත් වාසියක් වූයේ කඳුකරයේ සිට බටහිර වෙරළේ තිබූ තොටුපළවලට යන එන මාර්ග ද පාලනය කර ගැනීමට හැකි වීමය. අලගක්කෝනාරගේ උපන් ගම වූ රයිගම පිහිටියේද කොට්ටේ ආසන්නයේ ම ය. අලගක්කෝනාරගේ මූලික පරමාර්ථය වූයේ ආර්ය චක්‍රවර්තින්ගේ බලය බිඳීම ය.
ඒ වන විට යාපනයේ පාලකයා පානදුර කොළඹ හා වත්තල යන තොටමුණුවලට බල සේනා සහිත නැව් එවා තිබිණි. එයට මුහුණ දීමට නම් බලගතු නැව් හමුදාවක් තනා ගත යුතුම විය. බලකොටුව අසළ වූ ජලාශය එය සඳහා මහෝපකාරී වූ බව කිව යුතු නැත. කෙසේ වුවද මෙම බලකොටුව ගොඩනැගීම සඳහා වසර විස්සක් තරම් වූ දීර්ඝ කාලයක් ගත වූ බවට තොරතුරු ඇත.
අලගක්කෝනාර මේ සඳහා දේශීය මෙන්ම විදේශීය විශේෂඥයන්ගේ සහාය ලබාගත් බව නිකාය සංග්‍රහය හා සද්ධර්මරත්නාකරය සඳහන්ය. ඔහු පළමුකොට කොටු තාප්පයක් තැනුවේය. ඉන්පසු ඒ වටා දිය අගලක් ද ගැඹුරු මඩ අගලක් ද තැන වූයේය. දියඅගල තැනින් තැන පළලින් වෙනස් වුවද අඩුම තැන දී ද බඹ පහක් විය.
ආරක්ෂාව පතා ඒ තුළ කිඹුලන් වාසය කරවා ඇත. සංදේශ කාව්‍යයන්ට අනුව තාප්පය සුදු පැහැ ගන්වා තිබිණි. දියඅගල ඉතා ගැඹුරු වීය. ඒ හේතුවෙන් දියෙන් පැමිණ තාප්පයට නැගීම නොකළ හැක්කක් විය. එසේම තාප්පය මත දියඅගල දෙසට මුහුණලා ඊතල සවිකොට තිබිණි. එයට අමතරව තාප්පය මත උගුල් විශේෂයක් ද තනා තිබිණි. ඒවා හැඳින්වූයේ "පුළිමුඛම්" නමිනි. ඒවා ගැඹුරු වලවල් විශේෂයක් වූ අතර නොදැන ගමන් ගත්තෝ විපත් ළඟා කර ගත්හ.
තාප්පය මත තනා තිබූ අට්ටාල ආරක්ෂක භටයින් සඳහා වෙන් කෙරිණි. ඒවා තුළ සිටියදී පිටස්තර ඉන්ට ඔවුන් දැකගත නොහැකි වීම ද විශේෂයකි. නිශ්ශංක අලගක්කෝනාරගේ තවත් උපක්‍රමයක් වූයේ ගල් විදින යන්ත්‍ර විශේෂයක් පවුරු මතුපිට තැබීමය. ඒවා "ඉඩංගනී" ගණයේ ලෙසින් හැඳින්වීය. ඒවායින් බොහෝ දුර සිටින සතුරන්ට ගල් විධ විපත් පැමිණවීමට හැකිවිය.
පවුර සතර කොනේ සතරවරම් දෙවිවරුන්ට දේවාල සතරකි. බටහිර කෙළවරෙහි වූ දේවාලය උපුල්වන් දෙවියන්ට ය. උතුරින් වූයේ සමන් දේවාලයයි. බටහිරින් විභීෂණ දේවාලය ද දකුණේ ස්කන්ධ දේවාලය ද තනා තිබිණි. මේ දේවාලවල ආවතේවකරුවන් සඳහා අවශ්‍ය ගොඩනැගිලිද පවුර අසලම ඉදිකොට තිබිණි.
මතු සම්බන්දයි
No comments:
Post a Comment